Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ට්‍රැෆික් කරදරෙන් ගැළවෙන්නේ කොහොමද?

නාගරීකරණයට ලක් වූ ලෝකයේ බොහෝ නගරවලට පොදු වූ ප්‍රධානතම ගැටළුවක් වන්නේ නගර මධ්‍යයයේ පවතින අධික වාහන තදබදය යි. නගර මධ්‍යයක වාහන තදබදය නිර්මාණය වීමට විවිධ හේතූන් බලපානු ලබනවා. ඒ ඒ හේතු සඳහා නිශ්චිත විසඳුම් ලබාදීම මඟින් ඇති වී තිබෙන වාහන තදබදය අවම කර ගැනීමට ප්‍රවාහනය අතින් දියුණු රටවල් සමත් වී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ද ප්‍රධාන වශයෙන් කොළඹ හා නුවර නගරයේ දැඩි වාහන තදබදයක් වර්තමානයේ දී දකින්න ලැබෙන අතර, ඒ සඳහා මේ වනතුරු නිශ්චිත, තිරසර විසඳුම් ලබාදීමට පැවති ආණ්ඩුවලට හරිහැටි හැකියාවක් ලැබී නෑ.

වාහන තදබදයක් නිර්මාණය වීමට බලපාන ප්‍රධාන හේතු 

වාහන තදබදය නිර්මාණය වීමට ප්‍රධාන වශයෙන් කරුණු තුනක් බලපානවා (innovationorigins)

ඇත්තෙන්ම නගර මධ්‍යයක් තුළ දීර්ඝ කාලීනව වාහන තදබදය නිර්මාණය වීමට ප්‍රධාන වශයෙන් කරුණු තුනක් බලපානවා. එකම වේලාවක දී එකම ස්ථානයකට යෑමට විශාල පිරිසකට අවශ්‍ය වීම, මහා මාර්ග හා වෙනත් භෞතික යටිතල ව්‍යුහ ප්‍රමාණවත් නොවීම හා ගමනාගමනය සඳහා එක් පුද්ගලයෙක් මහා මාර්ගයෙන් වඩා වැඩි ඉඩ ප්‍රමාණයක් අත් කරගැනීම යන ප්‍රධාන කාරණා තුන හේතුවෙන් නගර මධ්‍යයක වාහන තදබදය  නිර්මාණය වෙනවා.

එම කරුණු තුන හේතුවෙන් ඇති වන වාහන තදබදය නිරාකරණය කිරීම සඳහා කළ යුතු වන්නේ වෙන වෙනම එම ප්‍රශ්න තුන සඳහා ස්ථිර විසඳුම් ලබාදීම යි. ඒ සඳහා විවිධ රටවල් විවිධ උත්සාහ දරා තිබෙනවා. ශ්‍රී ලංකාව ද ඒ සඳහා විවිධ අවස්ථාවල උත්සාහ දරා ඇති නමුත්, ඒවා මේ වන තුරු හරි හැටි සාර්ථක කර ගැනීමට හැකියාව ලැබී නෑ. 

එක් වේලාවක දී එකම ස්ථානයකට යෑමට විශාල පිරිසක් උත්සාහ කිරීම හේතුවෙන් වාහන තදබදයක් නිර්මාණය වෙනවා. උදාහරණයක් ලෙස; උදෑසන 7ත් 9ත් අතර කාලය අතරතුර ගාලු පාරේ කොළඹ පැත්තට අධික වාහන තදබදයක් පවතිනවා. එවැනි තදබද වැළැක්වීම සඳහා වෙනත් රටවලින් ගෙන තිබෙන ප්‍රධාන ක්‍රියාමාර්ගය වන්නේ රාජ්‍ය ආයතන, පාසල් හා පෞද්ගලික ආයතන වෙන වෙනම විවිධ වෙලාවල්වල දී ආරම්භ කර, වෙන වෙන ම ඒ ඒ වශයෙන් සුදුසු වේලාවන්වල දී අවසන් කිරීම යි. ශ්‍රී ලංකාව ද වරෙක එම තීරණය ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරන නමුත්, සාර්ථක වුණේ නෑ.

පාරවල් පටු වීම හා භෞතික යටිතල ප්‍රමාණවත් නොවීම නිසා ද වාහන තදබදය නිර්මාණය වන අතර, ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග වන්නේ පාරවල් පුළුල් කිරීම, අධිවේගී මාර්ග ඉදිකිරිම, ගුවන් පාලම්, භූගත උමං මාර්ග ඉදිකිරිම වැනි දේවල් ය. නමුත්, මෙහි දී පාරවල් පුළුල් කිරීම තිරසාර ක්‍රියාමාර්ගයක් වන්නේ නෑ. පාරවල් පුළුල් කරන වේගයට සාපේක්ෂව නැවතත් ජනගහනය වැඩි වන අතර, එම ජනතාවගේ මිල දී ගැනීමේ හැකියාව වැඩි වීමෙන් ඔවුන් නැවතත් පෞද්ගලික වාහන මිල දී ගැනීම සිදුකරනවා. එවිට නැවත නැවතත් පාරවල් පුළුල් කිරීම ප්‍රායෝගික වන්නේ නෑ.

වාහන තදබදයට ප්‍රධානම හේතුව 

පොදු ප්‍රවාහනය ශක්තිමත් නොවීම වාහන තදබදයට ප්‍රධානම හේතුව වෙනවා (dailynews)

ලෝකයේ ඕනෑම නගරයක, නගර මධ්‍යයයේ ඇති වන වාහන තදබදයට ප්‍රධාන හේතුව වන්නේ ගමනාගමනය සඳහා එක් පුද්ගලයෙක් මහා මාර්ගයෙන් වඩා වැඩි ඉඩ ප්‍රමාණයක් අත් කරගැනීම යි. වෙනත් ආකාරයකට පවසනවා නම්, පෞද්ගික වාහන භාවිතය ලෙසත් මෙය හැඳින්විය හැකි යි. පොදු ප්‍රවාහන සේවයෙන් වියුක්ත වී මහජනතාව පෞද්ගලික වාහන භාවිතයට හුරු වීම මඟින් නගර මධ්‍යයේ ඉතා වැඩි ඉඩ ප්‍රමාණයක් පෞද්ගලික වාහන සඳහා වෙන් වෙනවා. ඉතා වැඩි ඉඩ ප්‍රමාණයක් වෙන් වී වැඩි පෞද්ගලික වාහන ප්‍රමාණයක් නගර මධ්‍යයේ තිබුණත් එහි ගමන් කරන මගීන් ප්‍රමාණය ඉතා අඩු යි. ඒ හේතුවෙන් අනවශ්‍ය තදබදයක් නිර්මාණය වෙනවා.

ඒ ප්‍රධාන හේතුව නැති කරන්නේ කොහොමද?

LRT (dailynews)

ඒ සඳහා ප්‍රධාන විසඳුම වන්නේ ඉතා හොඳින් පොදු ප්‍රවාහන සේවය දියුණු කිරීම යි. පොදු ප්‍රවාහන සේවය දියුණු කරන අතරතුරම පෞද්ගලික වාහන භාවිතය අධෛරමත් කිරීම සඳහා ද යම් යම් ක්‍රියාමාර්ග ගත යුතු වෙනවා. පොදු ප්‍රවාහන සේවය දියුණු නොකර පෞද්ගලික වාහන භාවිතය අධෛරමත් කිරීමට පමණක් රජය විසින් උත්සාහ දරනවා නම්, එය ද එතරම් ඵලදායි ක්‍රියාවක් ලෙස නම් කළ නොහැකි යි. 

යම් රජයක් විසින් පොදු ප්‍රවාහන සේවය දියුණු කිරීමට උත්සාහ කරනවා නම් පොදු ප්‍රවාහන සේවය තුළ වේගය, විශ්වාසවන්තභාවය, දැරිය හැකි මිල හා සුවපහසු බව යන සාධක වඩා ශක්තිමත් කළ යුතු වෙනවා. එසේ නොවන තාක් කල් පෞද්ගලික වාහන භාවිතය අවම කිරීම සිදුකළ නොහැකි වෙනවා. පොදු ප්‍රවාහන සේවය ඉහත ලක්ෂණවලින් සමන්විත වෙනවා නම් මහජනතාව සිය පෞද්ගලික වාහන නිවෙස්වල තබා පොදු ප්‍රවාහන සේවය සමග එකතු වෙනවා.

පොදු ප්‍රවාහන සේවය දියුණු කිරීමට ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද?

BRT (ytimg)

නගර මධ්‍යයක පොදු ප්‍රවාහන සේවය දියුණු කිරීමට නම් රජය විසින් යම් යම් ප්‍රවාහන ව්‍යාපෘති ක්‍රියාත්මක කළ යුතු යි. ශ්‍රී ලංකාවේ ඉදිකිරිම ආරම්භ කර ඇති සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය (Light Rail Transit) වැනි දෑ ඕනෑම නගරයක වාහන තදබදය අවම කිරීමට ක්‍රියාත්මක කළ හැකි ව්‍යාපෘති ලෙස හැඳින්විය හැකි යි. එහි,  ඉහත සඳහන් පොදු ප්‍රවාහන සේවයක අඩංගු විය යුතු සියලුම ලක්ෂණ අඩංගු වෙනවා. ඊට අමතරව, MRT (Mass Rapid Transit) වැනි ව්‍යාපෘති ද ඒ සඳහා යෝග්‍යය යි. ඊටත් අමතරව, බස් රථ සඳහා වෙනම තීරුවක් වෙන් කෙරෙන bus lane හා පාර මධ්‍යයේ බස් සඳහා පමණක් ඉදිවෙන BRT (Bus rapid transit) පද්ධති මඟින් ද පොදු ප්‍රවාහන දියුණු කළ හැකි ය. 

නගර මධ්‍යයේ ඇති අභ්‍යන්තර ජලාශ හරහා ප්‍රවාහනය ආරම්භ කිරීම තුළින් ද වාහන තදබදය වළක්වාලිය හැකි යි. විවිධ රටවල එවැනි ව්‍යාපෘති ගණනාවක් දැකිය හැකි අතර, ශ්‍රී ලංකාවේ ද කොළඹ කොටුවේ සිට යුනියන් පෙදෙස දක්වා වූ බෝට්ටු සේවාවක් බේරේ වැව හරහා ආරම්භ කර තිබෙනවා. බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන (MULTIMODAL TRANSPORT HUB) ආරම්භ කර සියලු ප්‍රවාහන සේවා කේන්ද්‍රයකට එකතු කිරීමෙන් ද පොදු ප්‍රවාහන සේවය දියුණු කළ හැකියි.

යම් රටක ඉහත ක්‍රියාමාර්ග මඟින් පොදු ප්‍රවාහන සේවය දියුණු කිරීම හා සමගාමීව පෞද්ගලික වාහන භාවිතය සඳහා ජනතාව අධෛරමත් කිරීම ද සිදුකළ යුතු වෙනවා. ඒ පිළිබඳව තවත් ලිපියකින් හමුවෙමු.

කවරයේ පින්තූරය- piston.my

Related Articles