ශ්‍රී ලංකාව දශක තුනක විතර කාලයක් තිස්සේ ඊළාම් සටනෙන් ජයගන්න ශ්‍රී ලංකා නාවික හමුදාව සුවිශාල කාර්යභාරයක් ඉටු කළා. ශ්‍රී ලංකාව බොහොම පුංචි රටක් වුණත් දූපතක් වීම නිසා කි. මී. 1600කටත් වැඩි සුවිශාල මුහුදු තීරයකට හිමිකම් කියනවා. LTTE සංවිධානයේ පාලනය යටතේ තිබුණු ප්‍රදේශවලටත් විශාල මුහුදු තීරයක් අයත් වෙලා තිබුණු නිසා මුහුදු මඟින් ඔවුන්ට ආයුධ ගෙන ඒම පහසු වුණා. මෙවන් සැපයුම් මාර්ග වසා දැමීමේ සම්පූර්ණ වගකීම පැවරුණේ නාවික හමුදාවට යි.

ශ්‍රී ලංකාවේ නාවික හමුදාව රටේ ආරක්ෂාවට ඉතා වැදගත් (pmdnews.lk)

මේ උදාහරණය විශාල මුහුදු තීරයක් තිබෙන ශ්‍රී ලංකාව වගේ රටකට නාවික හමුදාවක් වැදගත් වෙන්නේ ඇයි කියන එකට හොඳ පිළිතුරක්. කොහොම වුණත් තනිකර ම ගොඩබිමින් වට වෙලා තියෙන (landlocked) රටවල්, ඒ කියන්නේ කිසිම මුහුදු තීරයක් අයිති නැති රටවල් පවා අදටත් නාවික හමුදා තබාගෙන ඉන්න බව දන්නවා ද?

එකපාරට ම පිස්සු වැඩක් වගේ පෙනුණත් මේකට හේතු ගණනාවක් තිබෙනවා.

මුහුදක් තිබී නැති වුණු රටවල්

මුහුදකින් වට වුණු දූපතක් වන ශ්‍රී ලංකාවේ මායිම ගැන අතීතයේ ඉඳලා ම විශාල ගැටලුවක් තිබුණේ නැහැ. මොකද, මුහුදු තීරය ඉතාම හොඳ ස්වභාවික සීමා මායිමක් වුණා. කොහොම නමුත් විශාල ගොඩබිම්වලින් තමන්ට අවශ්‍ය කොටස් වෙන් කරගන්න මිනිසුන් හදා ගත්තු දේශ සීමාවල නම් අතීතයේ පටන් විවිධ වෙනස්කම් සිදු වුණා. මේ නිසා ඒ වගේ දේශ සීමා වෙනස් වීමේ ප්‍රතිඵලයක් විදිහට ඉස්සර කාලේ මුහුදක් තිබී දැන් මුහුදක් නැති වූ රටවල් දෙකක් තිබෙනවා.

පැසිෆික් යුද්ධයෙන් බොලීවියාවට බොහෝ ප්‍රදේශ අහිමි වුණා (wikimedia.org)

මේ අතරින් ප්‍රධාන වන්නේ බොලීවියාව යි. 1879 දී ඇති වුණු පැසිෆික් යුද්ධයේ දී ඔවුන්ට පැසිෆික් සාගරයට සම්බන්ධ මුහුදු තීරය සහිත ගොඩබිම් කොටස අහිමි වීමත් එක්ක බොලීවියාවත් ගොඩබිමින් වට වූ රටක් බවට පත් වුණා. කොහොම වුණත් විශාල ගංගා සහ ජල ප්‍රදේශ ගණනාවක් තිබෙන බොලීවියානු රජය 1963 දී මේ ජල ප්‍රදේශ යොදාගෙන නාවික හමුදාවක් ඇති කර ගත්තා. මුල්කාලයේ ඔවුන් මේ සඳහා යොදාගත්තේ ඇමෙරිකාවෙන් මිල දී ගත් මුර සංචාරක යාත්‍රා හතරක්. මේ වන විට ඔවුන්ගේ නාවික හමුදාව 5000කට වැඩි භට පිරිසකින් සමන්විත යි. නැවත සාගරයට සම්බන්ධ වෙන්න උත්සාහ ගනිමින් සිටින බොලීවියාවේ ජාතික අභිමානයේ කොටසක් විදිහටත් ඔවුන් තම නාවික හමුදාව සලකනවා.

එරිත්‍රියාව ස්වාධීන වීමත් එක්ක ඉතියෝපියාවටත් සයුර අහිමි වුණා. (theportcitynews.com)

ඉතියෝපියාව 1955 සිට නාවික හමුදාවකට හිමිකම් කිව්වත් 1991 දී එරිත්‍රියාව ස්වාධීන රාජ්‍යයක් වීමත් එක්ක එයටත් සම්පූර්ණයෙන් ම ගොඩබිමින් වට වෙන්න සිදු වුණා. මුහුදු තීරයක් අහිමි වුණත් 1996 දක්වා ම ඔවුන් විදේශීය වරායයන්ට මුදල් ගෙවමින් සිය නාවික හමුදාවේ යාත්‍රා සයුරේ තබා ගන්නත්, සිය නාවික හමුදාව පවත්වා ගන්නත් කටයුතු කළා. කොහොම නමුත් අද වන විට එය ඉතියෝපියානු හමුදාවේ කොටසක් බවට පත් වෙලා. ඔවුන්ගේ රට තුළ පවතින ටනා ජලාශයේ එක් මුර යාත්‍රාවක් අදටත් මෙහෙයුම් කටයුතු සිදු කරනවා. එය නැවතත් නිල නාවික හමුදාවක් කරගන්නත් ඔවුන්ගේ වෑයමක් තිබෙනවා.

කැස්පියන් මුහුද වටා පිහිටි රටවල්

සාමාන්‍යයෙන් මුහුදක් කියන්නේ මහා සාගරයට ස්වාභාවික ජල මාර්ගයකින් සම්බන්ධ ලවණ ජල තලයකට පමණයි. මේ නිසා විශාලත්වයෙන් වගේ ම වෙනත් ලක්ෂණ බොහොමයකිනුත් මුහුදක් කියා සලකන්න පුළුවන් කැස්පියන් මුහුදට මායිම් වන රටවල් ගණනාවක් ම තිබුණත් වෙනත් මුහුදු තීරයක් නැති නම් ඒවා සැලකෙන්නේ සම්පූර්ණයෙන් ම ගොඩබිමින් වටවුණු රටවල් විදිහට යි.

කැස්පියන් මුහුද අවට රටවල් (ilguji.org)

මේ අතරින් අසර්බයිජානය ප්‍රධාන තැනක් ගන්නවා. ඔවුන්ගේ රටේ මායිමේ කැස්පියන් මුහුද නිසා විශාල මුහුදු තීරයක් බිහි වී තිබෙනවා. මේ නිසා බොහෝ දුරට ඔවුන්ගේ නාවික හමුදාවට සාමාන්‍ය නාවික හමුදාවක් වගේ ම කටයුතු කරන්න පුළුවන්. භටයින් 14000ක්, නාවික යාත්‍රා 31ක්, සබ්මැරීන 4ක්, නාවික ගුවන් යානා 6ක් ඇතුළු සැලකිය යුතු නාවික හමුදාවක් ඔවුන් සතු යි.

ගොඩබිමින් වට වූ ලෝකයේ විශාලතම රට වන කසකස්ථානය 2003 දී ජනාධිපති නියමයකින් නාවික හමුදාවක් පිහිටුවනු ලැබුවා. ඔවුන්ගේ මෙහෙයුම් කටයුතු සිදු කෙරෙන්නෙත් එක පැත්තකින් මායිම වී ඇති කැස්පියන් මුහුද තුළ යි. 3000ක පමණ භට පිරිසක් සහ මුර යාත්‍රා 14ක් කසකස්ථාන නාවික හමුදාව සතු ව තිබෙනවා.

කසකස්තාන් හමුදාවේ යාත්‍රාවක් (strategy2050.kz)

ටර්ක්මෙනිස්ථානයත් නමින් බොහෝ දෙනෙක් හඳුනන්නේ නැති වුණාට කැස්පියන් මුහුදට මායිම් වෙලා තිබෙන ගොඩබිමින් වටවුණු රටක්. කැස්පියන් මුහුදේ ඔවුනුත් කුඩා නාවික හමුදාවක් පවත්වාගෙන යනවා. භටයන් 700ක් සහ යාත්‍රා 16ක් ඔවුන් සතු යි.

2012 දී කැස්පියන් මුහුදේ ස්වභාවික වායු නිධි සොයාගැනීමත් එක්ක අසර්බයිජානයේ සහ ටර්මෙකිස්ථානයේ නාවික හමුදා අතර උණුසුම් තත්ත්වයක් හටගත්තා. මෙවැනි දේවල් ඔවුන් දෙපිරිස ම නාවික හමුදාවක් පවත්වා ගැනීමට හේතුවක් ලෙස දකිනවා.

විශාල, වැදගත් ගංගාවල

විශාල ප්‍රමාණයේ මිරිදිය ගංගා හෝ ජලාශ, ජල මාර්ග ආදිය පිහිටා තිබෙන රටවල් සිය ආරක්ෂක අවශ්‍යතා සඳහා ඒවායේ තම නාවික හමුදා පවත්වා ගන්නා අවස්ථා ගණනාවක් ම තිබෙනවා. මෙයින් විශාල ප්‍රමාණයේ ගංගා පවතින ඇතැම් රටවල නාවික යාත්‍රාවලට අවශ්‍ය නම් මේ ගංගා දිගේ විවෘත සාගරයට යාත්‍රා කරන්නත් පුළුවන්.

පැරගුවේ නාවික හමුදාවට අයත් මුර සංචාරක යාත්‍රාවක් (damen.com)

පැරගුවේ මේ අතරින් ප්‍රධාන තැනක් ගන්නවා. ඔවුන්ගේ පැරගුවේ ගංගාව සහ පරනා ගංගාව ඇතුළු විශාල මෙන්ම රටේ ආරක්ෂාවට ඉතා වැදගත් ජල මාර්ග බොහොමයක් තිබෙන නිසා ඒවායේ ආරක්ෂක කටයුතු වෙනුවෙන් විශේෂ නාවික හමුදාවක් පවත්වාගෙන යනවා. ආජන්ටිනාව හරහා ගලා යන පැරගුවේ ගංගාවෙන් ඔවුන්ගේ යාත්‍රාවලට සාගරයට යාත්‍රා කරන්නත් හැකියාව තිබෙනවා. නාවික යාත්‍රා 11කින් සහ භටයන් 3000ක් පමණ පැරගුවේ නාවික හමුදාවට අයත්. පැරගුවේ නාවික හමුදාව පැරගුවේ යුද්ධයේ දී සහ චාකෝ යුද්ධයේ දී සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කළා.

මීකොං ගඟේ මුරකාවල් කටයුතු ලාඕස් හා චීනය ඒකාබද්ධ ව සිදුකෙරෙනවා (china-defense.blogspot.com)

ලාඕසයත් මෙහි දී වැදගත්. වියට්නාම යුද්ධයේ දී ප්‍රධාන යුධ පෙරමුණක් වූ මීකොං ගංගාව ඔවුන්ගේ රටේ දේශ සීමා මායිම ඔස්සේත් ගලා යනවා. ලාඕස දේශ සීමාවෙන් සැලකිය යුතු ප්‍රමාණයක් මීකොං ගඟෙන් මායිම් වන නිසා එය ඔවුන් තමන්ගේ රටේ ආරක්ෂාවට ඉතා වැදගත් දෙයක් ලෙස යි සලකන්නේ. මේ නිසා ඔවුන් සතු ව මේ ගඟේ මුර සංචාර කටයුතු සිදුකරන භටයින් 500කින් පමණ යුත් නාවික හමුදාවක් තිබෙනවා. ඔවුන් සතු නාවික යාත්‍රා 14ක් වගේ ම චීනයේ සහාය ඇතුව ක්‍රියාත්මක කෙරෙන තවත් නාවික යාත්‍රා 30ක් පමණ මීකොං හි මුර සංචාර කටයුතු සඳහා යොදා ගැනෙනවා.

වෙනත් ජලාශ සහ ජල මාර්ග

නයිල් නදියේ ආරම්භය ලෙස කාලයක් පුරාවට සැලකෙන වික්ටෝරියා විල උගන්ඩා දේශසීමාවේ තිබෙන සුවිසල් ජලාශයක්. උගන්ඩා හමුදාවේ නාවික අංශය මෙහි ආරක්ෂක කටයුතුවල යෙදී සිටිනවා. මීට අමතර ව රුවන්ඩාව කිව් ජලාශයේත්, මධ්‍යම අප්‍රිකානු ජනරජය කොන්ගෝ නදියේ අතු ගංගාවක් වන උබන්ගි ගංගාවෙත් මුරකාවල් සඳහා කුඩා නාවික හමුදාවන් පවත්වාගෙන යනවා.

වික්ටෝරියා විල (ytimg.com)

මෙතෙක් කතා කළේ නිල වශයෙන් සිය ආරක්ෂක සේනාංක තුළ නාවික හමුදා අංශයක් පවත්වාගෙන යන, මුළුමනින් ම ගොඩබිමින් වට වූ රටවල් පමණයි. කොහොම නමුත් අතුරු අංශ ලෙස නාවික මෙහෙයුම් පවත්වා ගන්නා රටවල් ගණනාවක් තිබෙනවා. ස්විස්ටර්ලන්තය සහ හංගේරියාව මේ අතින් ප්‍රධාන යි. මීට අමතර ව බුරුන්ඩි, මලාවි, මාලි, මොන්ගෝලියාව, සර්බියාව, හා උස්බෙකිස්තානයත් නාවික මෙහෙයුම් පවත්වාගෙන යනවා.

උගන්ඩාව සතු එක ම නාවික යාත්‍රාව (nowiknow.com)

මොන්ගෝලියාව මේ අතරින් විශේෂ වන්නේ පුද්ගලයන් 7 දෙනෙක් සහ එක යාත්‍රාවක් පමණක් ඔවුන් සතු වීම නිසාවෙන්. එහි සේවය කරන හත් දෙනා අතරින් එක් අයෙකුට පමණක් පිහිටීමට ඇති හැකියාව නිතර ම උපහාසාත්මක ව කතා බහට ලක් වෙනවා.

කවරයේ රූපය: patch.com