Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මේ දිනවල Netflix හරහා විකාශය වන ජනප්‍රිය ම නිර්මාණ දහයක්

සෑම අඟහරුවාදා දිනක ම නෙට්ෆ්ලික්ස් ආයතන ගෝලීය මට්ටමෙන් සිය හොඳ ම චිත්‍රපට සහ ටෙලිකතා මාලා ලැයිස්තු හතරක් ප්‍රකාශයට පත් කරනවා. හොඳ ම ඉංග්‍රීසි සහ ඉංග්‍රීසි නොවන චිත්‍රපට දහය, හොඳ ම ඉංග්‍රීසි සහ ඉංග්‍රීසි නොවන ටෙලිකතා මාලා දහය එම ලැයිස්තු හතරට ඇතුළත්. මෙම ලැයිස්තුව සැකසීම සඳහා නෙට්ෆ්ලික්ස් ආයතනය පදනම් කර ගන්නේ නිශ්චිත සතියක් තුළ ඒ ඒ නිර්මාණය නැරඹූ පැය ගණන යි.

ඒ අනුව පසුගිය මැයි 2 සිට මැයි 8 දක්වා කාලය තුළ වැඩිම නැරඹුම් පැය ගණනක් සහිත චිත්‍රපට සහ ටෙලිකතා ලැයිස්තු ප්‍රකාශයට පත් වන්නේ මැයි 10 වැනිදා යි. මීට අමතරව, රටවල් මට්ටමිනුත් වඩාත් ජනප්‍රිය වී ඇති නිර්මාණ ලැයිස්තුගත කිරීමට නෙට්ෆ්ලික්ස් ආයතනය කටයුතු කරනවා.

ප්‍රේක්ෂකයන් නිර්මාණයක් තෝරා ගැනීම සඳහා විවිධ නිර්ණායක භාවිත කරනවා. බොහෝ දෙනා අතර ජනප්‍රිය වී ඇති නිර්මාණ මොනවාදැ යි සොයා බැලීමත් සුලබ  නිර්ණායකයක්. මේ ලිපිය සම්පාදනය වන්නේ, පසුගිය මැයි 2 වැනිදා සිට 8 වැනිදා දක්වා නෙට්ෆ්ලික්ස් ආයතනය ප්‍රකාශයට පත් කළ ගෝලීය මට්ටමෙන් හොඳ ම ඉංග්‍රීසි ටෙලිකතා මාලා දහය ලෙස තේරුණු නිර්මාණ පදනම් කර ගෙන යි. 

ගෝලීය දර්ශකය තුළ දැනට වැඩි ගෞරවයක් හිමි කරගෙන ඇති ඉංග්‍රීසි ටෙලිකතා මාලාව වන්නේ “Ozark” – top10.netflix.com 

1. Ozark

ගෝලීය දර්ශකය තුළ දැනට වැඩි ගෞරවයක් හිමි කරගෙන ඇති ඉංග්‍රීසි ටෙලිකතා මාලාව වන්නේ “Ozark”. එහි සිව්වන කතා සමය ගෝලීය දර්ශකයේ පළමු තැන හිමි කර ගනිද්දී, එම කතා මාලාවේ ම පළමු වන කතා සමය හත්වැනි තැන හිමි කර ගෙන තිබෙනවා. එසති නවයක් පුරා ගෝලීය දර්ශකයේ පළමු දහය තුළ රැඳී සිටීමටත් මේ අපූරු නිර්මාණයට හැකි වුණා. අපරාධ, නාට්‍යමය සහ ත්‍රාසය යන ශානර හෝ ශෛලීන් කිහිපයකට අයත් වන නිර්මාණයක් ලෙස “Ozark” හි කතාව දිග හැරෙනවා.

බ(ර්)ඩ්ස් පවුලේ ජ්‍යෙෂ්ඨයන් සහ යොවුන් වියේ පසුවන ඔවුන්ගේ දරුවන් සාමාන්‍ය ජීවිතයක් ගෙන ගිය සාමාන්‍ය පවුලක්. නමුත්, මාර්ටි බ(ර්)ඩ්ගේ රැකියාව යම් ගැටලුකාරී තත්ත්වයක් මේ පවුලට රැගෙන එනවා. ඔහු චිකාගෝ නගරය මූලික කරගත් මූල්‍ය උපදේශකයෙක් වන අතර, මෙක්සිකෝවේ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ මුදල් විශුද්ධීකරණ කටයුතු සඳහාත් දායක වෙනවා.

Ozark හි දර්ශනයක් – www.netflix.com 

අනපේක්ෂිත ලෙස සැලසුම් අවුල් වූ විට මා‍ර්ටි, ඔහුගේ චිකාගෝවල පිහිටි නිවස අතහැර දමා සිය පවුලත් සමඟ මිසූරි ප්‍රාන්තයේ “ඔසාර්ක්” නමැති පාළු, ග්‍රාම්‍ය පෙදෙසකට සංක්‍රමණය වෙනවා. ඔහු යන්නේ යටි අරමුණු, සැලසුම් රාශියක් සිතේ පෙරදැරි කර ගෙනයි.  ඒ සියල්ල ම මාර්ටිගේ සිතැඟි අනුව සිදු වේවි ද? ඔහුගේ පවුල, ඔහු වටා ඇති කුණාටුවෙන් බේරා ගන්නේ කෙසේ ද? පිළිතුරු සොයා ගන්න නම් ඔබට “Ozark” නරඹන්න ම වෙනවා.

දැනට මේ ටෙලි කතා මාලාවේ සිව්වැනි අදියර පමණක් රටවල් 81 ක මුල් ම නෙට්ෆ්ලික්ස් ටෙලි නිර්මාණ අතර තිබෙනවා. ශ්‍රී ලංකාවත් ඊට ඇතුළත්.

රහසන ගණයට වැටෙන කතා මාලාවක් වන Grace and Frankie – top10.netflix.com 

2. Grace and Frankie: Season 7

 ප්‍රහසන ගණයට වැටෙන කතා මාලාවක් වන Grace and Frankie, තරමක වෙනස් මිත්‍ර සබඳතාවක් මත පදනම් වෙන සුන්දර නිර්මාණයක්. ග්‍රේස් සහ ෆ්‍රැන්කිගේ දිගුකාලීන ස්වාමි පුරුෂයන් වන සෝල් සහ රොබට්, වෘත්තීය සහකරුවන් ලෙස ඉතා හොඳ මට්ටමේ සබඳතාවක් පවත්වා ගෙන යන දෙදෙනෙක්. නමුත්, වෘත්තීය මට්ටමෙන් තිබුණු ඒ මිතුරුකම පසුව ආදරයකට පෙරළෙනවා. රොබට් සහ සෝල්, ඔවුන් අතර පවතින ආදර සම්බන්ධය තම බිරියන්ට හෙළි කරන අතර, ඔවුන් ගේ දිගු කාලීන විවාහ ජීවිතයටත් තිත තබන්නට වන බව ප්‍රකාශ කරනවා. හදිසි හෙළිදරව්වෙන් උඩු යටිකුරු වූ ජීවිත නැවත ගොඩ නඟා ගැනීමේ අරගලයට ග්‍රේස් සහ ෆ්‍රැන්කි මුහුණ දෙන්නේ කෙසේ ද? කිසි දිනෙක එකිනෙකාට කැමැත්තක් නොදැක් වූ මේ කාන්තාවන් දෙදෙනා එකට එකතු වී අභියෝග භාර ගන්නේ කෙසේ ද?

ගැටුම්, වාද විවාද සහ ප්‍රහසනය මැදින් ගලාගෙන යන මෙම නිර්මාණය ජීවිතය ගැන පැතිකඩ රාශියකින් විමසා බැලීමේ අවස්ථාව ප්‍රේක්ෂකයාට ලබා දෙනවා. දැනට මේ ටෙලිකතා මාලාවේ හත්වැනි අදියර රටවල් 29 ක පළමු දහය අතරේ තිබෙනවා. ආසියාව සැලකීමේ දී Grace and Frankie වඩාත් ජනප්‍රිය වී ඇත්තේ රටවල් තුනක පමණ යි. ශ්‍රී ලංකාවත් ඊට ඇතුළත්.

පසුගිය දින 28 තුළ නෙට්ෆ්ලික්ස් හරහා වැඩිම පැය ගණනක් නැරඹූ ඉංග්‍රීසි ටෙලිකතා මාලාව – top10.netflix.com 

3. Bridgerton: Season 2

නෙට්ෆ්ලික්ස් ආයතනයෙන් මුදා හැරුණු සාර්ථක ම නිර්මාණයක් ලෙස “Bridgerton” හැඳින්විය හැකි යි. දැන් එහි දෙවන කතා සමය නැරඹීමේ අවස්ථාව උදා වී තිබෙනවා. ටෙලිකතා මාලාවට පාදක වී ඇත්තේ ජූලියා ක්වින් රචිත ඒ නමින් ම ඇති ග්‍රන්ථ මාලාව යි.

 බ්‍රිජර්ටන් යනු 18 වැනි සියවසේ ලන්ඩනයේ ඉහළ සමාජ පැළැන්තිය නියෝජනය කරන පවුලක්. එම පවුලේ සමීපත ම සහෝදර සහෝදරියන් අටදෙනා කේන්ද්‍ර කර ගනිමින් ඔවුන් ගේ ආදර ජීවිතය, අනාගතය සොයා ගෙන යන හැටි බොහොම සීරුවට ගළපන කතාවක් තමයි “Bridgerton”.  නාට්‍යමය, ප්‍රේම වෘතාන්ත සහ ඉතිහාසය පාදක වූ නිර්මාණවලට කැමති බොහෝ දෙනකුට මේ කතාව ගැළපේවි.

Bridgerton ශ්‍රී ලංකාවේත් ජනප්‍රිය යි – www.hellomagazine.com 

පසුගිය දින 28 තුළ නෙට්ෆ්ලික්ස් හරහා වැඩි ම පැය ගණනක් නැරඹූ ඉංග්‍රීසි ටෙලිකතා මාලාව ලෙස කිරුළු දරා ඇත්තේ මෙහි දෙවැනි කතා සමය යි. එම පැය ගණන මිලියන 600 කට අධික වන අතර, ශ්‍රී ලංකාවේ පවා වැඩියෙන් ම නැරඹු ටෙලිකතා මාලා අතර “Bridgerton” දෙවැනි කතා සමය තිබෙනවා.

 දැනට රටවල් 26 ක ජනප්‍රිය ම නෙට්ෆ්ලික් ටෙලිකතා මාලා දහය අතර තිබෙන – Selling Sunset -top10.netflix.com 

4. Selling Sunset: Season 5

 Reality-TV ගණයට අයත් වන මෙම කතා මාලාව, හොලිවුඩ් හිල්ස් සහ සන්සෙට් ස්ට්‍රිප් ප්‍රදේශ ආශ්‍රිත ව අංක එකේ නියෝජිතායතනයක සේවය කරන නියෝජිතවරියන් කිහිප දෙනෙක් වටා මූලික වෙනවා. ඔවුන් සියල්ලන් ම දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ නමක් දිනා ගත් පුද්ගලයන්. තරගකාරී ක්ෂේත්‍රයක වෙහෙස මහන්සි වී වැඩ කරන අතරේ මෙම කාන්තාවන් තම පෞද්ගලික ජීවිතය නොවෙනස් ව පවත්වා ගැනීමට විශාල උත්සාහයක් දරනවා. ක්ෂේත්‍රය තුළ ඉහළට යෑමේ ආශාව, නව ආදර සබඳතා සහ වෘත්තීය ජීවිතය සමඟ පෞද්ගලික ජීවිතය ගැටෙන අන්දම, වැනි පැතිකඩ කිහිපයකින් මෙම කතාව දිග හැරෙන හැටි අපූරු යි. රියැලිටි ගණයට අයත් වන නිසා කතාව ප්‍රේක්ෂකයාට ඉදිරිපත් කරන රටාවේත් යම් වෙනසක් තිබෙනවා. Selling Sunset හි පස්වන කතා සමය දැනට රටවල් 26 ක ජනප්‍රිය ම නෙට්ෆ්ලික් ටෙලිකතා මාලා දහය අතර තිබෙනවා.

සත්‍ය සොයා ගැනීමට වෙර දරණ අපූරු “Courtroom drama” එකක් තමයි “Anatomy of a Scandal” – top10.netflix.com 

5. Anatomy of a Scandal: Limited Series

මිනිස් සිරුරක පවතින රෝගයක්, සංකූලතාවක් අනාවරණය කර ගැනීමට නම් ශරීරයේ ව්‍යුහාත්මක කාර්යයන් ගැන දැනුමක් තිබිය යුතු යි. ඒ දැනුම මිනිසකුට ලැබෙන්නේ වෛද්‍ය විද්‍යාවෙන්. එසේ නම්, සමාජ අපචාරයක ව්‍යුහය අධ්‍යයනය කළ හැක්කේ කෙසේ ද? නිසැකව ම එතැනදී අපේ සහායට නීතිය, දේශපාලනය, මනෝ විද්‍යාව වැනි දැනුම් පද්ධතීන් පැමිණෙනවා. “Anatomy of a Scandal” කියන්නේත් එක්තරා සමාජ අපවාදයක් බොහොම සීරුමාරු ශල්‍යකර්මයකට භාජනය කරමින් සත්‍ය සොයා ගැනීමට වෙර දරන අපූරු “Courtroom drama” එකක්. ඒ වගේ ම හොඳ “Psychological thriller” අත්දැකීමක්. එහි චූදිතයන්ගේ සමාජ ස්ථරය සහ පුද්ගලික ජීවිතයට ඇතිවන බලපෑමත් සමඟ කතාව නොසිතූ තරමින් බැරෑරුම් වෙනවා.

“Anatomy of a Scandal” මේ වනවිට රටවල් 44 ක වැඩියෙන් ම නැරඹූ නෙට්ෆ්ලික්ස් ටෙලිකතා දහය අතර තිබෙනවා. ඊට ශ්‍රී ලංකාවත් ඇතුළත් වී ඇත්තේ අපේ ප්‍රේක්ෂයන්ගේ රසාස්වාදය තුළ ඇති විවිධත්වය විදහා පාමින්.

නෙට්ෆ්ලික්ස් හරහා ටෙලි නිර්මාණයක් ලෙස විකාශය වන තරමට ම Heartstopper ඉදිරියට ආවේ රසිකයන්ගේ ශක්තියෙන් – top10.netflix.com 

6. Heartstopper: Season 1

“Heartstopper” කියන්නේ ඇලිස් ඔස්මන් නිර්මාණය කළ ග්‍රැෆික් නව කතාවක්. තරුණ වයසේ සිටින LGBTQ+ ප්‍රජාව ආමන්ත්‍රණය කරන මෙම ග්‍රැෆික් නව කතාව, “webtoons” හරහා කියවීමේ හැකියාව තිබෙනවා. පසුව එය කොටස් අටකින් යුතු වෙබ්කතා මාලාවක් ලෙස නෙට්ෆ්ලික්ස් හරහා ප්‍රේක්ෂකයන් අතරට පැමිණියා.

 තනි උත්සාහයක් ලෙස ගොඩනැඟූ “Heartstopper” ග්‍රැෆික් කතා මාලාවට විශාල ප්‍රචාරයක් ලබා දීමේ හැකියාවක් ඇලිස් ඔස්මන්ට තිබුණේ නැහැ. නමුත්, මිනිසුන් මේ නිර්මාණයට ඉමහත් ආදරයක් දැක්වූවා. නෙට්ෆ්ලික්ස් හරහා ටෙලි නිර්මාණයක් ලෙස විකාශය වන තරමට ම නිර්මාණය ඉදිරියට ආවේ රසිකයන් ලබා දුන් ඒ ප්‍රසිද්ධිය නිසා යි.

“Heartstopper” කතා මාලාව ඇලිස් ඔස්මන්ගේ ග්‍රැෆික් නව කතාවක් මත පදනම් වෙනවා – heartstoppercomic.tumblr.com 

කතාව දෙසට හැරුණොත්, චාලි ස්ප්‍රිං කියන්නේ තම සමලිංගිකත්වය ප්‍රසිද්ධියේ ම ප්‍රකාශ කළ පාසල් යන වයසේ සිටින තරුණයෙක්. ඒ වගේ ම ඔහු පමණට වඩා දේවල් ගැන සිතන (over-thinker) පුද්ගලයෙක්. ඊළඟ කතා නායකයා වන නික් නෙල්සන්, මෘදු හදවතක් ඇති, පාසලේ ඉතා ජනප්‍රිය රග්බි ක්‍රීඩකයෙක් ලෙස පෙනී සිටිනවා. නික් සහ චාලි අතර ඉතා ඉක්මනින්  මිත්‍රත්වයක් ගොඩ නැඟෙන අතර, දෙදෙනා ම එකිනෙකාට දක්වන කැමැත්ත නිසා හැඟීම් සමඟ කරන සටන් අතුරින් කතාව දිව යනවා.

“Heartstopper” පළමු කතා සමයෙන් මුළු ග්‍රැෆික් නව කතාව ම ආවරණය වන්නේ නැහැ. ග්‍රැෆික් නවකතාව තවමත් ඇලිස් ඔස්මන් ගොඩ නඟමින් සිටින නිසා ඕනෑම කෙනකුට නික් සහ චාලි අතර ඉදිරියේ දී සිදුවන දේවල් ගැන අදහසක් ලබාගත හැකි යි. නමුත්, ඔබ ටෙලි කතාව පමණක් නරඹා ඇත්නම්, “ස්පොයිලර්ස්” ගැනත් සැලකිලිමත් වෙනවා නම්, ග්‍රැෆික් නවකතාව ලහි ලහියේ කියවන්න සූදානම් වෙන එක එතරම් නුවණට හුරු නැහැ.

 සම්ප්‍රදායෙන් ඔබ්බට ගිය ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන – top10.netflix.com 

8. Bullsh*t The Gameshow: Season 1

නමින් දැක්වෙන පරිදි ම “Bullsh*t The Gameshow” යනු ටෙලිකතා මාලාවක් නොවෙ යි. නමුත්, නෙට්ෆ්ලික්ස් ලැයිස්තු ප්‍රවර්ගයට සහ සලකන කාල සීමාවට අදාළ ව වැඩියෙන් ම නැරඹූ නිර්මාණ අතරට එය ඇතුළත් කර තිබෙනවා. මෙය සම්ප්‍රදායෙන් ඔබ්බට ගිය ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනක් ලෙස හඳුන්වන්න පුළුවන්. “Bullsh*t The Gameshow” වැඩසටහනට සහභාගී වන කෙනකුට යොමු වන ප්‍රශ්න සඳහා නිවැරදි පිළිතුර ලබා දීම අනිවාර්ය වන්නේ නැහැ.

 තරගකරුවෙක් ප්‍රශ්නයකට වැරදි පිළිතුරක් දුන් පමණින් තරගයෙන් ඉවත් නොවන අතර, ලබා දුන් පිළිතුර වැරදි වුවත්, තමා දුන් පිළිතුර නිවැරදියැ යි ඔහු හෝ ඇයගේ විරුද්ධවාදීන්ට ඇඟවිය හැකි නම් තරගය තුළ ඉදිරියට යා හැකි යි. මෙහි ත්‍යාග මුදල අමෙරිකානු ඩොලර් මිලියනයක් බව පැවසෙනවා. “Bullsh*t The Gameshow” යනු පහසු ප්‍රශ්නෝත්තර වැඩසටහනක් නොවෙ යි. වැරදි පිළිතුරක් නිවැරදියැ යි හැඟවීම කොතරම් අමාරු කාර්යයක් ද!

නෙට්ෆ්ලික්ස් හරහා නයිජීරියාවෙන් ලෝකයට දායක වන මුල් ම ටෙලි කතාව – top10.netflix.com 

9. Blood Sisters: Limited Series

නෙට්ෆ්ලික්ස් ආයතනය හොලිවුඩයේ පමණක් නොව ලෝකයේ විශාල සිනමා කර්මාන්ත කිහිපයක ස්ථාවර වීමේ උත්සාහයක් ගනිමින් සිටිනවා. ඉන්දීය සිනමාව, කොරියානු සිනමාව ඉන් ප්‍රමුඛ උදාහරණ ලෙස දැක්විය හැකි යි. වාණිජ මට්ටමින් ගත් කල අප්‍රිකාවේ එවැනි සිනමා කර්මාන්තයක් දැකිය හැකි රට වන්නේ නයිජීරියාව යි. “නොලිවුඩ්” ලෙස හඳුන්වන මෙම සිනමා කර්මාන්තය, නෙට්ෆ්ලික්ස් හි අවධානය දිනා ගැනීමට තරම් වර්ධනය වී අවසාන යි. “Blood Sisters” නිර්මාණය කරළියට පැමිණෙන්නේ එහි ප්‍රතිඵලයක් වශයෙන්. මේ නිර්මාණය නෙට්ෆ්ලික්ස් හරහා නයිජීරියාවෙන් ලෝකයට දායක වන මුල් ම ටෙලි කතාව ලෙස හැඳින්වෙනවා.

අපරාධ සහ ත්‍රාසජනක ගණයට වැටෙන “Blood Sisters”, සාරා සහ කෙමී යන  මිතුරියන් දෙදෙනා මුහුණ දෙන සිදුවීම් දාමයක් මත පදනම් වී තිබෙනවා. සාරා විවාහ ගිවිස ගන්නා දිනයේ ඇයගේ සැමියා අබිරහස් ලෙස අතුරුදහන් වන අතර, ඉන්පසු හට ගන්නා අවුල් වියවුල් මැද කෙමී සහ සාරා පලා යන්නන් බවට පත් වෙනවා. නයිජීරියාව තුළ සිදු කළ මේ “නැවුම් නෙට්ෆ්ලික්ස්” උත්සාහය සතුටුදායී මට්ටමකින් සාර්ථක වී තිබෙනවා. දැනට ඇති තත්ත්වයට අනුව රටවල් 11 ක පමණ පළමු ටෙලිකතා දහය අතර “Blood Sisters” ස්ථානයක් වෙන් කර ගෙන අවසන්.

 දරුණු න්‍යෂ්ඨික අනතුරක ඇතුළාන්තය විස්තර කරන Meltdown: Three Mile Island – top10.netflix.com 

10. Meltdown: Three Mile Island

ලැයිස්තුවේ දහවැනි ස්ථානය මෙවර හිමි ව ඇත්තේ වාර්තා වැඩසටහනකට යි. Meltdown: Three Mile Island වාර්තා වැඩසටහනෙන් අමෙරිකා එක්සත් ජනපදය මුහුණ දුන් දරුණු න්‍යෂ්ඨික අනතුරක ඇතුළාන්තය විස්තර කරනවා.

පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ “Three Mile Island” ප්‍රදේශයේ පිහිටි න්‍යෂ්ඨික බලාගාරය තුළ සිදු වූ මේ අනතුර හරහා එක්සත් ජනපදයට සිදු වූ කල් පවතින බලපෑම්, මතභේදාත්මක සිදුවීම් සහ අවට සිටි ප්‍රජාව රැක ගැනීම දැරූ උත්සාහය හැකිතාක් නිරාවරණය කිරීමට ගත් උත්සාහයක් ලෙස Meltdown: Three Mile Island වාර්තා වැඩසටහන හැඳින්විය හැකි යි.

අලුතින් නිකුත් වූ නිර්මාණ සහ ප්‍රේක්ෂක කැමැත්ත මත මැයි 9 සිට මැයි 15 දක්වා වූ සතිය තුළ මේ පෙළගැස්ම වෙනස් විය හැකි යි. එහෙත්, Ozark: Season 4, Bridgerton: Season 2, Anatomy of a Scandal, Heartstopper, Grace and Frankie: Season 7 වැනි නිර්මාණ පළමු දහය තුළ තවදුරටත් රැඳී සිටීමේ හැකියාවක් පවතිනවා.

කවරයේ ඡායාරූපය: මැයි 02 සිට 08 දක්වා ගෝලීය මට්ටමෙන් නෙට්ෆ්ලික්ස් හරහා ජනප්‍රිය වූ ටෙලිකතා දහය වඩාත් විචිත්‍ර ලෙස ඉදිරිපත් කිරීමයි අපේ අරමුණ - dailyhive.com

මූලාශ්‍ර:

www.commonsensemedia.org

top10.netflix.com

imdb.com

You tube.com

Related Articles