Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

විස්සයි විස්ස ලෝක කුසලානයේ අමතක නොවන මතක 10ක්!

8 වන වතාවටත් පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලානය තවත් නොබෝ දිනකින් ඕස්ට්‍රේලියාවේ සත්කාරකත්වය යටතේ ආරම්භ වීමට නියමිත යි. එම ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වීමට පෙර පැවති ලෝක කුසලාන තරගාවලි 7 තුළ සිදුවූ සුවිශේෂී සිදුවීම් 10ක් මෙම ලිපියට ඇතුළත් වනවා.

1. යුව්රාජ්ගේ හයේ හය!

දකුණු අප්‍රිකාවේ දී 2007 වර්ෂයේ පැවති මංගල ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලියේ දී යුව්රාජ් සිං මෙම දස්කම දැක්වීමට සමත් වුණා. සුපිරි අට වටයේ දෙවන තරගයේ දී එංගලන්තයට එරෙහි ව ඔහු මෙම සුපිරි ඉනිම ක්‍රීඩා කළා. පළමුවෙන් පන්දුවට පහර දෙන ඉන්දියාව පන්දුවාර 18ක් අවසන් වෙද්දී කඩුළු 3 කට ලබා ගෙන සිටි ලකුණු සංඛ්‍යාව 171ක්.

යුවරාජ් සිං උක්ත තරඟයේ පන්දුවට පහර දෙමින්
යුව්රාජ් සිං ඒ තරගයේ පන්දුවට පහර දෙමින් – www.espncricinfo.com

මේ මොහොතේදී 19 වන පන්දු වාරය ක්‍රියාත්මක කළ ස්ටුවර්ට් බ්‍රෝඩ්ට එරෙහි ව ක්‍රියාත්මක වන යුව්රාජ් සිං හයේ පහර 6 කින් එම පන්දුවාරය වර්ණවත් කිරීමට සමත් වුණා. එම තරගයේ දී යුව්රාජ් පන්දු 12 කින් තම අර්ධ ශතකය වාර්තා කළ අතර ම එය අදටත් විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයක වාර්තා වුණ වේගවත් ම අර්ධ ශතකය යන වාර්තාව ද උසුලනවා.

මෙම තරගයෙන් ලකුණු 18 ක ජයග්‍රහණයක් ලබා ගනිමින් අවසන් පූර්ව වටයේ තමන්ගේ ස්ථානය තහවුරු කර ගැනීමට ඉන්දියාව සමත් වෙද්දී යුව්රාජ් සිං තරගයේ වීරයා බවට ද පත් වුණා.

2. චාමර කපුගෙදරගේ අනපේක්ෂිත ප්‍රහාරය

බටහිර ඉන්දීය කොදෙව් දූපත් හි 2010 වසරේ දී පැවැති විස්සයි විස්ස ලෝක කුසලානයේ සුපිරි 8 දෙනාගේ වටයේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව වඩාත් තීරණාත්මක තරගයකට සහභාගී වුණා. ලකුණු 164 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා පිතිකරුවන් යම් යම් අවස්ථාවල දී සාර්ථක වුවත් තරගය දෙපිලට ම විවෘත වෙමින් තිබුණා.

ජයග්‍රහණය සමරන චාමර කපුගෙදර
ජයග්‍රහණය සමරන චාමර කපුගෙදර – www.espncricinfo.com

චාමර කපුගෙදර සහ ඇන්ජලෝ මැතිව්ස් යන දෙදෙනා තරගයේ අවසන් භාගයේ දී ජයග්‍රහණය වෙනුවෙන් සටන් කළා. කෙසේ වෙතත් තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකාවට අවසන් පන්දුවාරයේ දී හිමි වූ ඉලක්කය ලකුණු 13ක්. මැතිව්ස් එල්ල කළ 6 පහරක් සමඟ තරගයේ වාසිය ශ්‍රී ලංකාව දෙසට හැරුණ ද පන්දුවාරයේ 5 වන පන්දුවේ දී ඇන්ජලෝ මැතිව්ස් දැවී ගියා.

 ජයග්‍රහණය සඳහා අවසන් පන්දුවට ලකුණු 3ක් අවශ්‍ය වුණා. අශිෂ් නෙහ්රා යොමු කළ අවසන් පන්දුවට දැවැන්ත 6 පහරක් එල්ල කරමින් චාමර කපුගෙදර ශ්‍රී ලංකා ජයග්‍රහණය තහවුරු කළා. එම ජයග්‍රහණයත් සමඟින් ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටය මා වන තම ස්ථානය තහවුරු කර ගත්තා. චාමර කපුගෙදර පන්දු 16 ක දී හතරේ පහර 2ක් සහ හයේ පහර 3ක් ද සමඟ නොදැවී ලකුණු 37ක් ලබා ගෙන ජයග්‍රහණයේ වැදගත් කොටස්කරුවෙක් බවට පත් වුණා.

3. නොතිබූ ජයක් ගෙනා මයික් හසී

2010 විස්සයි විස්ස ලෝක කුසලානයේ ම දෙවන අවසන් පූර්ව තරගයට ඕස්ට්‍රේලියාව සහ පාකිස්තානය එක් ව සිටියා. ලකුණු 192 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යමින් සිටි ඕස්ට්‍රේලියා ඉනිම වරෙක සටහන් වුණේ ලකුණු 144කට කඩුලු 7ක් වශයෙන්. අවසන් පන්දු 18 දී ජයග්‍රහණය වෙනුවෙන් ඔවුන්ට ලකුණු 48 ක් අවශ්‍ය වී තිබුණා. 

පාකිස්තාන බලාපොරොත්තු අවසන් පන්දුවාරයේ බිඳ හෙලීමට හසී සමත් වුණා
පාකිස්තාන බලාපොරොත්තු අවසන් පන්දුවාරයේ දී බිඳ හෙළීමට හසී සමත් වුණා – www.espncricinfo.com

මේ මොහොතේදී මයික් හසී අමතක නොවන ඉනිමක් ක්‍රීඩා කරමින් ඕස්ට්‍රේලියාව ජයග්‍රහණය වෙතට රැගෙන යාමට උත්සාහ කළා. කෙසේ වෙතත්  ජයග්‍රහණය සඳහා ඕස්ට්‍රේලියාවට අවසන් පන්දු වාරයේ දී තවත් ලකුණු 18ක් අවශ්‍ය වී තිබුණා. මිචෙල් ජොන්සන් අවසන් පන්දුවාරයේ පළමු පන්දුවට එක් ලකුණක් ලබා ගැනීමත් සමඟ ම මයික් හසීට තවත් පන්දු 5ක දී ලකුණු 17ක් ලබා ගැනීමේ අභියෝගය හිමි වුණා.

සයීඩ් අජ්මාල් යැවූ පන්දුවාරයේ මීළඟ පන්දු 4ට පිළිවෙළින් හයේ පහර 2ක් එක් හතරේ පහරක් සහ තවත් හයේ පහරක් එල්ල කරමින් පන්දුවාර 19.5 ක් අවසානයේ දී ඕස්ට්‍රේලියා ජයග්‍රහණය මයික් හසී සටහන් කළා. ඔහු පන්දු 24 කට පමණක් මුහුණ දී නොදැවී ලකුණු 60ක් ලබා ගත්තා. එම ජයග්‍රහණය ඕස්ට්‍රේලියාවට තම මංගල විස්සයි විස්ස ලෝක කුසලාන අවසන් මහා තරග නියෝජන අවස්ථාව ද ලබා දීමට සමත් වුණා.

4. අවසන් මහා තරග දෙකක වීරයා වූ සැමුවෙල්ස්

ක්‍රිකට් ඉතිහාසයේ ම ලෝක කුසලාන අවසන් මහා තරග දෙකක වීරයා වූ ක්‍රීඩකයන් සිටින්නේ එක් අයෙකි. ශ්‍රී ලංකාවේ දී 2012 වර්ෂයේ පැවති ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයට සත්කාරකයන් සමඟින් බටහිර ඉන්දීය කොදෙව්වන් සුදුසුකම් ලබා ගත්තා. එම තරගයේ දී ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ කොදෙව් මුල් පෙළ සම්පූර්ණයෙන් ම අසරණ වී ගියා.

කොදෙව්වන්ට ලෝක කුසලාන දෙකක් දිනා දුන් මාලන් සැමුවෙල්ස් 2012 අවසන් තරඟය ක්‍රීඩා කරමින්
කොදෙව්වන්ට ලෝක කුසලාන දෙකක් දිනා දුන් මාලන් සැමුවෙල්ස් 2012 අවසන් තරගය ක්‍රීඩා කරමින් – www.espncricinfo.com

මේ මොහොතේ දී අන්තයක් ආරක්ෂා කර ගත් මාලන් සැමුවෙල්ස් පන්දු 56ක දී හතරේ පහර 3 ක් සහ හයේ පහර 6 ක් ද සමග ලකුණු 78 ක් රැස් කළා. මේ ඉනිම නිසා කොදෙව්වන් පන්දුවාර 20 තුළ ලකුණු 137 ක් රැස් කරමින් ලකුණු 36 ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් වුණා. ඉන් පසුව 2016 වර්ෂයේ දී කොදෙව්වන් සහ එංගලන්තය අවසන් මහා තරගයට එක් වුණා.

එම තරගයේ දී ලකුණු 156 ක ඉලක්කයක් හඹා ගිය කොදෙව්වන් වෙනුවෙන් අවශ්‍ය ම මොහොතේ නැවතත් ක්‍රියාත්මක වන සැමුවෙල්ස් පන්දු 66 ක දී හතරේ පහර 9ක් සහ හයේ පහර 2ක් ද සමඟින් නොදැවී ලකුණු 85ක් රැස් කළා. මෙම ඉනිම ද්විත්වය නිසා මාලන් සැමුවෙල්ස් 2012 සහ 2016 විස්සයි විස්ස ලෝක කුසලාන අවසන් මහා තරග දෙකේ ම තරගයේ වීරයා බවට පත් වුණා.

5. රංගන හේරත් ගේ විශ්වකර්ම පන්දු යැවීම

බංග්ලාදේශයේ දී 2014 වර්ෂයේ පැවති විස්සයි විස්ස ලෝක කුසලානයේ මූලික වටයේ ශ්‍රී ලංකා නවසීලන්ත තරගය අතිශය තීරණාත්මක වුණා. අවසන් පූර්ව වටයට පිවිසීමට නම් මෙම තරගය ජයග්‍රහණය කණ්ඩායම ද්විත්වයට ම අත්‍යාවශ්‍ය වීම හේතුවෙන්. කෙසේ වෙතත් තරගයේ දී පන්දුවට මුලින් ම පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 119 ක්ට ලබා ඉතා අසීරු අඩියකට පත් ව සිටියා.

නවසීලන්ත පිතිකරුවන් 5 දෙනෙක් රංගන හේරත් හමුවේ දැවී ගියා
නවසීලන්ත පිතිකරුවන් 5 දෙනෙක් රංගන හේරත්ගේ පන්දු හමුවේ දැවී ගියා- www.espncricinfo.com

 තරගයේ පන්දු යැවීමට පැමිණි රංගන හේරත් නවසීලන්ත පිතිකරුවන්ට කිසිඳු බුරුලක් ලබා නොදෙමින් සුපිරි පන්දු යැවීමක් සටහන් කළා. ඔහු පන්දුවාර 3.3 ක් යවමින් නිලකුණු පන්දුවාර 2ක් ද සමඟ ලකුණු 3 කට කඩුලු 5ක් බිඳ හෙළුවා. එම පන්දු යැවීම නිසා නවසීලන්ත ඉනිම ලකුණු 60 කට සීමා වූයේ ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටයේ ස්ථානය තහවුරු කරමින්.

6. ජය ගෙන ආ බ්‍රැත්වෙයිට්

2016 වර්ෂයේ දී පැවති විස්සයි විස්ස ලෝක කුසලාන අවසන් මහා තරගයට බටහිර ඉන්දීය කොදෙව් දූපත් සහ එංගලන්තය සුදුසුකම් ලබා ගත්තා. මෙම තරගයේ ලකුණු 156 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය කොදෙව්වන් පන්දුවාර 19ක් අවසානයේ දී කඩුලු 6ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 137ක්. ඔවුන්ට අවසන් පන්දු වාරයේ දී ජයග්‍රහණයට ලකුණු 19ක් අවශ්‍ය වුණා.

අවසන් පන්දුවාරයේ හයේ පහර 4ක් එල්ල කළ බ්‍රැත්වෙයිට් ජයග්‍රහණය සැමරූ අන්දම
අවසන් පන්දුවාරයේ දී හයේ පහර 4ක් එල්ල කළ බ්‍රැත්වෙයිට් ජයග්‍රහණය සැමරූ අන්දම  – www.espncricinfo.com

මේ මොහොතේ දී ක්‍රියාත්මක වූ කාලෝස් බ්‍රැත්වෙයිට් අවසන් පන්දුවාරය යැවූ බෙන් ස්ටෝක්ස්ට එරෙහි ව පළමු පන්දු හතරට ම හයේ පහර 4ක් එල්ල කරමින් බටහිර ඉන්දීය කොදෙව් දූපත් ජයග්‍රහණය තහවුරු කළා. එය අදටත් ක්‍රිකට් පිටියේ ඉතා ම ජනප්‍රිය සිදුවීමක්. බ්‍රැත්වෙයිට් මෙම තරගයේ දී පන්දු 10 කින් නොදැවී ලකුණු 31 ක් වාර්තා කිරීමට ද සමත් වුණා.

7. වාසනාවන්ත ලෙන්ඩල් සිමන්ස්

2016 වසරේ දී ඉන්දියාවේ පැවති විස්සයි විස්ස ලෝක කුසලානයේ දෙවන අවසන් පූර්ව වටයට සත්කාර ඉන්දියාව සමඟින් බටහිර ඉන්දීය කොදෙව් දූපත් ක්‍රීඩා කළා. සත්කාර වාසිය නිසා මෙම තරගය ඉන්දියාව ජයග්‍රහණය කරනු ඇතැයි තරගයට පෙර සිට ම බොහෝ මත පළ වුණා. එම තරගයේ දෙවැනියට පන්දුවට පහර දෙන කොදෙව්වන්ට හිමි වූ ඉලක්කය දැවැන්ත ලකුණු 193ක්.

එම ඉලක්කය හඹා යෑමේ දී කොදෙව් මුල් කඩුලු 2 ලකුණු 19 ක් තුළ බිඳ වැටුණා. මේ මොහොතේ දී ක්‍රියාත්මක වන ලෙන්ඩල් සිමන්ස්, විස්සයි විස්ස ලෝක කුසලානයක වාර්තා වුණු තවත් එක් සුපිරි ඉනිමක් සටහන් කළා. මෙම ඉනිමට ඉන්දීය කණ්ඩායමෙන් ලැබුණු බෝනස් අවස්ථා ගැන ද අනිවාර්යයෙන් ම සඳහන්  කළ යුතු යි.

ඉන්දියාවට එරෙහි තරඟයේ සිමන්ස් ක්‍රීඩා කරමින්
ඉන්දියාවට එරෙහි තරගයේ සිමන්ස් ක්‍රීඩා කරමින් – www.espncricinfo.com

එහිදී සිමන්ස් ලකුණු 18 ක් ලබා සිටිය දී සහ 50 ක් ලබා සිටිය දී උඩපන්දු දෙකක් ලබා දුන් අතර ම එම පන්දු දෙක ම නිපන්දු වීම නිසා ඔහු දැවී ගියේ නෑ. ඉන් අනතුරුව ලකුණු 68 ක් ලබා සිටිය දී සිමන්ස් ගේ උඩ පන්දුවක් රැක ගත් රවීන්ද්‍ර ජඩේජා හතරේ සීමාව ස්පර්ශ කිරීම නිසා ඔහු නැවතත් නොදැවුණු ක්‍රීඩකයෙක් බවට පත් වුණා. අවසානයේදී පන්දු 51 කින් නොදැවී ලකුණු 82 ක් ලබා ගත් ලෙන්ඩල් සිමන්ස් තරගයේ වීරයා ද වුණා. ලෙන්ඩල් සිමන්ස්ගේ මෙම ඉනිම දක්ෂතාව මෙන් ම වාසනාව ද කැටි වුණු ඉනිමක් බව පැවසීම වරදක් නොවෙ යි. 

8. ඉන්දීය ගෞරවය රැක ගත් කෝලි

ඉන්දියාවේ දී 2016 වසරේ පැවති විස්සයි විස්ස ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට පිවිසීමට නම් ඉන්දියාවට ඕස්ට්‍රේලියාව හා වූ තරගය ජයග්‍රහණය කිරීම අත්‍යවශ්‍ය වුණා. සත්කාර වාසිය නිසා අවසන් පූර්ව වටය නියෝජනය කිරීමේ අතිරේක පීඩනයක් ඉන්දියානුවන් පිට පැට වී තිබුණා. ජයග්‍රහණය සඳහා ලකුණු 161 ක ඉලක්කයක් හඹා ගිය ඉන්දීය පිතිකරුවන්ට සාර්ථක වීම ලෙහෙසි වූයේ නෑ.

කෝලි ඕස්ට්‍රේලියා තරඟය ජයග්‍රහණය කිරීමෙන් පසුව
කෝලි ඕස්ට්‍රේලියා තරඟය ජයග්‍රහණය කිරීමෙන් පසු – www.espncricinfo.com

 සමස්ත ඉන්දියාවේ ම බර කරට ගත් විරාට් කෝලි පන්දු 51 කදී හතරේ පහර 9ක් සහ හයේ පහර 2ක් ද සමගින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 82ක්. කෝලි හැරෙන්නට වෙනත් කිසිදු පිතිකරුවෙක් ලකුණු 25 සීමාවට හෝ ළඟා වූයේ නෑ. කෙසේ වෙතත් කෝලිගේ සුපිරි ඉනිම නිසා තරගය කඩුලු 6 කින් ජයග්‍රහණය කරමින් අවසන් පූර්ව වටයට පිවිසීමට ඉන්දියාවට හැකියාව ලැබුණා.

9. සිම්බාබ්වේ ලැබූ අනපේක්ෂිත ජයග්‍රහණය

2007 වර්ෂයේ පැවති මංගල විස්සයි විස්ස ලෝක කුසලානය ක්‍රීඩා කිරීමට පැමිණි ඕස්ට්‍රේලියාව ලෝක ශූරයන් වීමට වැඩි ම ඉඩකඩක් තිබූ කණ්ඩායම් අතරින් එකක් වුණා. 2007 ක්‍රිකට් ලෝක ශූරයන් ද වූ ඕස්ට්‍රේලියාව තම පළමු තරගයේ දී සිම්බාබ්වේ පරාජය කරමින් පහසු ජයක් ලබා ගනු ඇතැයි බොහෝ දෙනෙක් බලාපොරොත්තු වුණා. පළමුවෙන් පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියාව ලබා ගත්තේ ලකුණු 138 ක් පමණ යි.

සිම්බාබ්වේ ජය සමරමින්
සිම්බාබ්වේ ජය සමරමින් – www.espncricinfo.com

සිම්බාබ්වේ වෙනුවෙන් ආරම්භක පිතිකරු වූ බ්‍රෙන්ඩන් ටේලර් නොදැවී ලබා ගත් විශිෂ්ට ලකුණු 60, ඉනිම ජයග්‍රහණය සඳහා ප්‍රමාණවත් වුණා. ඔවුන් පන්දුවාර 19.5 ක් අවසානයේදී අදාළ ඉලක්කය වෙතට ළඟා වූයේ විස්සයි විස්ස ලෝක කුසලාන ඉතිහාසයේ ඕස්ට්‍රේලියා කණ්ඩායමක් ක්‍රීඩා කළ පළමු තරගය ම පරාජයකින් ආරම්භ කරමින්. මෙය විස්සයි විස්ස ලෝක කුසලාන ඉතිහාසයේ අඩු තක්සේරුවක් සහිත ව පැමිණි කණ්ඩායමක් පෙන්වූ හොඳ ම දස්කම්වලින් එකක් බවට ද හැඳින්විය හැකි යි.

10. මැතිව් වේඩ් අවසන් තරගයට මග පෙන්වයි

අවසන් වතාවට ඩුබායි කේන්ද්‍ර කරගනිමින් 2021 වසරේ පැවති විස්සයි විස්ස ලෝක කුසලානයේ දෙවන අවසන් පූර්ව තරගයට ඕස්ට්‍රේලියාව සහ පාකිස්තානය ක්‍රීඩා කළා. එම තරගයට පැමිණෙනවිට පාකිස්තානය තරගාවලියේ ඉතිරි ව සිටි එක ම අපරාජිත කණ්ඩායම වී සිටියා. තරගයේ මුලින් ම පන්දුවට පහර දුන් පාකිස්තානය ලබා ගත් ලකුණු සංඛ්‍යාව 176ක්.

පාකිස්තාන බලාපොරොත්තු බිඳ හෙලූ වේඩ්
පාකිස්තාන බලාපොරොත්තු බිඳ හෙළූ වේඩ් – www.espncicinfo.com

ඕස්ට්‍රේලියාවට තරගය ජයග්‍රහණය කිරීමට අවසන් පන්දු 10 දී ලකුණු 20ක් අවශ්‍ය වුණා. මේ මොහොතේ දී මැතිව් වේඩ් ලබා දුන් උඩපන්දුවක් රැක ගැනීමට හසන් අලී සමත් වුයේ නෑ. පන්දු 9 කට ලකුණු 18ක් අවශ්‍ය ව තිබියදී ශහීන් අෆ්රිඩි යැවූ මීළඟ පන්දු 3ට වේඩ් හයේ පහර 3ක් එල්ල කළේ සමස්ත පාකිස්තානයේ ම හදවත් නතර කරමින්. මැතිව් වේඩ් පන්දු 17 කින් නොදැවී ලකුණු 41 ක් වාර්තා කළේ එම තරගයේ වීරයා සම්මානය ද ලබා ගනිමින් වීම විශේෂත්වයක්.

කවරයේ ඡායාරූපය - නවසීලන්තයට එරෙහි තරගයේ කඩුල්ලක් දවා ගැනීම සමරන රංගන හේරත්  - www.espncricinfo.com
 මූලාශ්‍ර :

www.espncricinfo.com

www.cricbuzz.com

www.icccricket.com

Related Articles