Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

එකිනෙකට වෙනස් ඉන්දීය තේ වර්ග 8ක්

මීට වසර ගණනාවකට පෙර මිහිකත මානවයාට දායාද කළ පැරණිත ම පානයක් වන්නේ තේ යි. වියළි තේ කොළ උණුසුම් ජලයේ පොඟවා තැම්බෙන්නට හැරීමෙන් පසු තේ පානය කිරීමට පුළුවන්. තේ පරිභෝජනය ඉහළ ම ආසියාතික රට ඉන්දියාව වන අතර එකිනෙකට වෙනස් තේ ප්‍රභේද 3000 කට වඩා වැඩි ප්‍රමාණයක් එහි වගා කරනවා. ලොව දෙවැනියට විශාලත ම තේ අපනයනකරුවා වන්නේ ද ඉන්දියාව යි.

බොහෝ ඉන්දියානුවන් සෑම සවස් වරුවක ම බිස්කට් හෝ වෙනත් සරල කෑමක් සමඟ උණුසුම් තේ කෝප්පයක රස විඳීමට ආසා කරනවා. තේ, සරල පානයක් ලෙස හැඳින්වුවත් ඉන්දියාවේ පවතින සංස්කෘතික ලක්ෂණ අනුව මේවායේ රසය සහ පැහැය එකිනෙකට වෙනස් වනවා. එකිනෙකට වෙනස් වන ඉන්දියානු තේ වර්ග කිහිපයක තොරතුරු මේ ලිපියෙන් විමසා බලමු.

 මසාලා තේ – Masala Chai – www.deliciousmagazine.co.uk

1. මසාලා තේ – Masala Chai 

යටත් විජිත සමයේ ඉන්දියාවේ වයඹදිග ප්‍රදේශවල බ්‍රිතාන්‍යයන්  තේ වගා කළා. අද වන විට සෑම ඉන්දියානු නිවසක් ම උණුසුම් තේ කෝප්පයක රස විඳීමට උනන්දු වීම මෙම වෑයමෙහි එක ප්‍රතිඵලයක්. ඉන්දියාවේ සංස්කෘතිය ප්‍රාදේශීය ව වෙනස් වීම හේතුවෙන් බිහි වූ ඉන්දියානු තේ ප්‍රභේදයක් තමයි මසාලා තේ (මසාලා චායි).

උණුසුම් ජලයේ තම්බා ගත් කළු තේ (Black Tea)වලට කිරි එක් කර එයට ම ඉඟුරු,කරාබුනැටි,එනසාල් සහ කුරුඳු වැනි කුළුබඩු පදමට මිශ්‍ර කර අවසානයේ සීනි ද සමඟින් මෙම මසාලා තේ පානය කළ හැකි යි. සෑම ඉන්දියානු පවුලක් සතුව ම එකිනෙකට වෙනස් මසාල තේ වට්ටෝරුවක් පවතින බව ඔවුන් සඳහන් කරනවා.

ඇසෑම් තේ – Assam Tea – timesofindia.indiatimes.com

2. ඇසෑම් තේ – Assam Tea

ඇසෑම් තේ, ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයට ම ආවේණික වන කළු තේ (Black Tea) වර්ගයක්. මෙම තේ වර්ගයට ඉන්දියාව පුරා මෙන් ම ලොව පුරා ද මහත් ඉල්ලුමක් පවතිනවා. 

ඇසෑම් තේ මානසික අවධානය වැඩි කිරීමට උපකාරී වන අතර ම පෙනහළු සහ ඩිම්බ කෝෂ ආශ්‍රිතව හට ගන්නා පිළිකා වැළැක්වීමට ද උපකාරී වන පානයක් ලෙස ප්‍රකට යි.

හරිත තේ – Green Tea – wallpaperaccess.com

3. හරිත තේ – Green Tea 

හරිත තේ (Green Tea) පානය, ශරීරය සෞඛ්‍ය සම්පන්න ව සහ ප්‍රබෝධමත් ව තබා ගැනීමට බෙහෙවින් උපකාරී වනවා. සමහර හරිත තේ, මල් හෝ පලතුරු රසය මුහු කරමින්  වෙළෙඳපොළට නිකුත් කරනවා. 

හරිත තේ පිරිසුදු රසයකින් සමන්විත වන අතර මානසික අවධානය ක්ෂණිකව ඉහළ නැංවීමටත් බෙහෙවින් උපකාරී වනවා. මිහිපිට තිබෙන සෞඛ්‍ය සම්පන්න ම පානය ලෙස හඳුන්වන හරිත තේ, ශරීරයට හිතකර බලපෑම් ඇති කරන ප්‍රතිඔක්සිකාරක සහ පෝෂ්‍ය පදාර්ථ කිහිපයකින් ම සමන්විත යි.

බටර් තේ – Butter Tea – kalonasupernatural.com

4. බටර් තේ – Butter Tea 

බටර් තේ, ගුර් ගුර් චායි ලෙසත් හඳුන්වනවා. ඉන්දියාවේ ලඩාක් ප්‍රදේශයේ සහ සීකිම් ප්‍රාන්තයේ සාම්ප්‍රදායික ව වගා කරන මෙම තේ වර්ගයට යැක් කිරි (යැක් ගව විශේෂයෙන් ලබා ගන්නා කිරි) බටර්, ජලය සහ ලුණු එක් කර පානය කරනවා. 

හිමාලයානු nomad ජනයා (ස්ථාවර නිවසක් නොමැති ව තැනින් තැන ගමන් කරන ජනතාව) දිනකට බටර් තේ,කෝප්ප 30 කට වඩා පානය කිරීමට ද පෙලැඹෙනවා. මෙම බටර් තේ සැකසීමට සාමාන්‍ය ගව කිරිවලින් ලබා ගන්නා බටර් ද යොදා ගන්නා අතර ම, ප්‍රමාණයෙන් කුඩා කෝප්ප බටර් තේ පානය කිරීමට යොදා ගැනෙනවා.

කාශ්මීර කහ්වා – Kashmiri Kahwa www.viniscookbook.com

5. කාශ්මීර කහ්වා – Kashmiri Kahwa 

ඉන්දියාවේ කාශ්මීර නිම්නය නිජබිම කර ගත් කාශ්මීර කහ්වා පොහොසත් රසයන්ගෙන් යුක්ත යි. අනෙකුත් කාශ්මීර බීමවලට සාපේක්ෂ ව, මෙය ද සැකසීමට පහසු පානයක් ලෙස කාශ්මීර වැසියන් සලකනවා. 

කාශ්මීර කහ්වා සැකසීමට උණු ජලයට මුලින් ම කුරුඳු, කුංකුම, එනසාල් සහ වියළි රෝස පෙති එකතු කිරීම කළ යුතු යි. මෙම පානය ශක්තිමත් වීමට අවශ්‍ය පරිදි හරිත තේ කොළ පසුව එක් කළ යුතු යි. අවසානයේ දී මෙයට ම මී පැණි සහ ආමන්ඩ් එකතු කිරීමෙන් හරිත තේ රසය තවත් ඉහළ නැංවීමට පුළුවන්.  කාශ්මීර කහ්වා හරිත තේ, වැහිබර හෝ ශීත දිනක රස විඳීමට කදිම පානයක්.

නූන් චායි – Noon Chai – www.indiamart.com

6. නූන් චායි – Noon Chai 

නූන් චායි (Noon Chai), නැතිනම් ෂියර් චායි (Sheer Chai) කාශ්මීරයේ තවත් ජනප්‍රිය තේ වර්ගයක්. නූන් චායි තේ බොහෝ ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ මේවායේ තිබෙන පැහැදිලි රෝස පැහැය නිසා යි. 

එනසාල්, බේකිං සෝඩා සහ තේ කොළ උණු ජලයේ තම්බා සාදා ගන්නා නූන් චායි, සාමාන්‍යයෙන් කිරි සහ ලුණු සමඟ ද පානය කරනවා. ඇතැම් ඉන්දියානුවන් ආමන්ඩ්, පිස්ටා සහ කුරුඳු  සමඟ ද නූන් චායි පානය කිරීමට පෙලැඹෙනවා. ඉන්දියානුවන්ගේ ප්‍රියත ම තේ වර්ගවලින් එකක් ලෙසත් නූන් චායි තේ සලකනවා.

නිල්ගිරි තේ  – Nilgiri Tea – senchateabar.com 

7. නිල්ගිරි තේ  – Nilgiri Tea 

නිල් කඳුකර තේ නැතහොත් නිල්ගිරි තේවල නිජබිම ඉන්දියාවේ බටහිර ඝාට්ස් හි දකුණු ප්‍රදේශය යි. නිල්ගිරි තේවල සුගන්ධය, රසය සහ අඳුරු පැහැ ස්වභාවය නිසා එය ලොව පුරා වැඩි ම ඉල්ලුමක් පවත්නා තේ වර්ගයක් ද වනවා. 

නීලගිරි තේ, අයිස් තේ (Iced Tea) ආකාරයෙන් පානය කළ විට විශිෂ්ට රසයකින් යුක්ත යි. ඊට අමතර ව, නීලගිරි තේ මුඛ සෞඛ්‍යය වැඩි දියුණු කිරීමට, ශරීරයේ බර අඩු කර ගැනීමට සහ දියවැඩියාවට එරෙහි ව සටන් කිරීමට ද උපකාරී වනවා.

ඩාර්ජිලිං තේ – Darjeeling Tea – teafloor.com

8. ඩාර්ජිලිං තේ – Darjeeling Tea 

ඩාර්ජිලිං තේ පානයට සියලු ඉන්දියානුවන් මෙන් ම ලෝකයේ වෙනත් ප්‍රදේශවල මිනිසුන් ද හොඳින් පුරුදු වී සිටිනවා. වෙළඳපොළේ ඩාර්ජිලිං තේ සුදු, කළු, කොළ සහ ඕලොන්ග් වැනි බොහෝ ප්‍රභේදවලින් සමන්විත යි.

සාමාන්‍යයෙන්, ඩාර්ජිලිං තේ පැහැදිලි සුවඳින් යුක්ත වන අතර ඩාර්ජිලිං තේ පත්‍රය සිහින් හැඩයකින් යුක්ත යි.  මනස සන්සුන් කිරීමට, ආමාශයික වණ සහ තරබාරුකම වැලැක්වීමට ද ඩාර්ජිලිං තේ උපකාරී වනවා.

කවරයේ ඡායාරූපය - www.pexels.com
මූලාශ්‍ර :  www.eastmojo.com 

Related Articles