Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පේශි චලනයන් නැරඹිය හැකි ඉලෙක්ට්‍රොනික් ටැටූ

සමාජයේ විවිධාකාර මතවාදීන්ගේ කතන්දර මාතෘකා අතරේ මේ බටහිර සංස්කෘතික අංගයක් වන පච්ච (ටැටූ) කෙටීම අඩංගු වන බව අපට නිතර දකින්නට ලැබෙනවා. ඒ කොහොමවුනත් මීයො අල්ලන පූසා කිරිත් බොනවා කියන්න වගේ කඩුවක එක පැත්තකින් කපන්නත්, අනිත් පැත්තෙන් බටර් ගාන්නත් බැරි කමක් නැහැනෙ? මේ පුවතත් ඒ වගේ එකක්. විලාසිතාවට ගහන ටැටූ දැන් විද්‍යාත්මක කටයුතු, සෞඛ්‍යමය උන්නතිය සහ පුද්ගල ආරක්‍ෂණ කටයුතුවල සිට වෙළඳ දැන්වීම් කලාවේ උන්නතිය දක්වාම ගෙනයාහැකි අගනා සොයාගැනීමක් ඊශ්‍රාලයේ ටෙල් ඇවීව් විශ්වවිද්‍යාලය (TAU) විසින් ලොවට හඳුන්වාදී තිබෙනවා.

(english.tau.ac)

(english.tau.ac)

ඉලෙක්ට්‍රොමයොග්‍රැෆි නම් සම හරහා ඉලෙක්ට්‍රොනික සංඥා ලබාගන්නා කටුක ක්‍රමවේදය පිළිබඳව ඔබ ඇතැම්විට අසා ඇති. TAU හි, එනම් ඉහත විශ්වවිද්‍යාලයේ නැනෝවිද්‍යා සහ නැනෝතාක්‍ෂණ මධ්‍යස්ථානය විසින් හඳුන්වාදෙන මේ නවතම චර්ම ඉලෙක්ට්‍රෝඩ ඒ ක්‍රියාවලිය විද්‍යාගාරයෙන් බැහැරට ගෙන එමින් පැළඳීමට පහසු, පැළඳගෙන සිටීමට පහසු සහ දිනපතා භාවිතයට ද හැකියාව ලබා දෙමින් රෝගීන්ට නිවසේ සිටම වෛද්‍ය කටයුතු කරගැනීමට අවස්ථාව සලසනු ලබනවා.

TAU හි නැනෝවිද්‍යා සහ නැනෝතාක්‍ෂණ මධ්‍යස්ථාන ප්‍රධානී මහාචාර්ය යේල් හනීන් විසින් නායකත්වය දරන ලද මෙය යුරෝපීය ව්‍යාපෘතියකට අනුබද්ධව ඊශ්‍රාලයේ ආර්ථික කටයුතු අමාත්‍යාංශය විසින් දියත් කරන ලද්දක්. “මේ ඉලෙක්ට්‍රෝඩවල ප්‍රධාන අරමුණ වන්නේ හැඟීම් ප්‍රකාශන අවබෝධ කර ගැනීමයි. එමගින් අපට මානව චිත්ත වේගයන් අධ්‍යයනය කිරීමට හැකි වෙනවා වගේම එම දත්ත භාවිතයෙන් අනෙකුත් කටයුතු හා භාවිතයන් රැසක් කරා යොමු වන්නට අවස්ථාව ලැබෙනවා.” යි මහාචාර්ය යේල් පවසනවා. මාංශපේශී ක්‍රියාකරන ආකාරය අනුව ලැබෙන ඉලෙක්ට්‍රොනික උත්තේජයන් මගින් හැඟීම් සහ භාවයන් හඳුනාගැනෙනවා.

දත්ත ගබඩා කරගැනීමේ සහ නව තොරතුරු ජනනය කිරීම මඟින් මානව ප්‍රජාවට වඩාත් සමීප වෙමින් සිටින මෙවන් කාලයක මේ නිපැයුම හරහා පුළුල් පිරිසකට සෞඛ්‍ය ක්‍ෂේත්‍රයට සීමා නොවී ඊට වඩා පෘථුල පරාසයක ජනතාව වෙත ළඟාවීමේ හැකියාව ලැබෙනවා. එමඟින් මානව හැඟීම් ප්‍රකාශන හඳුනාගෙන ඊට අනුව ක්‍රියාත්මක වන ස්මාර්ට් දුරකථන යෙදුමක් වුවත් නිපදවීමේ අවස්ථාව ලැබෙනවා. ඒ වගේ ම විවිධ නිශ්පාදන ආයතනවල අවශ්‍යතාවක් තමයි තමන්ගේ නිශ්පාදනය පිළිබඳ පාරිභෝගිකයන් දක්වන ප්‍රතිචාර කුමක්දැයි හඳුනාගැනීම. ඉතින් කොළයක පුරවන සමීක්‍ෂණ වාර්තාවලට වඩා ඉහළ නිරවද්‍යතාවක් ඇති වාර්තාවක් ලබාගැනීමටත් මේ ක්‍රමවේදය හරහා අවස්ථාව ලැබෙනවා.

සාම්ප්‍රදායික ඉලෙක්ට්‍රෝඩවලට වඩා බෙහෙවින් තුනී මේ නව කාබන් ඉලෙක්ට්‍රෝඩ; පොලිමර් ආලේපයකින් හා සන්නායකතාව ඉහළ යවන ජෙල් වර්ගයකින් සමෙහි අලවාගත හැකියි. ඒ නිසා මෙය තාවකාලික පච්චයක් ලෙස හැඳින්වීම වඩාත් උචිතයි. දැනට කරන ලද අත්හදා බැලීම් අනුව මින් ස්නායු රෝග ඇති රෝගීන්ගේ පේශි ක්‍රියාකාරීත්වය අධ්‍යයනය කොට, ඒ ලබාගත් දත්ත හරහා අනිකුත් එම රෝගී අවස්ථාවලට ප්‍රවේශී මට්ටමේ සිටින අයට රෝග උත්සන්න වීමට ප්‍රථම එම තත්වයන් හඳුනාගැනීමට භාවිතා කළ හැකි බවයි. එසේ ම මොළයේ ආබාධ සහිත රෝගීන්ට හා හදිසි අනතුරුවලින් පීඩාවට පත්ව මොළය හානි පැමිණියවුන්ගේ පේශි ක්‍රියාකාරීත්වයන් උත්තේජනය කරවීමට ද මේ ටැටූ භාවිතා කර තිබෙනවා. කුඩා දරුවන් ද තාවකාලික පච්චවලට කැමති නිසා ඔවුන්ගේ සෞඛ්‍යමය තත්ව වලදීත් පහසුවෙන්, ඔවුන්ගේ කැමැත්ත ද ඇතිව, කිසිදු රිදවීමකින් ද තොරව භාවිතා කළ හැකි නිසා මෙහි භාවිත වයස් පරාසයන් ද ඉහළ යනවා.

(english.tau.ac)

(english.tau.ac)

මේ ඉලෙක්ට්‍රෝඩ වෘත්තීමය මුද්‍රණ ශිල්ප යටතේ නිපැයීමට හැකිවන සේ සැලසුම් කොට ඇති නිසා සරල වගේ ම මහා පරිමාණ නිශ්පාදනය සඳහා ද උචිත යි. මෙහි සමෙහි ඇලවීම සඳහා භාවිතා කරන ජෙල් මාධ්‍යය ද විද්‍යුත් සන්නායකතාව ඉහළ තත්වයකට ගෙන එමින් සමෙහි පැය ගණනක් රඳවා තිබුණත් අසාත්මිකතාවක් ජනනය නොවන්නට තරම් සමර්ථකමක් දක්වන නිසා වැඩි කාලයක් භාවිතා කිරීමෙන් සහ සැහැල්ලු බවින් යුතු නිසා එවැන්නක් පැළඳගෙන සිටිනවාදවත් ද කියා නොදැනෙන නිසා වඩාත් පහසුවක් ලබාදෙනවා.

භාවිතා කරන්නා කිසිදු අපහසුවකින් තොරව එය පැළඳගෙන සිටියදී දැනට පරිගණකය හරහා වයර් වලින් දත්ත හුවමාරු කර ගැනුනත් ඉදිරි උත්ශ්‍රේණිගත කිරීම් සමඟ අතේ තිබෙන ස්මාර්ට් දුරකථනයට එහි ඇති යෙදුමක් හරහා සෞඛ්‍යමය තොරතුරු, ව්‍යයායාම ලැබුණු පේශීන්ගේ දත්ත සහ රෝග ඇතිවීමට හඳුනාගෙන ඒවා දැනුම්දීම වැනි දෙබැම උඩයන සේවාවන් රැසකට මංපෙත් පාදන මේ නව නිපැයුම, එය නිපදවීමට භාවිතා කරන ලද අඩු මිළ අමුද්‍රව්‍ය සමඟ ඕනෑම කෙනෙකුගේ අතක පමණක් නොවෙයි සිතෙත් ඇලවෙන්නට තරම් සමත්.

ඔබට මතකද Big Hero 6 චිත්‍රපටයේ හිටපු, හැඟීම් අනුව ප්‍රතිචාර දක්වමින් එය සන්සිඳුවා ගන්නට උපකාරවන රොබෝවරයා? ඒ වගේම දරුවන්ගේ උපතේදී ම අත්වල චිප් සවිකොට ඔවුන්ගේ හැඳුනුම්පත මෙන් සියළු ජීවන දත්ත ඒවායේ ගබඩා කරන ආකාරයේ විද්‍යා ප්‍රබන්ධ ඊටත් වඩා රිදුම් නොදෙන ආකාරයෙන් සත්‍ය වන ලකුණු පහළවීම නම් සතුටුදායක යි.

මූලාශ්‍රය: ටෙල් ඇවීව් විශ්වවිද්‍යාලයීය වෙබ් අඩවිය (english.tau.ac)

කවරයේ පින්තුරය: s.hswstatic.com

Related Articles