Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඉදිකිරීමේ දෝෂ නිසා කඩා වැටුණු ගොඩනැගිලි 5ක්

යුද්ධවල දී එල්ල වෙන ප්‍රහාරවලට අමතර ව සැලසුම්කරණයේ දෝෂ, බාල අමුද්‍රව්‍ය යොදාගෙන නිර්මාණය කිරීම, හා වගකියන කාල සීමාව ඉක්මවා ගොස් තිබීම වැනි කරුණු හේතුවෙන් ලෝකය පුරා රටවල ගොඩනැගිලි කඩා වැටී තිබෙනවා. එවැනි කිහිපයක් පිළිබඳව යි මෙවර ‘ලිස්ට්’ තුළින් ඔබ වෙත ගෙන එන්නේ.

රානා ප්ලාසා – බංගලාදේශය

Wikipedia

බංගලාදේශයේ ඩකා දිස්ත්‍රික්කයේ, සවා ප්‍රදේශයේ ඉදිකර තිබූ රානා ප්ලාසා නම් මහල් හයකින් යුක්ත වෙළඳ ගොඩනැගිල්ල කඩා වැටෙන්නේ 2013 වසරේ අප්‍රේල් 24 වන දා යි.

ඇගලුම් කර්මාන්තශාලාවක් ලෙස මෙම ගොඩනැගිල්ල තුළ ඉතා විශාල සේවක පිරිසක් සේවය කළ අතර කඩා වැටීම හේතුවෙන් සේවක සේවිකාවන් 1134 දෙනෙක් පමණ මිය යනවා. තවත් 2500කට අධික පිරිසක් තුවාල ලබනවා.

අනතුර වීමට ප්‍රථම දින ගොඩනැගිල්ලේ බිම් මහලේ බිත්ති පුපුරා ගොස් තිබූ හෙයින් එහි අයිතිකරුට ඒ පිළිබඳ ව අදාළ අංශ විසින් අනතුරු අඟවා තිබෙනවා. නමුත් එම අනතුරු ඇඟවීම අයිතිකරු විසින් නොසලකා හැර තිබෙනවා.

ගොඩනැගිල්ල ඉතා දුර්වල ආකාරයෙන් ඉදිකර තිබීම මෙම කඩා වැටීමට හේතු වී ඇති බව පසු ව සොයාගන්නවා. මෑත ඉතිහාසයේ මෙවැනි දුර්වලතාවයක් හේතුවෙන් සිදු වූ විශාලම ඛේදවාචකය ලෙස මෙය නම් කළ හැකි යි. දේශපාලන දුෂණය ඉහළ රටක් ලෙස නම් කළ හැකි බංගලාදේශයේ මෙවැනි අනතුරු සුලබ යි. ගොඩනැගිලි ඉදිකරන බොහෝ සමාගම් අධික ලාභ ලබමින් නියමිත ප්‍රමිතියකින් තොර ගොඩනැගිලි ඉදිකිරීම බංගලාදේශයේ සිදුවෙනවා.

ෂැම්පුන්ග් ගොඩනැගිල්ල – දකුණු කොරියාව  

Reddit

1995 ජුනි 29 වන දා දකුණු කොරියාවේ සෝල් නුවර පිහිටි මහල් පහකින් යුක්ත ෂැම්පුන්ග් ගොඩනැගිල්ල කඩා වැටෙන්නේ එහි සිටි 502ක් මරු තුරුළට යවමින්. ඊට අමතර ව තවත් 937 දෙනෙකුට අධික පිරිසක් තුවාල ලබනවා.

මෙය යුද්ධයක දී හැර දකුණු කොරියාව තුළ සිදු වූ විශාලම ව්‍යසනය යි. එය දෙවැනි වන්නේ බංගලාදේශ ගොඩනැගිලි අනතුරට පමණ යි.

මෙම අනතුරටත් හේතුව වන්නේ ගොඩනැගිල්ල දුර්වල ලෙස සැලසුම් කිරීම හා නියමිත ප්‍රමිතියකින් තොරව ඉදිකර තිබීම යි. කඩා වැටීමට දින කිහිපයකට ප්‍රථම බිත්ති පුපුරා යාම සිදු වූවත් එහි අයිතිකරු ඒ පිළිබඳ ව සැලකිලිමත් නොවීම ඛේදවාචකයට හේතු වෙනවා.

රෝයල් ප්ලාසා හෝටලය – තායිලන්තය

Getty Images

තායිලන්තයේ කෝරාට් හි පිහිටි මහල් හයකින් යුක්ත රෝයල් ප්ලාසා හෝටලය 1993 අගෝස්තු 13 වන දා සම්පූර්ණයෙන් ම කඩා වැටෙන්නේ තත්පර 10කටත් වඩා අඩු කාලයකින්. ගොඩනැගිල්ල කඩා වැටෙන්නේ සිරස් ලෙස යි.

මේ හේතුවෙන් 137 දෙනෙක් මරණයට පත්වෙන අතර තවත් 227 දෙනෙක් පමණ තුවාල ලබනවා. සුන්බුන් ඉවත් කරමින් යට වූ පිරිස් ගලවා ගැනීමේ මෙහෙයුම් දින 20ක කාලයක් පුරා ක්‍රියාත්මක වෙනවා.

අනතුරට ප්‍රධාන හේතුව ලෙස සඳහන් වන්නේ ගොඩනැගිල්ලේ පාදමේ ශක්තිය පිළිබඳ ව නොසලකා හරිමින් අලුතෙන් මහල් එකතු කිරීම යි. මේ සම්බන්ධයෙන් ගොඩනැගිල්ලේ හිමිකරු ඇතුළු තවත් පිරිසක් අත්අඩංගුවට ගැනීමට තායිලන්ත රජය කටයුතු කරනවා.

හයිට් රීජන්සි හෝටලය – ඇමෙරිකා එක්සත් ජනපදය

The Kansas City Star

ඇමෙරිකා එක්සත් ජනපදයේ මිසූරි හි පිහිටි හයට් රීජන්සි හෝටලයේ දෙවන තට්ටුවේ හා හතරවන තට්ටුවේ හෝටලය ඇතුළතින් ඇවිදීම පිණිස නිර්මාණය කර තිබූ විශාල ප්‍රමාණයේ ව්‍යුහ දෙකක් හෝටලයේ විවෘත ලොබියට කඩා වැටෙනවා.

ඒ හේතුවෙන් ලොබියේ සාදයක සිටි විශාල පිරිස අතරින් 114 දෙනෙක් මරණයට පත් වී තවත් 216 දෙනෙක් තුවාල ලබනවා.

අනතුරට හේතුව ලෙස සඳහන් වන්නේ ඉහළ තිබූ ව්‍යුහයන්ගේ ශක්තිමත් බව ඉතා අඩු වීම යි.

තානේ ගොඩනැගිල්ල – ඉන්දියාව

The New York Times

ඉන්දියාවේ මහාරාෂ්ඨ ප්‍රාන්තයේ තානේ හි ඉදිකරමින් තිබූ මෙම ගොඩනැගිල්ල කඩා වැටීම හේතුවෙන් එහි වාසය කළ 74 දෙනෙක් මරණයට පත් වෙන අතර තවත් බොහෝ පිරිසක් තුවාල ලබනවා.

මෙම ගොඩනැගිල්ලේ මිනිසුන් පදිංචි කිරීම සඳහා නිත්‍යානුකූල ව අවසර නිකුත් කර නොතිබූ අතර හිමිකරු විසින් ගොඩනැගිල්ල ඉදිකරන්නන් හා ඔවුන්ගේ පවුල් මෙහි පදිංචි කරවා තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ගොඩනැගිල්ලේ හිමිකරු, ප්‍රධාන ඉංජිනේරුවන්, හා රාජ්‍ය නිලධාරීන් ඇතුළු 15 දෙනෙක් අත්අඩංගුවට ගැනීමට රජය කටයුතු කරනවා.

කවරයේ පින්තූරය: Roar Media

 

Related Articles