Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ජීවත් වූවාද නැද්ද යන්න සැක සහිත ප්‍රසිද්ධ චරිත 5ක්

ජනප්‍රවාදයේ එන කරුණු මත පදනම් වී සමාජයේ මුල් බැස ගත්, විවිධ සිදුවීම් පිළිබඳ කතන්දර බොහෝ තිබේ. එවැනි දෑ විශ්වාස කරන අය මෙන් ම ඒවායේ සත්‍යාසත්‍යතාව පිළිබඳ ව සැක පළ කරන අය ද සිටිති. ඊට හේතුව එවැනි සිදුවීම් තහවුරු කිරීමට තොරතුරු නොමැති වීම හෝ තිබෙන තොරතුරු ප්‍රමාණවත් නොවීම වැනි කරුණු ය.

ජනප්‍රවාදයේ එන එවැනි සිදුවීම් සැබැවින් ම සිදු වූවාද යන්න තරමක් ගැටලු සහගත බවක් පවතින ආකාරයෙන් ම, අප අසා ඇති සමහර ප්‍රසිද්ධ පුද්ගලයන් සැබැවින් ම ජීවත් වූවා ද, එසේත් නැත්නම් ඔවුන් පිළිබඳ කතන්දර හුදු ජනප්‍රවාද මත පදනම් වූ ඒවා පමණක් ද යන්න පිළිබඳව ද සමහරු ප්‍රශ්න කරති.

මෙම ලිපිය, ලොව පුරා ප්‍රසිද්ධ, කෙසේ නමුත්, සැබැවින් ම මෙලොව ජීවත් වූවා ද නැද්ද යන්න තරමක් ගැටලු සහගත එවැනි කිහිප දෙනෙක් පිළිබඳව යි.

ආතර් රජුගේ සිතුවමක් – www.wikimedia.commons.org

1. ආතර් රජු

ඉතිහාසයේ වඩාත් ම ප්‍රසිද්ධ රජවරුන්ගෙන් කෙනකු වන ආතර් රජු බ්‍රිතාන්‍යයේ ජීවත් වූ බව සැලැකේ. බොහෝ පසුකාලීන මුලාශ්‍රවල සඳහන් වන්නේ ඔහු ක්‍රිස්තු පූර්ව පස්වැනි හෝ හයවැනි සියවසේ දී බ්‍රිතාන්‍යයට එල්ල වූ සතුරු ප්‍රහාරයක් සාර්ථක ව මැඩපැවැත්වූ බව යි. ඔහු ආක්‍රමණිකයන් සමඟ කළ සටන් 12ක් පමණ ජයගත් බව කියැ වේ. කෙසේ වෙතත් එම ගැටුම්වලට අදාළ තොරතුරු ඇතුළත් කිසිදු මූලාශ්‍රයක ඔහු පිළිබඳ ව සඳහන් නොවේ. ආතර් රජු පිළිබඳ ව තරමක් විස්තරාත්මක තොරතුරක් ඇතුළත් මූලාශ්‍රයක් මෑතකාලීන ව හමු වී ඇති අතර එය නව වැනි සියවසට අයත් එකකි.

දිළිසෙන සන්නාහයෙන් සැරසී සිටින නයිට්වරයකු ලෙස වර්තමානය වන විට ආතර් රජු නිරූපණය කෙරෙන අතර එය ශ්‍රීමත් තෝමස් මැලෝරිගේ “Le Morte d’Arthur” ග්‍රන්ථය මඟින් ගොඩ නැඟූ මිථ්‍යාවක් බව සමහරු පවසති. තවත් සමහරුන් පවසන්නේ ආතර් රජු හා බැඳුණු පුරාවෘත්තය, රණශූර රජකු වන ඇම්බ්‍රෝසියස් ඕරේලියනස්, හෝ ලුසියස් ආටෝරියස් කැස්ටස් නම් රෝමානු සෙන්පතියකු පිළිබඳ ව වන පුරාවෘතයන්ගෙන් ආභාසය ලබා ඇති බව යි.

පයිතගරස් ගේ ප්‍රතිමාවක් – www.wikipedia.org

2. පයිතගරස්

ගණිතය විෂය හා බැඳුණු ප්‍රසිද්ධ පුද්ගලයකු වන පයිතගරස් පිළිබඳ ව නොදන්නා කෙනෙක් නොමැති තරම්. කෙසේ නමුත් එවැනි පුද්ගලයකු සැබැවින්ම ජීවත් වූයේ ද යන්න තහවුරු කිරීම සඳහා ප්‍රමාණවත් තරම් සාක්ෂි හමු වී නැති බව සමහරුන්ගේ මතය යි. සමහර මූලාශ්‍රයන්ට අනුව ග්‍රීක චින්තකයකු වූ පයිතගරස් ක්‍රිස්තු පූර්ව පස්වැනි හෝ හයවැනි සියවසේ ජීවත් වූ අයෙකි. ඔහුගේ ජීවිතය පිළිබඳ සැලකිය යුතු සමකාලීන වාර්තා නොමැත. ඔහු පිළිබඳ ව වන සියලු තොරතුරු පයිතගරස්වරුන් යැයි තමන් හඳුන්වා ගත්, ඔහුගේ අනුගාමිකයන් ලෙස සැලකෙන පිරිසක් හරහා සමාජගත වූ බව කියැ වේ.

පයිතගරස් පිළිබඳ ව සඳහන් වන ජනප්‍රවාදයන්හි සඳහන් සමහර කරුණු විශ්වාස කළ හැකි ඒවා නොවේ. උදාහරණයක් ලෙස එක් ජනප්‍රවාදයක ඔහු රන් කලවයක් ඇති අයකු ලෙස විස්තර කරයි; තවත් අයෙක් ඔහු ඇපලෝ දෙවියන්ගේ පුත්‍රයා බව ප්‍රකාශ කරයි. මෙවැනි කරුණු නිසා සමහරු තර්ක කරන්නේ පයිතගරස් යනු හුදෙක් ආගමික නිකායක සාමාජිකයන් පිරිසක් ගෙතූ අතිශයෝක්තියක් හෝ ප්‍රබන්ධයක් බව යි.

හෝමර්ගේ ප්‍රතිමාවක්/ www.pinterest.com

3. හෝමර්

ග්‍රීක ජාතික වීර කාව්‍ය රචකයකු වන හෝමර් ගේ ‘The Iliad’ සහ ‘The Odyssey’ වැනි කාව්‍ය නිර්මාණවලට පදනම් වූයේ කුමක්දැයි බොහෝ දෙනෙක් ප්‍රශ්න කරති. සමහර විචාරකයන්ට අනුව ග්‍රීක කාව්‍ය රචකයන් අතරින් විශිෂ්ටත ම අයෙකු ලෙස සැලකෙන හෝමර් සැබැවින් ම ජීවත් වූ අයෙක් නොවේ. තවත් සමහරු තර්ක කරන්නේ වර්තමානය වන විට ඔහුගේ බවට විශ්වාස කෙරෙන සියලු කාව්‍ය නිර්මාණවල රචකයා ඔහු නොවන බව යි.

ක්‍රිස්තු පූර්ව හත්වැනි හෝ අටවැනි සියවසේ දී ජීවත් වූ බවට සැලකෙන හෝමර්ගේ ජීවිතය පිළිබඳ සමකාලීන වාර්තා කිසිවක් නොමැත. ඒ නිසා සමහරු ‘The Iliad’ සහ ‘Odyssey’ කවියන් කිහිප දෙනෙක් එකතු වී ලියූ කවි එකතුවක් බව අනුමාන කරති.

රොබින්හුඩ් ගේ ප්‍රතිමාවක් – www.history.com

4. රොබින්හුඩ්

මධ්‍යතන යුගයට අයත් සාහිත්‍යයේ නිරන්තරයෙන් සඳහන් වන රොබින්හුඩ් ධනවතුන්ගේ ධනය සොරා ගෙන දුප්පතුන් අතර බෙදා දුන් අයෙක්ය යන්න මේ වන විට සමාජගත වී ඇති මතය යි. එක්සත් රාජධානියේ ශර්වුඩ් වනාන්තරය ආශ්‍රිත ව ජීවත් වූ රොබින්හුඩ් පිළිබඳ ව මුලින් ම තොරතුරු සඳහන් වන්නේ ක්‍රිස්තු වර්ෂ 14 සහ 15 වැනි සියවස්වලට අයත් කාව්‍ය නිර්මාණ කිහිපයක යි.

කෙසේ වෙතත් සමහර ඓතිහාසික මූලාශ්‍රවල සඳහන් වන්නේ අතීතයේ ජිවත් වූ සමහර අපරාධකරුවන් හැඳින්වීමට ‘Rabunhod’ හෝ ‘Robehod’ යන යෙදුම් භාවිත කර ඇති බව යි. මුල්කාලීන මූලාශ්‍රයන්හි රොබින්හුඩ් තවත් කල්ලියක් සමඟ එක්ව නොටිංහැම් හි ෂෙරිෆ්වරයාට විරුද්ධ ව සටන් කළ අයෙක් බව පැවැසේ. තවත් සමහර මූලාශ්‍රයන්හි ඔහු විස්තර කර ඇත්තේ ධනවත් ප්‍රභුවරයකුව සිට සහාසික අපරාධකරුවෙක් බවට පත් වූ පුද්ගලයකු ලෙස යි.

බොහෝ ඉතිහාසඥයන් සහ පර්යේෂකයන් ශතවර්ෂ ගණනාවක් තිස්සේ සැබෑ ජීවිතයේ රොබින් හුඩ් කෙනෙක් පිළිබඳ තොරතුරු අනාවරණය කර ගැනීමට උත්සහ කර ඇතත් ඒ සඳහා වන පැහැදිලි සාක්ෂි කිසිවක් හමු වී නැත. එවැනි පර්යේෂණ කළ සමහරුන් පවසන්නේ ඔහු රිචඩ් ලයන්හාට් රජුගේ අනුගාමිකයෙක් බව යි. තවත් බොහෝ දෙනෙක් පවසන්නේ රොබින්හුඩ් සහ ඔහුගේ කල්ලිය පිළිබඳ කතාන්දරය මධ්‍යකාලීන යුගයට අයත් හුදු ජනප්‍රවාදයක් බව යි.

ලයිකර්ගස් ගේ ප්‍රතිමාවක් – www.history.com

5. ලයිකර්ගස්

ග්‍රීක නගරයක් වන ස්පාටා, පුරාණ ලෝකයේ වඩාත් ම බලවත් හමුදා බලයක් සහිත නගරයක් බවට පත් කළ පුද්ගලයා ලෙස ලයිකර්ගස් සැලැකේ. ක්‍රිස්තු පූර්ව 7 සහ 9 වැනි සියවස් අතර කාලය තුළ ජීවත් වූ ඔහු විවාහය සහ ලිංගිකත්වයේ සිට ධනය හා දරුවන් ඇති දැඩි කිරීම දක්වා සෑම කරුණක් ම ඇතුළත් වන පරිදි දැඩි සමාජ ප්‍රතිසංස්කරණ මාලාවක් ආරම්භ කර ඇත. ඒවායෙන් වඩාත් වැදගත් වැඩසටහනක් ලෙස සැලකෙන්නේ ස්පාටා හි ජීවත් වූ පිරිමි ළමයින් රණශුරයන් බවට පත් කිරීම සඳහා ඔහු ආරම්භ කළ පුහුණු වැඩසටහන යි.

එවැනි සමාජ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වූ බවට සැකයක් නැතත්, ලයිකර්ගන් නම් මිනිසකු සැබවින් ම සිටියේ දැයි ඉතිහාසඥයෝ තවමත් සැක පළ කරති. ස්පාටන්වරුන් ඔවුන්ගේ ඉතිහාසය ලිඛිත ව සටහන් කර නොතිබූ අතර ඒ නිසා මොහු පිළිබඳ ව පැහැදිලි තොරතුරු සඳහන් වන මූලාශ්‍ර ඉතා අඩු ය. ඔහු පිළිබඳ ව යම් තොරතුරු සඳහන් වන මූලාශ්‍රයන්හි පවා විශ්වාස කළ නොහැකි ආකාරයේ කරුණු සඳහන් වන බැවින් බොහෝ ඉතිහාසඥයෝ, ලයිකර්ගන් යනු ස්පාටන්වරුන් විසින් ගොඩනැඟූ කල්පිතයක් යැයි සැක පළ කරති. 

කවරයේ ඡායාරූපය- පයිතගරස්ගේ සිතුවමක් - www.idea4today.blogspot.com

මූලාශ්‍ර:

www.history.com

Evan Andrews

Related Articles