Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

දේශපාලන අස්ථාවරත්වය නිසා සිවිල් යුද්ධ ඇති වුණු රටවල් 4ක්

එකම රටක ජීවත් වන පුරවැසියන් සිය රටේ අයිතිය ලබා ගැනීම සඳහා විවිධ කණ්ඩායම්වලට බෙදුණු අවස්ථා පිළිබඳ ව ගෙවුණු දශක කිහිපය තුළ අපට අසන්නට ලැබුණා. ඒ අයුරින් බෙදුණු කණ්ඩායම් අතර ඇති වන යුද්ධ සිවිල් යුද්ධ ලෙසින් හැඳින්වෙනවා.

ශ්‍රී ලංකාව තුළ ද මීට දශක කිහිපයකට එපිට එවැනි යුද තත්ත්වයක් පැවතුණ නිසා එය අපට අලුත් ඇත්දැකීමක් නොවෙ යි.  

  ශ්‍රී ලංකාවේ පැවති සිවිල් යුද්ධයේ අවස්ථාවක් – gettyimages.com

 

යම් රටක සිවිල් යුද්ධ ඇතිවීම සඳහා දේශපාලන අස්ථාවරත්වය, ආර්ථික අස්ථාවරත්වය, අන්ත දරිද්‍රතාව, ජනගහනය වැඩිවීම වැනි හේතු බලපානවා. ඒ අතුරින් සිවිල් යුද්ධ ඇතිවීම සඳහා ප්‍රධාන වශයෙන් ම බලපාන හේතුවක් වන්නේ රටක පවතින දේශපාලන අස්ථාවරත්වය යි. ගෙවුණු දශක කිහිපය තුළ ලෝකයේ රටවල් කිහිපයක දේශපාලන අස්ථාවරත්වය නිසා සිවිල් යුද තත්ත්ව ඇති වුණා. 

එවන් රටවල් 4ක් ගැනයි මෙම ලිපිය.   

4.) සිරියාව 

ගෙවුණු දශකය තුළ යුද්ධය නිසා වැඩි ම හානියක් සිදු වුණු රටවල් අතරට සිරියාව ද අයත්. සිරියාව තුළ එවැනි තත්ත්වයක් නිර්මාණය වීමට පසුබිම සැකසුණේ 2011 මාර්තු 15 වැනිද යි. එදින බෂාර් අල් අසාද්ගේ පාලනයට එරෙහි ව සිරියාව තුළ විරෝධතා මාලාවක් ආරම්භ වුණා. එම විරෝධතා මැඬලීම සඳහා එරට ආරක්ෂක අංශ ගත් දරුණු ක්‍රියාමාර්ගවලට එරෙහි ව සන්නද්ධ අරගලයක් ඇතිවුණා. 2011 ජූලි 29 වැනි දා පිහිටුවා ගත් නිදහස් සිරියානු හමුදාව, බෂාර් අල් අසාද්ගේ පාලනයට එරෙහි ව සටන් ආරම්භ කිරීමත් සමඟින් එරට සිවිල් යුද්ධය නිල වශයෙන් ආරම්භ වුණා. 

 බෂාර් අල් අසාද් – gettyimages.com

 

යුද්ධය ආරම්භ වී ටික කලක් යන විට සිරියාවේ දේශපාලන අස්ථාවර තත්ත්වයක් නිර්මාණයක් වුණා. එනිසා නිදහස් සිරියානු හමුදාව, ඇතැම් බටහිර රටවල්, තුර්කියේ සහාය ලබන සටන්කාමී සංවිධාන, සමහර ඉස්ලාමීය සංවිධාන ආදියේ සහාය ලබා ගෙන සිරියානු රජයට එරෙහි ව අරගලය ඉදිරියට ගෙන ගියා. ඒ අතරතුර සිරියානු රජයට හිස්බුල්ලා සංවිධානය සහ ඉරානය සහාය ලබා දුන්නා. 2015 වසරේ සිට රුසියාව ද පසු ව ඉරාකය ද සිරියානු රජයට සහාය පළ කළා.

2013 වසරේ මැද භාගය වන විට ඉස්ලාම් අන්තවාදී සංවිධාන කිහිපයක් සිරියානු යුද්ධයට සක්‍රීය ව දායක වුණා. අල් කයිඩා, අයි එස් අයි එස්, අල් නුස්රා පෙරමුණ වැනි සංවිධාන ඒ අතුරින් කැපී පෙනුණා. විදෙස් රටවල සිට පැමිණි සටන්කාමීන් ද එම සටනට සම්බන්ධ වුණා. එහි දී සිරියානු රජයට විරුද්ධ රටවල්වලින් මෙම පාර්ශව වෙත අවි ආයුධ සහ වෙනත් ආධාර ගලා ආවා. 

 සිවිල් යුද්ධය නිසා අසරණ වී සිටින සිරියානුවෝ – gettyimages.com

 

සිරියා සිවිල් යුද්ධයේ දී විදෙස් හමුදා කණ්ඩායම් ඉස්ලාමීය අන්තවාදී සංවිධාන වෙත එල්ල කරන ගුවන් ප්‍රහාර හේතුවෙන් පසුගිය කාලයේ දී විශාල විනාශයක් සිදුවුණා.

දැනට වසර 10කටත් වැඩි කාලයක් පුරාවට පවතින සිරියා සිවිල් යුද්ධය නිසා ලක්ෂ 6කට ආසන්න පිරිසක් මිය ගොස් ඇති බව වාර්තාවල දැක්වෙනවා. මිලියන ගණනක් සිරියානු වැසියන් අවතැන් වෙද්දී තවත් විශාල සිරියානුවන් ප්‍රමාණයකට සරණාගතයන් ලෙසින් වෙනත් රටවල්වලට යාමට සිදුවුණා.

3.) ඇල්බේනියාව

ගිනිකොනදිග යුරෝපයට අයත් රටක් වන ඇල්බේනියාව 1997 දී වඩාත් ප්‍රසිද්ධියට පත් වුණා. ඒ එරට තුළ ඇති වුණු සිවිල් යුද්ධය නිසා යි. 1990 දශකයේ මැද භාගයේ දී ඇල්බේනියාව ආශ්‍රිත ව පිරිමීඩ යෝජනා ක්‍රම රැසක් ක්‍රියාත්මක වුණා. 1997 ජනවාරි 8-16 අතර කාලය තුළ පිරමීඩ යෝජනා ක්‍රම බිඳ වැටීම හේතුවෙන් බොහෝ ඇල්බේනියානු වැසියන්ට ඔවුන්ගේ මුදල් සහ දේපළ විශාල ප්‍රමාණයක් අහිමි වුණා. එසේ පිරමීඩ යෝජනා ක්‍රම ක්‍රියාත්මක කළ සමාගම් අතරට Xhaferri, Populli, Gjallica සහ Vefa යන ඒවා අයත් වුණා. පිරමීඩ යෝජනා ක්‍රම බිඳ වැටී දින 6ක් ගත වෙද්දී එනම් ජනවාරි 22 වැනි දා එරට රජය Xhaferri සහ  Populli යන සමාගම් තහනම් කළා. ඒ එම සමාගම් සිදු කළ මහා පරිමාණයේ මුදල් වංචා නිසා යි. 

 වන්දි ඉල්ලා සටන් වැදුණු ඇල්බේනියානුවෝ – gettyimages.com

 

පිරමීඩ යෝජනා ක්‍රම නිසා මුදල් අහිමි වුණු ජනතාව පාඩුව විඳ දරාගෙන නිහඬ ව සිටීමට සූදානම් වුණේ නැහැ. ඔවුන් මුලින් ම ටිරානා අගනුවරින් විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කළා. ඉන් අනතුරුව එම විරෝධතා රටේ ප්‍රධාන නගර කරා වේගයෙන් පැතිරී ගියා. විරෝධතාකරුවන්ගේ ඉල්ලීම වුණේ ඔවුන්ට අහිමි වුණු මුදල් වෙනුවට සාධාරණ වන්දි මුදලක් අදාළ සමාගම්වලින් අයකර දීමට රජය කටයුතු කළ යුතු බව යි. ඒ අයුරින් ආරම්භ වුණු විරෝධතාවලට විසඳුමක් ලබා දීමට ජනතාව අතරට ගිය ඩිමොක්‍රටික් පක්ෂ නායක ට්‍රයිටන් ෂෙහු ප්‍රාණ ඇපයට ගත් අරගලකරුවන් ඔහුට විවිධ හිංසා පීඩා කළා. අවසානයේ දී එරට ආරක්ෂක අංශ මැදිහත් වී ඔහු බේරා ගත්තා.

ඇල්බේනියාව තුළ විරෝධතා උත්සන්න වෙද්දී එරට රජය පාඩු ලැබූ උදවියට වන්දි මුදල් ලබා දීම ආරම්භ කළා. එනිසා විරෝධතා නැවැත්වීමට පාඩු ලැබූ ජනතාව තීරණය කළා. 1997 පෙබරවාරි 5 වැනි දින  Gjallica සමාගම බංකොලොත් බව නිවේදනය කළා. ඒ සමඟ ම විරෝධතා යළි ආරම්භ වුණා. එලෙස ආරම්භ වුණු විරෝධතා මර්දනය කිරීමට රජය දැඩි පියවර ගත්තා. එවැනි තත්ත්වයක් යටතේ තව තවත් පිරිස් එම විරෝධතා සඳහා සම්බන්ධ වුණා. රටේ පැවති තත්ත්වය පාලනය කිරීමට නොහැකි වීම නිසා 1997 මාර්තු 2 වැනිදා අගමැති ඇලෙක්සැන්ඩර් මෙක්සි ප්‍රමුඛ රජය ඉල්ලා අස් වුණා. 

  ජනාධිපති සාලි බෙරීෂා – gettyimages.com

 

එම ඉල්ලා අස්වීමෙන් පසුව රට තුළ දේශපාලන අස්ථාවරත්වයක් ඇති වුණා. විරෝධතාකරුවන් රට තුළ කැරැල්ලක් ඇති කරමින් බලය ලබාගැනීමට පසුව උත්සාහ කළා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඇල්බේනියාව තුළ සිවිල් යුද්ධයක් ආරම්භ වුණා. එම අවස්ථාවේ දී ජනාධිපති සාලි බෙරීෂා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළා. ඉන් නොනැවතුණු ඔහු කැරලිකරුවන් මර්දනය කිරීම සඳහා ආරක්ෂක අංශවලට අණ ලබා දුන්නා. ඒ සමඟ ම ආරක්ෂක අංශ කැරලිකරුවන් මර්දනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගත්තා. එම කැරලිකාර කණ්ඩායම් මර්ධනය කිරීම එතරම් ලෙහෙසි පහසු වුණේ නැහැ. 

ඒ වන විට Gaxhai, Cole, Muko, Kakami, Altin Dardha, Aldo Bare වැනි සන්නද්ධ කැරලි කණ්ඩායම් ඇල්බේනියාවේ ප්‍රධාන නගරවල බලය අල්ලාගෙන සිටියා. එපමණක් නොව ඔවුන් රජයේ ආයුධ ගබඩා කඩා ආයුධ සොරකම් කර සිය බලය තව තවත් වැඩි කර ගත්තා. එසේ ඇල්බේනියාව තුළ භීෂණය වැපිරූ මෙම කණ්ඩායම් 1997 අප්‍රේල් මාසයේ දී එරට රාජ්‍ය භාණ්ඩාගාර ගොඩනැඟිල්ලට පහර දී ඩොලර් මිලියන 6ක වත්කම් සොරකම් කළා. ඇල්බේනියාවේ තත්ත්වය වඩාත් නරක අතට හැරෙද්දී එරට තුළ නීතිය සහ සාමය ස්ථාපිත කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය මැදිහත් වුණා.

 සටන් වැදුණු ඇල්බේනියානු සන්නද්ධ කණ්ඩායම් – gettyimages.com

 

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැදිහත්වීමෙන් ක්‍රියාත්මක වුණු ඇල්බා මෙහෙයුම සඳහා ග්‍රීසිය, ඉතාලිය, රුමේනියාව, තුර්කිය, ප්‍රංශය, ජර්මනිය සහ ඔස්ට්‍රියාව යන රටවල්වල සන්නද්ධ හමුදා සේනාංක සම්බන්ධ වුණා. එම සේනාංක 1997 අප්‍රේල් අග භාගයේ දී ඇල්බේනියාවට පැමිණ මෙහෙයුම් ආරම්භ කළා. එහි ප්‍රතිඵලයක් ලෙස 1997 ජූලි මාසය වන විට ඇල්බේනියාවේ තත්ත්වය යළි සාමාන්‍ය අතට හැරුණා. 

මාස 7ක් පුරා පැවති සටන්වලින් 2000කට ආසන්න පිරිසකට ජීවිත අහිමි වුණා. ඉන් අනතුරු ව ඇල්බේනියාව තුළ  දේශපාලන ස්ථාවරත්වයක් ඇති කිරීමේ අරමුණෙන් මහා මැතිවරණයක් පැවැත්වුණා. එම මැතිවරණයෙන් ඇල්බේනියාවේ සමාජවාදී පක්ෂයට විශිෂ්ට ජයග්‍රහණයක් හිමි වුණා. පසුව රටේ තත්ත්වය යහපත් අතට හැරුණා. 

2.) ලිබියාව 

1969 අගෝස්තු මාසයේ ලිබියාවේ ඉද්‍රිස් රජතුමන් විදෙස් සංචාරයක නිරත වුණා. ඉන් ප්‍රයෝජන ගත් මුවම්මර් ගඩාෆි ඇතුළු පිරිස ලිබියාවේ පාලන බලය අල්ලා ගත්තා. එලෙස ලිබියාවේ පාලකයා වශයෙන් පත්වුණු 27 හැවිරිදි ගඩාෆි 2011 වසර දක්වා අඛණ්ඩ ව වසර 42ක් එරට පාලනය කළා. එම කාලය තුළ ඔහු ලිබියානු ජනතාවට විශාල සේවාවක් සිදු කරමින් පහසුකම් රැසක් ලබා දුන් බව පැරණි මූලාශ්‍රවල සඳහන් වී තිබෙනවා.

ඔහු දශක කිහිපයක් බලයේ රැඳී සිටිමින් ඒකාධිපති පාලනයක් ගෙන ගිය බවට ඔහුගේ විරුද්ධවාදීන්ගෙන් චෝදනා එල්ල වුණා. එපමණක් නොව ගඩාෆි පාලනය පෙරළා දැමීමට බටහිර රටවල් කුමන්ත්‍රණය කරමින් සිටින බවට ද එකල රාවයක් පැතිරී ගියා.

 මුවම්මර් ගඩාෆි – gettyimages.com

 

එසේ කාලය ගෙවී යද්දී ටියුනීසියාවේ අමුතු ම ආකාරයේ ජනතා නැඟීටීමක් සිදු වුණා. 2010 දෙසැම්බරයේ දී සිදු වුණු එම ජනතා නැඟීටීම අරාබි වසන්තය ලෙස හැඳින්වුණා. ටියුනීසියාවේ සිදු වුණු එම ජනතා නැගිටීම  නිසා වසර 23ක් පාලන බලයේ සිටි ෂිනෙ අබ්දීන් අලී නම් එරට ජනාධිපතිවරයා තනතුරෙන් නෙරපා දැමීමට හැකි වුණා. ඒ සමඟ ම අප්‍රිකාවේ සහ මැද පෙරදිග රටවල දිගු කාලයක් තිස්සේ බලයේ සිටි ජනාධිපතිවරුන්ට එරෙහි ව විරෝධතා රැල්ලක් ඇති වුණා. 

2011 වසරේ මුල් භාගයේ දී එවැනි විරෝධතා ලිබියාවේ නැගෙනහිර ප්‍රදේශය ආශ්‍රිතව වාර්තා වුණා. ඉන් අනතුරුව රට පුරාම ඇතිවුණු විරෝධතා මැඬලීමට ගඩාෆිට හැකිවුණේ නැහැ. එහි ප්‍රතිඵලයක් වශයෙන් 2011 අගෝස්තු මාසය වන විට ට්‍රිපොලි අගනුවර බලය කැරලිකරුවන්ට හිමි වුණා. ඒ සමඟ ම ප්‍රදේශයෙන් පලා ගිය ගඩාෆි ඔහුගේ උපන් ගමන් වුණු සිර්ටේ ප්‍රදේශයේ දී සතුරන්ට අසු වුණා. කැරලිකරුවන් ඔහු අල්ලාගෙන වධ දී මරා දැමුවා. 

ට්‍රිපොලි අගනුවර බලය අල්ලාගත් කැරලිකරුවෝ – gettyimages.com

 

ලිබියාව විවිධ ගෝත්‍රයන්ට අයත් ජන කණ්ඩායම් ජීවත් වන රටක්. ගඩාෆි එහි ස්ථාවරත්වය පවත්වාගෙන ගියේ ආරක්ෂක අංශවල ශක්තියෙන් සහ එක් එක් ගෝත්‍රවල එදිරිවාදිකම් එකිනෙකාට එදිරිව භාවිත කිරීමෙන්. ගඩාෆිගේ මරණින් පසු ඔහු පවත්වා ගෙන ගිය මධ්‍යගත පාලනය කඩා වැටී ගෝත්‍ර එකිනෙකා කුළල් කාගන්නට පටන් ගත් නිසා දශක 4කට වැඩි කාලයක් පැවති සාමකාමී වාතාවරණය බිඳ වැටුණා.

ඒ අනුව ගඩාෆි පාලනය බිඳ වැටීමෙන් පසුව රටේ දේශපාලන අස්ථාවරත්වයක් ඇති වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් එරටේ සිවිල් යුද්ධයක් ඇති වුණා. එමඟින් රට ක්‍රමයෙන් පරිහාණියට ලක් වුණා. 

Caption

 

එසේ ඇති වුණු සිවිල් යුද්ධය නිමා කර රටේ දේශපාලන ස්ථාවරත්වයක් ඇති කිරීම සඳහා 2012 සහ 2014 වසරවල දී ලිබියාවේ මහා මැතිවරණ පැවැත්වුණා. එම මහා මැතිවරණවලින් පසුව ද එරට දේශපාලන අස්ථාවරත්වය දිගට ම පැවතුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් විවිධ සන්නද්ධ කණ්ඩායම් රට පුරා ප්‍රචණ්ඩත්වය වපුරන්නට පටන් ගත්තා. 2011 සිට ලිබියාවේ පවතින සිවිල් යුද්ධය නිසා එරටට සිදුව තිබෙන්නේ දැඩි හානියක්. 

1.) සෝමාලියාව

අද වන විට ලෝකයේ දිළිඳුකම අතින් ඉහළ ම රටවල් කිහිපය අතරට සෝමාලියාව ද අයත්. ඒ අයුරින් එරට තුළ දරිද්‍රතාව ඉහළ යාමට ප්‍රධානත ම හේතුව වී තිබෙන්නේ වසර 31ක කාලයක් පුරාවට පවතින සිවිල් යුද්ධය යි. එම සිවිල් යුද්ධය ඇතිවීමට වටපිටාව නිර්මාණය වුණේ 1978 වසරේ දීයි. 1978 මාර්තු මාසයේ දී ඉතියෝපියාව සහ සෝමාලියාව අතර පැවති ඔගඩන් යුද්ධයෙන් සෝමාලියාවට පරාජය හිමි වුණා. ඉන් පසුව සෝමාලියා හමුදා ජෙනරාල්වරුන් පිරිසක් එකතු වී ජනාධිපති සියැඩ් බැරේ බලයෙන් පහ කිරීමට උත්සාහ කළා. එම උත්සාහය සාර්ථක වුණේ නැහැ. 

කුමන්ත්‍රණය අසාර්ථක වීමත් සමඟ ම එයට සම්බන්ධ වුණු හමුදා නිලධාරින් මරා දැමීමට බැරේ කටයුතු කළා.  ඒ මොහොතේ ඇතැම් හමුදා ප්‍රධානීන් සිය ජීවිත බේරා ගැනීමට සමත් වුණා. දිවි බේරා ගත් හමුදා නිලධාරින් පිරිසක් එකතු වී සෝමාලියානු ගැලවීමේ ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ යන  නමින් නව  සංවිධානයක් පිහිටුවා ගත්තා. ඒ සියැඩ් බැරේගේ පාලනය පෙරළා දැමීම සඳහා යි. එම සංවිධානය 13 වසරක කාලයක් පුරාවට ගෙන ගිය අරගලයකින් පසුව බැරේගේ පාලනය පෙරළා දැමීමට හැකි වුණා. ඒ වන විට ඔහු 22 වසරක් සෝමාලියාවේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කර තිබුණා. 

 ජනාධිපති සියැඩ් බැරේ – gettyimages.com

බැරේගේ පාලනය බිඳ වැටීමෙන් පසුව සෝමාලියාවේ දේශපාලන අස්ථාවරත්වයක් ඇති වුණා. ඒ සමඟ ම විවිධ සන්නද්ධ කණ්ඩායම් සෝමාලියාවේ බලය ලබා ගැනීමට උත්සාහ කළා. එහි ප්‍රතිඵලයක් වශයෙන් එරට තුළ සිවිල් යුද්ධයක් ආරම්භ වුණා. එක්සත් සෝමාලි කොංග්‍රසය, සෝමාලියානු ජාතික ව්‍යාපාරය, සෝමාලි දේශප්‍රේමී ව්‍යාපාරය, සෝමාලි ගැළවීමේ ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ වැනි සංවිධාන එම සිවිල් යුද්ධයේ දී වඩාත් සක්‍රීය වුණා. එසේ ආරම්භ වුණු සිවිල් යුද්ධය හේතුවෙන් සෝමාලියාව තුළ දරුණු සාගතයක් පැතිර ගියා. එම සාගතය හේතුවෙන් විශාල  පිරිසක් මිය ගිය බව ද වාර්තාවල සඳහන් වෙනවා.

1992 වසර ආරම්භ වෙද්දී සෝමාලියාවේ තත්ත්වය වඩාත් නරක අතට හැරී තිබුණා. එනිසා සෝමාලියාවට මානුෂීය ආධාර ලබා දීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය කටයුතු කළා. එක්සත් ජාතීන්ගේ සංවිධානය මැදිහත් වී සිවිල් යුද්ධය සඳහා සම්බන්ධ වී සිටි සෝමාලියානු සංවිධානවල නායකයන් අතර සටන් විරාම ගිවිසුමක් අත්සන් කළා. ඉන් පසු ව එක්සත් ජාතීන්ගේ හමුදා නිරීක්ෂකයන් සෝමාලියාවට යවමින් එහි ක්‍රියාත්මක වුණු සටන් විරාමය නිරීක්ෂණය කළා. 

 එක්සත් ජාතීන්ගේ මානුෂීය ආධාර ලබාදෙමින් – gettyimages.com

 

1991 දී සෝමාලියාවේ ආරම්භ වුණු සිවිල් යුද්ධය මේ වන විටත් අවසන් නැහැ. ගෙවුණු දශක 3ක කාලය තුළ එක්සත් සෝමාලි කොංග්‍රසය, සෝමාලියානු ජාතික සන්ධානය, ඉස්ලාමීය අධිකරණ සංගමය, අල්-කයිඩා, අල්-ෂබාබ්, රාස් කම්බෝනි බළකායයන්, සෝමාලි ඉස්ලාමීය පෙරමුණ, විලායට් අල් සෝමාල් වැනි සංවිධාන සෝමාලියානු සිවිල් යුද්ධය සඳහා සක්‍රීය දායකත්වයක් ලබා දුන්නා.

එම සංවිධාන සෝමාලියාවේ බලය අල්ලා ගැනීම සඳහා මාන බලද්දී එරට තුළ දේශපාලන ස්ථාවරත්වයක් ඇති කිරීමේ අරමුණ ඇතිව  බටහිර රටවල් මැදිහත් වී අවස්ථා  කිහිපයක දී ආණ්ඩු පිහිටෙව්වා. අවසන් වරට 2009 දී එරට තුළ ෆෙඩරල් ආණ්ඩුවක් පිහිටෙව්වා. එම රජය පිහිටුවීම සඳහා අමෙරිකාව, මහා බ්‍රිතාන්‍ය, ඉතාලිය සහ තුර්කිය යන රටවල්වල සහයෝගය ලැබුණා. 

 සෝමාලියා සිවිල් යුද්ධය – gettyimages.com

ගෙවුණු 31 වසර පුරාවට පැවති සිවිල් යුද්ධය හේතුවෙන් අද වන විට සෝමාලියාව දිළිඳුකමේ පතුලට ම වැටී තිබෙනවා. එම සිවිල් යුද්ධය හේතුවෙන් එරට වැසියන් ලක්ෂ 4කට ආසන්න ප්‍රමාණයකට ජීවිතය අහිමි වෙද්දී තවත් මිලියනකට වැඩි පිරිසක් අවතැන් වුණා. පසුගිය දශක 2ක කාලය තුළ සෝමාලියාවේ දේශපාලන ස්ථාවරත්වයක් ඇති කිරීමට උත්සාහ කළත් එය සාර්ථක වුණේ නැහැ. එනිසා එරට සිවිල් යුද්ධය තවමත් සක්‍රීය ව පවතිනවා. එම යුද්ධය පවතින තුරු සෝමාලියාව තව තවත් අගාධයට යාම කිසිවකුටත් වලක්වන්නට බැහැ. 

කවරයේ ඡායාරූපය- සෝමාලියා සිවිල් යුද්ධයේ අවස්ථාවක් - gettyimages.com

මූලාශ්‍ර:

aljazeera.com

pbs.org

imf.org

springer.com

bbc.com

Related Articles