Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

රට රට වල මිනිසුන් හඳෙන් මවන රටා 4ක්

චන්ද්‍රයා මත කුඩා හාවෙකුගේ රුවක් නිරූපණය වන බව ශ්‍රී ලාංකික ජන සමාජය තුළ මුල් බැසගෙන තිබෙන මිත්‍යාවක්. ඉතින් හඳේ සිටින්නේ හාවෙක් විතර ද? රටින් රටට හඳේ නිරූපණය වන රුවේ වෙනසක් ඇති බව මේ “ලිස්ට්” එක කියවීමෙන් පසුව ඔබට වැටහේවි. (පෘතුවිය දෙසට සෑම විටකම දර්ශනය වන්නේ හඳේ එක් පැත්තක් පමණ යි. නමුත් රටින් රටට හඳේ මුහුණතේ පෙනෙන කොටස තරමක් දුරට වෙනස් වෙනවා)

හඳ මත මිනිස් මුහුණ

Wikipedia

හඳ මත ආවාට එකතු වීමෙන් අනතුරුව සෑදෙන රටාවල් (lunar pareidolia) අතරින් වඩාත්ම ප්‍රසිද්ධ රුව ලෙස නම් කරන්න හැක්කේ ඒ මත පෙනෙන මිනිස් මුහුණ යි. සමහර රටවල වැසියන් මෙය සම්පූර්ණ මිනිස් රුවක් ලෙස පෙනෙන බව සඳහන් කරනවා. නමුත් ලෝකයේ වඩාත්ම ජනප්‍රිය වී ඇත්තේ හඳේ මිනිස් මුහුණ යි.

විශාල බරක් පිට මත තබාගෙන යන මිනිස් රුවක් හඳේ මතු පිට පෙනෙන බව යුරෝපීය රටවල සාම්ප්‍රදායික කතාවල සඳහන් වෙනවා. හඳ මත මිනිසා (The Man in the Moon) පාදක කරගනිමින් බටහිර රටවල හා චීනයේ විශාල වශයෙන් මිත්‍යා කතා, කවි, හා ගීත මෙන්ම චිත්‍රපට පවා නිර්මාණය වී තිබෙනවා.

හඳ මත කාන්තාව

Wiarton Echo

හඳ මත කාන්තා රුවක් නිරූපණය වන බව බ්‍රිතාන්‍ය ජනකතාවල සඳහන් වෙනවා. කාන්තාව කර මත මාලයක් පැළඳ සිටින බවත් එම කතාවල වැඩිදුරටත් දැක්වෙනවා.

වසර ගණනාවකට පෙර සිට නිර්මාණය වී තිබෙන චීන මිත්‍යා කතාවලට අනුව ඔවුන්ගේ දෙව්දුවක් වන Chang-O හඳ මත රැඳී සිටින බව පැවසෙනවා. මෙම ජනකතා ලොව පුරා කොතරම් ප්‍රසිද්ධ ද කියනවා නම් ඇපලෝ ව්‍යාපෘතිය යටතේ හඳ මත ගොඩබසින රොනල්ඩ් එවන්ස් හා මයිකල් කොලින් පවා චීන සඳ දෙව්දුව පිළිබඳව සඳහන් කරනවා. තව ද චීනය විසින් අභ්‍යවකාශ ගත කරන ලද අභ්‍යවකාශ යානා කිහිපයකට ද ඔවුන්ගේ දෙව්දුවගේ නම යොදා තිබෙනවා.

හඳේ හාවා

The Ketelsens!

ශ්‍රී ලංකාවේ මෙන්ම බොහෝ රටවල සාම්ප්‍රදායික ජන ව්‍යවහාරයේ හඳ මතු පිට හාවෙක් නිරූපණය වන බව සඳහන් වෙනවා.

මෙය බුදු දහම හා බැඳුනු කතාවකින් ද සමන්විත යි. බෝසතුන් පාරමී දම් පුරන සමයේ හාවෙකු ලෙස ඉපදී සිටිනවා. ශක්‍ර දෙවියා, හාවාගේ ශීලය පරික්ෂා කිරීමට යාචකයෙක් ලෙස වෙස්වළා පැමිණ ආහාරයට යමක් ඉල්ලා සිටිනවා. මේ අවස්ථාවේ දීමට යමක් නොමැති බැවින් ගිනිගොඩක් ගසා ඒ මතට හාවා විසින්ම පැන යාචකයාට ආහාරයක් වීම සඳහා හාවා සුදානම් වෙනවා. නමුත් මේ අවස්ථාවට ඉඩ නොදෙන ශක්‍රයා හාවාව හඳට රැගෙන ගොස් එහි හාවෙකුගේ රූපයක් ඇඳි බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙනවා.

චීනයේ ද මේ සම්බන්ධ ජනකතා පවතින අතර හඳේ වාසය කරන ඔවුන්ගේ දේවතාවියට උපකාර පිණිස හාවා රැඳී සිටින බව සඳහන් වෙනවා.

මෙම කතා ද ලොව පුරා ඉතා ජනප්‍රිය අතර ඇපලෝ ව්‍යාපෘතිය යටතේ සඳ තරණය කරන අජටාකාශගාමීන් හඳේ හාවාගේ කතා පිළිබඳව ද නොයෙකුත් අවස්ථාවල සඳහන් කරනවා.

හඳ මත ගෙම්බා

Chang-o දෙව් දුව (DeviantArt)

උතුරු ඇමෙරිකානු රටවල් ආශ්‍රිත සාම්ප්‍රදායික ජනකතාවල හඳ මත ගෙම්බෙක් සිටින බව සඳහන් වෙනවා. ගෙම්බෙක් හා පෙමින් බැඳෙන වෘකයෙක් ඒ බව ගෙම්බාට ප්‍රකාශ කිරීමෙන් පසුව ඊට අකමැති වෙන ගෙම්බා සැඟවෙනවා. තමන්ගේ පෙම්වතිය සොයාගැනීමට උපරිම ආලෝකයෙන් බැබළෙන ලෙස වෘකයා විසින් හඳට කන්නලව් කරනවා. ඒ හේතුවෙන් පොළොවේ සැඟවීමට නොහැකි වූ ගෙබි පෙම්වතිය දිගු පිම්මකින් පසුව හඳ මතට පැන ගිය බව එම රටවල මිත්‍යා කතාවල සඳහන්.

තව ද චීනයේ ගෙම්බා හා හඳ සම්බන්ධිත ජන කතා සමූහයක් දකින්න පුළුවන්.

Related Articles