Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලොව විශාලතම බැංකු මංකොල්ලයන් 5ක්

ලොව සිව්දිගින් විටින් විට බැංකු මංකොල්ලයන් පිළිබඳ අසන්නට ලැබෙනවා. මේවායින් සමහරක් සුළු පරිමාණ මංකොල්ල වන අතර, තවත් සමහරක් සිතා ගැනීමටත් අපහසු මට්ටමේ විශාල මංකොල්ල වනවා. ලොව එදා මෙදාතුර සිදු වූ විශාලතම බැංකු මංකොල්ල 5ක තොරතුරු ඔබ වෙත ගෙන එන්නට අපි අදහස් කළා.

නෝදන් බැංකු මංකොල්ලය

Wikimedia Commons

2004 වසරේ මහා බ්‍රිතාන්‍යට අයත් උතුරු අයර්ලන්තයේ අගනුවර වන බෙල්ෆාස්ට් හි දී සිදු වූ මෙම මංකොල්ලයේ දී සොරකම් කරන ලද මුදල ස්ටර්ලිං පවුම් මිලියන 26.5ක් හෙවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 41ක්.
දෙසැම්බර් මස සිදු වූ මෙම මංකොල්ලය සාම්ප්‍රදායික ක්‍රමයෙන් බැහැර ව සිදුවූවක්. නත්තලට දින කිහිපයකට පෙර නෝදන් බැංකුවේ ඉහළ නිළධාරීන් දෙදෙනෙකුගේ නිවෙස් තුළට ඇතුළු වූ කොල්ලකරුවන්, ඔවුන්ගේ පවුල්වල අයවලුන් ප්‍රාණ ඇපයට ගත් අතර, නිලධාරීන් දෙදෙනාට බල කෙරුණේ පසුදින සාමාන්‍ය ලෙස සේවයට යන ලෙස යි. ඔවුනට උපදෙස් ලැබී තිබුණේ දිනයේ සවස් වරුව වන විට පැමිණෙන මංකොල්ලකරුවන්ට බැංකුවට ඇතුල්වන්නට සලස්වන ලෙස යි. සියල්ල සැලසුම් කළ පරිදි ම සිදු වූ අතර, මංකොල්ලය සිදු වූ වහා ම ප්‍රාණඇපකරුවන් මුදාහැරුණා. මංකොල්ලකරුවන් සොයා ගැනීමට පොලිසිය අසමත් වූවත්, මෙය අයි. ආර්. ඒ සංවිධානයේ කර්තව්‍යයක් ලෙස සැලකෙනවා.

ඉරාක මධ්‍යම බැංකු මංකොල්ලය

Rojakpot.com

ඉරාකයේ බැග්ඩැඩ් නුවර දී 2003 වසරේ සිදු වූ මේ මංකොල්ලයේ දී සොරකම් කරන ලද මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 920ක්. මෙය එවකට ලොව විශාලතම බැංකු මංකොල්ලය වුණා. මෙය ඇමෙරිකාව ඉරාකය ආක්‍රමණය කිරීමට දින කිහිපයකට පෙර සිදු වූ අතර, මීට කෙළින් ම එවකට ඉරාකයේ නායකයා ව සිටි සදාම් හුසේන් සම්බන්ධ බැව් පැවසෙනවා. මින් බහුතර මුදලක් සදාම් හුසේන්ගේ මාළිගාවක තිබී හමු වූ බැව් පසුකාලීන ව වාර්තා වුණා.

මැද පෙරදිග බ්‍රිතාන්‍ය බැංකුවේ මංකොල්ලය

DailyMail.co.uk

1976 වසරේ ලෙබනනයේ බීරුට් හී දී සිදු වූ මේ මංකොල්ලයේ දී ඇමෙරිකානු ඩොලර් මිලියන 20-50 අතර මුදලක් සොරකම් කොට තිබුණා. මෙය සිදුවූයේ ලෙබනන සිවිල් යුද්ධය තදින් ම ඇවිළී සිය සමයේ යි. පලස්තීන විමුක්ති සංවිධානයට සමීප සම්බන්ධතා තිබූ කණ්ඩායමක් මෙම බැංකුවට යාබද ව තිබූ දේවස්ථානයක බිත්තියකට පුපුරණ ද්‍රව්‍ය යොදා පුපුරවා හැර, මුදලට ගත් ‘අගුළු කඩන්නන්’ යොදාගෙන බැංකුවේ සුරක්ෂිතාගාරය දොරගුළු විවර කොට එහි වූ රත්‍රන්, බැඳුම්කර, කොටස්වලට අදාළ මුදල් වැනි සියලු දේ සොරාගෙන ගොස් තිබුණා.

බැන්කෝ සෙන්ට්‍රල් මංකොල්ලය

Agence France-Presse

2005 වසරේ බ්‍රසීලයේ ෆෝර්ටලීසා හී දී සිදු වූ මේ මංකොල්ලයත් සුවිශේෂී එකක්. මෙහි දී සොරකම් කරන ලද මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 70ක් වෙනවා. මෙහි දී මංකොල්ලකරුවන් නගරයේ ගොඩනැඟිල්ලක් කුලියට ගෙන, උද්‍යාන සකසන මුවාවෙන් අඩි 256ක උමඟක් කැණ, එමඟින් එහි බැන්කෝ සෙන්ට්‍රල් බැංකුවේ සුරක්ෂිතාගාරය වෙත ගොස් සති අන්තයක් පුරාවට ඉන් ටොන් 3.5ක බරකින් යුතු බ්‍රසීල මුදල් නෝට්ටු ඉවත් කරගෙන තිබෙනවා. මින් බහුතරය නැවතත් සොයාගත නොහැකි වුණා.

සෙකියුරිටාස් ඩිපෝ මංකොල්ලය

Wikimedia Commons

මහා බ්‍රිතාන්‍යයේ කෙන්ට් හී දී සිදු වූ මේ මංකොල්ලයේ දී සොරකම් කරන ලද මුදල ස්ටර්ලින් පවුම් මිලියන 53.1ක් හෙවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 83ක්. මෙහි දී සෙකියුරිටාස් බැංකු ශාඛාවේ කළමණාකරු හා ඔහුගේ පවුලේ සාමාජිකයන් කොල්ලකරුවන් විසින් පැහැරගන්නා ලදු ව ඔහු ව අල්වාගෙන බැංකු ශාඛාව වෙත ගෙන එනු ලැබුවා. අනතුරුව ඒ වන විට එහි සේවයේ නිරත ව සිටි නිලධාරීන් බියවද්දා, බැඳ දමා කළමණාකරු මඟින් එහි සියලු සේප්පු විවර කරගෙන ඒවායේ වූ මුදල් සියල්ල රැගෙන ගොස් තිබුණා. කෙසේ නමුත් මෙම කණ්ඩායමේ බොහෝ දෙනා පසුකාලීන ව අත්අඩංගුවට ගැනුණා.

කවරයේ පින්තූරය: Bonnie and Clyde(1967)/ moviesdrop.com

Related Articles