Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඇමරිකාවේ ගිනිකොණදිග වෙරළතීරය සහ කැරීබියානු ප්‍රදේශය විනාශ කරන්න එන “මැතිව්”

අහලා තියෙන විදිහට මෑතකදී ඇති වුණු දරුණුතම සුළි කුණාටුව මොකක්ද? සිදු වුණු ආර්ථික හානියේ පාඩුව අනුව බැලුවොත් නම් ඉහළින්ම තියෙන්නේ ඇමරිකාවට 2005 අවුරුද්දේ බල පෑ “කැතරිනා” සුළි කුණාටුව. ඒත් දැන් පේන විදිහට ළඟ ළඟම එන “මැතිව්” සුළි කුණාටුවත් ලොකු හානියක් කරන්න ඉඩ තියෙනවා. ජැමෙයිකාව, හයිටි දූපත්, නැගෙනහිර කියුබාව ඇතුළුව මධ්‍යම ඇමරිකානු කලාපයේ රටවල් ගණනාවකට දැනටමත් කුණාටුව නිසා තද වැසි ඇති වෙලා.

තව දවස් කිහිපයකින් විශාල විනාශයක් සිදු කරන්න නියමිත “මැතිව්” වගේම සුළි කුණාටු ගැනත් ඔබටත් යම් අදහසක් ලබා දෙන එකයි මේ ලිපියේ අරමුණ.

සුළි කුණාටු ගැන පොදුවේ තොරතුරු කිහිපයක්

සුළි කුණාටුවක් කියන්නේ වායුගෝල පීඩනයේ අඩු වීමක් (පීඩන අවපාතයක්) නිසා ඇති වෙන තත්වයක්. මෙහෙම දෙයක් ඇති වෙන්න ප්‍රධාන වශයෙන්ම උෂ්ණත්වය සහ ආර්ද්‍රතාව හේතු වෙනවා. මේ නිසා අවට ප්‍රදේශ වලට වඩා තරමක් උෂ්ණත්වයෙන් වැඩි මුහුදු ප්‍රදේශ වලට ඉහළින් තමයි සුළි කුණාටු හට ගන්නේ.

සුළි කුණාටුවකට ශක්තිය සැපයෙන්නේ එයට යටින් තියෙන මුහුදු ප්‍රදේශයේ ජලය වාෂ්ප වීමෙන්. සූර්යයාගේ ශක්තිය උරාගෙන මුහුදු ජලය වාෂ්ප වුණත් ඒ ජලවාෂ්ප ඉහළට යනකොට නැවතත් ජල අංශු බවට පත් වෙලා උරා ගත් ශක්තිය මුදා හරිනවා. අඩු පීඩනයක් තියෙන කලාපයක් වටා වේගයෙන් කරකැවෙන වාසුළියක් දකින්න ලැබෙන එක සුළි කුණාටු වල ලක්ෂණයක්. මේ අඩු පීඩනයක් තියෙන ප්‍රදේශය හඳුන්වන්නේ “ඇස” නැතිනම් “Eye” කියලයි. පෘථිවිය භ්‍රමණය නිසා සුළි කුණාටුවේ තියෙන ජලවාෂ්ප වලට ලැබෙන ගම්‍යතාව නිසා තමයි මේ විදිහට දිගටම කරකැවෙන්න සුළි කුණාටුවට පුළුවන් වෙන්නේ. ගොඩබිමකට ආවම වැඩි කාලයක් යන්න කලින් කුණාටුව දුර්වල වෙනවා.

පෘථිවියේ උතුරු අර්ධගෝලයේ සහ දකුණු අර්ධගෝලයේ ඇති වෙන සුළි කුණාටු කරකැවෙන දිශාව වෙනස් වෙන්නේ මේ බලපෑම ලැබෙන දිශාව වෙනස් නිසයි. සුළි සුළඟක් සුළි කුණාටුවක් (Hurricane) කියලා හඳුන්වන්නේ ඒ අවට සුළඟේ වේගය පැයට කිලෝමීටර් 119ට වඩා වැඩි වුණාමයි. සුළඟේ වේගය අනුව මේ සුළි කුණාටු කාණ්ඩ වලට වර්ග කෙරෙනවා. 4, 5 වගේ කාණ්ඩ වලට අයත් සුළි කුණාටු ඉතාම විනාශකාරීයි.

මැතිව්

මැතිව් කියන්නේ කැරීබියන් මුහුදේදී හට ගත්තු අයත් සුවිසල් සුළි කුණාටුවක්. පසුගිය සැප්තැම්බර් 22 වැනිදා අප්‍රිකානු වෙරල තීරයේ ඇති වුණු උණුසුම් දියරැලක් තමයි මැතිව් සුළි කුණාටුව හැදෙන්න හේතු වෙලා තියෙන්නේ. මේක ඉතාම ඉක්මණින් 5 වැනි කාණ්ඩයේ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වුණා. ඒ කියන්නේ සුළඟේ වේගය පැයට කිලෝමීටර් 250කටත් වඩා වැඩියි. දැන් “මැතිව්” ආපහු 4 වන කාණ්ඩයකට පත් වෙලා තිබුණත් ඕනෑම මොහොතක 5 වන කාණ්ඩයට පත් වීමේ අවදානම තියෙනවා.

සුළි කුණාටු වර්ගීකරණය කරන සෆීර්-සිම්ප්සන් පරිමාණය අනුව ඇති වෙන්න පුළුවන් විශාලම සුළි කුණාටු විතරයි 5 වැනි කාණ්ඩයට වැටෙන්නේ. 2007 ඉඳන් මේ වෙනතුරු අත්ලාන්තික් සාගරයේ 5 වැනි කාණ්ඩයේ සුළි කුණාටුවක් ඇති වෙලා නැහැ. මේක පැතිරුණු විනාශයක් කරන්න පුළුවන් ව්‍යසනයක්. අති විශාල දේපල සහ ජීවිත හානියක් නැතිව මේ වගේ සුළි කුණාටුවකින් බේරෙන්න කිසිම රටකට පුළුවන් වෙලා නැහැ.

හයිටි රාජ්‍යයටත්, කියුබාවේ සහ බහමාස් දූපත්වල නැගෙනහිර ප්‍රදේශ වලටත් දැනටමත් දරුණු සුළි කුණාටු තත්වයක් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. මේ රටවල් වලට දරුණු විනාශයක් සිදු වෙන්න ඉඩ තියෙන නිසා පුළුවන් තරම් ආහාර සහ ඇඳුම් පැළඳුම් අරගෙන ආරක්ෂිත ප්‍රදේශ වලට යන්න කියලා අනතුරු ඇඟවීම් නිකුත් කරලා. විශේෂයෙන්ම හයිටි රාජ්‍යයට තවත් පැය 36ක් ඇතුළත කුණාටුවේ සම්පූර්ණ බලපෑම දැනේවි.

කියුබාවේ සහ බහමාස් දූපත් වල බටහිර ප්‍රදේශ වලට කුණාටුවේ ඍජු බලපෑම ඇති නොවුණත් තද වැසි සහ සුළි සුළං තත්වයක් ඇති වෙන්න පුළුවන්. දැනට තියෙන තාක්ෂණය අනුව කුණාටුවේ ගමන් මග හරියටම තහවුරු කර ගන්න බැරි නිසා සමහර විට කුණාටුව ඒ පැත්තටත් ඇදිලා යන්න ඉඩක් තියෙනවා. එහෙම වුණොත් ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයට පවා කුණාටුව කඩා වදීවි කියලත් සැකයක් මතු වෙලා තියෙන නිසා දැනටමත් ෆ්ලොරිඩා සහ උතුරු කැරොලයිනා ප්‍රාන්ත වල හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ.

ඇමරිකාවේ මිනිස්සුන්ට ප්‍රාර්ථනා කරන්න දෙයක්…

සාමාන්‍යයෙන් සුළි කුණාටුවක් ගෙන දෙන්නේ විනාශයක්. ඒත් දැන් ඇමෙරිකාවේ මිනිසුන්ට සුභ ආරංචියක් දෙන කුණාටුවකුත් ඇති වෙලා. මේ වන විට මැතිව් සුළි කුණාටුවට නැගෙනහිර පැත්තෙන් තවත් අවපාතයක් වර්ධනය වෙලා තියෙන්නේ. මේක “INVEST-98L” කියලා දැනට නම් කරලා තියෙනවා.

මේ අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වුනොත් එමගින් මැතිව් සුළි කුණාටුව නැගෙනහිර පැත්තට ඇදිලා යන්න ඉඩක් තියෙනවා. එහෙම දෙයක් සිදු වුණොත් මැතිව් සුළි කුණාටුව ඇමරිකාවේ ගිනිකොණ වෙරල තීරයට කරන බලපෑම විශාල වශයෙන් අඩු වෙන්න පුළුවන්. ඒ නිසා මේ දවස් වල ඇමරිකාවේ කාටත් ප්‍රාර්ථනා කරන්න තියෙන්නේ INVEST-98L අවපාතය සුළි කුණාටුවක් වේවා කියලයි.

හැමදෙයක් පිටිපස්සෙම කුමන්ත්‍රණයක් තියෙනවා කියන පිරිස

මොන දෙයක් සිද්ධ වුණත් අමුතුම හේතු ඉදිරිපත් කරන අයටත් මැතිව් සුළි කුණාටුව හොඳ මාතෘකාවක් වෙලා. ඔවුන් කියන්නේ මේ කුණාටුව CERN (උප පරමාණුක අංශු එකට ගැටෙන්න සලස්වලා පරීක්ෂණ පවත්වන විද්‍යාගාරයක්) එකෙන් වුණු අත්වැරදීමක් නිසා හටගත්තු දෙයක් කියලයි. තවත් පිරිසක් කියනවා මේක අභ්‍යාවකාශයේ ඈත තියෙනවා කියන නිබිරු ග්‍රහයාගේ බලපෑම නිසා සිදු වුණු දෙයක් කියලත්.

මේ කතා වලට වැඩිපුරම හේතු වෙලා තියෙන්නේ අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ කැමරා වලට හසු වුණු දර්ශන මාධ්‍ය වලට ලබා දීපු එකයි. අභ්‍යාවකාශයේ ඉඳලා බැලුවාම මැද සිදුරක් තියෙන, වලාකුළු කැරකෙන දර්ශනයක් තමයි පෙනෙන්නේ. ඒ නිසා සමහරු කියනවා මේක කළු කුහරයක් වෙන්න පුළුවන් කියලා. නමුත් පිළිගත් විද්වතුන්ට අනුව මේක සම්පුර්ණයෙන්ම ස්වභාවිකව හැදුණු සුළි කුණාටුවක් විතරයි.

කොහොම නමුත් එන්න එන්නම දරුණු වෙන ස්වභාවික ව්‍යසන වලට ගෝලීය උණුසුම වැඩි වීම බලපාලා තියෙනවා කියන කතාව නම් ඇත්ත වෙන්න පුළුවන්.

සිද්ධිය ගැන වඩාත් දැනුවත් වෙන්න

මේ සිද්ධියට අදාළව පළ වුණු වීඩියෝ කිහිපයක් පහතින් දැක්වෙනවා. දැනට සිදු වෙමින් තියෙන සංසිද්ධියක් නිසා මේ ගැන අලුත්ම තොරතුරු දැක ගන්න නම් ඔබටත් පුළුවන් අන්තර්ජාලයේ සොයලා බලන්න. අනාගතයේ ඇති වෙන්න තියෙන තවත් ස්වභාවික ව්‍යසන ගැන ඔබට එතකොට යම් අවබෝධයක් ලැබේවි.

මැතිව් සුළි කුණාටුවේ ගමන් මාර්ගය

කුණාටුවට මුහුණ දෙන්න හයිටි රාජ්‍යයේ සූදානම

මැතිව් සුළි කුණාටුව ගැන කුමන්ත්‍රණ කතා. (Conspiracy theories)

කවරයේ පින්තුරය: itechpost.com

Related Articles