Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අඟහරුට චාරිකාවක් යන්න ලැබෙන දිනය ඔබ හිතනවාට වඩා බොහොම ලඟයි

අඟහරු, නැතිනම් රතු ග්‍රහයා. මිනිසා හඳට පා තබලා වැඩි කාලයක් යන්න කලින් අඟහරුටත් යන්න මිනිසුන්ට පුළුවන් වේවි කියලා මිනිසුන් හීන මැව්වා. ආතර් සී ක්ලාක් මහතාගේ මුල් අනාවැකි වල 2000 අවුරුද්ද වෙද්දී අඟහරු මත ජනාවාසයක් පවා තියේවි කියලා සඳහන් වෙනවා. කොහොම වුණත් 2016 අවුරුද්ද වෙනතුරුත් අඟහරු වෙත යවලා තියෙන්නේ මිනිසුන් රහිත යානා විතරයි.

හැබැයි ඒ තත්වයේ ලොකු වෙනසක් ළඟදීම දැක ගන්න ලැබේවි. නාසා වගේ රාජ්‍ය ආයතන වලට ලබා දෙන ප්‍රතිපාදන කපා හරින තත්වයකදී අඟහරුට මිනිසුන් යවන්න මුදල් සොයා ගන්න එක හීනයක් විතරයි. නමුත් අත්දැකීම් තියෙන පෞද්ගලික සමාගමක් ඒ වැඩේට අත තිබ්බාම තත්වය ගොඩක් වෙනස්. මේක නිකන්ම සමාගමකුත් නෙවෙයි, අභ්‍යාවකාශ ගමන් ගැන වැඩිම අත්දැකීමක් තියෙන SpaceX සමාගම.

ඉතාම ඉක්මණින් අඟහරු ග්‍රහලෝකය ජනාවාස කරන්න පුළුවන් බවට එහි ප්‍රධාන විධායක ඊලෝන් මස්ක් (Elon Musk) මහතා පසුගිය දවසක පවත්වපු කතාව මේ කාලයේ වැඩිපුරම කතාබහට ලක් වෙන මාතෘකාවක්. අපි Roar එකේ අලුතෙන්ම අරඹන Viral අංශයේ පටන් ගන්න හිතුවේ ලෝකයේ අනාගතයට බලපාන මේ කාරණාව ගැන ලිපියකින්.

ඊලෝන් මස්ක් – බෑ කියපු දේවල් කරලා පෙන්වපු කෙනෙක්

ඊලෝන් මස්ක් SpaceX එකටත් වඩා කතා බහට ලක් වෙන්නේ ඔහුගේ Tesla සමාගම නිසයි. ඉලෙක්ට්‍රික් වාහනයක් කියන්නේ ටික දුරක් ගියත් බැටරිය බහින, කිසිම ලස්සනක් නැති, හරිම හිමින් යන වාහනයක් කියලා තිබුණු සංකල්පය උඩු යටිකුරු කරන්න ඔහු සමත් වුණා. නිකමට Tesla Model S එක ගැන හිතන්න. එක පාරක් චාජ් කරලා කිලෝමීටර් 500ක් ගමන් කරන්න පුළුවන්, පෙට්‍රල් කාර් එකකට වඩා වේගවත්, ඉතාම ආරක්ෂිත ඒ වගේ ඉලෙක්ට්‍රික් වාහනයක් හදන එක හීනයක් කියලයි වැඩි දෙනෙක් හිතාගෙන හිටියේ. නමුත් ඔහු ඒක කරන්න පුළුවන් බව ඔප්පු කරලා පෙන්වූවා.

ඔහු මේ කියන අඟහරු ජනාවාස කරන කතාවට ලොකු අවධානයක් දෙන්න වෙන්නේ ඒ නිසයි.

මොකටද ග්‍රහලෝක වලට යන්න උනන්දු වෙන්නේ?

මේකට ඊලෝන් මස්ක් දෙන පිළිතුර හරිම සරලයි. පෘථිවියේ ග්‍රහකයක් ගැටිලා හරි, වෙනත් අවාසනාවන්ත කාරණාවක් නිසා හරි ජීවත් වෙන්න නුසුදුසු තත්වයක් ඇති වෙන්න පුළුවන්. එහෙම අවස්ථාවකදී කරන්න තියෙන්නේ මොකක්ද? පෘථිවියට වෙලාම ඉඳලා මිනිසුන්ට වඳ වෙලා යන්න පුළුවන්, නැතිනම් ඒකෙන් බේරිලා වෙන ග්‍රහලෝකයක ජීවත් වෙන්න පුළුවන්. දෙවැනි එක තමයි හරි විසඳුම, එහෙම නේද?

අඟහරුම ඇයි?

සෞරග්‍රහ මණ්ඩලයේ අපිට පහසුවෙන් ගිහින් එන්න පුළුවන් දුරක තියෙන්නේ බුධ, සිකුරු සහ අඟහරු විතරයි. නමුත් බුධ සහ සිකුරු ග්‍රහලෝක වල පවතින අධික උෂ්ණත්වය, සිකුරුගේ විශාල වායු පීඩනය වගේ කාරණා නිසා ඒවායේ ජීවත් වෙන එක බොහොම අමාරු වැඩක්. කරන්න තියෙන හොඳම වැඩේ අඟහරු තෝරා ගන්න එකයි. යම් තරමක උණුසුමක් සපයා ගත්තොත් අඟහරු මත ඉන්න අපහසු නැහැ. ඒ වගේම අඟහරු මත සම්පත් ඉතා බහුලයි. ඒ ගැනත් ටිකකින් කතා කරමු.

අවශ්‍යතාවය සහ හැකියාව

හිතන්න ඔබට ඕන තරම් සල්ලි තියෙනවා කියලා. කීයක් වියදම් කරලා හරි අඟහරු වෙත යන්න පුළුවන්ද? ඊලෝන් මස්ක් උත්සාහ කරන්නේ එහෙම කැමැත්තක් තියෙන පිරිසකට ඒ අවස්ථාව ලබා දෙන්නයි. ඒ වගේම වැඩි කලක් යන්න කලින් අඟහරු මත ගෙයක් ගන්න යන වියදම ඇමරිකාවේ නිවසක් ගන්න යන සාමාන්‍ය වියදමේ මට්ටමට (ඩොලර් 150,000) ගෙන එන්න පුළුවන් වේවි කියලත් ඔහු විශ්වාස කරනවා!

පාවිච්චි කරන යානය

මේ ගමනට මාස කිහිපයක් ගත වෙන නිසා ගමන් කරන 100 දෙනෙක්ට සුව පහසුවෙන් යන්න පුළුවන් අති විශාල අභ්‍යාවකාශ යානයක් SpaceX සමාගම විසින් නිර්මාණය කෙරෙනවා. ක්‍රියාකාරීත්වය අතින් නාසා ආයතනයේ Space shuttle එකකට තරමක් දුරට සමානයි. යානයට පොළොවෙන් පිටත් වෙන්න අවශ්‍ය වේගය ලබා දෙන්නේ බාහිරව සවි කරන රොකට් වලින්. යානය පෘථිවිය වටා කක්ෂ ගත කරලා වාර කිහිපයකින් තමයි වෙනත් යානා වලින් ඉන්ධන සහ වෙනත් භාණ්ඩ හැම දෙයක්ම මේ යානාවට පුරවන්නේ. මේ ක්‍රමයෙන් යන වියදම සෑහෙන්න අඩු කර ගන්න පුළුවන්.

අවශ්‍ය සේරම දේවල් පුරවා ගත්තාට පස්සේ යානයේ රොකට් එන්ජින් ක්‍රියාත්මක කරලා විශාල වේගයක් ලබා ගන්නවා. ඉන් පස්සේ රොකට් එන්ජින් නිවා දමලා නියත වේගයෙන් තමයි අඟහරු කරා යන්නේ. යානයේ කටයුතු වලට ශක්තිය ලබා ගන්නේ සූර්ය පැනල වලින්.

මේ විදිහට ගමනට මුලින්ම මාස කිහිපයක් ගත වුණත් පසුව මේ කාලය මාසයක් වගේ ප්‍රමාණයක් දක්වා කෙටි කරගන්න පුළුවන් වේවි කියලා මස්ක් විශ්වාස කරනවා.

අඟහරු සතු සම්පත් වලින් ප්‍රයෝජන ගන්න හැටි

මේ යානයට යොදා ගන්නේ මීතේන් ඉන්ධනය. මේකට ප්‍රධාන හේතුව වෙන්නේ අඟහරුගේ වායුගෝලයේ 96%ක්ම පවතින කාබන්ඩයොක්සයිඩ් සහ අයිස් තට්ටු වල තියෙන ජලය භාවිත කරලා මීතේන් නිෂ්පාදනය කරන්න පුළුවන් වීමයි. යානයේ රොකට් එන්ජින් ගුරුත්වය අඩු අඟහරු ග්‍රහයාගෙන් පිටත් වෙන්න ප්‍රමාණවත්.

අඟහරු මත නිෂ්පාදනය කෙරෙන මීතේන් ඉන්ධන අඟහරු වටා කක්ෂගත කෙරෙන සුවිශාල ඉන්ධන ටැංකියකට පුරවනවා. එතකොට පසු කාලීනව අඟහරු වෙත එන යානා වලටත්, එතනින් එහාට යන යානා වලට වුණත් මේ “ෂෙඩ්” එකෙන් ඉන්ධන ලබා ගන්න පුළුවන්. ඒ නිසා අවශ්‍ය සේරම ඉන්ධන පෘථිවියෙන් ගෙනියන්න අවශ්‍ය නැහැ.

ඒ වගේම අඟහරු මත තියෙන කාබන් ඩයොක්සයිඩ් ඇසුරෙන් ඔක්සිජන්, අයිස් තට්ටු දිය කිරීමෙන් ජලය සහ වායුගෝලීය නයිට්‍රජන් සම්පීඩනය කිරීමෙන් පොහොර වර්ගත් නිෂ්පාදනය කරන්න පුළුවන්. ඒ නිසා අඟහරු මත ගස්වැල් වගා කරන්නත්, ජනාවාසකරණයේ මූලික අඩිතාලම සකස් කර ගන්නත් පුළුවන්. මේ හැම දේටම ශක්තිය ලබා ගන්නේ සූර්ය පැනල වලින්.

මේ සේරම තුලින් අඟහරු මත මිනිසුන්ට ජීවත් වෙන්න පුළුවන් නගරයක්, නැතිනම් ජනාවාසයක් නිර්මාණය කෙරෙනවා.

ඕකට තව කොච්චර කාලයක් යාවිද?

ඊලෝන් මස්ක් ගණන් බලලා තියෙන විදිහට SpaceX එකේ නවතම යානය 2020 වෙනකොට අඟහරු බලා ගමන් කරන්න සූදානම් වෙලා තියේවි! ඒ වගේම තවත් අවුරුදු 40ක් වගේ යද්දී අඟහරු මත ස්ථිරව පදිංචි මිනිසුන් ලක්ෂ 10ක් පමණ ඉඳීවි. ඒ නිසා මේක බොහෝ දෙනා හිතන විදිහට “මේ කපේට” නොවෙන දෙයක් නෙවෙයි. බොහෝ දුරට අපේ ජීවිත කාලය තුලදීම දැකගන්න ලැබෙන්න ඉඩ තියෙන දෙයක්!!

ඉතින් මේ ගැන වඩාත් හොඳින් විස්තර කෙරෙන මේ වීඩියෝ එක නරඹලා ඔබත් ඒ ගැන දැනුමක් ලබා ගන්න. කැමති නම් සම්පූර්ණ දේශනයේ වීඩියෝ එකකුත් ඊට යටින් තියෙනවා.

සම්පූර්ණ කතාවේ සාරාංශය

සම්පූර්ණ කතාවත් කැමති නම් බලන්න

 

https://www.youtube.com/watch?v=10gECHeMSds

කවරයේ පින්තුරය: space.com

Related Articles