Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මිහිකත හෙල්ලූ ලොව ප්‍රභලම භූමිකම්පා

01. චිලී – 1960 මැයි 22

NBCUniversal Media, LLC.

මෑත ඉතිහාසයේ වාර්තා වී ඇති ප්‍රභලතම භූ කම්පනය ලෙස හැඳින්වෙන මෙය රිච්ටර් පරිමාණයේ සනිටුහන් වී තිබුණේ 9.5ක් ලෙසයි. මේ මහා භූමි කම්පාවෙන් දකුණු චිලියේ 4,485ක් දෙනා මියගිය හා තුවාල ලැබූ අතර මිලියන 2ක පමණ ජනතාවකට උන් හිටි තැන් අහිමි වුණා. මෙහි අපිකේන්ද්‍රය පැසිෆික් සාගරයේ තිබූ නිසා දැඩි සුනාමි තත්ත්වයක්ද ඇති වුණා. මේ සුනාමියෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 550 ක දේපළ හානියක් සිදු වූ අතර තවත් 170ක් පමන දෙනා මියගියා. මේ හේතුවෙන් ඇති වූ සුනාමි රළ ජපානයට හා පිලිපීනයටත් ගොඩවැදී තිබුනා. මේ කම්පනය නිසා සක්‍රීය​ වූ චිලී රාජ්‍යයේ පුයෙහුයෙ ගිණිකන්ද විදාරණය වීම නිසා තවත් විනාශයක් සිදු වුණා.

02. ෂෙන්සි, චීනය – 1556 ජනවාරි 23

භූකම්පනයේ ප්‍රතිනිර්මාණයක් -Youtube.com

රිච්ටර් පරිමාණයේ 8 ක් ලෙස සටහන් වූ මේ භූමිකම්පාව ලොව මෙතෙක් වාර්තා වී ඇති මරණීයම භූ චලනය වෙනවා. චීනයේ ෂාන්ක්සි ප්‍රාන්තයේ (වර්තමානයේ ෂෙන්සි) එක් සීතල ජනේරුවක ඇති වූ මේ භූමි කම්පාවෙන් 830,000 දෙනාගේ ජීවිත අහිමි වුණා. මෙමඟින් සිදුවූ හානිය අපිකේන්ද්‍රයෙහි සිට සැතපුම් 270 ක් තරම් දුරකට විහිදී තිබුණු අතර කිලෝමීටර 500ක් පමණ එපිටින් පිහිටි ලියුයැන්ග් නුවරද දැනී තිබුණා. භූගර්භ විද්‍යාඥයින් සඳහන් කරන පරිදි මේ භූ කම්පනය නිසා චීනයේ භූ විෂමතාවය පවා වෙනස් වී තිබුණා.

03. ප්‍රින්ස් විලියම් සවුන්ඩ්, ඇලස්කාව – 1964 මාර්තු 28

Bill Ray/The LIFE Picture Collection/Getty Images

ඇලස්කාවේ වෙරළතීරය විනාශයට ලක් කළ ප්‍රින්ස් විලියම් සවුන්ඩ් භූ කම්පනය රිච්ටර් මාපකයේ 9.2 තරම ඉහළ අගයක් පෙන්නුම් කළ අතර ඇලස්කාවේ ප්‍රධාන නුවර වන ඇන්කරේජ්හි නාය යාම් පවා ඇති කළා. ඇලස්කා අර්ධද්වීපයේ සමහර ස්ථාන මීටර 11ක් තරම් ඉහළට එසවුණු අතර මීටර 67 ක් එසවුණු සුනාමි රළත් ඇති කළා.  මේ නිසා මරණ 128ක් සිදු වුණු අතර ඇ.ඩො මිලියන 311ක දේපළ හානියක්ද සිදු වුණා. මේ කම්පනය සැතපුම් දහස් ගණනක් ඈතින් තිබෙන පුවර්ටෝ රිකෝවේ භූ කම්පන මාපක වලත් සනිටුහන් වී තිබුණා.

04. සුමාත්‍රා, ඉන්දුනීසියාව -2004 දෙසැම්බර් 26

ශ්‍රී ලංකාවට 2004 සුනාමියෙන් වූ හානිය-Scott Barbour/Getty images

ලොව මරණීයම සුනාම්ය ඇති කල මේ භූකම්පනය ශ්‍රී ලාංකිකයන්ට නම් කිසිදා අමතක කළ නොහැක්කේ එය ශ්‍රී ලංකාවටද මහත් විනාශයක් ගෙන දුන් නිසායි. රිච්ටර් මාපකයේ 9.1 ලෙස සනිටුහන්ව තිබූ මෙය 1900 වසරෙන් පසු ලොව වාර්ථා වූ ප්‍රභලතම භූ කම්පනයයි. මේ කම්පනය හා සුනාමිය නිසා මිනිස් ජීවිත 227,898 ක් ලෝකයට අහිමි වුණු අතර මිලියන 1.7 ක් පමණ ජනයා අවතැන් වුණා. දකුණු ආසියානු හා නැඟෙනහිර අප්‍රිකාණු කලාපයේ රටවල් 14 කට මේ නිසා බලපෑම් එල්ල වුණා.

05. කම්චැට්කා – 1952 නොවැම්බර් 4

grablists.com

රුසියාවේ කම්චැට්කා අර්ධද්වීපය සසල කළ මේ භූ චලනය රිච්ටර් මාපකයේ සනිටුහන් වුණේ 9.0 ලෙසයි. ඒ කෙසේ නමුත් මේ නිසා වැඩිම හානිය සිද්ධ වූයේ ඊට සැතපුම් දහස් ගණනක් ඈතින් පිහිටි හවායි දූපත් වලටයි. මේ කම්පනයෙන් ඇතිවුණු සුනාමි තරංග හවායි දූපත් වලට චණ්ඩාවේශව කඩා වැදුණු අතර හොනලුලු වරාය විනාශ කරමින් ඩොලර් මිලියන ගණනක දේපළ හානියක් ඇති කළා. වාසනාවකට මේ නිසා ජීවිත හානි කිසිවක් වාර්තා වුණේ නැහැ.

06. ඇලෙප්පෝ, සිරියාව – 1138 අගෝස්තු 9

alaraby.co.uk

මීට වසර 900 කට පමණ පෙර සිදු වූවක් නිසා මෙහි ප්‍රභලත්වය ගැන සංඛ්‍යාත්මක ශාක්ෂි නැතත් මේ සිදුවීම නිසා සිරියාවේ දෙවන විශාලතම නගරය​ වන ඇලෙප්පෝ නුවර ගොඩනැගිලි කැඩී ගොස් වීදි වලට වැටුණු බව ඉතිහාස වාර්තා වල දැක්වෙනවා. මේ භූ කම්පනය එකල සිරියාවේ තිබූ විශාල මැදුරු රාශියක් බිමට සමතලා කළ අතර කුඩා නගර කිහිපයකුත් සම්පූර්ණයෙන් විනාශ වී තිබුණා. මෙහි කම්පනය සැතපුම් 220 ක් පමන බැහැරින් තිබෙන ඩැමස්කස් නගරයට ද දැනී තිබුණු අතර මෙය 1138 හා 1139 වසර අතරතුර සිරියාව හා බටහිර තුර්කිය අතර ප්‍රදේශය සසළ කළ භූමිකම්පා වැළක පළමු වැන්න වුණා.

07. ලිස්බන්, පෘතුගාලය -1755 නොවැම්බර් 1

ටේගුස් නදියෙන් එහා ඉවුරේ සිට භූ කම්පනයෙන් හානි වූ ලිස්බන් නුවර දිස්වන අයිරි සිතුවමකින්. චිත්‍රය ජුරේමා ඔලිවේරා විසිනි – Wikimedia Commons/Public Domain

රිච්ටර් මාපකයේ 8.7 ක් ලෙස සනිටුහන්ව තිබුණු මේ මහා භූ කම්පනය නිසා ලිස්බන් නගරය සම්පූර්ණයෙන්ම පාහේ විනාශයට පත් වූ අතර එම නගරයේ ජනතාවගෙන් 4න් එකක් පමණ මරණයට පත් වුණා. මේ තරම් විනාශයක් වන්නට හේතුව වූයේ භූමි කම්පාවත් ඉන් අනතුරුව ඇති වූ සුනාමිය හා ගින්න නිසායි. මේ කම්පනය උතුරු අප්‍රිකාවට, ඉතාලියට හා ප්‍රංශයට ද හොඳින් දැනී තිබුණා.

08. කැන්ටෝ, ජපානය -1923 සැප්තැම්බර් 1

කැන්ටෝ භූමිකම්පාවේ හානිය​ – USGS

ජපානය කියන්නේ භූමිකම්පා වලට ආගන්තුක රටක් නොවේ. රිච්ටර් මාපකයේ 7.9 ක් ලෙස සනිටුහන් වූ මේ භූමිකම්පාව ජපානයේ අගනුවර වූ ටෝකියෝව හා යොකොහෝමාව ඉතා දැඩි ලෙස හානියට ලක් කළා. නිවාස ලක්ෂ ගණනාවක් භූ කම්පනය හා පසුව ඇති වූ ගිණි ගැනීම් නිසා සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් විනාශ වී තිබූ අතර ජපානයේ භූ විෂමතාවය ද යම් ප්‍රමාණයක් වෙනස් වී තිබුණා.

09. ඇසෑමය හා ටිබෙටය – 1950 අගෝස්තු 15

hi-likes.com

ටිබෙටය හා ඇසෑමය කළඹවමින් මීට වසර 67 කට පෙර ඇති වූ මේ භූමිකම්පාව රිච්ටර් මාපකයේ 8.6 ක් ලෙස සටහන්ව තිබුණා. මේ භූමිකම්පාව ඉතාම විනාශකාරී වූයේ කම්පනයේ ප්‍රභලත්වය මෙන්ම ඉන් අනතුරුව ඇතිවුණු නායයාම් වැනි අනෙකුත් ව්‍යසන නිසායි. මේ කම්පනය නිසා ගම්වැසියන් 70 ක් මෘත දේහවත් සොයාගත නොහැකි පරිදි අතුරුදහන් වූ අතර නායයාම් වලට හසු වී තවත් ජීවිත 1,526ක් ලොවට අහිමි වුණා. නමුත් ව්‍යසනය මෙතෙකින් නිමා වුණේ නැහැ. භූකම්පනයෙන් පසුව ඇතිවුණු තදබල ගංවතුර තත්ත්වය නිසා තවත් දේපළ හානි සිද්ධ වුණා. මේ කම්පනය එංගලන්තය හා නෝර්වේ වැනි රටවලටත් දැනී තිබුණා.

10. හයිටි -2010 ජනවාරි 12

Christian Als

රිච්ටර් මාපකයේ 7.0 ලෙස සටහන්ව තිබූ  මේ භූ කම්පනය හයිටියේ 222,570ක ගේ දිවි අහිමි කිරීමට සමත් වුණා. ඒවාගේම 300,000 ක් ජනයා තුවල ලැබූ අතර මිලියන 1.3 ක ජනතාව අවතැන් වුණා. මීට අමතරව ඇති වූ සුනාමියෙන් ද පුද්ගලයන් කිහිප දෙනෙක් මිය ගියා.

Cover Image: කැන්ටෝ භූමි කම්පාව – USGS​

මූලාශ්‍ර:

  1. theguardian.com
  2. today.com

Related Articles