Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

බොහෝ දෙනෙක් යන්න කැමැති සුසාන භූමි අටක්

විවේකයක් ලද සැණින් මහජන උද්‍යානයක්, ක්‍රීඩා පිටියක්, මුහුදු වෙරළක් හෝ වෙනත් එවැනි ස්ථානයක් වෙත ගොස් කාලය ගත කිරීමට බොහෝ දෙනෙක් හුරු වී සිටිති. සති අන්තයේ සහ වෙනත් නිවාඩු දිනවල ගාලු මුවදොර පිටිය, විහාර මහා දේවි උද්‍යානය, සහ කොළඹ නගරයෙන් පරිභාහිර ප්‍රදේශවල පිහිටි එවැනි ස්ථානවලට විශාල පිරිසක් පැමිණෙන්නේ එබැවිනි.

බොහෝ දෙනෙක් ප්‍රිය කරන එවැනි ස්ථාන අතර වැඩි දෙනෙක් එතරම් ප්‍රිය නොකරන ස්ථාන ද වේ. සුසාන භූමි ඊට උදාහරණයකි. යම්කිසි අධ්‍යයනයක් සඳහා හෝ සිය මළ ගිය ඥාතීන් සිහිපත් කිරීම සඳහා පැමිණෙන අයකු හැර වෙනත් අයකු සුසාන භූමියකට නොපැමිණෙන තරම් ය. සාමාන්‍ය තත්ත්වය එය වුවත් විවිධ හේතු නිසා දැකබලා ගැනීමට විශාල පිරිසක් පැමිණෙන සුසාන භූමි ද සමහර රටවල පිහිටා තිබේ.

බටහිර 11 වැනි වීදිය සුසාන භූමිය, නිව්යෝක් – www.flickr.com

1. බටහිර 11 වැනි වීදිය සුසාන භූමිය, නිව්යෝක්

එක්සත් ජනපදයේ නිව්යෝක් නගරයේ ග්‍රීන්විච් ගම්මානය හරහා ගමන් කරන බොහෝ දෙනෙක් දැක බලා ගැනීමට අමතක නොකරන ස්ථානයකි, 11 වැනි වීදියේ සුසාන භූමිය. එක්සත් ජනපදයේ ජීවත් වූ ප්‍රසිද්ධ ලේඛකයන් ගණනාවකගේ නිවෙස් මෙම සුසාන භූමිය ආශ්‍රිත ව පිහිටා ඇත. එය උතුරු අමෙරිකාවේ පළමු යුදෙව් සභාව වන ෂෙරිත් ඊශ්‍රායෙල් සභාවට අයත් සුසාන භූමි තුනක් අතරින් එකකි.

සොහොන් කොත් දෙකක් සහ සිරස් අතට තැබූ ගල් කිහිපයක් හැරෙන්නට එහි නැරඹීමට වැඩි යමක් නොමැත. එම සොහොන් කොත්වල ද මියගිය පුද්ගලයන් පිළිබඳ ව සටහන් කර ඇති දෑ අපැහැදිලි ය. මෙහි මිහිදන් කර ඇත්තේ 16 වැනි සියවසේ දී ස්පාඤ්ඤයෙන් සහ පෘතුගාලයෙන් නෙරපා දැමූ යුදෙව් ජාතිකයන් වන බැවින් බොහෝ යුදෙව් ජාතිකයෝ මෙම සුසාන භූමිය නැරඹීමට පැමිණෙති.

නිව්විල් සුසාන භූමිය, කැලිෆෝනියාව – www.findagrave.com

2. නිව්විල් සුසාන භූමිය, කැලිෆෝනියාව

උතුරු කැලිෆෝනියාවේ බ්ලැක් බුට් විල අසල පිහිටි නිව්විල් සුසාන භූමිය පිහිටා ඇති නගරය අවතාර නගරය ලෙස ද හැඳින්වේ. මූලාශ්‍රයන්ට අනුව 1850 දශකයේ සිට 1920 දශකය දක්වා නිව්විල් නගරය වේගයෙන් සංවර්ධනය වෙමින් පැවතිණි. එකල එහි සාමාන්‍ය වෙළෙඳසල් කිහිපයක්, කොණ්ඩා කපන ස්ථාන දෙකක්, කම්මලක්, හෝටල් දෙකක්, තැපැල් කර්යයාලයක් සහ තවත් ගොඩනැඟිලි ගණනාවක් පිහිටා තිබිණි.

1920 දශකයේ අගභාගයේ දී ඇති වූ ගින්නකින් එහි ගොඩනැඟිලි කිහිපයක් හැර ඉතිරි සියල්ල විනාශ විය. ගින්න ඇති වූ අවස්ථාවේ මියගිය පුද්ගලයන් කිහිප දෙනෙක් මෙම සුසාන භූමියේ මිහිදන් කර ඇතැයි කියැවේ. දුහුවිලි සහිත තරමක් කර්කශ භූමියක පිහිටා ඇති මෙම සුසාන භූමිය දැඩි ශෝකාකුල ස්වරූපයක් ගනී. එහි ඇති සොහොන් කොත් ගණනාවක මිය ගිය පුද්ගලයාගේ තොරතුරු සටහන් කරන කොටසේ “නොදනී” යනුවෙන් සටහන් කර තිබීම සුවිශේෂී කරුණකි.

පෑර් ලෂෙයිස් සුසාන භූමිය, පැරිස් – www.getyourguide.com

3.පෑර් ලෂෙයිස් සුසාන භූමිය, පැරිස්

ප්‍රංශයේ පැරිස් නගරයේ පිහිටා ඇති මෙම සුසාන භූමිය ලොව වැඩි ම පිරිසක් නැරඹීමට පැමිණෙන සුසාන භූමිවලින් එකකි. සාමාන්‍යයෙන් සුසාන භූමියක දැකිය හැකි සොහොන් කොත්වලට අමතර ව මෙහි සෙවණ සහිත ගස් සහ ඉතා හොඳින් සකස් කළ ඇවිදීමේ මංතීරු කිහිපයක් ද දක්නට ලැබේ.

අයර්ලන්ත ජාතික කවියෙක් වන ඔස්කාර් වයිල්ඩ්, අමෙරිකානු ජාතික ගායකයෙක් වන ජේම්ස් ඩග්ලස් මොරිසන් (ජිම් මොරිසන්), පෝලන්ත ජාතික සංගීතඥයෙක් වන රෙඩ්රික් ෆ්‍රැන්සුවා චොපින්, සහ අමෙරිකානු නවකතාකරුවෙක්, කවියෙක් සහ නාට්‍ය රචකයෙක් වන ගර්ට්රූඩ් ස්ටේන් වැනි සුප්‍රසිද්ධ පුද්ගලයන් ගණනාවකගේ සිරුරු මෙහි මිහිදන් කර ඇත. සොහොන් කොත් නැරඹීම සඳහා මෙම සුසාන භූමියට පැමිණෙන පිරිස සීමිත අතර, වැඩි දෙනෙක් එහි පැමිණෙන්නේ විවේකීව කාලය ගත කිරීමේ හෝ ඇවිදීමේ අරමුණෙනි.

ග්‍රේනරි සුසාන භූමිය, බොස්ටන් – www.trolleytours.com

4. ග්‍රේනරි සුසාන භූමිය, බොස්ටන්

බොස්ටන් නගරයට පැමිණෙන්නන්ගේ අවධානය දිනා ගන්නා ස්ථාන ගණනාවක් අතරින් එකක් ලෙස මෙම සුසාන භූමිය හැඳින්විය හැක. බොස්ටන් නගරයේ ට්‍රේමන්ට් වීදියේ පිහිටි එහි ඉතිහාසය සියවස් ගණනාවක් ඈතට දිව යන බව කියැවේ. එහි මිහිදන් කර ඇති බොහෝ දෙනෙක් 17 සහ 18 වැනි සියවස්වල ජීවත් වූ පුද්ගලයන් ය.

සුප්‍රසිද්ධ බියර් සන්නාමයක් වන “සැමුවෙල් ඇඩම්ස්” සමාගමේ නිර්මාතෘ සැමුවෙල් ඇඩම්ස්, බොස්ටන් නගරයේ ජීවත් වූ ධනවත් ව්‍යාපාරිකයෙක් වන පෝල් රෙවරේ සහ බොස්ටන් නගරය කේන්ද්‍ර කර ගත් ප්‍රසිද්ධ රක්ෂණ සමාගමක් වන ජෝන් හැන්කොක් සමාගමේ නිර්මාතෘ ජෝන් හැන්කොක් වැනි බොස්ටන් නගරයේ ජීවත් වූ ප්‍රසිද්ධ පුද්ගලයන් ගණනාවකගේ සිරුරු මෙහි මිහිදන් කර ඇත.

ශාන්ත මයිකල් සුසාන භූමිය, යෝක්ෂයර්, එංගලන්තය – www.wikipedia.org

5. ශාන්ත මයිකල් සුසාන භූමිය, යෝක්ෂයර්, එංගලන්තය

බ්‍රිතාන්‍ය ජාතික අග්‍රගණ්‍ය ලේඛකයන් අතර සුවිශේෂී ස්ථානයක් හිමි කර ගන්නා චාලට් බ්‍රොන්ටේ සහ එමිලි ජේන් බ්‍රොන්ටේ ඇතුළු බ්‍රොන්ටේ පවුලේ සාමාජිකයන් නිතර ආගිය සියලු දේවදූතයන්ගේ දේවස්ථානයට අයත් මෙම සුසාන භූමිය දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියයි.

ඉතා සෞම්‍ය දේශගුණයක් සහිත ප්‍රදේශයක පිහිටා ඇති මෙම සුසාන භූමිය දැකබලා ගැනීමට මද වැසි සහිත දිනවල ද බොහෝ දෙනෙක් පැමිණෙති. බ්‍රොන්ටේ පවුලේ සාමාජිකයන් මෙම දේවස්ථානයට නිතර ආගිය නමුත් එම පවුලේ එක් සාමාජිකාවකගේ සිරුරක් පමණක් මෙහි මිහිදන් කර ඇත. චාලට් සහ එමිලි ගේ සිරුරු වෙනත් ප්‍රදේශයක පිහිටි දේවස්ථානයකට අයත් සුරක්ෂිතාගාරයක තැන්පත් කර ඇත.

6. බොනවෙන්චර් සුසාන භූමිය, ජෝර්ජියාව

ජෝර්ජියාවේ සවානා හි පිහිටි මෙම සුසාන භූමිය ඉතා නිස්කලංක පරිසරයක පිහිටා ඇත. පිහිටා ඇති ස්ථානය සොයා ගැනීම ඉතා දුෂ්කර බැවින් බොහෝ දෙනෙක් මෙම සුසාන භූමියට පැමිණෙන්නේ ගූගල් සිතියම් භාවිතයෙනි. ඉතා පැරැණි, දැවැන්ත ඕක් ගස් ගණනාවක් මෙහි දැකිය හැක.

නගර සීමාවල සිට සැලකිය යුතු දුරකින් පිහිටා ඇති බැවින්, සුසාන භූමිය අවට ස්ථානයක නවාතැන් ගැනීම හෝ උදෑසන කාලයේ එහි පැමිණීම වඩාත් සුදුසු බව එහි පරිපාලනය, නරඹන්නන්ට නිර්දේශ කර ඇත. අමෙරිකානු කවියෙක් සහ ලේඛකයෙක් වන කොන්රඩ් ඒකන් මෙහි මිහිදන් කර ඇති සුවිශේෂී පුද්ගලයන් අතරට ඇතුළත් වේ. මෙම සුසාන භූමියේ ඡායාරූප ලබා ගැනීමට ඡායාරූප ශිල්පීහු නිතර එහි පැමිණෙති.

කී වෙස්ට් සුසාන භූමිය, ෆ්ලොරිඩා – www.wikiwand.com

7. කී වෙස්ට් සුසාන භූමිය, ෆ්ලොරිඩා

ෆ්ලොරිඩා හි පිහිටි මෙම සුසාන භූමිය අවට රදගුරු නිවෙසක්, අමෙරිකානු නවකතාකරුවෙක්, කෙටිකතා රචකයෙක් සහ මාධ්‍යවේදියෙක් වන අර්නස්ට් මිලර් හෙමිංවේ ගේ නිවස, අමෙරිකානු ජාතික පරිසර විද්‍යාඥයෙක් වන ජේම්ස් අවුඩුබන් ටික කලක් ජීවත් වූ නිවසක් සහ අමෙරිකානු නාට්‍ය රචකයෙක් සහ තිර රචකයෙක් වන ටෙනසි විලියම්ස් කුලී පදනම මත ජීවත් වූ නිවසක් ද පිහිටා ඇත.

මෙම සුසාන භූමියේ ඇති සොහොන් කොත්වල ඒවායේ මිහිදන් කර සිටින පුද්ගලයන් පිළිබඳ, ඔවුන් කැමති දෑ පිළිබඳ සහ වෙනත් විවිධ වැකි සටහන් කර ඇත. “ඇගේ ජීවිතය සුන්දර උදෑසනක් විය” සහ “ඇගේ දෑස් විවේක ගනිමින් සිටී” වැනි වැකි ඒ අතර වේ. 1846 දී ඇති වූ සුළි කුණාටුවක් හේතුවෙන් මෙම සුසාන භූමිය විනාශ වී ගිය බැවින් එහි සොහොන් කොත් බොහොමයක් ප්‍රතිනිර්මාණය කර ඇත.

රෝස්හිල් සුසාන භූමිය, චිකාගෝ – www.digitalmemorial.com

8. රෝස්හිල් සුසාන භූමිය, චිකාගෝ

මෙය චිකාගෝ හි පිහිටා ඇති ප්‍රධාන පෙළේ සුසාන භූමි දෙකෙන් එකකි (අනෙක් සුසාන භූමිය ග්‍රේස්ලන්ඩ් ලෙස නම් කර ඇත). මෙහි විවිධ තේමා නිරූපණය කරමින් ඉදි කළ අලංකාර සොහොන් කොත් ගණනාවක් දක්නට ලැබේ. ඒ අතර ඊජිප්තු සොහොන් කොතක් ආකාරයෙන් ඉදි කර ඇති ස්මාරකයක්, ගොතික් ක්‍රමයට ඉදි කර ඇති ස්මාරකයක්, ගලින් කළ සෝෆාවක් වැනි සොහොන් කොතක් සහ තවත් අසාමාන්‍ය ආකාරයේ මූර්ති කිහිපයක් වේ.

එක්සත් ජනපද උප ජනාධිපතිවරයෙකු වූ චාල්ස් ජී. ඩේව්ස්, ඉලිනොයිස් ප්‍රාන්ත ආණ්ඩුකාරවරුන් දෙදෙනෙක් සහ නගරාධිපතිවරුන් කිහිප දෙනෙක්, කොංග්‍රස් සභිකයන් ගණනාවක්, හමුදා නිලධාරීන් සහ ව්‍යාපාර ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන්, ක්‍රිස්තියානි අමද්‍යප සංගමයේ සාමාජික සාමාජිකාවන්, කලාකරුවන්, රූපවාහිනී නිවේදකයන් ඇතුළු බොහෝ ප්‍රසිද්ධ පුද්ගලයන් මෙහි මිහිදන් කර ඇත.

කවරයේ ඡායාරූපය- ජෝර්ජියාවේ සවානා හි පිහිටි බොනවෙන්චර් සුසාන භූමිය සුසාන භූමිය ඉතා නිස්කලංක පරිසරයක පිහිටා ඇත - www.spiritualtravels.com
මූලාශ්‍ර- www.britannica.com
www.findagrave.com
www.getyourguide.com

Related Articles