Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලොව ප්‍රධාන නගර අටක අන්වර්ථ නාම හැදුණු හැටි

බොහෝ රටවල ප්‍රසිද්ධ නගර හැඳින්වීම සඳහා ඒවායේ නියම නම වෙනුවට වෙනත් නම් භාවිත වන අවස්ථා තිබේ. එක්සත් ජනපදයේ නිව්යෝක් නගරය “the Big Apple” (විශාල ඇපල් ගෙඩිය) යනුවෙනුත්, ස්විට්සර්ලන්තයේ ජිනීවා නගරය “the Peace Capital” (සාමයේ අගනගරය) යනුවෙනුත් හැඳින්වීම, නගර හැඳින්වීමට අන්වර්ථ නාම භාවිත කරන අවස්ථාවලට උදාහරණ වේ.

එවැනි අන්වර්ථ නාම කිහිපයක් සහ ඒවා නිර්මාණය වූ අයුරු මේ ලිපියෙන් සොයා බලමු.

නිව්යෝක් නගරය/ -www.worldstrides.com

1. නිව්යෝක් – the Big Apple

නිව්යෝක් නගරය හැඳින්වීමට භාවිත කරන, “කිසිදා නොනිදන නගරය” වැනි අන්වර්ථ නාම ගණනාවක් අතරින් එකකි – “the Big Apple”. 1900 ගණන්වල සිට මෙම යෙදුම භාවිත කළ බවට තොරතුරු ඇත. කෙසේ වෙතත් එය වඩාත් ප්‍රසිද්ධ වූයේ 1920 දශකයේ දී ක්‍රීඩා ලිපි රචකයෙක් වූ ජෝන් ජෙරාඩ් “Around the Big Apple” (විශාල ඇපල් ගෙඩිය වටා) යනුවෙන් තුරඟ තරග පිළිබඳ ව ලියූ තීරු ලිපි මාලාවත් සමඟ ය.

1970 දශකයේ දී නිව්යෝක් නගරය කේන්ද්‍ර කරගෙන සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක වූ අතර, එම කාලසීමාවේ දී මෙම යෙදුම වඩාත් ජනප්‍රිය වූ බව කියැවේ. මේ වන විට එක්සත් ජනපදයේ ජනතාව අතර පමණක් නොව, වෙනත් රටවල ජනතාව අතර පවා මෙම යෙදුම ජනප්‍රිය එකක් බවට පත්ව තිබේ.

ජිනීවා නුවර – www.britannica.com

2. ජිනීවා – the Peace Capital

ස්විට්සර්ලන්තයේ ජනගහනය වැඩි ම නගර අතරින් දෙවැනි ස්ථානය හිමි කර ගන්නා ජිනීවා, රාජතාන්ත්‍රික සබඳතා සඳහා ප්‍රසිද්ධියක් උසුල යි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ යුරෝපා කලාපයේ ප්‍රධාන කාර්යාලය ජිනීවා නගරයේ පිහිටා තිබේ. තවත් සමාජ, ආර්ථික සහ දේශපාලන වශයෙන් ඉතා වැදගත් ජාත්‍යන්තර ආයතන ගණනාවක් ජිනීවා නගරයේ පිහිටා ඇත. යුදමය තත්ත්වයන්, සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් සහ මානව හිමිකම් වැනි කරුණු සම්බන්ධයෙන් ඉතා වැදගත් ජාත්‍යන්තර සම්මුතීන් ගණනාවකට ජිනීවා නගරයේ දී අත්සන් තබා තිබේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ වාර්ෂික සැසිවාර ද ජිනීවා නගරයේ පැවැත්වේ. ජාත්‍යන්තර වශයෙන් සාමය හා මානව හිමිකම් ස්ථාපිත කිරීම සඳහා උත්සුක වන ආයතන සහ සංවිධාන ගණනාවක් ජිනීවා නගරය කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක වන බැවින් එය “සාමයේ අගනගරය” ලෙස හැඳින්වේ.

ටොරොන්ටෝ නගරය – www.worldatlas.com

3. ටොරොන්ටෝ – Muddy York

මඩ සහිත ප්‍රදේශයක් යන අර්ථය ඇති මෙම යෙදුම වඩාත් ගැළපෙන්නේ කැනඩාවේ ටොරොන්ටෝ නගරය හැඳින්වීමට නොව එක්සත් ජනපදයේ නිව්යෝක් නගරය හැඳින්වීමට බව බොහෝ දෙනකුගේ අදහස වේ. වර්තමානය වන විට මෙම යෙදුම බහුලව භාවිතා නොවුණත් අතීතයේ දී එය ප්‍රචලිත ව තිබිණි.

වසර සිය ගණනකට පෙර ටොරොන්ටෝ නගරයේ විධිමත් ලෙස සැලසුම් කළ කාණු පද්ධතියක් නොතිබිණි. ඒ හේතුවෙන් වැසි සහිත දිනවල ජලය ගලා යාම නිසි පරිදි සිදු නොවූ බැවින් නගරය මඩින් පිරී ගොස් ඇත. එම නිසා මෙම යෙදුම නිර්මාණය වන්නට ඇතැයි කියැවේ. “යෝර්ක්” යන කොටස ටොරොන්ටෝ නගරය බ්‍රිතාන්‍ය පාලනය යටතේ පැවති සමයේ යෝර්ක්හි ආදිපාදවරයා වූ ෆ්‍රෙඩ්රික් කුමාරයාට ගෞරවයක් වශයෙන් යොදා ඇත.

ඌශ්වයියා නගරය – www.destinationlesstravel.com

4. ඌශ්වයියා – the End of the World

ලෝකයේ වඩාත් ම දකුණු දෙසට වන්නට පිහිටි නගරය ලෙස ආර්ජන්ටිනාවේ පැටගෝනියා ප්‍රදේශයට අයත් ඌශ්වයියා නගරය සැලැකේ. එබැවින් එය “ලෝකයේ අවසානය” යන අන්වර්ථ නාමයෙන් හැඳින්වේ.

මේ වන විට එම නගරයටත් වඩා දකුණු දෙසට වන්නට චිලී රාජ්‍යයට අයත් කුඩා ජනාවාසයක් පිහිටා තිබෙන නමුත් ආර්ජන්ටිනා රජය සහ එහි ජනතාව තවමත් ඌශ්වයියා නගරය හැඳින්වීමට මෙම යෙදුම යොදා ගනී. එමෙන්ම එය ලෝකයේ අවසානය ලෙස සැලකීමට තරම් යාන්තමින් හෝ ප්‍රමාණවත් සාධකයක් නොමැති බව බොහෝ දෙනකුගේ අදහස වේ.

ලාස් වේගාස් නගරය – www.britannica.com

5. ලාස් වේගාස් – Sin City- පාපී නගරය

අමෙරිකා එක්සත් ජනපදයේ නෙවාඩා ප්‍රාන්තයට අයත් ලාස් වේගාස්, රාත්‍රී සමාජශාලා සහ කැසිනෝ මධ්‍යස්ථානවලින් පිරුණු නගරයකි. වසරකට පුද්ගලයන් මිලියන 40ක් පමණ මත්පැන් පානය සහ කැසිනෝ ක්‍රීඩාවේ යෙදීම වැනි කටයුතු සඳහා මෙම නගරයට පැමිණෙති. එහි නීත්‍යනුකුලව ක්‍රියාත්මක වන ලිංගික සේවා සපයන මධ්‍යස්ථානවලටද විශාල පිරිසක් දිනපතා පැමිණෙති.

විවාහ මංගල උත්සව පැවැත්වීම සඳහා ප්‍රසිද්ධ ස්ථාන ගණනාවකින් ද මෙම නගරය සමන්විත වේ. රාත්‍රී සමාජශාලා, කැසිනෝ මධ්‍යස්ථාන සහ ලිංගික සේවා සපයන මධ්‍යස්ථාන වැනි ස්ථානවල සිදු වන ක්‍රියාකාරකම් පාපී ක්‍රියා ලෙස හැඳින්වීමේ කිසිදු පදනමක් නොමැති නමුත් එවැනි ස්ථාන බහුල ව පිහිටි නිසා මෙම නගරය “පාපී නගරය” යනුවෙන් හැඳින්වේ.

මුම්බායි නගරය – www.holidify.com

6. මුම්බායි – Dream City – සිහින නගරය

මිලියන 18.4ක ජනගහණයක් සිටින මුම්බායි, ඉන්දියාවේ ජනගහණය වැඩිම නගරය වේ. එය එරට ප්‍රධාන වාණිජ නගරය මෙන් ම බොලිවුඩ් චිත්‍රපටවල නිවහන ද වේ. අතිශයින් ජනප්‍රිය සිනමා තරු, චිත්‍රපට අධ්‍යක්ෂවරුන් සහ ව්‍යාපාරිකයන් ගණනාවක් ජීවත් වන මුම්බායි නගරයේ ජීවත් වීම බොහෝ දෙනකුගේ සිහිනයකි.

එහි ජීවත් වන අයකුට සිය වෘත්තීයමය සහ වෙනත් බලාපොරොත්තු ඉටු කරගැනීමේ අවස්ථා ඕනෑ තරම් ඇත. කෙසේ වෙතත් මුම්බායි නගරයෙන් ඉඩමක් හෝ නිවසක් හිමි කරගැනීම සාමාන්‍ය රැකියාවක් කරන පුද්ගලයකුට සිහිනයක් පමණි. එහි ජීවත් වීම බොහෝ දෙනෙක් දකින සිහිනයක් වන නමුත්, එය සැබෑ කර ගැනීම ඉතා දුෂ්කර බැවින් එය “සිහින නගරය” ලෙස හැඳින්වේ.

කයිරෝ නගරය – www.theculturetrip.com

7. කයිරෝ – මිනාර නගරය

කයිරෝ ඊජිප්තුවේ විශාලත ම නගරය පමණක් නොව මැද පෙරදිග විශාලත ම නගරය ද වේ. ඉපැරණි ඉතිහාසයක් සහිත නගරයක් වන කයිරෝ, චිත්‍රපට සහ ගීත නිර්මාණ රූගත කිරීම් සඳහා ප්‍රසිද්ධ ය. කයිරෝ ඉස්ලාමීය ගෘහ නිර්මාණ ශිල්පය අනුව ඉදිකර ඇති ගොඩනැඟිලි බහුල නගරයකි.

ඒ නිසාම එය ‘මිනාර දහස් ගණනක නගරය ලෙස හැඳින්වේ. (මිනාර යනු මුස්ලිම් පල්ලි තුළ හෝ ඊට යාබද ව ඉදිකරන කුළුණු වර්ගයකි. මුස්ලිම්වරුන් යාච්ඤාවට කැඳවීම සඳහා යොදාගන්නා ඒවා, ඉස්ලාමයේ පැවැත්මේ සංකේත ලෙස ද සැලැකේ).

පැරිස් නගරය – www.pinterest.com

8. පැරිස් – ප්‍රේමයේ නගරය

ප්‍රංශයේ පැරිස් නගරය “ප්‍රේමයේ නගරය” ලෙස සැලකෙන්නේ, ප්‍රංශ භාෂාව “ප්‍රේමයේ භාෂාව” ලෙස සැලකෙන නිසා ද එසේ නැත්නම් පැරිස් නගරයේ පිහිටි ගංගා ඉවුරු දිගේ පියමන් කරන පෙම්වතුන් නිසා ද යන්න නිශ්චිතව පැවසිය නොහැක. ප්‍රේමය පදනම් කර ගත් කාව්‍ය, නාට්‍ය සහ නවකතා සහ කලාකෘති වැනි බොහෝ දෑ බිහි කළ ප්‍රසිද්ධ ලේඛකයන් සහ කලාකරුවන් පැරිස් නගරයේ ජීවත් වූ බැවින් එය ප්‍රේමයේ නගරය ලෙස හඳුන්වන බව සමහරු පවසති.

වර්තමානය වන විට නගරය පුරා විහිදී ඇති අවන්හල්වල් සහ පාලම් වැනි සෑම ස්ථානයකම පාහේ පෙම්වතුන් දැකිය හැක. 2000 දශකයේ මුල්භාගයේ පැරීසියේ ජීවත් වූ පෙම්වතුන් නගරයේ පිහිටි පාලමක් මතට පැමිණ අගුළු දැමූ ඉබ්බන් තබා ප්‍රේමනීය පොරොන්දු ලබා දුන් අතර එය ද පැරීසිය ප්‍රේමයේ නගරය යනුවෙන් හැඳින්වීමට හේතු වී ඇත.

කවරයේ ඡායාරූපය - ලාස් වේගාස් නගරය, පාපී නගරය යනුවෙන් හැඳින්වේ -www.britannica.com
මූලාශ්‍ර :
www.britannica.com
www.theculturetrip.com
www.destinationlesstravel.com

Related Articles