Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සිංගප්පූරුවේ නරඹන්න යා හැකි තැන්

සිංගප්පූරුව ලෝකයේ දියුණුම රටවල් වලින් එකක්. සංචාරක කර්මාන්තයෙන් ද ඔවුන් විශාල මුදලක් උපයනවා. ශ්‍රී ලංකාව ඇතුලු ලෝකයේ බොහෝ රටවල ජනතාවට වීසා එකක් නොගෙන දින තිහක් වනතුරු එහි සංචාරය කරන්න පුළුවන්. ඔබට වලංගු ගමන් බලපත්‍රයක් තියෙනවා නම්, සිංගප්පූරුවට යන්න ගුවන් ටිකට් පතක් තියෙනවා නම්, කටුනායකින් නැගලා පැය කිහිපයකින් සිංගප්පූරුවෙන් ගොඩ බහින්න පුලුවන්. එරටට ඇතුල් වෙද්දී ඔබේ ගුවන් ගමන් බලපතෙහි සීල් එකක් ගහලා ඔබට දින තිහක් එරට රැඳෙන්න අවසර ලබා දෙනවා.

සිංගප්පූරුව ටිකක් වියදම් වැඩි තැනක්. නමුත් එහි බලන්න යන්න තැන් ගණනාවක් තිබෙනවා. ඒ සමහරක් ගැනයි මේ විස්තරය​

01. චැංගි ගුවන් තොටුපල​

චැංගි ගුවන්තොටුපළ (AFP)

ලංකාවෙන් සිංගප්පූරුවට යන්න ගුවන් යානයකට නැග්ගම ඔබ ගොඩ බහින්නෙ චැංගි ගුවන් තොටුපලට​. මේ සාමාන්‍ය සංචාරක ස්ථානයක් විදියට නම් කෙරෙන​ තැනක් නෙවෙයි. ඉතින් ඔබ අහන්න පුලුවන් ඇයි චැංගි ගුවන් තොටුපළ මේ ලැයිස්තුවට එකතු කළේ කියල​. සරලවම කිව්වොත්, ඔබ එහි ගියොත්, අපේ ගුවන් තොටුපල එක්ක සසඳා බලන්න කියල කියන්නයි මේ ස්ථානය මේ ලැයිස්තුවට එක් කළේ. මෙහි පර්යන්ත හතරක් තියෙනවා. සිව් වන පර්යන්තය විවෘත කළේ මෑතකදි. එමෙන්ම තව පර්යන්තයක් ඉදිරියේදි හැදේවි. මෙහි පර්යන්තවල වගේ විවිධ නිර්මාණ හදලා තියෙනවා. ඒ වගෙම ගුවන් යානා දකින්න කැමති අයට ඒ සඳහාත් ස්ථාන තියෙනවා. මේවා බොහොම විශාල පර්යන්ත​. පළමු වතාවට පිටරට යන අයකුට​ ඒවා වෙනමම අත්දැකීමක් වනවාට සැකයක් නැහැ.

02. සතුන් වත්ත​/රිවර් සෆාරි/නයිට් සෆාරි

නයිට් සෆාරියේදී දකින්න ලැබෙන දිවියන් විශේෂයක් (Wildlife Reserves Singapore)

සිංගප්පූරු සතුන් වත්ත 1973 දි විවෘත කරන ලද්දක්. එය ඉදි කිරීමට ප්‍රධාන උපදේශක කාර්යය කරන ලද්දේ එවකට දෙහිවල සතුන් වත්තේ අධ්‍යක්ෂක වූ ලින් ද අල්විස් මහතායි. මෙහි සතුන් දකිනවා මෙන්ම විනෝදයෙන් පැය කිහිපයක් ගත කරන්න අවස්ථාව​ ලැබෙනවා.නයිට් සෆාරි සහ රිවර් සෆාරි යනු අලුතින් එකතු වූ අංග දෙකක්. මින් නයිට් සෆාරි ආරම්භ කිරීමට සංකල්පය හඳුන්වා දුන්නේ ද ලින් ද අල්විස් මහතායි. ලෝකයටම නයිට් සෆාරි හඳුන්වා දුන්නේ ඔහුයි. රාත්‍රී කාලයේ සතුන් දකින්න නයිට් සෆාරියෙදි ඔබට අවස්ථාව ලැබෙනවා.

03. සෙන්තෝසා

සෙන්තෝසා දූපතේ පිහිටි යුනිවර්සල් ස්ටූඩියෝ විනෝද උයනෙහි තනා ඇති Far Far Away Palace හි අනුරුව​ (The Poor Traveler)

එක අංගයක් විදියට මෙම ලැයිස්තුවට එකතු කළාට සෙන්තෝසා කියන්නෙ වෙනමම සංචාරක ප්‍රදේශයක්. මෙහි තිබෙන රිසෝර්ට් වර්ල්ඩ් සෙන්තෝසා යන ප්‍රදේශයේ සිංගප්පූරුවේ යුනිවර්සල් ස්ටූඩියෝස් විනෝද උයන, සහ මුහුදු ජීව උද්‍යානය යන විශාල මින් මැදුර දකින්න හැකියි. ඊට අමතරව ඉතිහාසයට කැමති අයට සිලෝසෝ බලකොටුව​, භූමි දර්ශන නරඹන්නට කැමති නම් ටයිගර් ස්කයි ටවර් ආදී විවිධ ස්ථාන මෙහි තිබෙනවා. සිංගප්පූරුවෙ තියෙන මැඩම් ටුසාඩ් ඉටි පිළිම කෞතුකාගාරය තියෙන්නෙත් සෙන්තෝසා දූපතේ.

04. Singapore Flyer (සිංගපෝර් ෆ්ලයර්)

Singapore Flyer (The Straits Times)

ඔබ කතුරු ඔන්චිල්ලා දැක ඇති. මේක විශාල කතුරු ඔන්චිල්ලාවක්. ලන්ඩන් නගරයේ පිහිටි ලන්ඩන් අයි එකට වඩා මීටර් තිහක් උස​, එනම් මීටර 165 ක් උසින් යුතු කියන්නේ වෙනමම අත් දැකීමක්. මෙහි එක් කුටීරයක 28 දෙනකු දක්වා ගෙන යන්න පුලුවන්. ඔබට මෙහි සිට මැරීනා බේ ප්‍රදේශය​, ගාර්ඩ්න්ස් බයි ද බේ සහ සිංගප්පූරුවේ ආර්ථික මූලස්ථාන ප්‍රදේශය ආදියත් දකින්න පුලුවන්.

05. Gardens by the Bay (ගාර්ඩ්න්ස් බයි ද බේ)

රාත්‍රි කාලයේ සුපර් ට්‍රී වල විදුලි ආලෝකය (silverkris.com)

මෙය උද්භිද උද්‍යානයක්. මෙහි ෆ්ලවර් ඩෝම් සහ ක්ලවුඩ් ෆොරස්ට් නම් අභ්‍යන්තර ප්‍රදර්ශනාගාර දෙකක් තිබෙනවා. ඊට අමතරව සුපර් ට්‍රී (Super Tree) නම් කෘතිම ගස් කිහිපය අමුතු ආකර්ශනයක් මීට ලබා දෙනවා. රාත්‍රී කාලයට මෙහි විදුලි බුබුළු දල්වනු ලබනවා.

06. මරීනා බේ

රාත්‍රී කාලයට මරීනා බේ. මෙහි කොටස් තුනකින් යුතුව ඉහළින් “නෞකාවක්” සහිතව ඇත්තේ මරීනා බේ සෑන්ඩ්ස් හෝටලයයි. ඊට පහළ වම් අත පැත්තේ නෙලුමක් වන් ගොඩනැගිල්ල ArtScience Museum වේ. (Erwin Soo/Wikimedia Commons)

මරීනා බේ හි සුප්‍රකට මරීනා බේ සෑන්ඩ්ස් හෝටලය සහ ArtScience Museum (කලා සහ විද්‍යා කෞතුකාගාරය​) දකින්න ලැබෙනවා. මරීනා බේ සෑන්ඩ්ස් හි නැරඹුම් ප්‍රදේශයක් සහ සුප්‍රකට පිහිනුම් තටාකයක් වනවා. මෙහි පිහිනුම් තටාකය නම් භාවිතා කරන්නට ලැබෙන්නෙ මෙම හෝටලයේ නේවාසික වන්නකුට පමණයි.

07. චයිනා ටවුන්

චයිනා ටවුන් හි පැගෝඩා වීථියෙන් MRT හෙවත් දුම්රිය පොළ වෙත යාමට ඇති උමං මාර්ගයේ ඇරඹුම​ (Chamara Sumanapala)

චීන ටවුම හෙවත් චයිනා ටවුන් කියන්නේ චීන ජාතිකයන් සංක්‍රමණය වූ ගොඩක් නගරවල දකින්න තියෙන අංගයක්. සිංගප්පූරුවේ ජනගහනයෙන් සියයට 75 ක් පමණ චීන ජාතිකයන් නිසා චයිනා ටවුන් එකක් තිබීම අරුමයක් නෙවෙයි. මෙහි ප්‍රකට පන්සලක්, චීන කෑම අවන්හල්, චයිනා ටවුම ගැන කෞතුකාගාරයක්, ඇඳුම් මහන තැන්, රෙදිපිළි වෙළෙඳසල් එහෙම තියෙනවා. සිංගප්පූරුවෙන් ලාබෙට සිහිවටන ගන්න කියාපු තැන චීන ටවුමයි. ඒ වගේම චීනයට කෙළින්ම අදාළ නැති තැනකුත් මෙහි තියෙනවා. ඒ ටින් ටින් වෙළෙඳසලක්. ප්‍රකට කාටූන් චරිතයක් වන ටින් ටින් පිළිබඳ කතාන්දර මුල් කරගෙන හදාපු සිහිවටන වෙළඳසලක් වන ටින් ටින් වෙළෙඳසල් ලෝකයටම තියෙන්නේ සුලු ගණනක්.

08. Orchard Road (ඕර්චර්ඩ් පාර​)

ඔර්චර්ඩ් පාර (The Straits Times)

මේ ස්ථානය නම් ඉතින් බලන්න යනවට වඩා සාප්පු සවාරි යන තැනක්. ඒ නිසා ඊට වඩා වැඩි විස්තරයක් කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. විශාල සාප්පු සංකීර්ණ විස්සකට වඩා මෙහි තියෙනවා.

09. අනෙකුත් තැන්

ෆෝර්ට් කැනිං උද්‍යානය (Pitchmix/Shutterstock)

මීට අමතරව තවත් බලන්න තැන් ගොඩක් සිංගප්පූරුවෙ තියෙනවා. ෆෝර්ට් කැනිං උද්‍යානය​, ජාතික කෞතුකාගාරය​, ජුරොංග් කුරුලු උයන ආදිය ඉන් කිහිපයක්.

Cover Image – Youtube Screengrab

Related Articles