Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අහඹු ලෙස ලොව හමු වූ සුරක්ෂිත මෘත දේහ කිහිපයක්

වසර දහස් ගණනක් පැරැණි සංරක්ෂිත මෘත දේහ, එනම් මමිකෘත සිරුරු පිළිබඳව අපි අසා ඇත්තෙමු. ඊජිප්තුව, ලිබියාව, දකුණු අප්‍රිකාව සහ සයිබීරියාව වැනි රටවල ජීවත් වූ මිනිසුන් විවිධ රසායනික ද්‍රව්‍ය, බොහෝ විට ස්වාභාවිකව සකසා ගත් දෑ යොදාගෙන මෘත දේහ සංරක්ෂණය කර ඇත.

පිරමීඩ වැනි සුවිශේෂී ස්ථානවල තිබී හමු වූ එවැනි මෘත දේහයන්ට අමතර ව වගුරුබිම් වැනි ස්ථානවල තිබී සංරක්ෂිත මෘත දේහ හමු වූ අවස්ථා ද ඇත.

මේ ලිපිය වගුරුබිම් ආශ්‍රිත ප්‍රදේශවල තිබී අහඹු ලෙස හමු වූ මෘත දේහ කිහිපයක් පිළිබඳව යි.

යිදේ තරුණිය සහ ඇගේ කල්පිත රූපයක් – www.researchgate.net

යිදේ තරුණිය

නෙදර්ලන්තයේ ඩ්‍රෙන්තේ ගම්මානය අසල වගුරු බිමක තිබී 1897 වසරේ දී සොයා ගත් මෙම මෘත දේහය වයස අවුරුදු 16 දී හෝ ඊට ආසන්න වයසක දී මිය ගිය තරුණියකගේ බවට හඳුනා ගෙන ඇත. ක්‍රිස්තු පූර්ව 170 සහ ක්‍රිස්තු වර්ෂ 230 අතර කාලය තුළ ඇය මිය යන්නට ඇතැයි විශ්වාස කෙරේ. මෙම මෘත දේහය පිළිබඳ ව සිදු කර ඇති පරීක්ෂණ ගණනාවකින් පසු අනාවරණය වී ඇත්තේ ඇය ගෙල සිර කිරීමක් නිසා මිය ගොස් ඇති බව යි.

ඒ බව තහවුරු කරමින් ඇගේ ගෙල වටා සත්ත්ව ලොම්වලින් නිර්මාණය කළ පටියක් වැනි යමක් දක්නට ලැබේ. ඊට අමතර ව ඇගේ වම් කකුලට පිහියකින් ඇන ඇති ආකාරය ද නිරීක්ෂණය වේ. සත්ත්ව ලොම්වලින් කළ ඇතිරිල්ලක් වැනි යමකින් ආවරණය කර ඇගේ දේහය අදාළ වගුරු බිමේ තැන්පත් කර තිබිණි.

වීර්ඩිං(ග්) යුවළ

නෙදර්ලන්තයේ බර්ටෙන්ජර් මුවර් ප්‍රදේශයේ වගුරු බීමක් ආශ්‍රිත ව තිබී 1904 වසරේ දී විනාශ නොවූ මෘත දේහ දෙකක් හමු විය. එම පුද්ගලයන් දෙදෙනා මිය යන විට කුමන වයස්වල පසු වූවා ද යන්න අනාවරණය කරගැනීමට පර්යේෂකයන්ට නොහැකි වී ඇති නමුත් ඔවුන් ක්‍රිස්තු පූර්ව 160 සහ ක්‍රිස්තු වර්ෂ 220 අතර කාලය තුළ ජීවත් වන්නට ඇතැයි සැලැකේ. ඔවුන් දෙදෙනාගෙන් තරමක් විශාල සිරුරක් හිමි පුද්ගලයාගේ අත, කුඩා සිරුරක් හිමි අනික් පුද්ගලයාගේ සිරුරට යටින් ස්ථානගත වී තිබේ.

වීර්ඩිං(ග්) යුවළ – www.wikipedia.org

විශාල සිරුරක් හිමි පුද්ගලයාගේ පපුවේ එක් පසෙකට පිහියකින් ඇන තිබේ. අනික් පුද්ගලයා මිය ගොස් ඇත්තේ කුමන හේතුවක් නිසා ද යන්න මෙතෙක් අනාවරණය කරගෙන නැත. ඔවුන්ගේ සිරුරු එකිනෙක වැලඳගෙන තිබීම හේතුවෙන් ඉන් එක් පුද්ගලයෙක් පිරිමි පුද්ගලයෙක් ලෙසත්, අනික් පුද්ගලයා කාන්තාවක් ලෙසත් මුලින් හඳුනාගෙන තිබිණි. කෙසේ වෙතත් ඔවුන් දෙදෙනා ම පිරිමි පුද්ගලයන් බව පසුකාලීනව අනාවරණය විය. ඔවුන් දෙදෙනා සමරිසි පුද්ගලයන් වන්නට ඇති බවත්, ඊට දඬුවමක් ලෙස ඔවුන් මරා දමන්නට ඇති බවත් සමහරුන්ගේ මතය වේ.

එලින්(ග්) කාන්තාව

වයස අවුරුදු 25 දී පමණ මිය යන්නට ඇතැයි සිතිය හැකි තරුණියකගේ මෘත දේහයක් ඩෙන්මාර්කයේ ග්‍රාමීය ප්‍රදේශයකින් 1938 වසරේ දී හමු විය. අදාළ තරුණිය ක්‍රිස්තු පූර්ව 280 දී ජීවත් වන්නට ඇතැයි සැලැකේ. සත්ත්ව සමක් භාවිතයෙන් සකස් කළ ලණුවකින් ඇගේ ශරීරය වටා ගැට ගසා තිබිණි.

ඇගේ ගෙල වටා තුවාල සලකුණු කිහිපයක් දක්නට ලැබේ. ඉතා සිහින් නූල්වලින් මැසූ සළුවකින් ඇගේ ශරීරය සහ දෙපා ආවරණය කර තිබිණි. මෙම මෘත දේහය හමු වී වසර 12කට පසු, එම ස්ථානයේ සිට මීටර් 200ක් වැනි දුරක තිබී තවත් පිරිමි මෘත දේහයක් හමු විය.

එලින්(ග්) කාන්තාව – www.wikipedia.org

කොල්බ්ජර්ග් මිනිසා

මෙම මෘත දේහය 1941 වසරේ දී ඩෙන්මාර්කයෙන් හමු විය. එය ක්‍රිස්තු පූර්ව 8000දී පමණ ජීවත් වූ, වයස අවුරුදු 25ක් පමණ ජීවත් වූ පුද්ගලයකුගේ විය හැකි බව පර්යේෂකයන්ගේ මතය වේ. ඔහුගේ මරණය දියේ ගිලීම නිසා සිදු වී ඇති බව පරීක්ෂණවලින් අනාවරණය වී ඇත. මෙය ලොව මෙතෙක් වගුරු බීමක් ආශ්‍රිතව හමු වී ඇති පැරැණිත ම මෘත දේහය ලෙස සැලැකේ. හිස්කබලක් සහ අස්ථි කිහිපයක් පමණක් ඉතිරි ව ඇති එහි වදහිංසාවකට ලක් වූ බවක් නොපෙනේ. 2016 වසර වන තෙක් මෙය කාන්තාවකගේ බව බොහෝ දෙනකුගේ මතය වුවත්, සිදු කළ ඩි.එන්.ඒ පරීක්ෂණයක් හරහා එය පිරිමි පුද්ගලයකුගේ බව අනාවරණය විය.

ටෝලුන්ඩ් මිනිසා

ලොව දැනට හමු වී ඇති වඩාත් හොඳින් සංරක්ෂිත මෘත දේහය ලෙස සැලකෙන මෙය 1950 වසරේ දී ඩෙන්මාර්කයේ එලින්(ග්) කාන්තාවගේ මෘත දේහය හමු වූ ස්ථානයේ සිට මීටර් 200ක් වැනි දුරක තිබී හමු විය. මෙය ක්‍රිස්තු පූර්ව 280 හෝ ඒ ආසන්න කාලයේ ජීවත් වූ, අවුරුදු 30 සහ 40 වයසක දී මිය ගිය අයකුගේ මෘත දේහයක් බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

ටෝලුන්ඩ් මිනිසා – www.flickr.com

යමක එල්ලීම නිසා ඇති වූ හුස්ම හිරවීමක් හේතුවෙන් ඔහු මිය ගොස් ඇත. ඔහුගේ අත් පමණක් ඇටසැකිල්ලක ස්වරූපය ගන්නා අතර ඉතිරි කොටස් සියල්ල ඉතා හොඳින් සංරක්ෂණය වී ඇත. මෘත දේහයේ හිසේ තොප්පියක් දැකිය හැකි බැවින්, ඔහුගේ ඉතිරි ඇඳුම් දිරාපත් වන්නට ඇතැයි සමහරුන් පවසන අතර, තවත් සමහරුන් පවසන්නේ ඔහු මිය යන අවස්ථාවේ පැළඳ සිටින්නට ඇත්තේ තොප්පියක් පමණක් වන්නට ඇති බව යි.

ග්‍රෝබෙල් මිනිසා

දෙවියන් වෙනුවෙන් මිනිසුන් බිලිදීම වැනි පදනම් විරහිත ඇදහිලි ක්‍රම යුරෝපා රටවල ද ප්‍රචලිත ව තිබූ බව හෙළි කරන මෙම පිරිමි මෘත දේහය ඩෙන්මාර්කයේ සිල්ක්බොග් නගරයට අයත් වගුරු බිමක් අසල තිබී 1952 වසරේ දී හමු විය. වයස අවුරුදු 30 දී පමණ මිය ගොස් ඇති බවට සැලකෙන ඔහුගේ උගුරු දණ්ඩ කපා දමා තිබේ. මෘත දේහයේ මුහුණ, දෑත් සහ කකුල් ඉතා හොඳින් සංරක්ෂණය වී ඇත. මේ වන විට හමු වී ඇති මෙවැනි මෘත දේහ අතරින් වැඩි ම පරීක්ෂණ ගණනාවකට ලක් කළ මෘත දේහය මෙය වේ. යම්කිසි වගා කන්නයක අස්වැන්න අඩු වූ නිසා සශ්‍රීකත්වයට අධිපති දෙවියකු වෙනුවෙන් බිලිදීම සඳහා ඔහු ඝාතනය කරන්නට ඇතැයි සැලැකේ.

ග්‍රෝබෙල් මිනිසා – www.britishmuseum.net

ලින්ඩෝ මිනිසා

මෑතකාලීනව, එනම් 1984 වසරේ දී වයඹදිග එංගලන්තයට අයත් ප්‍රදේශයක තිබී හමු වූ මෙම මෘත දේහය ක්‍රිස්තු පූර්ව 2 සහ ක්‍රිස්තු වර්ෂ 119 අතර කාලයේ ජීවත් වූ, වයස අවුරුදු 25 දී මිය ගිය අයකුගේ බව පරීක්ෂණවලින් අනාවරණය වී ඇත. දෙවරක් හිසට සිදු වූ පහරදීම් සහ ගෙල ප්‍රදේශය කපා දැමීමක් නිසා ඔහු මිය ගොස් ඇත. වම් අතේ පැළඳි වළල්ලක් වැනි යමක් හැරෙන්නට ඔහුගේ සිරුරේ වෙනත් කිසිදු ඇඳුමක් තිබී නැත. ඔහුගේ සිරුරේ හිසකෙස් සහ නියපොතු පිළිවෙළට කපා ඇති අයුරු ද දැකිය හැකිය.

පැරැණි ක්‍රෝගන් මිනිසා (අර්ධ ශරීරයක්)

අයර්ලන්තයෙන් හමු වූ මෙම මෘත දේහය ක්‍රිස්තු පූර්ව 362 සහ 175 අතර කාලයේ ජීවත් වූ වයස අවුරුදු 20 දී පමණ මරා දැමූ අයකුගේ බවට හෙළි වී ඇත. ගෙල සිරකිරීම සහ පිහියෙන් ඇනීම නිසා ඔහු මිය යන්නට ඇති බව පර්යේෂකයන්ගේ අදහස වේ. ඔහුගේ දෑත් උල් ආයුධ භාවිතයෙන් සිදුරු කර ඇති ආකාරය ද දැකිය හැකි ය. ඔහුගේ සිරුරේ ඉණෙන් පහළ කොටස මේ වන තෙක් හමු වී නැත. මෙම මෘත දේහයේ තන පුඩු කපා දමා තිබෙන අයුරු ද දැකිය හැක. තන පුඩු කපා දමා ඇත්තේ ඔහු අසාර්ථක රජෙක් හෝ රාජ්‍යත්වය ලබා ගැනීමට උත්සහ කර, අසාර්ථක වූ අයෙක් වීමට දඬුවමක් වශයෙන් බව සමහරුන්ගේ මතය වේ.

ක්ලෝනිකාවන් මිනිසා (අර්ධ රූපය) – www.britannica.com

ක්ලෝනිකාවන් මිනිසා (අර්ධ රූපය)

පැරැණි ක්‍රෝගන් මිනිසාගේ මෘත දේහය තිබූ ස්ථානය අසල තිබී 2003 වසරේ දී සොයා ගත් මෙම මෘත දේහයේ ද ඉණෙන් පහළ කොටස කපා ඉවත් කර ඇත. එය ක්‍රිස්තු පූර්ව 392 සහ 201 අතර කාලයේ දී ජීවත් වූ වයස අවුරුදු 20 දී පමණ මිය ගිය අයකුගේ බවට අනුමාන කෙරේ.

ගෙල සිර කිරීම සහ හිසට සහ පපු ප්‍රදේශයට තෙවරක් පොරොවකින් පහරදීම හේතුවෙන් ඔහු මිය ගොස් ඇති බව පරීක්ෂණවල දී අනාවරණය වී ඇත. ඔහු සිය හිසකෙස්වල ශාක තෙල් සහ පයින් ශාකයෙන් ලබා ගත් දුම්මල විශේෂයකින් නිෂ්පාදිත තෙල් වර්ගයක් භාවිත කර ඇති බව ද සොයාගෙන ඇත. මොහු සහ පැරැණි ක්‍රෝගන් මිනිසා යන දෙදෙනා ම සශ්‍රීකත්වය, ස්වෛරීභාවය සහ යුද්ධය යන කරුණු තුන මත බිලිදීමක් වශයෙන් ඝාතනය කරන්නට ඇති බව සැලැකේ. 

කවරයේ ඡායාරූපය- www.britannica.com
මූලාශ්‍ර:
www.britishmuseum.net
www.researchgate.net
www.history.com

Related Articles