Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලොව වඩාත් ම මාරාන්තික පැළෑටි හතක්

අප අවට පරිසරයේ හට ගන්නා බොහෝ පැළෑටි හෝ ඒවායේ කොටස් ආහාර වශයෙන් භාවිත කළ හැකි ඒවා වන අතර තවත් සමහර පැළෑටි ඖෂධීය වටිනාකමක් සහිත ඒවා වේ. ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ රටවල පරිභෝජනය කරන ආහාර, දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ව හැදෑරීමේ දී ඒවා බොහොමයක් ශාක කොටස් පදනම් කරගත් ඒවා බව පෙනී යයි.

ආහාර සහ ඖෂධ සැකසීම සඳහා භාවිත කළ හැකි එවැනි ප්‍රයෝජනවත් පැළෑටි අතර කිසිසේත් ම පරිභෝජනයට නුසුදුසු, මාරාන්තික ඒවා ද තිබේ. ලොව සියලු කලාපවල එවැනි මාරාන්තික පැළෑටි වර්ග දැකිය හැකි ය. රටවල් ගණනාවක සිදු කර ඇති අධ්‍යයනවලදී හඳුනා ගෙන ඇති වඩාත් මාරාන්තික පැළෑටි කිහිපයක් පිළිබඳ ව මේ ලිපියෙන් සොයා බලමු.

හෙම්ලොක් පැළෑටියක්- www.webmd.com

1. හෙම්ලොක්

සම්භාව්‍ය ග්‍රීක දාර්ශනිකයෙක් වූ සොක්‍රටීස් ගේ මරණයට හේතු වූ බවට සැලකෙන “විස හෙම්ලොක්” පැළෑටිය ගොඩබිම මෙන් ම ජලයේ ද වැඩේ. හෙම්ලොක්, උතුරු අමෙරිකාවේ වැඩෙන වඩාත් ම මාරාන්තික පැළෑටි අතරින් එකක් ලෙස සැලැකේ. කැරට් පවුලට අයත් ශාකයක් වන මෙය සාමාන්‍යයෙන් මීටර් 2.5ක් පමණ උසට වැඩේ. එහි පත්‍ර තරමක් දිගින් යුතු ඒවා වන අතර, පොකුරක් ආකාරයට මල් හට ගනී. මෙම පැළෑටියෙහි පෙනුම සැල්දිරි සහ ආහාරයට ගන්නා පැළෑටි කිහිපයක පෙනුමට සමාන වන බැවින් බොහෝ දෙනෙක් වරදවා මෙය ආහාරයට ගන්නා බව කියැවේ.

හෙම්ලොක් පැළෑටියේ සියලු කොටස්වල, විශේෂයෙන් ම මුල් කොටස් සහ මල්වල “cicutoxin” නමින් හඳුන්වන මාරාන්තික විස අන්තර්ගත වේ. මෙම පැළෑටියේ කොටසක් හෝ ආහාරයට ගන්නා පුද්ගලයන්ට ඉතා සුළු වෙලාවක් තුළ එහි විස ශරීරගත වී බඩේ කැක්කුම, ඔක්කාරය, සහ වමනය වැනි රෝග ලක්ෂණ ඇති වේ. මෙය ආහාරයට ගන්නා බොහෝ දෙනෙක් මිය යති. දිවි ගලවා ගන්නා පුද්ගලයන් කලාතුරකින් වාර්තා වන නමුත් ඔවුන්ට විවිධ දිගුකාලීන රෝග තත්ත්වයන්ගෙන් පීඩා විඳීමට සිදු වේ.

මාරාන්තික නයිට්ෂේඩ්- www.ambius.com

2. මාරාන්තික නයිට්ෂේඩ්

මාරාන්තික නයිට්ෂේඩ් “ඇට්‍රොපා බෙලඩෝනා” සහ “බෙලඩෝනා” යන නම්වලින් ද හැඳින්වේ. එය තක්කාලි සහ වම්බටු වැනි ශාක අයත් වන “සොලනේසියේ නයිට්ෂේඩ්” පවුලට අයත් උග්‍ර විස සහිත ශාකයකි. මෙම ශාකයේ නිජබිම, යුරෝපය, උතුරු අප්‍රිකාව සහ බටහිර ආසියාව ලෙස සැලැකේ. මෙහි හට ගන්නා කුඩා ගෙඩි අධික පැණි රසයකින් යුක්ත බැවින් කුඩා දරුවන් ද ඇතුළු බොහෝ දෙනෙක් ඒවා ආහාරයට ගැනීමට පෙලැඹෙති. නයිට්ෂේඩ් ශාකයේ කඳ, පත්‍ර, මුල් සහ ගෙඩි වැනි බොහෝ කොටස්වල “ඇට්‍රොපින්” සහ “ස්කොපොලමයින්” නම් විස රසායනික අඩංගු වේ.

යම් හෙයකින් මෙම ශාකයේ හටගන්නා ගෙඩි හෝ වෙනත් කොටසක් ආහාරයට ගැනීම, හෘදය ඇතුළු ශරීරයේ බොහෝ කොටස්වල මාංශ පේශීවල ක්‍රියාකාරිත්වය අඩපණ වීමට හේතු වේ. එපමණක් නොව එහි පත්‍ර ශරීරයේ ස්පර්ශ වීම පවා යම් යම් අසාත්මිකතා ඇති වීමට හේතු විය හැකි ය. සුප්‍රසිද්ධ “මැක්බත්” නාට්‍යයට ප්‍රස්තුතය වූ ස්කොට්ලන්ත ජාතික ජෙනරාල්වරයාගේ සෙබළුන්, මෙම ශාකයේ හට ගන්නා ගෙඩිවලින් සකස් කළ වයින් පානය කිරීමට දී සතුරු සේනාවක් ඝාතනය කළ බව කියැවේ.

සුදු ස්නේක්රූට්-www.wildflower.org

3. සුදු ස්නේක්රූට්

නැඟෙනහිර සහ මධ්‍යම උතුරු අමෙරිකාවට ආවේණික වූ “Asteraceae” පවුලට අයත් සුදු ස්නේක්රූට් ශාකයේ “ට්‍රෙමැටෝල්” ලෙස හඳුන්වන විස සහිත මධ්‍යසාරයක් අඩංගු වේ. සෘජු ව ම ආහාරයට ගැනීම මෙන් ම මෙම ශාකයේ කොටසක් ඉතා සුළු වශයෙන් මිශ්‍ර වූ යමක් ආහාරයට ගැනීම පවා මරණයට හේතු වේ. මෙහි අඩංගු විස ශරීරගත වීම නිසා ඇති වන රෝග ලක්ෂණ අතර ආහාර අරුචිය, ඔක්කාරය, උදරාබාධ, දිව තද රතු පැහැයක් ගැනීම සහ රුධිරයේ ආම්ලිකතාව අසාමාන්‍ය ලෙස ඉහළ යාම වැනි ඒවා වේ.

අමෙරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපතිවරයෙක් වූ ඒබ්‍රහම් ලින්කන් ගේ මව වූ නැන්සි හැන්ක්ස් මෙම ශාකයේ අඩංගු විස ශරීරගත වීම හේතුවෙන් මිය ගොස් තිබේ. ඇය සෘජු ව මෙම ශාකයේ කොටසක් ආහාරයට ගෙන නොමැති අතර, ඇගේ මරණයට හේතු වී ඇත්තේ මෙම ශාක ආහාරයට ගත් එළදෙනක ගෙන් දොවාගත් කිරි පානය කිරීම යි. එම සිදුවීම නිසා මෙම ශාකය එළදෙනුන් වැනි සතුන් ගැවසෙන ස්ථානවලින් ඉවත් කිරීමට ගොවීහු කටයුතු කරති.

එඬරු- www.britannica.com

4. එඬරු

ශ්‍රී ලංකාවේ “එඬරු” ලෙස හඳුන්වන ශාකය වෙනත් රටවල හැඳින්වෙන්නේ “කැස්ටර් බෝංචි” නමිනි. අප්‍රිකා මහද්වීපයේ රටවලට ආවේණික ශාකයක් වන එඬරු ශාකය, විසිතුරු ශාකයක් ලෙසත්, එඬරු තෙල් නිෂ්පාදනය අරමුණු කරගත් වාණිජමය වටිනාකමක් සහිත ශාකයක් ලෙසත් වගා කෙරේ. එඬරු තෙල්, සබන්, ලිහිසි තෙල්, හයිඩ්‍රොලික් සහ තිරිංග තරල, තීන්ත, ඩයි වර්ග, ආලේපන, තීන්ත, ප්ලාස්ටික්, ඉටි, නයිලෝන් සහ සුවඳ විලවුන් වැනි දෑ නිෂ්පාදනය සඳහා භාවිත කරන අමුද්‍රව්‍යයකි.

“රයිසින්” නම් විස අඩංගු වන එඬරු බීජ ආහාරයට ගැනීම හේතුවෙන් සිදු වන මරණ සැලකිය යුතු සංඛ්‍යාවක් ලොව පුරා රටවලින් වාර්තා වේ. එම බීජ දෙකක් හෝ තුනක් ආහාරයට ගැනීම හේතුවෙන් කුඩා දරුවනුත්, පහක් හෝ හයක් වැනි සංඛ්‍යාවක් ආහාරයට ගැනීම නිසා වැඩිහිටි පුද්ගලයනුත් මරණයට පත් වන බව කියැවේ. අමෙරිකා එක්සත් ජනපදයේ දේශපාලනඥයන් සහ බල්ගේරියානු රජයට විරුද්ධ ව අදහස් දැක්වූ මාධ්‍යවේදියෙක් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන් ගණනාවක් ඝාතනය කිරීමට ද මෙම බීජ යොදා ගෙන ඇති බව විමර්ශනවලදී හෙළි වී ඇත.

ඔළිඳ- www.wikipedia.org

5. ඔළිඳ

ශ්‍රී ලංකාවේ ද බොහෝ ප්‍රදේශවල දැකිය හැකි, බොහෝ දෙනෙක් හඳුනන ශාකයක් වන ඔළිඳ ආසියානු රටවලට සහ ඔස්ට්‍රේලියාවට ආවේණික ශාකයක් වේ. ආභරණ සකස් කිරීමට සහ මිනුම් ඒකකයක් ලෙස ඉන්දියාව, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ පාකිස්තානය වැනි බොහෝ ආසියානු රටවල ඔළිඳ බීජ භාවිත කෙරේ. මෙරට සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සමඟ බැඳී ඇති ඔළිඳ කෙළිය සඳහා ද ඔළිඳ බීජ යොදා ගනී.

මෙම බීජවල “abrin” නම් විස වර්ගය අන්තර්ගත වන අතර එය ශරීරගත වීම මාරාන්තික බව පරීක්ෂණවලින් හෙළි වී ඇත. එම විෂ ශරීරගත වීම දින හතරක් වැනි කාලයක් තුළ ඉන්ද්‍රියයන් අක්‍රිය වීමට සහ මරණයට පත් වීමට හේතු විය හැකි ය. මෙම විස වර්ගය ශරීරගත වීම නිසා ඔළිඳ බීජ යොදා ගෙන ආභරණ සකස් කරන බොහෝ පුද්ගලයන් විවිධ රෝග තත්ත්වයන්ට ගොදුරු වන බව මෑතකාලීන ව සොයාගෙන තිබේ.

කනේරු- www.pinterest.com

6. කනේරු

වෙනත් රටවල ” ඕලන්ඩර්” යනුවෙන් හඳුන්වන ශාකය ශ්‍රී ලංකාවේ හඳුන්වන්නේ “කනේරු” නමිනි. විවිධ වර්ණවලින් යුතු මල් හට ගන්නා ශාකයක් වන කනේරු, රටවල් ගණනාවක විසිතුරු ශාකයක් ලෙස වගා කෙරේ. සෑම රටක ම පාහේ එය දක්නට ලැබෙන නිසා එහි නිජබිම කුමක් ද යන්න පිළිබඳ ව මේ වන තෙක් අනාවරණය වී නොමැත. ඉතා දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන කනේරු ශාකය සහ එහි මල් පිළිබඳ ව පුරාණ රෝම ග්‍රන්ථවල පවා සඳහන් වේ.

කනේරු ශාකයේ සියලු කොටස්, විශේෂයෙන් ම බීජ මාරාන්තික වන අතර එහි “ඔලෙන්ඩ්‍රින්” සහ “නෙරීන්” යන විස රසායනික අඩංගු වේ. කනේරු ශාකයේ යම්කිසි කොටසක් ශරීරගත වීම, වමනය, පාචනය, වලිප්පුව, සහ අක්‍රමවත් රුධිර සංසරණය වැනි තත්ත්වයන්ට හේතු විය හැක. එය කෝමා තත්ත්වයන්ට සහ මරණයට ද හේතු වේ. මෙම ශාකයේ අඩංගු විස කොතරම් උග්‍ර ද යත් කනේරු මල්වල පැණි උරා බිව් මී මැස්සන් නිෂ්පාදනය කළ මී පැණි ආහාරයට ගැනීමෙන් පවා පුද්ගලයන් රෝගාතුර වූ අවස්ථා ඇත.

දුම්කොළ- www.thehindu.com

7. දුම්කොළ

දුම්කොළ ලොව බහුලව ම වගා කරන, ආහාර නොවන සහ මිනිසාට අහිතකර ප්‍රතිපල ගෙන දෙන ශාකය ලෙස හඳුනා ගෙන ඇත. දුම්කොළ ශාකයේ සියලුම කොටස්, විශේෂයෙන් එහි පත්‍රවල, “ඇල්කලෝයිඩ්”, “නිකොටින්” සහ “ඇනබසින්” වැනි විසරසායන අඩංගු වේ. හෘද රෝග, අක්මා දියවීම, සහ මුඛ පිළිකා වැනි මාරාන්තික රෝග තත්ත්වයන්ට දුම්කොළ හේතු වන බව බොහෝ දෙනෙක් දන්නා නමුත් ලොව පුරා විශාල වශයෙන් දුම්කොළ භාවිත කෙරේ. විවිධ ආකාරවලින් දුම්කොළ ශරීරගත වීම නිසා ඇති වන දිර්ඝකාලීන රෝග තත්ත්වයන් හේතුවෙන් වසරකට පුද්ගලයන් මිලියන පහකට වැඩි සංඛ්‍යාවක් මිය යන බව සමීක්ෂණවලින් සොයා ගෙන තිබේ.

කවරයේ ඡායාරූපය- ඒබ්‍රහම් ලින්කන්ගේ මව සුදු ස්නේක්රූට් ශාකයේ අඩංගු විස ශරීරගත වී මිය ගියාය - www.britannica.com
මූලාශ්‍ර:

www.britannica.com
www.gizmodo.com
www.lovethegarden.com

Related Articles