Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

2021 වන විට ලොව ඉහළ ම වැටුප් ලැබූ රාජ්‍ය නායකයෝ 7ක්

සාමාන්‍ය ජනතාවට වඩා බොහෝ වරප්‍රසාදවලට හිමිකම් කියන කණ්ඩායමක් ලෙස දේශපාලනඥයන් ප්‍රසිද්ධ බව විශේෂයෙන් කිව යුතු නොවේ. බොහෝ රටවල දේශපාලනඥයන්ට රථවාහන, නිල නිවාස, කාර්ය මණ්ඩල සහ විවිධ දීමනා වැනි බොහෝ වරප්‍රසාද ලැබේ. වැදගත් ම කරුණ වන්නේ දියුණු රටවල පමණක් නොව නොදියුණු සහ සංවර්ධනය වෙමින් පවතින රටවල පවා දේශපාලනඥයන්ගේ සුවපහසුව වෙනුවෙන් මුදල් ප්‍රතිපාදන වෙන් වීම යි.

මෙම ලිපිය ලෝකයේ රාජ්‍ය නායකයන් ගණනාවක් අතරින් 2021 වන විට වැඩි ම වැටුප් ලද රාජ්‍ය නායක, නායිකාවන් කිහිප දෙනෙක් පිළිබඳව යි.

1. ලී සියෙන් ලූං/ සිංගප්පූරු අග්‍රාමාත්‍ය

‘South China Morning Post’ වරක් වාර්තා කළේ 2004 සිට සිංගප්පූරු දේශපාලනයේ ඉහළින් ම සිටින ලූං ලෝකයේ අන් කවර රාජ්‍ය නායකයකුටත් වඩා වැටුපක් ලබන බව යි. ඔහුට ලැබෙන වාර්ෂික වැටුප අමෙරිකානු ඩොලර් මිලියන 1.6ක් වන අතර එය එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩ්න් ලබන වැටුප මෙන් සිව් ගුණයකි.

ලී සියෙන් ලූං –  www.jakartaglobe.id

සිංගප්පූරුවේ නිර්මාතෘ ලී ක්වාන් යූ ගේ පාලන සමයේ පටන් ඉහළ පෙලේ නිලධාරීන්ගේ වැටුප් තල එරට ඉහළ ආදායම් ලබන පුද්ගලික අංශයේ සේවකයන්ගේ වැටුප්වලට සමපාත වන ආකාරයෙන් සකස් කර ඇත. ඊට අමතර ව එරට රාජ්‍ය ආයතනවල සහ ඉහළ පෙලේ රාජ්‍ය නිලධාරීන් අතර දූෂණ සහ වංචා වැලැක්වීම සඳහා දැඩි නීති රෙගුලාසි ක්‍රියාත්මක වේ. ඒ නිසාම ලොව අඩුවෙන් ම දූෂිත රජයන් අතර සිංගප්පූරුව ඉහළින්ම සිටී.

2. කැරී ලැම්/ හොංකොං හි ප්‍රධාන විධායක

ලොව ඉහළ ම වැටුප් ලබන රාජ්‍ය නායකයන් අතර දෙවැනි ස්ථානයේ පසු වන්නේ වාර්ෂික ව අමෙරිකානු ඩොලර් 672,000කට වැටුපක් ලබන හොංකොංහි ප්‍රධාන විධායක කැරී ලැම් ය. පුවත්පත් වාර්තා සඳහන් කරන ආකාරයට එක්සත් ජනපදය පනවා ඇති සම්බාධක හමුවේ ඇයට අත්‍යවශ්‍ය බැංකු කටයුතු තහනම් කර ඇති බැවින් ඇගේ නිවසේ මුදල් නෝට්ටු මිටි ගණන් ගබඩා කර ඇත.

කැරී ලැම්/ www.ft.com

හොංකොං පරිපාලනය මෑතක දී සිය විරුද්ධවාදීන්ට ජීවිත කාලය පුරාවට ම බලපැවැත්වෙන පරිදි සිර දඬුවම් නියම කිරීමට හැකි වන ආකාරයෙන් නව ජාතික ආරක්ෂාව පිළිබඳ නීතියක් හඳුන්වා දීමට කටයුතු කර ඇත. කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් මුල සිට ම සිය අප්‍රසාදය පළ කළ එක්සත් ජනපදය හොංකොංහි රාජ්‍ය නායිකාවට පමණක් නොව බැංකු කිහිපයකට ද එරෙහි ව සම්බාධක පනවා ඇත.

3. සිමොනෙටා සොමාරුගා/ ස්විට්සර්ලන්ත ජනාධිපති

ලොව වඩාත් දියුණු රටවල් අතරින් එකක් වන ස්විට්සර්ලන්තයේ රාජ්‍ය නායකයා ඉහළ ම වැටුප් ලබන රාජ්‍ය නායකයන් අතර සිටීම පුදුමයට කරුණක් නොවේ. ස්විට්සර්ලන්ත ජනාධිපති සිමොනෙටා 2021 වන විට ලැබූ වාර්ෂික වැටුප අමෙරිකානු ඩොලර් 482,000කි.

සිමොනෙටා – www.intgovforum.org

ස්විට්සර්ලන්තය ද දේශපාලන ක්ෂේත්‍රයේ සහ රාජ්‍ය සේවයේ සිදු වන දූෂණ සහ වංචා පාලනය කිරීම ප්‍රගතිශීලි වැඩසටහන් ගණනාවක් හඳුන්වා දී ඇත. එරට පුරවැසියන්ගේ ආදායම ද ලොව අනිකුත් රටවලට සාපේක්ෂව ඉතා ඉහළ අගයක් ගනී. 2020 වන විට එරට ඒක පුද්ගල ආදායම දැක්වුණේ අමෙරිකානු ඩොලර් 86,601 ක් වශයෙනි.

4. ජෝ බයිඩ්න්/ එක්සත් ජනපද ජනාධිපති

ලෝක බලවතා ලෙස සැලකෙන එක්සත් ජනපදයේ ජනාධිපති ධුරය දරන බැවින් මෙම ලැයිස්තුවේ පළමු ස්ථානය හිමි විය යුත්තේ බයිඩ්න්ට යැයි යමකු උපකල්පනය කළ හැක. කෙසේ වෙතත් ඔහුට හිමි වන වාර්ෂික වැටුප අමෙරිකානු ඩොලර් 400,000කි.

ඊට අමතරව සුවපහසු කාමර 132කින් සමන්විත ධවල මන්දිරයේ සුඛෝපභෝගී ජිවිතයක් ගත කරන බයිඩ්න්ට එරට ජනාධිපතිවරයා වෙනුවෙන්ම වෙන් වූ ගුවන් යානයකින් පියාසර කිරීමට ද අවස්ථාව හිමි වේ. වර්ග අඩි 4,000ක වපසරියකින් යුතු එහි හදිසි සැත්කම් සිදු කළ හැකි ශල්‍යාගාරයක් සහ පුද්ගලයන් 100කට පමණ එකවර ආහාර පිළියෙළ කළ හැකි මුළුතැන්ගෙවල් කිහිපයක් ද තිබේ.

ජෝ බයිඩ්න් – www.theverge.com

එමෙන්ම එක්සත් ජනපදයේ ජනාධිපති ධුරය හොබවන පුද්ගලයන් සිය ධුරයෙන් විශ්‍රාම ගිය පසු විවිධ වැඩසටහන් සඳහා සහභාගී වන අතර ඒවා හරහා ඔවුන්ට විශාල ආදායමක් ලැබෙන බව කියැවේ.

5. ස්කොට් මොරිසන්/ ඕස්ට්‍රේලියානු අගමැති

පසුගිය දා වන තුරු ඕස්ට්‍රේලියානු අගමැති ධුරය හෙබැ වූ ස්කොට් මොරිසන් සංවර්ධිත ලෝකයේ ඉහළ ම වැටුප් ලබන රාජ්‍ය නායකයන් අතර පස්වැනි ස්ථානයේ සිටියේ ය. වාර්ෂික ව අමෙරිකානු ඩොලර් 550,000ක වැටුපක් ලද ඔහු ලොව වැඩි ම වැටුප් ලබන රාජ්‍ය නායකයන් අතර පස්වැනි ස්ථානයේ පසු විය. 2021 ජුලි මාසය වන විට ඔහුගේ මූලික වැටුප ඩොලර් 211,250ක් විය. ඊට අමතර ව ඔහුට තවත් ඩොලර් 338,000ක මුදලක් ලැබිණි. ආසන්න වශයෙන් ඔහු දිනකට ඩොලර් 1,505ක් උපයා ඇති බවට ගණන් බලා ඇත.

ස්කොට් මොරිසන් – www.amp.abc.net.au

සිය වැටුප පමණක් නොව අනිකුත් පුරවැසියන්ගේ වැටුප පිළිබඳව ද සිතන ඔහු කොවිඩ්-19 වසංගත සමයේ එරට රාජ්‍ය සහ පුද්ගලික අංශයේ සේවකයන්ගේ වැටුප් කප්පාදු කිරීමට විවිධ පාර්ශව ඉදිරිපත් කළ යෝජනා ප්‍රතික්ෂේප කළේය. ඔහු පැවසුවේ එරට රාජ්‍ය නායකයා රැකියාවක් කරන බවත්, ඒ රැකියාව සම්බන්ධයෙන් ඔහු එරට ජනතාවට වගවිය යුතු බවත් ය.

6. ඇන්ජලා මර්කල්/ ජර්මානු චාන්සලර්

හිටපු ජර්මානු චාන්සලර් ඇන්ජලා මර්කල් ලද වාර්ෂික වැටුප අමෙරිකානු ඩොලර් 369,000කි. එය එරට සාමාන්‍ය පුරවැසියකුගේ ආදායම මෙන් අට ගුණයකි. 2021 වන විට ජර්මනියේ ඒක පුද්ගල ආදායම ඩොලර් 46, 719කි. වෘත්තියෙන් විද්‍යාඥවරියක් වූ මර්කල් මුල් වරට ජර්මානු චාන්සලර් ලෙස පත් වූයේ 2005 වසරේ දී ය.

ඇන්ජලා/ www.newsharward.edu

පසුගිය දා වන විට ඇය ගත කරමින් සිටියේ සිය සිව්වැනි සහ අවසාන ධුර කාලය යි. මෑතක දී පැවැත්වූ මැතිවරණවලදී ඇගේ පක්ෂය පරාජය වුවත් වර්තමානයේ දී පවා ඇය ලොව බලවත් ම කාන්තාවන් අතර ඉහළ ස්ථානයක සිටී. ජර්මනිය උග්‍ර ආර්ථික අර්බුදයකට මුහුණ දුන් කාලයේ එරට ආර්ථිකය ශක්තිමත් කිරීමට ඇය කටයුතු කළා ය.

7. ජසින්ඩා ආර්ඩ්න්/ නවසීලන්ත අග්‍රාමාත්‍ය

ලොව වැඩි ම වැටුප් ලබන රාජ්‍ය නායකයන් අතර හත්වැනි ස්ථානයේ සිටින්නේ නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය ජසින්ඩා ආර්ඩ්න් ය. 2021 වන විට ඇය ලබමින් සිටි වාර්ෂික වැටුප අමෙරිකානු ඩොලර් 339,000 කි. 2008 වසරේ සිට නවසීලන්ත පාර්ලිමේන්තුව නියෝජනය කරන ඇය එරට කම්කරු පක්ෂයේ නායිකාව සහ විපක්ෂ නායිකාව ලෙස ද කටයුතු කළා ය. 2017 දී නවසීලන්තයේ 40 වැනි අග්‍රාමාත්‍යවරිය ලෙස තේරී පත් වූ ඇය 2020 දී සිය පළමු ධුර කාලය අවසන් කළා ය. 2020 වසරේ පැවති මැතිවරණයෙන් ජය ලැබූ ඇය දෙවැනි වරටත් එරට අග්‍රාමාත්‍යවරිය ලෙස තේරී පත් වූවා ය.

ජසින්ඩා – www.NDTV.com

කවරයේ ඡායාරූපය- ඡායාරූප කිහිපයක එකතුවක් - www.knowinsiders.com

මූලාශ්‍ර:

www.knowinsiders.com

The South Asia China Post

www.intgovforum.net

Related Articles