වසර දහස් ගණන් පැරැණි පුස්තකාල 7ක්

මේ වන විට විවිධ තාක්ෂණික ක්‍රම භාවිත කර පොත්පත් කියවීමට බොහෝ දෙනකු හුරු වී ඇති නමුත් එය පුස්තකාලයකට ගොස් පොතක් කියවීම තරම් මිහිරක් ගෙන නොදෙන බව නොරහසකි. ‘පුස්තකාලය’ යනු කියවීමට කැමැති ඕනෑම කෙනකුගේ ජීවිත සමඟ එතරම් තදින් බැඳුණු දෙයකි.

වර්තමානයේ මෙන් ම මීට වසර දහස් ගණනකට පෙර පටන් ද ‘පුස්තකාල’ සංකල්පය ලොව පුරා පැතිරී තිබිණි. මෑතකාලීන ව විවිධ රටවලින් හමු වී ඇති වසර දහස් ගණන් පැරැණි පුස්තකාලවල නටබුන් ඊට කදි ම නිදසුනකි. මෙම ලිපියෙන් එවැනි දීර්ඝ ඉතිහාසයක් සහිත පුස්තකාල කිහිපයක් පිළිබඳ ව දැන ගනිමු.

අෂුර්බනිපාල් පුස්තකාලයේ තිබූ පුවරු ලිපියක් – www.history.com

 

1. අෂුර්බනිපාල් ගේ පුස්තකාලය

ලොව පැරැණිත ම පුස්තකාලවලින් එකක් ලෙස සැලකෙන අෂුර්බනිපාල්ගේ පුස්තකාලය ක්‍රිස්තු පූර්ව හත්වැනි සියවසේ දී ඉදි කර තිබේ. එය වර්තමාන ඉරාකයේ පිහිටා තිබිණි. ඇසිරියානු අධිරාජ්‍යය හෙවත් වර්තමාන ඉරාකයේ රජ කළ අෂුර්බනිපාල් රජුගේ පරිහරණය උදෙසා මෙම පුස්තකාලය පිහිටුවා ඇත. මෙම පුස්තකාලය තුළ විවිධ විෂයයන් හා සබැඳි කරුණු සටහන් කළ පුවරු 30,000ක් පමණ තබා තිබූ බව කියැවේ. ඒ අතර ආගමික සහ වෙනත් ශාස්ත්‍රීය ලියවිලි ගණනාවක් වූ අතර වසර 4,000ක් පැරණි “ගිල්ගමේෂ් වීර කාව්‍යය” ඇතුළු සාහිත්‍ය කෘති කිහිපයක් ද විය.

කියවීමට දැඩි කැමැත්තක් දැක් වූ අෂුර්බනිපාල් බැබිලෝනියාව සහ වෙනත් රටවල් ආක්‍රමණය කිරීමේ දී ඒවායේ තිබූ ලිපි ලේඛන දහස් ගණනක් පැහැර ගත් බව කියැවේ. එවැනි ලිපි ලේඛන ගණනාවක් සොරකම් කළත් ඔහු පසුකාලීන ව සොරකම් කිරීම පිළිබඳ පසුතැවීමෙන් සිටි බව පිළිබිඹු කරන ලියවිල්ලක් ද මේ වන විට සොයා ගෙන තිබේ. එහි සඳහන් වන්නේ යම් අයකු සිය පුස්තකාලයේ ඇති ලියවිලි සොරකම් කළහොත් දෙවියන් ඔවුන්ගේ වංශය සහ නාමය යම් දිනෙක මකා දමනු ඇති බව යි. 19 වැනි සියවසේ මැද භාගයේ දී පුරාවිද්‍යාඥයන් මෙම පුස්තකාලයේ නටබුන් කැණීම් කර සොයා ගත් ඉහත කී ලියවිලිවලින් කිහිපයක් මේ වන විට ලන්ඩන් කෞතුකාගාරයේ සුරක්ෂිත ව තබා තිබේ.

ඇලෙක්සැන්ඩ්‍රියා පුපුස්තකාලය ගින්නෙන් දැවෙන අයුරු දැක්වෙන සිතුවමක් – Fine Art Images- Getty Images

 

2. ඇලෙක්සැන්ඩ්‍රියා පුස්තකාලය

ක්‍රිස්තු පූර්ව 323 දී සිදු වූ මහා ඇලෙක්සැන්ඩර් රජුගේ මරණයෙන් පසු ඊජිප්තුවේ පාලකයා බවට පත් වූ පළවැනි ටොලමි සෝටර් ඇලෙක්සැන්ඩ්‍රියා නගරයේ ඉගෙනුම් මධ්‍යස්ථානයක් පිහිටුවා තිබේ. එය පසුකාලීන ව ඇලෙක්සැන්ඩ්‍රියා පුස්තකාලය බවට වූ අතර පුරාණ ලෝකයේ දැනුම් ගබඩාව ලෙස හැඳින්වූයේ ද එය යි. භෞතික සැකැස්ම කෙබඳු එකක් වූවාද යන්න පිළිබඳ ව බොහෝ තොරතුරු නැතත්, සාහිත්‍ය, ඉතිහාසය, නීතිය, ගණිතය සහ විද්‍යාව වැනි විෂයයන් පදනම් කරගෙන ලියැවුණු පැපිරස් ලියවිලි 500,000කට වැඩි සංඛ්‍යාවක් මෙම පුස්තකාලයේ තිබූ බව කියැ වේ.

මධ්‍යධරණී මුහුද ආශ්‍රිත රටවල සිට පැමිණි බොහෝ දෙනෙක් මෙම පුස්තකාලය සහ ඊට අනුබද්ධ පර්යේෂණ ආයතනයෙන් දැනුම ලබා ගෙන සුප්‍රසිද්ධ විද්වතුන් බවට පත් වූහ. ඒ අතර ඉයුක්ලිඩ් සහ ආකිමිඩිස් වැනි අය ප්‍රධාන තැනක් ගනී. මෙහි අභාවය සිදු වූ කාල සීමාව පිළිබඳ ව විවිධ මත ඉදිරිපත් වී තිබේ.

ඉන් එකක් වන්නේ ක්‍රිස්තු පූර්ව 48 දී ජූලියස් සීසර් ඇලෙක්සැන්ඩ්‍රියාවේ වරායට ගිනි තැබූ අවස්ථාවක මෙම පුස්තකාලය ද එම ගින්නෙන් විනාශ වී ගිය බව යි. එම ගින්නෙන් පුස්තකාලය විනාශ නොවූ බව සහ තවත් ශත වර්ෂ ගණනාවක් තිස්සේ එය පැවති බව තවත් සමහරුන්ගේ මතය යි. ඇලෙක්සැන්ඩ්‍රියා පුස්තකාලය විනාශ වී ගියේ ක්‍රිස්තු පූර්ව 270 දී බවට තවත් මතයක් ඉදිරිපත් වී තිබේ.

පර්ගමම් පුස්තකාලයේ කල්පිත සිතුවමක් – De Agostini- Getty Images

 

3. පර්ගමම් පුස්තකාලය

වර්තමාන තුර්කියේ පිහිටා තිබූ මෙම පුස්තකාලය ක්‍රිස්තු පූර්ව තුන්වැනි සියවසේ දී ඉදි කර ඇත්තේ එක්තරා රජ පවුලක සාමාජිකයන් ය. එහි විවිධ විෂයයන් ඔස්සේ ලියැවුණු ලිපි ලේඛන සහ පොත්පත් 200,000ක් පමණ තිබිණි. ග්‍රීක දෙවඟනක් වන ඇතීනා දෙවඟන වෙනුවෙන් කැප කළ දේවල සංකීර්ණයක් තුළ පුස්තකාලය පිහිටා තිබිණි.

එහි පොත්පත් තැබීම සඳහා වෙන් කළ කාමර තුනක් සහ සම්මන්ත්‍රණ සහ වෙනත් උත්සව අවස්ථා සඳහා භාවිත කළ එක් කාමරයක් පිහිටා තිබූ බවත් කියැවේ. පර්ගමම් පුස්තකාලය කොතරම් ප්‍රසිද්ධියට පත් වූවා ද කිවහොත් එය, ඇලෙක්සැන්ඩ්‍රියාවේ පුස්තකාලය සමඟ “දැඩි තරගකාරී” බවකින් ක්‍රියාත්මක ව ඇත. පසුකාලීනව ඊජිප්තුවේ ටොලමියානු රාජවංශය පුස්තකාලයේ වර්ධනය අඩපණ කිරීමේ බලාපොරොත්තුවෙන් පර්ගමම් වෙත පැපිරස් සැපයීම නැවැත්වූ බවට පුරාවෘත්තයක් තිබේ.

‘ද පැපිරි විලා’ හි නටබුන් – Eric VANDEVILLE- Getty Images

 

4. ‘ද පැපිරි විලා’

ඉහත කී ඒවා මෙන් ඉතා විශාල පුස්තකාලයක් නොවූවත් වර්තමාන ඉතාලියේ පිහිටි, ‘ද පැපිරි විලා’ හි ගබඩා කර තිබූ ලියකියවිලිවලින් බොහොමයක් මේ වන විට සොයාගෙන තිබේ. ජුලියස් සීසර්ගේ මාමණ්ඩිය වන ලුසියස් කැල්පූර්නියස් පිසෝ සීසොනිනස් ඉදි කළ උද්‍යානයක පිහිටා තිබූ ගොඩනැඟිල්ලක මෙම ලියවිලි එකතුව ගබඩා කර තිබූ බවට විශ්වාස කෙරේ.

ක්‍රිස්තු වර්ෂ 79 දී ඒ අසල පිහිටි වෙසුවියස් ගිනිකන්ද පුපුරා ගිය අවස්ථාවේ මෙම ලියවිලි එකතුව ඊට යට වුවත් එහි තිබූ ලියවිලි බොහොමයක් පාෂාණවලට යටවීම නිසා සංරක්ෂණය වී තිබිණි. 18 වැනි සියවසේ දී එම ස්ථානයේ සිදු කළ කැණීම්වලින් එම ලියවිලිවලින් බොහොමයක් සොයා ගත් අතර එතැන් පටන් විවිධ තාක්ෂණික ක්‍රමවේද භාවිතා කරමින් ඒවායේ සඳහන් වන දෑ කියවීමට ඉතිහාසඥයන් උත්සහ දරමින් සිටී. ඒ අයුරින් සිදු කළ අධ්‍යයනවලදී හෙළි වී ඇත්තේ එපිකියුරියානු දාර්ශනිකයකු සහ කවියකු වන ෆිලෝඩෙමස් රචිත ලියවිලි ද ඒ අතර වන බව යි.

ට්‍රේජන් අධිරාජ්‍යයා කරවූ ගොඩනැගිලි සංකීර්ණයට අයත් නටබුන් කුළුණු – John Harper- Getty Images

 

5. රෝමයේ ට්‍රේජන් අධිරාජ්‍යයා කර වූ පුස්තකාලය

රෝමයේ ට්‍රේජන් අධිරාජ්‍යයා ක්‍රිස්තු වර්ෂ 112 දී බහුකාර්ය ගොඩනැඟිලි සංකීර්ණයක් ඉදි කළ අතර එය වෙළෙඳ සංකීර්ණ සහ ආගමික ස්ථාන වැනි පරිශ්‍ර ගණනාවකින් සමන්විත විය. එම ගොඩනැඟිලි සංකීර්ණයේ පිහිටා තිබූ තවත් සුවිශේෂී ස්ථානයක් වූ පුස්තකාලය එවකට රෝමයේ වඩාත් ප්‍රසිද්ධ පුස්තකාලවලින් එකක් විය.

එම පුස්තකාලය කොතරම් හොඳින් සැලසුම් කර තිබුණා ද යත් එහි ග්‍රීක සහ රෝම යන භාෂාවලින් රචිත පොතපත ගබඩා කර තිබුණේ වෙන් වෙන් වශයෙනි. පුස්තකාලය අසල යුද ජයග්‍රහණ සැමරීම සඳහා ඉදි කළ ස්මාරකයක් ද පිහිටා තිබිණි. පුස්තකාලය තුළ විවිධ ලියවිලි සහ පොත් 20,000ක් පමණ ගබඩා කර තිබූ අතර විශාල කියවීම් ශාලා දෙකක් පිහිටා තිබිණි. එය ආරම්භ කර වසර 300ක් වැනි කාලයකින් පසු විනාශ වී ගිය බව කියැවේ.

ඉම්පීරියල් පුස්තකාලය පිහිටා තිබූ බවට සැලකෙන ස්ථානය – Ken Welsh- Getty Images

 

6. කොන්ස්තන්තිනෝපලයේ ඉම්පීරියල් පුස්තකාලය

බටහිර අධිරාජ්‍යය බිඳ වැටීමෙන් බොහෝ කලකට පසු, බයිසන්තියානු අධිරාජ්‍යයේ අගනුවර වූ කොන්ස්තන්තිනෝපලය තුළ සම්භාව්‍ය ග්‍රීක සහ රෝම චින්තනය ජනප්‍රිය වන්නට විය. එහි ප්‍රතිපලයක් ලෙස ක්‍රිස්තු වර්ෂ හතරවැනි සියවසේ දී ඉම්පීරියල් පුස්තකාලය බිහි වූ බව ඉතිහාසයේ සඳහන් වේ. කෙසේ වෙතත් ක්‍රිස්තු වර්ෂ පස්වැනි සියවස දක්වා එය තරමක කුඩා පුස්තකාලයක් ලෙස පැවතිණි.

පස්වැනි සියවසේ දී එහි තිබූ ලියවිලි සහ පොත් සංඛ්‍යාව 120,000ක් දක්වා වැඩි වී තිබේ. කෙසේ වෙතත් නිරන්තරයෙන් ඇති වූ ගිනිගැනීම් සහ නොසලකා හැරීම නිසා මෙම පුස්තකාලයේ ප්‍රමාණය ක්‍රම ක්‍රමයෙන් අඩු වන්නට විය. 1204 ඇති වූ යුදමය තත්ත්වයක් නිසා එය සම්පූර්ණයෙන් ම පාහේ විනාශ විය.

සෙල්සස් පුස්තකාලයේ පිවිසුම – www.history.com

 

7. සෙල්සස් පුස්තකාලය

රෝම අධිරාජ්‍යයට අයත් සෙල්සස් පුස්තකාලය වර්තමානයේ අයත් වන්නේ තුර්කියට යි. එය ක්‍රිස්තු වර්ෂ 120 දී, රෝමානු කොන්සල්වරයකු වූ ටයිබීරියස් ජුලියස් සෙල්සස් පොලෙමේනස්ගේ පුත්‍රයා වන එෆීසස් සිය පියා අනුස්මරණය කිරීම සඳහා ඉදි කරවූ පුස්තකාලයක් බව මුලාශ්‍රයන්හි සඳහන් වේ. එම ගොඩනැඟිල්ලේ පිවිසුම වර්තමානයේ දී පවා දැකිය හැකි අතර එය මහල් දෙකකින් යුතු, විසිතුරු කැටයම් සහිත කුළුණු 16කින් යුතු පිවිසුමකි.

එහි පළමු මහලේ සෑම කුළුණු දෙකක් අතර ම ප්‍රඥාව, ගුණවත්කම, බුද්ධිය සහ දැනුම නිරූපණය කරන ප්‍රතිමාවක් බැගින් ප්‍රතිමා හතරක් තබා තිබේ. අතීතයේ එහි පොත් සහ විවිධ ලියවිලි 12,000කට ආසන්න ප්‍රමාණයක් තබා තිබූ බව විශ්වාස කෙරේ.

කවරයේ ඡායාරූපය- පුස්තකාලයක් ඇතුළත ඡායාරූපයක්/ www.imperiumromaunmpl.com

මූලාශ්‍ර: 

www.history.com/ Evan Andrews

www.historyofyesterday.com

www.bbc.com

Related Articles