Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

යුගොස්ලාවියාව බිඳී සෑදුන රටවල්

පැරණි යුගෝස්ලාවියාව​

පැරණි යුගොස්ලාවියාව 1996 දී. මේ වන විට සර්බියාව සහ මොන්ටිනීග්‍රෝව තවදුරටත් යුගෝස්ලාවියාවේ කොටස් වූ අතර කොසොවෝව ද සර්බියාව තුළ වූ ස්වතන්ත්‍ර පළාතක් විය​. සර්බියාවේ උතුරින් වන අනෙක් ස්වතන්ත්‍ර පළාත වොයිවොදීනා ය​. (University of Texas, Austin)

යුගෝස්ලාවියාව යන රාජ්‍යය උපත ලැබුවේ 1918 දී පළමු ලෝක යුද්ධය නිම වූවාට පසුවයි. මුල් කාලයේ එය සර්බ්, ක්‍රොඇට්, සහ ස්ලොවීන්වරුන්ගේ රාජධානිය නම් වූ අතර 1929 දී යුගෝස්ලාවියාව ලෙස නම් කෙරුණා.

දෙවන ලෝක යුද්ධයේදී මෙය ජර්මන් – ඉතාලි පාලනයට නතු වුණා. යුද්ධය අවසන් වෙද්දී එය කොමියුනිස්ට් පාලනයකට නතු වුණා. එවිට එරට ෆෙඩරල් රාජ්‍යයක් බවට පත් වූ අතර එහි සමූහාණ්ඩු හයක් සහ ස්වතන්ත්‍ර පළාත් දෙකක් වුණා.

1991න් පසු මෙම රාජ්‍යය කැබලිවලට කැඩී ගියා.

1. සර්බියාව​

සර්බියාව

පැරණි යුගෝස්ලාවියාවේ ප්‍රධානම සමූහාණ්ඩුව වූයේ සර්බියාවයි. යුගෝස්ලාව් සමාජවාදී සමූහාණ්ඩුවේ අගනුවර වූ බෙල්ග්‍රේඩ් හෙවත් බියෝග්‍රාඩ් නගරය පිහිටියේද මෙම සමූහාණ්ඩුව තුළයි. 1991 දී යුගෝස්ලාවියාව කැඩී යාමට එක් හේතුවක් වූයේ එරට පාලනය සර්බ්වරුන් යටතේ පැවතීම කෙරෙහි අනෙක් සමූහාණ්ඩු දැක්වූ අකමැත්තයි. යුගෝස්ලාවියාව බිඳ වැටුණ පසුවත් සර්බියාව සහ මොන්ටිනීග්‍රෝව එක් රටක් ලෙස කලක් පැවති අතර 2006 දී මොන්ටිනීග්‍රෝව ද බෙදී වෙන් වූ හෙයින් වර්තමාන සර්බියාව බිහි වුණා. පසුව 2008 දී කොසොවෝ පළාත ද නිල වශයෙන් මෙයින් බිඳී ගියා.

2. ක්‍රොයේෂියාව​

ක්‍රොයේෂියාව

මෙරටෙහි අගනුවර වන්නේ සග්‍රෙබ් නගරයයි. බහුතර ජනතාව ක්‍රොඇට්වරුන් වන අතර 1991 දී යුගෝස්ලාවියාවෙන් වෙන් වුණා. මේ අවස්ථාවේ සිවිල් යුධ තත්ත්වයක් වර්ධනය වුණ අතර 1992 දී යුගෝස්ලාව් හමුදාව ක්‍රොයේෂියාව තුළ යුධ මෙහෙයුම් නැවැත්වූවා. නමුත් ක්‍රොඇට් ජාතිකවාදීන් 1995 වනතුරු බොස්නියාවේ යුධ වැදී සිටියා.

3. බොස්නියාව සහ හර්සගොවිනාව​

බොස්නියාව සහ හර්සගොවිනාව

බොස්නියා හර්සගොවිනා සමූහාණ්ඩුව පැරණි යුගෝස්ලාවියාවේ විශේෂිත ප්‍රදේශයක්. 1991 දී එහි සියයට 44 ක් ජනතාව මුස්ලිම්වරුන් වූ අතර සියයට 31 ක් සර්බියානුවන් ද සියයට 17 ක් ක්‍රොයේෂියානුවන් ද වුණා. මේ කණ්ඩායම් තුනම එකිනෙකා හා සටන් කරන්නට වුණා. මෙහිදී විශේෂයෙන්ම සර්බියානු පාලනය යටතේ වූ යුගෝස්ලාව් හමුදා සහ සර්බියානු මිලිෂියා භටයින් විසින් මුස්ලිම් ජනතාව වෙත එල්ල කළ ප්‍රහාර සහ ජන සංහාරයන් පිළිබඳ වාර්තා වන අතර ඒ පිළිබඳ පසුව ජාත්‍යන්තර නඩු විභාග පවා පැවැත්වුණා. 1995 දී බොස්නියානු යුද්ධය නිමවා සාම ගිවිසුමකට පැමිණුනා.

4. ස්ලොවීනියාව

ස්ලොවීනියාව​

1991 ජූනි මාසයේදී ස්ලොවීනියාව ස්වාධීනතාව පිළිබඳ ජනමත විචාරණයක් පැවැත්වූ අතර ඉන් අති බහුතරයක් ජනයා එරට ස්වාධීන විය යුතු බව කියා සිටියා. එහි ප්‍රතිඵලය ලෙස යුගෝස්ලාවියානු හමුදා 1991 ජූනි මාසයේදී ස්ලොවීනියාවට එරෙහිව යුධ මෙහෙයුමක් පටන් ගනු ලැබුණා. දින දහයක් පැවති ස්ලොවීනියා ස්වාධීනතා යුද්ධය අවසන දී එහි ස්වාධීනතාව ස්ථාවර කරනු ලැබුණා.

5. මැසඩෝනියාව​

මැසඩෝනියාව​

පැරණි යුගෝස්ලාවියාවේ සමූහාණ්ඩු අතුරින් වැඩි කලබලයකින් තොරව 1991 දී ස්වාධීනතාව ප්‍රකාශ කළ සමූහාණ්ඩුව වූයේ මැසඩෝනියාවයි. 1991 සැප්තැම්බරයේදී පැවති ජනමත විචාරණයකින් පසු එය ස්වාධීන රාජ්‍යයක් බවට පත් වුණා.

6. මොන්ටිනීග්‍රෝව

මොන්ටිනීග්‍රෝව

මොන්ටිනීග්‍රෝව 2006 තෙක් සර්බියාව සමඟ දිගටම ෆෙඩරේශනයක් පවත්වාගන ගියා. 2003 වන තුරු එම රට යුගෝස්ලාවියාව ලෙසින්ම හැඳින්වූ නමුත් ඉන්පසු එය සර්බියාව සහ මොන්ටිනීග්‍රෝව ලෙස හඳුන්වනු ලැබුණා. 2006 දී මොන්ටිනීග්‍රෝව ස්වාධීනත්වය ප්‍රකාශ කළා.

7. කොසොවෝ

කොසොවෝ

සර්බියාවේ කොසොවෝ ස්වතන්ත්‍ර ප්‍රදේශයේ බහුතර ජනතාව ඇල්බේනියානුවන් වුණා. සර්බ් නායක ස්ලෝබොදාන් මිලොසෙවිච් යටතේ සර්බියානුවන් ඇල්බේනියානුවන්ගේ අයිතීන් කප්පාදු කරන බවට චෝදනා එල්ල වෙද්දී 1990 දශකයේ දෙවන භාගයේ කොසොවෝ හි සන්නද්ධ අරගලයක් පටන් ගැනුණා. සර්බියානුවන් ඊට පිළිතුරු දක්වන විට දස දහස් ගණනින් කොසොවෝ ජාතිකයන් රට අතැර ගියා. සර්බියානුවන් කොසොවෝ ජාතිකයන්ව මර්ධනය කරන බව පවසමින් 1999 දී නේටෝ සංවිධානය සර්බියාවට එරෙහිව යුධ මෙහෙයුම් ඇරඹුවා. එහි අවසන කොසොවෝ ප්‍රදේශය එක්සත් ජාතීන්ගේ පාලනයට නතු වුණා. 2008 දී එහි පැවති ජනමත විචාරණයකින් පසු කොසොවෝ රට ස්වාධීනත්වය ප්‍රකාශ කළා.

කෙසේ නමුත් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල නිශේධ බලය හිමි සාමාජිකයකු වන රුසියාව කොසොවෝ රාජ්‍යය එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වය ලබාගැනීමට එරෙහි වන බැවින් මේ වනවිටත් කොසොවෝ රාජ්‍යයට එහි සාමාජිකත්වය ලැබී නැහැ.

Related Articles