Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලංකා දේශපාලනයේ තවත් පවුල් තුනක්

පසුගිය දිනෙක “ලිස්ට්” තුළින් ලංකාවේ පාලනය කළ/ කරන දේශපාලන පවුල් තුනක් පිළිබඳ ව විස්තරයක් ගෙන ආවා ඔබට මතක ඇති. එම ලිපියෙන් සේනානායක පවුල, රාජපක්ෂ පවුල, හා විජේවර්ධන පවුල පිළිබඳ ව දේශපාලනික තොරතුරු ගෙන ආවා.

ශ්‍රී ලංකා දේශපාලනික ඉතිහාසය තුළ රට පාලනය කළ තවත් පවුල් කිහිපයක් දකින්න පුළුවන්. අද ‘ලිස්ට්’ තුළින් ගෙන එන්නේ එවැනි තවත් දේශපාලන පවුල් තුනක් පිළිබඳ ව විස්තර යි.

බණ්ඩාරනායක පවුල

බණ්ඩාරනායක පවුල (DBS Jeyaraj)

ශ්‍රී වික්‍රම රාජසිංහ රජු අත්අඩංගුවට ගැනීමට ගිය ඉංග්‍රීසින් සමග සිටි සිංහල ප්‍රභූවරයෙක් ලෙස දොන් විලියම් ඒඩ්‍රියන් ඩයස් බණ්ඩාරනායක මහ මුදලි ව හැදින්විය හැකියි. ඔහුට දාව සොලමන් ඩයස් බණ්ඩාරනායක බිහිවෙනවා. සොලමන් බණ්ඩාරනායක පසු ව දේශපාලනයට පිවිසීමේ අරමුණෙන් යුතු ව බෞද්ධයෙකු බවට පත්වෙනවා.

විශාල ඉඩකඩම් ප්‍රමාණයකට හා වැවිලි ව්‍යාපාරවලට හිමිකම් කියන සොලමන් බණ්ඩාරනායක ගම්පහ ප්‍රදේශයේ වතු යායක හොරගොල්ල වලව්ව ඉදිකරනවා. ඔබේසේකර පරපුරෙන් පැවැත එන ෆොරස්ටර් ඔබේසේකර මුදලිගේ දියණියක වන ඩේසි ඇසිලින් ඔබේසේකර සමග විවාහ වෙන සොලමන් බණ්ඩාරනායකට දාව දරුවන් තිදෙනෙකු මෙලොව එළිය දකිනවා.

ඉන් වැඩිමහල් දරුවා වූ සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක හෙවත් එස්. ඩබ්. ආර්. ඩි. බණ්ඩාරනායක මෙරට හතරවන අගමැතිවරයා බවට පත්වෙනවා. ඔහු රත්නපුර එල්ලාවල වලව්වේ බාන්ස් රත්වත්තේ දිසාවට දාව උපත ලබන සිරිමා රත්වත්තේ සමග විවාහ වෙනවා. සිරිමා රත්වත්තේ ඩයස් බණ්ඩාරනායක ලෝකයේ ප්‍රථම අගමැතිනිය ලෙස 1960 දී මෙරට අග්‍රාමාත්‍යවරිය බවට පත්වෙනවා. ඉන්පසු ව තවත් අවස්ථා දෙකක් අගමැතිවරිය ලෙස කටයුතු කරනවා.

ඔවුන් දෙපළට දාව ඉපදෙන චන්ද්‍රිකා බණ්ඩාරනායක, අගමැතිවරියක් මෙන්ම ජනාධිපතිවරියක් ලෙස ද කටයුතු කරනවා. චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ සොහොයුරා වන අනුර ප්‍රියදර්ශි සොලමන් ඩයස් බණ්ඩාරනායක ද වරෙක පාර්ලිමේන්තු අමාත්‍යවරයෙක් ලෙස කටයුතු කරනවා. ඔහු විවාහ නොවී 2008 දී මරණයට පත් වීම හේතුවෙන් බණ්ඩාරනායක පවුලේ අවසානය සනිටුහන් වෙනවා.

ජයවර්ධන පවුල

ජුනියස් රිචඩ් ජයවර්ධන (Famous People)

ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ව අත්අඩංගුවට ගැනීමට ගිය තවත් එක් ප්‍රභූවරයෙක් ලෙස දොන් අදිරියන් විජයසිංහ ජයවර්ධන මුදලි ව හැදින්විය හැකියි. ඔහුගේ පුත්‍රයාගේ පුත්‍රයා වන්නේ ජේමිස් ඇල්ෆ්‍රඩ් ජයවර්ධන යි. ඉයුජින් විල්ෆ්‍රඩ් ජයවර්ධන උපත ලබන්නේ ජේමිස් ඇල්ෆ්‍රඩ් ජයවර්ධනට දාව යි.

අධිකරණ විනිසුරුවරයෙකු වූ ඉයුජින් විල්ෆ්‍රඩ් ජයවර්ධන, ශ්‍රී ලංකාවේ තවත් දේශපාලන පවුලක් වන විජේවර්ධන පවුලේ ඇග්නස් හෙලන් විජේවර්ධන සමග විවාහ වෙනවා. ඔවුන් දෙදෙනාට දාව උපත ලබන ජුනියස් රිචඩ් ජයවර්ධන හෙවත් ජේ.ආර්. ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපතිවරයා බවට පත් වෙනවා. ජේ.ආර්.ගේ පුත්‍රයා වන රවීන්ද්‍ර ජයවර්ධන තම පියා යටතේ කාලයක් ජාතික ආරක්ෂාව පිළිබඳ උපදේශකවරයෙක් ලෙස කටයුතු කරනවා.

ආටිගල පවුල

ජෝන් කොතලාවල (Aththa Withthi)

ලංකාවේ දේශපාලන ඉතිහාසය තුළ මෙම පවුල සුවිශේෂ යි. එයට හේතුව වන්නේ ආටිගල පවුලෙන් රටේ නායකයන් සෘජු ව බිහි නොකළත් රටේ බොහෝ දේශපාලන නායකයින් ප්‍රමාණයක් බිහි කිරීමට වක්‍ර ව දායකත්වය සැපයීම යි.

මිනිරන් පතල් හා විශාල තේ, පොල්, හා රබර් ඉඩම් ප්‍රමාණයකට හිමිකම් කියූ ධනපති ඩී. සී. ජී. ආටිගල මුදලිට සිටි දරුවන් අතරින් එක් දියණියක් වන ඇලිස් ආටිගල විවාහ වන්නේ තවත් ඉඩම් හිමි වැවිලිකරුවෙකු වූ ජෝන් කොතලාවල සමග යි. ඔවුන් දෙදෙනාගේ පුත්‍රයා වන ජෝන් කොතලාවල පසු ව ලංකාවේ තුන්වන අග්‍රාමාත්‍යවරයා බවට පත්වෙනවා.

ආටිගල මුදලිගේ තවත් දියණියක් වන ලීනා ආටිගල විවාහ වන්නේ ජේ. ආර්. ජයවර්ධනගේ සොහොයුරෙක් වන කර්නල් ටී. ජී. ජයවර්ධන සමග යි.

ආටිගල මුදලිගේ අනෙක් දියණිය වන එලන් ආටිගල, ඩි. එස්. සේනානායකගේ සොහොයුරෙක් වන කොළඹ මහ නගර සභාවේ සාමාජිකයෙකු වූ නීතිඥ එෆ්. ආර්. සේනානායක සමග විවාහ වෙනවා.

Related Articles