දෝෂාභියෝගවලට බියෙන් ඉල්ලා අස්වුණු ජනාධිපතිවරු තිදෙනෙක්

වර්තමාන ශ්‍රී ලංකාව තුළ දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් සිටිනවා. ආණ්ඩුවේ දුර්වල ආර්ථික කළමනාකරණය හේතුවෙන් අර්බුදය නිර්මාණය වුණු බවට බොහෝ දෙනා චෝදනා කරනවා. වත්මන් ජනාධිපතිවරයාට සිය ධූරයෙන් ඉවත් වන මෙන් ඉල්ලා උද්ඝෝෂණ ව්‍යාපාරයක් ද රට පුරා පැවැත්වෙනවා. ඒ අතරතුර ජනාධිපතිවරයාට එරෙහි ව දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීමට විපක්ෂය සූදානමින් සිටින බවට ද පැවසෙනවා.

ශ්‍රී ලංකා ඉතිහාසයේ දී ජනාධිපතිවරයකුට එරෙහි ව ඉදිරිපත් වුණු එක ම දෝෂාභියෝගය 1991 දී එවකට ජනාධිපති රණසිංහ ප්‍රේමදාස එරෙහි ව ඉදිරිපත් වුණා.  එම දෝෂාභියෝගයෙන් ඔහු ජයග්‍රහණය කළා. ශ්‍රී ලංකාවේ තත්ත්වය එසේ වුණත් ලෝකයේ ඇතැම් රටවල්වල බලවත් ජනාධිපතිවරුන් පවා දෝෂාභියෝග හරහා ධූරයෙන් පහ කර තිබෙනවා. එහි දී සමහර ජනාධිපතිවරුන් දෝෂාභියෝගයෙන් පරාජයට පත්වීමට පෙර සිය තනතුරෙන් ඉල්ලා අස් වුණා.

මෙම ලිපියෙන් ඔබ වෙත ගෙන එන්නේ දෝෂාභියෝගවලට බියෙන් ඉල්ලා අස් වුණු  ජනාධිපතිවරු තිදෙනෙක් පිළිබඳ යි.  

1) රිචඩ් නික්සන් (අමෙරිකාව)- 1974 අගෝස්තු 8 වැනිදා 

අමෙරිකානු ඉතිහාසය තුළ හමුවන ප්‍රබල දේශපාලන චරිතයක් වන රිචඩ් නික්සන් මුල් ම වරට කාගේත් අවධානය දිනා ගත්තේ 1952 අමෙරිකානු ජනාධිපතිවරණයේ දී යි. රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ඩුවයිට් අයිසන්හවර්ගේ සහායකයා ලෙසින් එදා තරග බිමට පිවිසි නික්සන් අවසානයේ දී උප ජනාධිපති තනතුරට පත් වුණා. ඉන් වසර හතරකට පසුව පැවති ජනාධිපතිවරණයෙන් අයිසන්හවර් නැවතත් ජයග්‍රහණය කළා. එහි ප්‍රතිඵලයක් වශයෙන් අමෙරිකාවේ උප ජනාධිපති තනතුරට නික්සන් යළිත් වරක් පත් වුණා. 

ඩුවයිට් අයිසන්හවර් – gettyimages.com

 

අයිසන්හවර්ගේ ධූර කාල දෙක අවසන් වීමෙන් පසු 1960 දී පැවති ජනාධිපතිවරණයේ දී රිචඩ් නික්සන් රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති අපේක්ෂකයා ලෙසින් තරග බිමට පිවිසියා. එහි දී ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂක ජෝන් එෆ්. කෙනඩි සමඟින් ප්‍රබල සටනක නිරත වුණු නික්සන්, ඡන්ද විද්‍යාල ආසන 303-219ක් ලෙසින් මැතිවරණය පරාජයට පත් වුණා.

ඉන් වසර 8කට පසුව එනම් 1968 දී පැවති අමෙරිකානු ජනාධිපතිවරණයේ දී රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂකයා ලෙසින් සටන් බිමට නැවතත් පිවිසි නික්සන් ඡන්ද විද්‍යාල ආසන 301ක් දිනාගෙන අමෙරිකාවේ 37 වන ජනාධිපතිවරයා බවට පත් වුණා. 1972 දීජනාධිපතිවරණයට යළිත්  තරග වැදුණු නික්සන් ඡන්ද විද්‍යාල ආසන 520ක් දිනා ගෙන වාර්තාගත ජයග්‍රහණයක් අත්පත් කර ගත්තා.

රිචඩ් නික්සන් – gettyimages.com

 

විශාල ජනවරමකින් බලයට පත් වුණු නික්සන්ට වසර 2ක් ගතවීමටත් පෙර සිය තනතුර අත් හැරීමට සිදුවුණේ වෝටර්ගේට් සිද්ධිය නිසා යි. 1972 අමෙරිකානු ජනාධිපතිවරණය පැවති කාලයේ වොෂිංටනයේ වෝටර්ගේට් සංකීර්ණයේ පිහිටා තිබුණු ඩිමොක්‍රටික් ජාතික කමිටු (DNC) ගොඩනැඟිල්ලක් ආශ්‍රිත සිදුවුණු හොරකමකින් වෝටර්ගේට් සිද්ධි දාමය ආරම්භ වුණා.

එහි දී රිපබ්ලිකන් පක්ෂ සංවිධායකයන් ප්‍රතිවාදීන්ට අයත් රහසිගත ලිපිගොනු සොරකම් කර දුරකතන මාර්ග ටැප් කිරීම සිදු කළා. දුරකතන මාර්ග ටැප් කිරීමේ ක්‍රියාවලිය සිතූ තරම් සාර්ථක නොවුණු නිසා රිපබ්ලිකන් පක්ෂ ඔත්තුකරුවන් DNC ගොඩනැඟිල්ලට හොර රහසේ ම නැවතත් ඇතුළු වුණා. එම අවස්ථාවේ ඔවුන් පොලිස් අත්අඩංගුවට පත් වුණා. 

වෝටර්ගේට් ගොඩනැඟිලි සංකීර්ණය – gettyimages.com

 

1972 ජනාධිපතිවරණය ආරම්භ වීමට මාස කිහිපයකට පෙර සිදුවුණු මෙම අවාසනාවන්ත සිදුවීම ගැන නික්සන්ට බොහෝ දෙනෙක් චෝදනා එල්ල කළා. එම අවස්ථාවේ දී නික්සන් කතාවක් කරමින් සිය නිර්දෝෂිභාවය ඔප්පු කළා. එනිසා නික්සන්ට ජනතා අනුකම්පාව හිමි වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන්  ඔහුට ජනාධිපතිවරණයෙන් වාර්තාගත ජයක් උරුම වුණා.

නික්සන් ජනාධිපති තනතුරට නැවත වරක් පත් වී වසරක් ගත වීමට පෙර අපකීර්තිමත් වෝටර්ගේට් සිද්ධිය සම්බන්ධ ව සැඟවී තිබුණු තොරතුරු රැසක් හෙළිදරවු වුණා. නික්සන් සිය අනුගාමිකයන් සමඟ එදා සිදු කළ සාකච්ඡාවල හඬපට පවා කරළියට පැමිණීමෙන් පසුව තත්ත්වය වඩාත් බරපතළ  වුණා. ඉන් අනතුරුව නික්සන් ජනාධිපතිවරයාට එරෙහි ව නීත්‍යානුකූලව කටයුතු නොකිරීම, අපරාධ වසන් කිරීම, බලය අයථා ලෙස පරිහරණය කිරීම යන කරුණු තුන යටතේ දෝෂාභියෝග චෝදනාවක් ඉදිරිපත් වුණා. 

1974 ජූලි 30 වැනිදා වන විට එම චෝදනා ත්‍රිත්වය සම්මත වීම හේතුවෙන්  අගෝස්තු 20 වැනි දින දෝෂාභියෝගය විභාග කිරීමට නියමිත ව තිබුණා. අගෝස්තු 8 වැනිදා ජනාධිපති රිචඩ් නික්සන් සිය ධූරයෙන් ඉල්ලා අස් වුණා. අමෙරිකානු ඉතිහාසයේ ඉල්ලා අස් වුණු පළමු සහ එකම ජනාධිපතිවරයා ලෙසින් ඔහු ඒ අනුව  ඉතිහාසගත වුණා. 

නික්සන් තනතුරෙන් ඉවත් වුණු අවස්ථාව – gettyimages.com

 

2) පර්වේස් මුෂාරෆ් (පාකිස්තානය)- 2008 අගෝස්තු 18

පාකිස්තාන ඉතිහාසයේ ප්‍රසිද්ධියට පත් වුණු හමුදා ප්‍රධානීන් අතර ජෙනරාල් පර්වේස් මුෂාරෆ්ට සුවිශේෂී ස්ථානයක් හිමි වෙනවා. 1997 දී පැවති පාකිස්තාන මහා මැතිවරණයෙන් ජය ගත් නවාස් ෂරීෆ් එරට අගමැතිවරයා බවට පත් වුණා. ඔහු බලයට පත් වී වසර 2ක් යාමට පෙර ජෙනරාල් මුෂාරෆ්ට පාකිස්තාන යුද හමුදා ප්‍රධානි තනතුර ලබා දුන්නා.

කාශ්මීරය මුල් කර ගෙන ඉන්දියාවට එරෙහි ව 1999 දී පැවති කාගිල් යුද්ධයේ දී මුෂාරෆ් සිය රටේ හමුදාව මෙහෙයවූවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔහුට රට තුළ විශාල ජනප්‍රියත්වයක් හිමි වුණා. 

කාගිල් යුද්ධයේ අවස්ථාවක් – gettyimages.com

 

මුෂාරෆ් සහ නවාස් අතර තිබුණු හිතවත්කම වැඩි කල් පැවතුණේ නැහැ. ඔවුන් දෙදෙනා අතර ඇති වුණු විරසකයෙහි ප්‍රතිඵලයක් වශයෙන් 1999 ඔක්තෝබර් මාසයේ දී හමුදා කුමන්ත්‍රණයක් මඟින් පාකිස්තානයේ බලය අල්ලා ගැනීමට මුෂාරෆ්ට හැකි වුණා.

එම කුමන්ත්‍රණය සිදු වී මාස 20ක් පමණ ගත වෙද්දී පාකිස්තානයේ ජනාධිපතිවරයා ලෙසින් මුෂාරෆ් රාජකාරි ආරම්භ කළා. එදා සිට අඛණ්ඩව වසර 7ක් පාකිස්තානයේ ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කිරීමට ඔහුට හැකි වුණා. එම කාලය තුළ පැවති 2004 සහ 2007 ජනාධිපතිවරණවල දී මුෂාරෆ්ට විශිෂ්ට ජයක් ලබා ගත්තා.

හිටපු පාකිස්තාන අගමැති නවාස් ෂරීෆ්- gettyimages.com

 

පාකිස්තාන මහා මැතිවරණය 2008 ජනවාරි 8 වැනිදා පැවැත්වීමට නියමිත ව තිබුණා. ජනාධිපති මුෂාරෆ් සිය බලතල යොදාගෙන 2007 නොවැම්බර් 3 වැනිදා හදිසි නීතිය පැනවූවා. එම තීරණය නිසා මුෂාරෆ්ගේ ජනප්‍රියත්වය ශීඝ්‍රයෙන් පහළ ගියා.

හදිසි නීතිය පැනවීම නිසා කල් ගිය පාකිස්තාන මහා මැතිවරණය 2008 පෙබරවාරි 18 වැනි දා පැවැත්වුණා. එහි දී පාකිස්තාන මහජන පක්ෂය වැඩි ආසන ගණනක් දිනා ගනිද්දී මුෂාරෆ්ගේ පාකිස්තාන මුස්ලිම් ලීගය තෙවන ස්ථානය දක්වා පසු බැස්සා.

පර්වේස් මුෂාරෆ් – gettyimages.com

පාකිස්තානයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ව ක්‍රියා කරමින් හදිසි නීතිය පැනවීම හේතුවෙන් මුෂාරෆ්ට එරෙහි ව රාජද්‍රෝහී චෝදනාවක් එල්ල වුණා. මුෂාරෆ් පාකිස්තාන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 6 වන වගන්තිය උල්ලංඝණය කර තිබුණා. මුෂාරෆ් ජනාධිපතිවරයා සිදු කළ එම නීති විරෝධී ක්‍රියාවට එරෙහි ව දෝෂාභියෝගයක් ගෙන ඒමට පාකිස්තාන මහජන පක්ෂය සහ තවත් මුෂාරෆ් විරෝධී පක්ෂ කිහිපයක් එකට එකතු වුණා.

එම සන්ධානය මුෂාරෆ්ට ඉල්ලා අස්වීම සඳහා 2008 අගෝස්තු 19 වැනිදා තෙක් දින ලබා දුන්නා. සිය විරුද්ධවාදීන් ඉදිරිපත් කිරීමට සූදානමින් සිටි දෝෂාභියෝගයෙන් තමන් නියත වශයෙන්  පරාජය වන බව තේරුම් ගත් මුෂාරෆ් 2008 අගෝස්තු 18 වැනිදා ජනාධිපති තනතුරෙන් ඉල්ලා අස් වුණා. මුෂාරෆ්ගේ ඉල්ලා අස්වීමෙන් මාස 3කට පසුව පැවති පාකිස්තාන ජනාධිපතිවරණයේ දී පාකිස්තාන මහජන පක්ෂයේ අපේක්ෂක අසීෆ් අලි සර්දාරි විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගෙන පාකිස්තානයේ ඊළඟ ජනාධිපතිවරයා වශයෙන් තේරී පත් වුණා.

අසීෆ් අලි සර්දාරි – gettyimages.com

 

3) රොබට් මුගාබේ (සිම්බාබ්වේ)- 2017 නොවැම්බර් 21 

වර්තමානය වන විට ලොව තිබෙන දිළිඳු ම රාජ්‍ය කිහිපය අතරට සිම්බාබ්වේ රජ්‍යය ද අයත්. සිම්බාබ්වේ රාජ්‍යය එවැනි තත්ත්වයකට පත්වුණේ රොබට් මුගාබේ ජනාධිපතිවරයාගේ  දූෂිත පාලනය නිසා යි.

1980 සිම්බාබ්වේ මහා මැතිවරණයේ දී සිම්බාබ්වේ අප්‍රිකානු ජාතික එකමුතුව, දේශප්‍රේමී පෙරමුණ නම් පක්ෂයෙන් සටනට පිවිසි රොබට් මුගාබේ වැඩි ආසන ප්‍රමාණයක් ලබා ගෙන අගමැති තනතුරට පත් වුණා. 1987 දී සිම්බාබ්වේ ව්‍යවස්ථාව වෙනස් කළ මුගාබේ විධායක බලතල සහිත ජනාධිපති තනතුරක් ඇති කළා. 1987 දෙසැම්බර් 30 වැනිදා මුගාබේ එම තනතුරට පත් වුණා.

මුගාබේ 1980 දශකයේ දී – gettyimages.com

 

මුගාබේගේ දූෂිත පාලනය නිසා 1990 දශකයේ මැද භාගයේ සිට එරට ආර්ථිකය කඩා වැටුණා. රටේ ජනතාවට රැකියා සහ මුදල් නොමැති වෙද්දී මුගාබේ රජය කළේ සීමාවක් නොමැතිව මුදල් අච්චු ගැසීම යි. කර්මාන්ත හා නිෂ්පාදන කඩා වැටීමෙන් භාණ්ඩ හිඟයක් ඇති වුණු  විට ඒ සුළු භාණ්ඩ ප්‍රමාණය මිලට ගැනීමට සඳහා විශාල තරගයක් ඇති වුණා. එවිට බඩු මිල ඉහළ ගියා.

 මුදල් හිඟ වීම හේතුවෙන් ආණ්ඩුව තව තවත් මුදල් අච්චු ගැසුවා. අයහපත් කළමනාකරණය හේතුවෙන් නිෂ්පාදන අඩපණ වුණා. භාණ්ඩ හිඟයට ප්‍රතිකර්මයක් නොවූ හෙයින් මෙම ක්‍රියාවලිය චක්‍රයක් සේ ඇදී ගියා. ආණ්ඩුව ද තමන් සතු එක ම උපක්‍රමය වුණු මුදල් අච්චු ගැසීම දිගට ම කර ගෙන ගියා. 

සිම්බාබ්වේ රාජ්‍යය තුළ පැවති භාණ්ඩ හිඟය – gettyimages.com

 

සිම්බාබ්වේ ඩොලරය තුන් වතාවක් අව ප්‍රමාණය කිරීමෙන් පසුවත් මෙම කඩා වැටීම පාලනය කරන්න ආණ්ඩුවට නොහැකි වුණා. අවසානයේ ඩොලර් ට්‍රිලියන 100 මුදල් නෝට්ටුවක් පවා අච්චු ගැසීමට ඔවුන්ට සිදු වුණා. 

විකල්පයක් නොමැති තැන සිම්බාබ්වේ ආණ්ඩුව සිම්බාබ්වේ ඩොලර් භාවිතය 2009 අප්‍රේල් මාසයේ දී ඉවත් කළා. ඉන් අනතුරුව අමෙරිකන් ඩොලර්, යූරෝ, දකුණු අප්‍රිකානු රෑන්ඩ්, චීන යුවාන් ආදී මුදල් ඒකක එරට තුළ භාවිත කරන්නට පටන් ගත්තා. 

සිම්බාබ්වේ ට්‍රිලියන 100 මුදල් නෝට්ටුව – gettyimages.com

 

රටේ ආර්ථිකක කඩාගෙන වැටෙද්දී ඒ පිළිබඳ කිසිදු තැකීමක් නොකළ මුගාබේ දූෂිත මැතිවරණ පවත්වමින් දිගින් දිගට ම බලයේ රැඳී සිටියා. ඒ අයුරින් කාලය ගතවෙද්දී උප ජනාධිපති එමර්සන් ම්නන්ගග්වා 2017 නොවැම්බරයේ දී කිසිවකු බලාපොරොත්තු නොවුණු අයුරින් ධූරයෙන් පහ කිරීමට මුගාබේ කටයුතු කළා.

ඉන් පසුව සිය බිරිඳ වුණු ග්‍රේස් මුගාබේ උප ජනාධිපති තනතුරට පත් කිරීමට බලාපොරොත්තු වන බව මුගාබේ පවසා සිටියා. එහි යටි අරමුණ වුණේ ඔහුගෙන් පසු ජනාධිපති තනතුර බිරියට ලබා දීම යි. 

මුගාබේ සහ බිරිය – gettyimages.com

 

මුගාබේගේ එම තීරණයත් සමඟ ම ජනතා විරෝධතා රට පුරා  ආරම්භ වුණා. ඒ අතරතුර රටේ හමුදා ප්‍රධානීන් සහ මුගාබේ අතර සාකච්ඡාවක් පැවතුණා. එහි දී ඔවුන් මුගාබේට බලයෙන් ඉවත් වන ලෙස දන්වා සිටියා.

සිම්බාබ්වේ හමුදා ග්‍රේස් මුගාබේට හිතවත් විශාල පිරිසක් 2017 නොවැම්බර් 15 වැනිදා අත්අඩංගුවට ගත්තා. නොවැම්බර් 18 වැනිදා වන විට හරාරේ සහ බුලවායෝ වැනි ප්‍රධාන නගරවලට රැස් වුණු දහස් සංඛ්‍යාත ජනතාවක් මුගාබේට ඉල්ලා අස් වන මෙන් බල කර සිටියා. 

මුගාබේට එරෙහිව පැවති විරෝධතා – gettyimages.com

 

2017 නොවැම්බර් 19 වැනිදා මුගාබේගේ දේශපාලන පක්ෂයේ මධ්‍යම කමිටුව දැඩි තීරණයක් ගත්තා. ඒ මුගාබේ පක්ෂ නායකත්වයෙන් ඉවත් කරමින් ඔහුගේ බිරිය පක්ෂයෙන් නෙරපා දැමීම යි. ඔවුන් මුගාබේට ඉල්ලා අස්වීම සඳහා 2017 නොවැම්බර් 20 වැනි දා දහවල් 12 දක්වා කල් ලබා දුන්නා. 

ඒ මොහොතේ සිය ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් නොකළ මුගාබේ එදින  රාත්‍රියේ ජාතිය ඇමතීමට තීරණය කළා. එම කතාවේ දී ඔහු සිය ඉල්ලා අස්වීම පිළිබඳ නිවේදනය කරනු ඇතැයි බොහෝ දෙනෙක් අපේක්ෂා කළා. මුගාබේ එදින සිය ධූරයෙන් ඉල්ලා අස් වුණේ නැහැ.

මුගාබේ ජාතිය ඇමතීම – indianexpress.com

 

මුගාබේ 2017 නොවැම්බර් 20 වැනිදා දහවල් වෙද්දී ධූරයෙන් ඉල්ලා අස් නොවුණු නිසා එදින සවස ඔහුට එරෙහි ව දෝෂාභියෝගයක් ගෙන ඒම පාර්ලිමේන්තුව හරහා සිදු වුණා. 

එම දෝෂාභියෝග යෝජනාව 2017 නොවැම්බර් 21 වැනිදා විභාගයට ගැනුණා. එය විභාගයට ගෙන සුළු මොහොතකින් මුගාබේ සිය ඉල්ලා අස්වීමේ ලිපිය කතානායකයා වෙත භාර දුන්නා. ඒ සමඟ ම සිම්බාබ්වේ රාජ්‍යයේ 37 වසරක් පැවති මුගාබේ පාලනය බිඳ වැටුණා. 

කවරයේ ඡායාරූපය- රොබට් මුගාබේ- gettyimages.com 

මූලාශ්‍ර:

history.com

watergate.info

theguardian.com

cfr.org

bbc.com

reuters.com

  *Tags-  *Topics- News and Report *URL- 

Related Articles