Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

රුසියාව ආක්‍රමණය කර පරාජය වුණ පාලකයෝ

01. ස්වීඩනයේ XII වන චාර්ල්ස් රජු

ස්වීඩනයේ XII වන චාර්ල්ස් රජු (යොහාන් ඩේවිඩ් ෂ්වාර්ට්ස්ගේ චිත්‍රයක්)

1700 – 1721 සමයේ මහා උතුරුදිග යුද්ධයේදී රුසියාව සහ එරටෙහි මිතුරු රටවල් වූ පෝලන්තයත්, ඩෙන්මාර්කයත්, ස්වීඩනය සමඟ යුධ වැදුණා. ස්වීඩනය කුඩා නමුත් ප්‍රබල හමුදා සේනාංක භාවිතයෙන් ප්‍රතිවාදීන් පරාජය කිරීමට හුරුව සිටියා.

1708 ජනවාරියේදී 40,000 ක සේනාවක් සමඟ වන චාර්ල්ස් විස්ටියුලා නදිය තරණය කර රුසියානු අධිරාජ්‍යයට ඇතුලු වුණා. රුසියානුවන් මෙහිදී කළේ ගම් බිම් වනසමින් පසුබැසීමයි. ඒ හේතුවෙන් විශාල රුසියානු භූමිය ඔස්සේ ඉදිරියට ගිය ස්වීඩන් හමුදාවලට ආහාර සොයා ගැනීම පහසු වූයේ නැහැ. මේ සේනාවට 1709 විනාශකාරී සීත සෘතුවට මුහුණ දීමට සිදු වුණා. එයින් එම සේනාව 24,000 දක්වා අඩු වුණා. 1709 මැයි මාසයේදී පොල්ටාවා සංග්‍රාමයේදී එම සේනාව රුසියානුවන් අතින් පරාජය වුණා.

02. ප්‍රංශයේ නැපෝලියන් අධිරාජයා

බොරෝඩිනෝ සටන (ලුවී-ෆ්‍රංශුවා ලෙජූන්ගේ චිත්‍රයක්/Public Domain)

1812 ජූනි මාසයේදී නැපෝලියන් රුසියාව ආක්‍රමණය කළේ ප්‍රංශයෙන් සහ වෙනත් රටවල්වලින් බඳවා ගත් 650,000 ක හෝ ඊට මඳක් වැඩි සේනාංකයක් සමඟයි. මේ අවස්ථාවේ රුසියාවේ හමුදා ප්‍රධානියා වූ ෆීල්ඩ් මාර්ශල් මිහායිල් කුතූසොෆ් සිය හමුදා පසු බැස්සවූවා. නැපෝලියන්ටත් විශාල රුසියානු භූමිය ඔස්සේ ඉදිරියට ඇදෙන්නට සිදු වූයේ විනාශ කළ ගම් බිම් මැදින්.

1812 සැප්තැම්බර් 7 වනදා මොස්කව්වලට බටහිරින් බොරෝඩිනෝ ප්‍රදේශයේදී දෙපිරිස අතර විශාල සටනක් සිදු වූ අතර දෙපිරිසටම විශාල ජීවිත හානි සිදු වද්දී රුසියානුවන් පසු බැස්සා. ඉන් සතියකට පසු නැපෝලියන් මොස්කව් අල්ලා ගනිද්දී රුසියානුවන් නගරය අතැර ගොස් තිබුණා.

රුසියානුවන්ට යටත් වීමේ අදහසක් නොවූ අතර​ ශීත සෘතුව එළඹෙමින් තිබුණ හෙයින් නැපෝලියන් පසු බැසීමට තීරණය කළා.

පසුබසින හමුදාවට ශීතලෙන් මෙන්ම රුසියානුවන්ගේ ප්‍රහාරවලින් ද පීඩා විඳීමට සිදු වුණා. 1812 අවසානයේ යළි පැමිණෙන ප්‍රංශ සේනාංකවල සටන් කළ හැකි සෙබලුන් සිටියේ 20,000 ක පමණ ප්‍රමාණයක් පමණයි.

03. ජර්මනියේ ඇඩොල්ෆ් හිට්ලර්

මොස්කව් කරා යන අතරවාරයේ ජර්මන් හමුදා ස්මොලෙන්ස්ක් නගරය අල්ලාගනී (AP)

1941 ජූනි 22 වනදා “බාබරෝසා මෙහෙයුම​” ක්‍රියාත්මක කරමින් මිලියන 4 ක පමණ දැවැන්ත සේනාංකයක් සෝවියට් දේශයට කඩා වැදුණා. ජර්මානු සේනා ප්‍රධාන ඉලක්ක තුනක් කරා ගමන් කළා. එක් හමුදා කණ්ඩායමක් ලෙනින්ග්‍රෑඩ් (වර්තමාන සාන්ත පීටර්ස්බර්ග්) කරා යද්දී දෙවැනි කණ්ඩායම මොස්කව් වෙතත්, තෙවනි කණ්ඩායම යුක්‍රේනයටත් සිය ප්‍රහාරයන් දියත් කළා.ඔවුන් මොස්කව් නගරය පෙනෙන තෙක් මානයටම පැමිණියද​, ශීත සෘතුව එළඹීමත් සමඟ දැඩි පීඩාවකට ලක් වුණා. 1941 දෙසැම්බර් 5 වනදා මොස්කව් අසළ ඇරඹි සෝවියට් ප්‍රතිප්‍රහාර හේතුවෙන් හිට්ලර්ගේ හමුදා පසු බැස්සා.

ඉන්පසු 1944 අවසානය පමණ වනතුරු සෝවියට් හමුදා විසින් ජර්මන් හමුදා අල්ලාගත් තම පාලන ප්‍රදේශ කෙමෙන් කෙමෙන් නිදහස් කරගත්තා.

Cover Image: ඇඩොල්ෆ් හිට්ලර් (dineshdsouza.com)

Related Articles