Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලොව හුදෙකලා දූපත් අටක්

ලෝකයේ බොහෝ රටවල ජනගහණය විශාල වශයෙන් ඉහළ යමින් ඇති පසුබිමක, ඉතා සීමිත ජනගහණයක් පමණක් සිටින රටවල්, විශේෂයෙන් ම දූපත් ගණනාවක් තිබේ. පිහිටීම, දේශගුණය සහ වෙනත් පහසුකම් හිඟ වීම වැනි හේතු නිසා සමහර දූපත්වල ජනාවාස පිහිටුවීමට හැකියාවක් නොමැත.

එවැනි හේතු නිසා ඉතා සීමිත පිරිසක් පමණක් පදිංචි හෝ සම්පූර්ණයෙන් ම ජනාවාසවලින් තොර – ලොව වඩාත් හුදෙකලා දූපත් ලෙස සැලකෙන – දූපත් කිහිපයක් පිළිබඳ ව මේ ලිපියෙන් විමසා බලමු.

හිමෙන් වැසීගිය කර්ගුලන් දූපත් – www.britannica.com

1. කර්ගුලන් දූපත්

උප ඇන්ටාක්ටිකානු කලාපයට අයත් දූපත් සමූහයක් වන කර්ගුලන් දූපත් දකුණු ඉන්දියන් සාගරයේ පිහිටා තිබේ. මෙම දූපත් සමූහයට අයත් ප්‍රධාන දූපතේ භූමි ප්‍රමාණය ආසන්න වශයෙන් වර්ග කිලෝමීටර් 6,700කි. දකුණුදිග ප්‍රංශයට සහ ඇන්ටාක්ටිකාවට අයත් මෙම දූපත් සමූහය ලොව වඩාත් ම හුදෙකලා ස්ථාන අතරින් එකක් ලෙස සැලැකේ.

සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක 2.1 සිට 8.2 අතර උෂ්ණත්වයකින් යුතු මෙම දූපත් ග්ලැසියර, කඳු මුදුන්, ගල් පර්වත සහ දියසෙවලවලින් පිරී ඇත. අධික ශීත කාලගුණය නිසා මෙම දූපත් මිනිස් ජනාවාසවලින් තොර ඒවා බවට පත් ව ඇත. කෙසේ වෙතත් මෙම දූපත් ආශ්‍රිත ව සීල් මත්ස්‍යයන්, සහ විශේෂ ගණනාවකට අයත් පෙන්ගුවින් සත්ත්වයන් විශාල වශයෙන් දක්නට ලැබේ.

ස්පිට්ස්බර්ගන් නැරඹීමට පැමිණි පිරිසක් – www.oceanwide.expedition.com

2. ස්පිට්ස්බර්ගන්

නෝර්වේ රාජ්‍යයට අයත් දූපත් අතරින් විශාලත ම දූපත වන ස්පිට්ස්බර්ගන් වර්ග කිලෝමීටර් 39,044ක භූමි ප්‍රමාණයකින් යුක්ත වේ. ග්‍රීන්ලන්තයේ නැඟෙනහිර ප්‍රදේශයේ සිට කිලෝමීටර් 830ක සහ යුරෝපයේ සිට කිලෝමීටර් 950ක දුරින් පිහිටා ඇති ස්පිට්ස්බර්ගන් අධික ශීත කාලගුණයක් සහිත, වසරෙන් වැඩි කාලයක් හිමෙන් වැසී පවතින දූපතකි. අධික හිම පතනය නිසා මෙම දූපත ආශ්‍රිත ව හිම වලසුන් ගණනාවක් ද ජීවත් වේ.

ලෝන්ගියර් නගරය හෙවත් ලෝන්ගියර්බයින් මෙම දූපතට අයත් ජනාවාසයක් වන අතර එහි පදිංචිකරුවන් සංඛ්‍යාව 100කටත් අඩු ය. “ස්වල්බාර්ඩ් ගෝලීය බීජ ආරක්ෂණ මධ්‍යස්ථානය” ද මෙම දූපතට අයත් භූමියක පිහිටා තිබේ. එය අර්බුදකාරී අවස්ථාවක ලෝකයේ ඇති ආහාර භෝගවල බීජ විනාශ වීමට නොදී තැන්පත් කිරීම සඳහා ස්ථාපිත කර ඇත.

3. පිට්කේන් දූපත්

පිට්කේන්, හෙන්ඩර්සන්, ඩුසී සහ ඕනෝ යන දූපත්වලින් සැදුම්ලත් පිට්කේන් දූපත දකුණු පැසිෆික් සාගරයේ පිහිටා ඇත. ගිනිකඳු ගණනාවකින් සමන්විත එය බ්‍රිතාන්‍යට අයත් දූපත් සමූහයකි. මෙම දූපත් වර්ග කිලෝමීටර් 47ක් පුරා පැතිර තිබේ. සම්පූර්ණ භූමි ප්‍රමාණයෙන් 86%ක් හෙන්ඩර්සන් දූපතට අයත් වන නමුත් එය ජනාවාසවලින් තොර ප්‍රදේශයකි. සුළු වශයෙන් හෝ ජනාවාස පිහිටා ඇත්තේ පිට්කේන් දූපතේ පමණක් වීම විශේෂත්වයකි.

එහි ජීවත් වන පුද්ගලයන් සංඛ්‍යාව ඉතා සීමිත වන අතර 2020 වසරේ ජනවාරි මාසය වන විට එම සංඛ්‍යාව දැක්වුණේ 47ක් වශයෙනි. භූමි ප්‍රමාණයෙන් කුඩා වුවත් මෙම දූපත් සමූහය වර්ග කිලෝමීටර් 830,000ක් තරම් විශාල සාගර කලාපයකට හිමිකම් කියයි. එය එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්තයේ වපසරියටත් වඩා වැඩි ප්‍රමාණයකි.

නොවායා සෙම්ල්‍යා දූපත ශීත සෘතුවේ – www.cruisemapper.com

4. නොවායා සෙම්ල්‍යා

විශාල දූපත් දෙකක් සහ කුඩා දූපත් කිහිපයකින් සමන්විත නෙවායා සෙම්ල්‍යා දූපත් සමූහය “නව දූපත” යනුවෙන් ද හැඳින්වේ. එය “Barents” සහ “Kara” මුහුදු වෙන් කරන රුසියානු පාලනය යටතේ පවතින දූපත් සමූහයකි. “සෙවර්නි” සහ “යුශ්නි” නමැති මෙම දූපත් සමූහයට අයත් ප්‍රධාන දූපත් දෙක වර්ග කිලෝමීටර් 1,000ක පමණ වපසරියකින් යුතු වේ.

සීතල යුද්ධය පැවති කාලසීමාව තුළ මෙම ප්‍රදේශය යුද අභ්‍යාස සඳහා යොදා ගෙන ඇත. නොවායා සෙම්ල්‍යා දූපත් සමූහය ආශ්‍රිත ව ජීවත් වන පුද්ගලයන් සංඛ්‍යාව ඉතා සීමිත අගයක් ගනී. 2010 වසරේ දී සිදු කළ ගණන් බැලීම්වලට අනුව, එහි ජීවත් වූ පුද්ගලයන් සංඛ්‍යාව 2,429කි. මසුන් ඇල්ලීම, හිම වලසුන් දඩයම සහ උගුල් අටවා සතුන් මැරීම ඔවුන්ගේ ප්‍රධාන ජීවනෝපායන් වේ.

ට්‍රිස්ටන් ඩා කුන්හා – www.dreamstime.com

5. ට්‍රිස්ටන් ඩා කුන්හා

බ්‍රිතාන්‍යට අයත් ශාන්ත හෙලේනා, ඇසෙන්ෂන් සහ, ට්‍රිස්ටන් ඩා කුන්හා හුදෙකලාව පිහිටි දූපත් සමූහයකි. ඒ අතරින් දකුණු දෙසට වන්නට පිහිටා ඇති ට්‍රිස්ටන් ඩා කුන්හා දූපතේ සීමිත පිරිසක් ජනාවාස පිහිටුවාගෙන ඇත. ජනාවාසවලට අමතර ව එහි කිසිවකුට ළඟා විය නොහැකි වනජිවි සංරක්ෂණ කලාපයක් ද පිහිටා ඇත.

එම කලාපය ශාන්ත හෙලේනා දූපතේ දකුණු දෙසට වන්නට පිහිටා තිබේ. දූපත් සමූහයට අයත් ජනාවාස සහිත එකම දූපත වන ට්‍රිස්ටන් ඩා කුන්හා කිලෝමීටර් 34ක පළලින් යුතු මුහුදු තීරයකට හිමිකම් කියයි. එහි මීටර් 2,060ක උසින් යුතු ගිනි කන්දක් ද දැකිය හැක.

පාස්කු දූපතේ දැකිය හැකි පිළිරූ – www.pinterest.com

6. පාස්කු දූපත

පාස්කු දූපත දකුණු පැසිෆික් සාගරයේ පිහිටි කුඩා ත්‍රිකෝණාකාර ගිනි කන්දකි. ඉහත සඳහන් පිට්කේන් දූපතේ සිට කිලෝමීටර් 2,088 (ආසන්න වශයෙන් සැතපුම් 1,300) සහ චිලී රාජ්‍යයේ සන්තියාගෝ සිට කිලෝමීටර් 3,767 (සැතපුම් 2,340) දුරින් එය පිහිටා ඇත.

වර්ග කිලෝමීටර් 163 (වර්ග සැතපුම් 63ක භූමි ප්‍රමාණයකින් යුතු මෙම දූපතේ ඉතා විශාල ප්‍රමාණයේ සෙල්මුවා පිළිම ගණනාවක් දැකිය හැක. මෑතකාලීන දත්ත අනුව මෙම දූපතේ  පුද්ගලයන් 7,800කට ආසන්න සංඛ්‍යාවක් ජීවත් වන බව අනාවරණය වී තිබේ.

දකුණු ජෝර්ජියාව – www.britannica.org

7. දකුණු ජෝර්ජියාව

දකුණු ජෝර්ජියාව, දකුණු අත්ලාන්තික් සාගරයේ ෆෝක්ලන්ඩ් දූපත්වලට කිලෝමීටර් 1,400ක් පමණ නැඟෙනහිරින් සහ දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් නගරයට බටහිරින් පිහිටා ඇත. 1675 වසරේ දී යුරෝපීයයන් මුල්වරට සොයා ගත් මෙම දූපත, කිලෝමීටර් 170ක දිගින් සහ කිලෝමීටර් 35ක පළලින් සමන්විත වේ.

එහි මධ්‍යම කඳු කොටස මීටර් 2,935ක උසින් යුතු ය. 1775 වසරේ දී දකුණු ජෝර්ජියාව බ්‍රිතාන්‍යට යටත් විය. එතැන් පටන් එය තුන්වැනි ජෝර්ජ් ඇතුළු රජවරුන් ගණනාවක් යටතේ පාලනය විය. කලක් තල්මසුන් දඩයම් කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස මෙම දූපත ක්‍රියාත්මක විය. පසුකාලීන ව ඉතා සීමිත පිරිසකගේ වාසස්ථානය බවට පත් වූ මෙම දූපතේ, මේ වන විට පදිංචි වී සිටින පුද්ගලයන් සංඛ්‍යාව 20ක් පමණි.

දියේගෝ ගාර්ෂියා දූපත – www.tripadvisor.com

8. දියේගෝ ගාර්ෂියා

දියේගෝ ගාර්ෂියා යනු ඉන්දියන් සාගරයේ මධ්‍යයේ පිහිටා ඇති දූපතකි. මෙය ඉන්දියානු සාගර ප්‍රදේශයේ කොටසක් වන චාගෝස් දූපත් සමූහයේ විශාලත ම සහ දකුණු කෙළවරේ පිහිටි සාමාජිකයා වේ. නැඟෙනහිර අප්‍රිකාව, මැදපෙරදිග, අග්නිදිග ආසියාව සහ ඕස්ට්‍රේලියාව අතර උපායමාර්ගික පිහිටීම හේතුවෙන් දියේගෝ ගාර්ෂියා දූපත එක්සත් ජනපදයේ ආරක්ෂක අංශවල ආධාරක කඳවුරක් ලෙස යොදා ගැනේ.

මෙම දූපත වරක් 1,000 කට අධික පිරිසකගේ නිවහන වූ අතර, 1971 දී ඔවුන් එම දූපතෙන් ඉවත් කර ඇත. ඊට හේතුව එම කාල සීමාව තුළ යුද අභ්‍යාස වැනි දෑ සඳහා අදාළ දූපත යොදා ගැනීම යි. මේ වන විට එහි කිසිදු ස්ථිර පදිංචිකරුවෙක් නොමැති නමුත් හමුදා සාමාජිකයන් සහ වෙනත් පුද්ගලයන් 4,000කට ආසන්න ප්‍රමාණයක් තාවකාලික ව රඳවා ඇත. 

කවරයේ ඡායාරූපය- ගිනිකඳු ගණනාවකින් සමන්විත පිට්කේන් බ්‍රිතාන්‍යට අයත් දූපත් සමූහයකි- www.britannica.com
මූලාශ්‍ර:
www.britannica.com
www.arctictoday.com
www.bbc.com
www.middlebury.com

Related Articles