Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මෙතෙක් සිදුවූ දරුණුතම නාවික අනතුරු 4ක්

01. විලිහෙල්ම් ගස්ට්ලොෆ් ( Wilhelm Gustloff) නාවික අනතුර

එතෙක් මෙතෙක් වූ විශාලතම යුධ නාවික අනතුරක් ලෙස මෙය සැළකෙනවා. මෙය සිදුවී ඇත්තේ 1945 ජනවාරි 30 වෙනිදායි. විලිහෙල්ම්  ගස්ට්ලොෆ් නෞකාව ජර්මනියට අයත් එකක් වුණා. අනතුර සිදුවන විට 1900කට පමණ ඉඩ ඇති නෞකාවේ 10,582ක් නංවා ගෙන තිබුණා. ඉන් සමහරෙක් නාසීන් වුණා. අනෙක් අය නම් නාසී ආක්‍රමණ නිසා පීඩාවට පත් වූවන් වූ අතර පර්සියානුවන්, ලිතුවෙනියානුවන්, ලැට්වියානුවන් හා පෝලන්ත ජාතිකයන්ද ඒ අතර වුණා. ටොර්පිඩෝ බෝම්බ තුනක් එල්ල වීම මේ අනතුරට හේතූ වී තිබුණා. ඒ අවස්ථාවේ ප්‍රමාණවත් තරම් ජීවිතාරක්ෂක බෝට්ටු ඔවුන් සතුව නොතිබූ අතර නැවේ සිටි අයගෙන් බොහෝ දෙනෙකු දියේ ගිලී මියගියා.මෙම අනතුරෙන් මිනිස් ජීවිත 9,343ක් අහිමි වුණා. එයින් බොහෝ දෙනෙක් යුද්ධය නිසා සරණාගත වූ අය වන අතර ඉන් 5000ක් පමණ දෙනා කුඩා ළමයින්.

02. ඩෝනා පාස් (Dona Paz) යාත්‍රා අනතුර

ww2.hdnux.com

මෙය සිදුවී තිබුණේ පිලිපීනයේ මැනිලා නුවරට ආසන්නව 1987 දෙසැම්බර් 20 වෙනිදායි. ඩෝනා පාස් (Dona Paz) නම් මගී යාත්‍රාවක් මෙසේ අනතුරට පත්වුණා .එහි වරකට ගෙන යා හැකි මගීන් ප්‍රමාණය වුනේ 1,400ක් පමණයි. යාත්‍රාව අනතුර සිදු වූ දින ලේටේ දූපතේ (Leyte Island) ටැක්ලෝබාන් (Tacloban) සිට මැනිලා නුවරට ගමන් කරමින් තිබුණා. නත්තල් නිවාඩුව හේතුවෙන් අධික ඉල්ලුමක් තිබූ නිසා සමාගම මගින් 4000ක් පමණ යාත්‍රාවට නංවා ගෙන තිබුණා. නමුත් රාත්‍රී 10 පමණ වනවිට නාවික නිලධාරීන් බොමින් හා රූපවාහිනී නරඹමින් සිටින විට ආධුනික නාවිකයෙකු ඉතා කලබලකාරී ටබ්ලාස් සමුද්‍ර සංධිය හරහා නෞකාව පදවමින් සිටියා. මේ අවස්ථාවේ දී තෙල් බැරල් 8000ක් පමණ රැගෙන ආ වික්ටර් නෞකාවේ ගැටුණු ඩෝනා පාස් යාත්‍රාව හා වික්ටර් නෞකාව පිපිරීමට ලක්වුණා. මෙම නෞකා දෙකේ ගැටීමට හේතුව නම් අදටත් අභිරහසක් වෙනවා. මගී යාත්‍රාවේ අනතුර සිදුවන අවස්ථාවේ සිටි සියලු දෙනාම පාහේ මේ අනතුරෙන් මියගොස් තිබුණා. මින් දිවි බේරාගෙන තිබුණේ 24 දෙනෙකු පමණයි.ඉන් බාගයක් පමණ වික්ටර් නෞකාවේ කාර්ය මණ්ඩලය වුණා.

03. ආර්.එම්.එස්. ලුසිටානියා (RMS Lusitania) නෞකා අනතුර

slideplayer.com

ආර්.එම්.එස්. ලුසිටානියා නෞකාව අයත්ව තිබුණේ බ්‍රිතාන්‍යයේ කුනාර්ඩ් සමාගමටයි. මෙම නෞකාව දියත් කරවා තිබුණේ 1906 ජුනි 7 වෙනිදායි. එම නෞකාව නිර්මාණය කළ සමයේ එය සැලකුනේ ලොව විශාලතම, වේගවත්ම, හා සුඛෝපභෝගීම නෞකාව ලෙසයි. මෙම නෞකාව අවුරුදු 7ක් හා මාස නවයක් තුළ මගී ප්‍රවාහන චාරිකා 101කට සභාගී වී තිබුණා. මෙය 1915 මැයි මස 07 වෙනිදා, එනම් පළමු ලෝක යුද්ධ සමය තුළ (1914-1918) ටොර්පිඩෝ ප්‍රහාරයකට ලක්වුණේ අයර්ලන්තය අසළ මුහුදු තිරයකදීයි. එම ප්‍රහාරය එල්ල කර තිබුණේ  U-20 නම් ජර්මානු සබ්මැරීනයකුයි (එය u-boat ලෙස ද හඳුන්වනවා ). ප්‍රහාරයෙන් විනාඩි 18ක් ගතවන තැන නෞකාව සම්පුර්ණයෙන් ගිලී තිබුණා. මගීන් 1960 සිටි නෞකාවේ 763 දෙනෙකු දිවි බේරාගත් අතර 1,197 මියගියා. ප්‍රහාරයට ලක්වෙන අවස්ථාවේ මෙම නෞකාව තුල මගීන් හා බ්‍රිතාන්‍ය හමුදාවට අයත් ආයුධ ප්‍රවාහනය කරමින් තිබුණු බව පැවසෙනවා.

04. ආර්.එම්.එස්. ලැන්කස්ට්‍රියා (RMS Lancastria) නාවික අනතුර

servimg.com

මෙය  දෙවන ලෝක යුද්ධය සමයේදී බ්‍රිතාන්‍ය රජය යටතේ තිබූ නෞකාවක් වුණා. මෙම නෞකාව මුහුදේ දී අනතුරට ලක්වුණේ 1940 ජූනි 17 වෙනිදායි. මෙම අනතුර නිසා 4000කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වන්නට ඇතැයි අනුමාණ කෙරෙනවා. මෙය සැළකෙන්නේ එක් බ්‍රිතාන්‍ය නැවක් ගිලීමකින් වැඩිම ජීවිත හානි ප්‍රමාණයක් සිදුවූ අවස්ථාව ලෙසයි. එමෙන්ම එය දෙවන ලෝක යුද්ධයේදී  බ්‍රිතාන්‍ය හමුදාවේ වැඩිම පිරිසක් එක වරකදී  මියගිය අවස්ථාව ලෙසද සැලකෙනවා. මෙයින් සිදුවූ ජීවිත හානි ප්‍රමාණය ටයිටැනික් හා ලුසිටානියා නෞකා අනතුරු දෙකෙන් මියගිය ප්‍රමාණය ද ඉක්මවා යනවා. අනතුර සිදුවන අවස්ථාවේ නැව තුළ සිටි ප්‍රමාණය පිළිබඳව නිසි තොරතුරු නැතත් එය 4000ත් 9000ත් අතර ප්‍රමාණයක් යැයිද සැක කෙරෙනවා. ‘Junkers Ju 88’’ නම් ගුවන් යානාවකින් එල්ල කළ ප්‍රහාරයක් නිසා මෙම නෞකාව මුහුදුබත් වුණා.

කවරය – pri.org

Related Articles