Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලිංගික අපචාරකයෙකු නිසා ආජන්ටිනා දැරියක මවක වෙයි

ආජන්ටිනාවේ 11 වියැති දැරියක් පසුගිය දා මවක් බවට පත්වුණා. ඇය මීට මාස කිහිපයකට පෙර ලිංගික අපචාරකයෙකු අතින් හිංසනයට ලක් වූ අතර මේ හේතුවෙන් ගැබ් ගැනීමකට ලක්වුණා. කෙසේ නමුත් ආජන්ටිනාවේ නීතිය අනුව ගබ්සා සිදුකිරීම වරදක් නිසා ඇයට දරු ගැබ ඉවත් කිරීමට නොහැකි වූ අතර පසුගිය දා දරුවෙකු ප්‍රසූත කළා. මේ සිද්ධිය වර්තමානය වන විට ආජන්ටිනාවේ දැඩි ලෙස කතාබහට ලක් වූ මාතෘකාවක් බවට පත්ව තිබෙනවා.

සිද්ධිය සැකෙවින්

‘ලුසියා’ යන ආරූඪ නාමයෙන් හඳුන්වන, ආජන්ටිනාවේ වෙසෙන දැරියක් ඇය දසවෙනි වියෙහි පසුවන විට ලිංගික අඩත්තේට්ටමට ලක් වෙනවා. මේ නිසා ඇය ගැබ්ගත් බව පසුකාලීනව සොයාගන්නවා. ඒ වන විටත් කළලය සෑහෙන තරම් වැඩී තිබුණා. මේ දැරියගේ මව ඇතුළු නෑදෑ පරපුරේ කිහිපදෙනෙක්ම කාන්තා අයිතීන් වෙනුවෙන් සටන් වදින අයවලුන් වන අතර මේ හේතුව නිසා මුල සිටම ඔවුන් ලුසියාගේ දරුගැබ ගබ්සා කරනු වස් ආජන්ටිනා රජය හා වෛද්‍ය ක්ෂේත්‍රය සමග ගැටුණා. කෙසේ නමුත් ඔවුනට ඒ සඳහා අවසරය ලැබුණේ නැහැ. මේ හේතුව නිසා දරු ප්‍රසූතියකට සූදානම් වන්නට ලුසියාට සිදුවුණා.

ගැබ්ගෙන සති 23ක් ගත වන විට ඇයට සිසේරියන් සැත්කමකට සමාන ක්‍රමවේදයකින් සිය නොමේරු දරුවා බිහි කරන්නට සිදුවුණා. මෙයට ප්‍රධානතම හේතුව 11 හැවිරිදි ඇයගේ ශරීරය තවමත් දරු ගැබක් දැරීමට තරම් විකසනය වී නොතිබීම යි. උපත ලද දරුවාගේ ජීවිතය රැකගැනීම ඉතාම අවිනිශ්චිත බව වෛද්‍යවරුන් පවසන අතර ලුසියාගේ ජීවිතය ද යම් ප්‍රමාණයක් අවදානමේ හෙළුණු බව ඔවුන් වැඩිදුරටත් පවසා තිබෙනවා.

ගබ්සා කිරීමට නොදීම පිළිබඳ දැඩි විරෝධතා

ගබ්සා කිරීමට නොදීම පිළිබඳව ආජන්ටිනාවේ කාන්තා ක්‍රියාකාරිණියන්ගේ විරෝධතා (globalnews.ca)

‘ලුසියාගේ’ දරුගැබ ඉවත් කිරීමට ඔහුගේ මව හා තවත් නෑ හිතමිතුරන් කිහිපදෙනෙක් ජනවාරි මස සිට දැඩි ලෙස සටන්කළා. ඒ වන විටත් කළලය සෑහෙන තරම් වැඩී තිබුණා. ඔවුන් සඳහන් කළේ ඇයට ගබ්සාවට ඉඩ නොදීම කුඩා දරුවෙකුට කර ලද නපුරුම සැලකීමක් බව යි. නොබෝ කලෙකින්ම මේ විරෝධයට ආජන්ටිනාවේ කාන්තා අයිතිවාසිකම් පිළිබඳව ක්‍රියාකරන අයවළුන් බොහෝ දෙනා එක්වුණා. තත්ත්වය හා සාධාරණීයත්වය නොවිමසා 11 හැවිරිදි දැරියකට සිය ගැබ පවත්වාගෙන යන්නට බල කිරීමට තරම් ආජන්ටිනා බලධාරීන් අනම්‍ය වීම ගැන ඔවුන් දැඩි ලෙස දොස් නගනවා.

ලුසියාට මේ අකටයුත්ත සිදු වී තිබෙන්නේ 65 හැවිරිදි සිය මිත්තණියගේ වර්තමාන සහකරු අතිනුයි. ලිංගික අඩත්තේට්ටමෙන් අනතුරුව මාස කිහිපයක් ගතවන තුරු ඇයට තමන් ගැබ්ගත් බවට අවබෝධයක් තිබී නැති අතර, ඇගේ අමුත්තක් දුටු ඇගේ මව පසුගිය ජනවාරි මස 23 වන දා ඇය ප්‍රාදේශීය ප්‍රතිකාර මධ්‍යස්ථානයකට ගෙන ගොස් තිබෙනවා. එහිදී ඇය ගර්භණී බැව් සොයාගෙන තිබෙනවා.

ගර්භණී භාවය දැනගත් වනම ගැබ ගබ්සා කරන්නට ලුසියාගේ මව තීරණය කර තිබුණ ද එයට නීතිමය අවසරයක් ලැබී තිබුණේ නැහැ. මේ නිසා ‘මවක් වන්නට සූදානම් වන ලෙස’ ලැබුණු විධානයත් සමග නැවත නිවෙස බලා ආ ඇය ඊට සතියකට පසු නැවතත් රෝහල්ගත කෙරෙන්නේ සියදිවි නසාගැනීමට උත්සාහ කිරීමත් සමග යි. ඒ වන විට ඇය දෙවරක්ම සියදිවි නසාගැනීමට උත්සාහ කර තිබූ අතර, සති 23ක් වයසැති නොමේරූ කළලය තවදුරටත් පවත්වාගැනීම ඇයගේ වයසත් සමග අසීරු හෙයින් සැත්කමක් මඟින් එයට ‘උපත දීමට’ වෛද්‍යවරු තීරණය කොට තිබෙනවා.

ටුකුමන් හි ඊවා පෙරෝන් රෝහල (Tucuman province health ministery)

ගබ්සා හා ආජන්ටිනාව

ආජන්ටිනා නීතිය හොඳින් පිරික්සා බැලීමේ දී ඇත්තෙන්ම ලුසියාට ගබ්සාවක් කිරීමට හැකියාව තිබූ බැව් සැලවීමත් සමග කාන්තා අයිතිවාසිකම් ක්‍රියාකාරීන් නොසන්සුන් වී තිබෙනවා. එරට නීතිය අනුව ගබ්සාව නීතිවිරෝධී වුව ද ලිංගික අඩත්තේට්ටමක් හෝ මවගේ ජීවිතය අවදානමට ලක්වී ඇති විටෙක ගබ්සාවක් සිදුකළ හැකියි. කෙසේ නමුත් සාම්ප්‍රදායික මත දරන සමහර වෛද්‍යවරුන් උක්ත අවස්ථාවල දී පවා ගබ්සාවක් සිදු නොකර සිටි අවස්ථා ආජන්ටිනාව පුරා වාර්තා වී තිබෙනවා.

ලුසියා දෙවන වර ඇතුලත් කරන ලද ටුකුමන් හි ඊවා පෙරෝන් රෝහලේ වෛද්‍යවරු විසින් සිසේරියන් සැත්කම කිරීමට නීතියෙන් අවසර ගෙන තිබෙන්නේ තව දුරටත් ගැබ පවත්වාගතහොත් ඇගේ ජීවිතය අනතුරේ බැව් හුවාදැක්වීමෙන් අනතුරුව යි. මේ සඳහා මෙතරම් කල් ගත වූයේ මන්දැ යි මාධ්‍ය විසින් විමසූ අවස්ථාවේ ඔවුන් පවසා තිබුණේ ලුසියාට ගබ්සාවක් කිරීමට ‘කැමැත්තක්’ නොතිබූ බව යි. තව ද වයසට සාපේක්ෂව ඇය හොඳින් වැඩී සිටින බව ද ඔවුන් පවසා තිබුණා. කෙසේ නමුත් මේ සඳහා මාසයකටත් වඩා කාලයක් ගතවීමෙන් ඇගේ ජීවිතය දැඩි ලෙස අනතුරේ හෙළුණු බැව් ක්‍රියාකාරීන් පවසනවා.

ලුසියාගේ සැත්කම සිදුකරන්නට මූලිකත්වය ගෙන ක්‍රියාකර තිබුණේ සිසිලියා ඖසෙට් නම් වෛද්‍යවරිය හා ඇගේ සැමියා යි. ආජන්ටිනාවේ ප්‍රාදේශීය වෛද්‍ය ක්ෂේත්‍රයට චෝදනා කරන අතරම ඇය ලුසියා ජීවත් වන ටුකුමන් ප්‍රදේශයේ නගරාධිපතිට චෝදනා කරන්නේ ලුසියාව දේශපාලනික වාසි උදෙසා ‘අතකොළුවක්’ කරගත් බව යි. එහි නගරාධිපති ජුවාන් මන්සුර් ගබ්සාවක් සඳහා අවසර දීමට මැලි වී ඇත්තේ එසේ කළහොත් තමන් මීළඟ ජන්ද විමසීමේ දී සාම්ප්‍රදායික ජනයාගේ උදහසට ලක්ව ඉන් පරාජය වනු ඇතැයි බිය වීම නිසා බව ඇය තවදුරටත් චෝදනා කරනවා.

පසුවදන

ළමා මවුවරුන් ලොව පුරාම පවතින ගැටළුවක් (childmothersday.com)

වර්තමානය වන විටත් ලංකාව ද ඇතුලත්ව ලොව වටා කුඩා දැරියන් ලිංගික අඩත්තේට්ටම හේතුවෙන් ගැබ් ගන්නවා. මොවුන් බොහෝ දෙනාගේ දරු ගැබ විකසනය වී අවසන දරුවකු ප්‍රසූත කිරීමට සිදුවන්නේ ගබ්සාව ‘පාපකාරී මිනිමැරුමක්’ වැනි දෙයක් යැයි ඔවුන් ජීවත් වන සමාජයන්හි පවසන මතිමතාන්තර නිසා යි. එසේත් නැතිනම් නීතියෙන්ම ඔවුනට ගබ්සා කිරීමේ ඉඩකඩ සම්පූර්ණයෙන්ම ඇහිරී තිබෙනවා. මොවුන් බොහෝ දෙනාගේ දරුවන් උපතේ දීම මියයන්නේ එම දරු ගැබ නිසියාකාරව විකසනය වීම සඳහා ගැබ් දරන කුඩා දැරියන්ගේ ශරීර විකසනය වී නැති නිසා යි. මේ නිසා එම මවුවරුනුත් එක්කෝ මරණයට පත්වන හෝ ආබාධිත වන අවස්ථා තිබෙනවා. මේ හේතුවෙන් මෙවැනි කාරණා පිළිබඳව වඩා බුද්ධිමත්ව හා විචක්ෂණශීලීව සිතිය යුතු වෙනවා.

කවරයේ පින්තූරය- ලුසියා වෙනුවෙන් වූ විරොධතා (EPA-EFE/Shutterstock)

Related Articles