Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මෝර කටින් එළියට ආ මිනිස් අතින් හෙළිවුණු රහස

ඕස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයට අයත් කුගී මුහුදු වෙරළ මීට වසර 86කට පෙර වඩාත් ප්‍රසිද්ධියට පත්වුණා. ඒ ඇලන් හොබ්සන්  සහ ඔහුගේ මිතුරන්  අඩි 14ක පමණ දිගකින් යුත් මෝරකු එම ප්‍රදේශයෙන් අල්ලා ගැනීමත් සමඟ යි. 1935 අප්‍රේල් 17 වැනිදා අල්ලා ගත් එම දැවැන්ත මෝරා මහජන ප්‍රදර්ශනය සඳහා ඇලන්ගේ සොහොයුරා වුණු චාල්ස්ට අයත් වුණු කුගී මින් මැදුරේ රඳවා තැබුවා.

එම මෝරා සතියක පමණ කාලයක් මින් මැදුරේ යෝධ ටැංකියක් තුළ නිසොල්මනේ වැතිර සිටියත් පසුව ඌ කලබලකාරී හැසිරීම් රටාවක් පෙන්නුම් කරන්නට වුණා. ඉන් අනතුරු ව සිදුවුණු අරුම පුදුම සිදුවීමක් නිසා සදහට ම වැළලී යන්නට තිබුණු මනුෂ්‍ය ඝාතනයක සුළ මුල හෙළිදරවු වුණා.

කුගී වෙරළ – news.com.au

 

මෝරා වතුර ටැංකියේ යකා නටයි 

අප්‍රේල් 17 වැනිදා මින් මැදුර වෙත රැගෙන ආ මෝරා යෝධ ටැංකියට දැමූ මොහොතේ පටන් ම උදාසීන ව බුම්මාගෙන මෙන් සිටින ආකාරය දක්නට ලැබුණා. මෝරා ජීවත් වුණු පරිසර තත්ත්වය වෙනස්වීම හේතුවෙන් ඌ ඒ ආකාරයට හැසිරෙන බව මින් මැදුරේ  භාරකරු චාල්ස්ගේ  නිගමනය වුණා. ඉන් අනතුරුව මෝරාට ලබා දුන් ආහාර ඌ දිගින් දිගට ම ප්‍රතිකේෂ්ප කළා.

නොනවත්වා ම ටැංකිය පුරා පිහිනමින් සිටි මෝරා එක්වර ම පිහිනන වේගය වැඩි කරන්නට වුණා. ඒ අතරතුර වේදනාත්මක හඬක් නගමින් වරලෙන් ජලයට වේගවත් පහරවල් එල්ල කරන්නට වුණා. මෝරාගේ වියරු හැසිරීම හේතුවෙන් මින් මැදුරේ සේවකයන් පමණක් නොව හිමිකරුවා ද කලබලයට පත් ව සිටියා.

ටැංකියේ සිටි මෝරා – news.com.au

 

මෝරාගේ කටින් එළියට ආ මිනිස් අත 

ටැංකිය තුළ දඟලමින් සිටි දැවැන්ත මෝරා එක් වර ම නිශ්චල වුණා. සුළු මොහොතකට පසුව ඌ අමුතු ම හඬක් නගමින් නොනවත්වා ම වමනය කරන්නට පටන් ගත්තා. ඒ වමනය සමඟින් මිනිස් අතක් එළියට පැමිණීම හේතුවෙන් එහි සිටි සියලු දෙනා ම භීතියට පත්වුණා. උරහිසෙන් ම  ගැලවී තිබුණු එම මිනිස් අතේ මැණික් කටුවට ලණුවක් බැඳ තිබුණා. එම මිනිස් අත මෝරාගේ උදරයේ එතරම් දින ගණනක් තිබීම පිළිබඳ ව විද්‍යාඥයන් පුදුමයට පත්වුණා.

ඒ, මෝරකුගේ ආමාශයේ ඇති ප්‍රබල ගැස්ට්‍රයික සහ ආමාශයික යුෂ නිසා ඕනෑම මාංශයක් පැය 36ක් ඇතුළත ජීර්ණය වන නිසා යි. නමුත් විද්‍යාඥයන් එහි දී පවසා සිටියේ හදිසියේ සිදුවුණු පරිසර වෙනස්වීම හේතුවෙන් මෝරා තැති ගැන්මකට ලක්ව සිටි බව යි. එනිසා උගේ අමාෂයෙන් යුෂ ස්‍රාවය වීම නවතින්නට ඇති බව විද්‍යාඥයන්ගේ අනුමානය වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් මිනිස් අත ජීර්ණය නොවී සතියක පමණ කාලයක් උදරයේ පැවතුණා. 

මෝරාගේ කටින් පිටවුණු මිනිස් අත – Pedestrian TV

 

පොලිස් පරීක්ෂණ ඇරඹෙයි 

මෝරාගේ වමනය සමඟින් මිනිස් අතක් පිටතට පැමිණීමේ සිද්ධිය නිසා මහත් සේ කැලඹීමට පත්ව සිටි මින් මැදුරේ  හිමිකරු වුණු චාල්ස් හොබ්සන් එම සිද්ධිය පිළිබඳ ව පොලිසියට දැනුම් දුන්නා. ඉන් පසුව එම ස්ථානයට පැමිණි පොලිසිය පරීක්ෂණ ආරම්භ කළා. මිනිස් අත පරීක්ෂා කළ පොලිසිය එහි තිබුණු පච්ච සලකුණත් පිළිබඳ ව විශේෂ අවධානයක් යොමුකළා.

බොක්සිං ක්‍රීඩකයන් දෙදෙනකු ක්‍රීඩාවේ නිරතව සිටින ආකාරය දැක්වුණු එම පච්ච සලකුණ නිසා පොලිස් නිලධාරීන්ට එක දෙයක් ඒත්තු ගියා. ඒ මියගිය පුද්ගලයා බොක්සිං ක්‍රීඩාවට සම්බන්ධ කෙනකු බව යි. එනිසා ගෙවුණු මාසයේ අතුරුදහන් වුණු බොක්සිං ක්‍රීඩකයන් ගැන  ලැබී තිබුණු  පැමිණිලි පිළිබඳ ව පොලිසිය උනන්දු වුණා.

මින් මැදුරේ අයිතිකරු චාල්ස් සහ ඔහුගේ සොයුරු ඇලන් – getty images

 

මිය ගිය පුද්ගලයා හඳුනා ගනියි 

අතුරුදහන් වුණු බොක්සිං ක්‍රීඩකයන් පිළිබඳ ව ලැබී තිබුණු පැමිණිලි අතුරින් කිහිපයක් සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කිරීමට පොලිසිය තීරණය කළා. එම විමර්ශනයේ මුල් දින කිහිපයේ දී ඔවුන්ට සාර්ථක ප්‍රතිඵල අත්කරගැනීමට හැකිවුණේ නැහැ. අවසානයේ දී පොලිසියේ මෙහෙයුම සාර්ථක වුණා. අප්‍රේල් 8 වැනිදා සිට අතුරුදහන් ව සිටි ජිම් ස්මිත් නම් බොක්සිං ක්‍රීඩකයාගේ බිරිය සහ සොහොයුරා එම අත ජිම්ගේ බවට තහවුරු කළා.

එහි දී ජිම්ගේ බිරිය ග්ලැඩිස් සඳහන් කළේ සිය සැමියා අප්‍රේල් 8 වැනිදා උදෑසන නිවසින් පිටත් ව ගියේ මිතුරකු සමඟ ධීවර සංචාරයක යෙදීමට බව යි. ඊට පෙර ද එවැනි සංචාරවල නිරත වුණු ජිම් සති ගණන් නිවසට නොපැමිණීම පුරුද්දක් කරගෙන සිටි බව ඇය වැඩිදුරටත් පවසා සිටියා. එනිසා ජිම් අතුරුදහන් වී සති 2ක් පමණ යන තුරු පොලිසියට පැමිණිලි නො කළ බව ද ග්ලැඩිස් පොලිසිය හමුවේ හෙළිදරවු කළා. 

මියගිය ජිම් ස්මිත් – getty images

මළ සිරුර සොයා පරීක්ෂණ 

ස්මිත්ගේ අතක් හමු වුණු පමණින් ඔහු මිය ගිය බව පිළිගැනීමට මැලි වුණු පොලිසිය සිරුරේ අනිකුත් කොටස් සොයා පරීක්ෂණ ආරම්භ කළා. එහි දී පොලිසිය මුලින් ම ගියේ මින් මැදුරේ සිටි මෝරා පරීක්ෂා කිරීම සඳහා යි. ඒ වන විට මිය ගොස් සිටි මෝරාගේ ශරීර කොටස් කපා බැලුවත් ස්මිත්ගේ මළ සිරුර සම්බන්ධයෙන් කිසිදු හෝඩුවාවක් හමුවුණේ නැහැ.

ඉන් පසු මෝරා අල්ලා ගත් මුහුදු ප්‍රදේශයට ගිය පරීක්ෂකයන් කිමිදුම්කරුවන් යොදා ගෙන මුහුදු පතුල පරීක්ෂා කළා. සිරුරේ ඉතිරි කොටස් සොයා ගැනීමට හැකිවුණේ නැහැ. එනිසා පොලිසිය මෙම මරණය සිදුවුණු ආකාරය පිළිබඳ ව විවිධ උපකල්පන ගොඩනගමින් පරීක්ෂණ කටයුතු ඉදිරියට කරගෙන ගියා. 

මෙම සිදුවීම පිළිබඳව එකල පුවත්පත් වාර්තා කර තිබුණු ආකාරය – Cogee News

 

මරණය පිළිබඳ ව ගොඩ නැඟූ උපකල්පන 

විමර්ශන කණ්ඩායම් මුලින් ම අවධානය යොමු කළේ මිනිස් අත සිරුරෙන් වෙන් ව තිබුණු ආකාරය පිළිබඳ ව යි. එහි දී පැහැදිලි ව ම පෙනී ගියේ එය තියුණු ආයුධයකින් වෙන් කළ අතක් බව යි. එනිසා සිරුරෙන් අත කපා මුහුදට දමන්නට ඇති බව ඔවුන්ගේ එක් උපකල්පනයක් වුණා.

එසේම බර දෙයක් අත් දෙකේ බැඳගෙන මුහුදට පැන සිය දිවි නසා ගනිද්දී අතක් ගැල වී වැටෙන්නට ඇති බව තවත් උපකල්පනයක් වුණා.  මිනිස් අත පිළිබඳ කළ වෛද්‍ය පරීක්ෂණවලින් අනාවරණය වුණේ අදාළ පුද්ගලයා මිය ගොස් පැය කිහිපයකට පසු ව අත සිරුරෙන් වෙන්කර ඇති බව යි. වෛද්‍යවරුන්ගේ එම නිගමනයත් සමඟ ම මෙම ගැටලුව වඩාත් සංකීර්ණ තත්ත්වයකට පත්වුණා. 

සැකකරුවෙක් අත්අඩංගුවට 

විමර්ශන කණ්ඩායම් ස්මිත්ගේ මිතුරන් සහ ඔහු සමීප ව ඇසුරු කළ උදවිය ගෙන් ඊළඟට ප්‍රශ්න කරන්නට වුණා. එමඟින් ස්මිත්ගේ ධීවර චාරිකාව පිළිබඳව කිසිදු හෝඩුවාවක් ලබා ගැනීමට නොහැකි වුණා. අවසානයේ දී පොලිසිය තවත් ප්‍රබල උපකල්පනයක් ගොඩනැගුවා. ඒ ස්මිත් මිතුරකු සමඟ ධීවර චාරිකාවක් නොගිහින් වෙනත් ගමනක් ගිය බව යි. එම උපකල්පනය ඔස්සේ පරීක්ෂණ කටයුතු සිදු කළ විමර්ශකයන්ට කුලී රථ රියදුරකුගෙන් හෝඩුවාවක් ලැබුණා.

ඒ අප්‍රේල් 8 වැනිදා දහවල් වරුවේ මිය ගිය ස්මිත් තවත් පුද්ගලයන් දෙදෙනකු සමඟින් මුහුදු වෙරළ සමීපයේ තිබුණු එක්තරා නිවසකට ගිය බව යි. එම රියදුරාගෙන් ලද ඔත්තුවට අනුව ඉක්මනින් ම ක්‍රියාත්මක වුණු පොලිසිය එහි සිටි එක්තරා පුද්ගලයකු කොටු කර ගත්තා. ඉන් පසු ව ඔහුගෙන් ඇසූ ප්‍රශ්නවලට ලබා දුන් පිළිතුරු පිළිබඳ ව පොලිසියට සැකයක් ඇති වුණා. එනිසා පැට්‍රික් බ්‍රැඩී නම් එම පුද්ගලයා සැකපිට අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කළා.

පැට්‍රික් බ්‍රැඩී – Sydney Dictionary

 

ඝාතනයේ සුළ මුල හෙළි වෙයි 

බ්‍රැඩී නම් සැකකරුවා අත්අඩංගුවට ගෙන වැඩිදුරටත් ප්‍රශ්න කරගෙන යන අතරතුර ඔහු ජීවත් වුණු ප්‍රදේශයේ සිටි පුද්ගලයකුගෙන් ප්‍රශ්න කිරීම ඇරඹුණා. එහි දී තවත් වැදගත් හෝඩුවාවක් ලැබුණා. ඒ ඊට සති කිහිපයකට පෙර බ්‍රැඩී සහ තවත් පුද්ගලයකු මධ්‍යම රාත්‍රියක මෙට්ටයක් සහ ට්‍රන්ක පෙට්ටියක් ඔසවා ගෙන මුහුද දෙසට යන ආකාරය ඇසින් දුටු පුද්ගලයකු හමුවීම යි. එම පුද්ගලයාගෙන් ලැබුණු හෝඩුවාව ඔස්සේ පරීක්ෂණ ආරම්භ කළ පොලිසියට මෙම නිවසට පැමිණි අනිත් පුද්ගලයා ද කොටුකර ගැනීමට හැකියාව ලැබුණා.

රෙජිනෝල්ඩ් හෝම්ස් නම් වුණු එම පුද්ගලයා ද සැකපිට අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කළා. ඉන් පසු ඔවුන්ගෙන් ප්‍රශ්න කළත් ඝාතනය පිළිබඳ ව ඔවුන් සම්බන්ධ වුණු බවට හෙළිදරවු කරගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ. එනිසා සැකකරුවන් දෙදෙනාට ඇප ලබා දුන්නා.

රෙජිනෝල්ඩ් හෝම්ස් – getty images

 

පොලිසිය හෝම්ස් සහ බ්‍රැඩී පිළිබඳව වැඩිදුර තොරතුරු සෙවීම ඒ අතරතුර ආරම්භ කළා. එහි දී දැනගන්නට ලැබුණේ මිය ගිය හෝම්ස් සහ මොවුන් දෙදෙනා එකතුව යම් කිසි වංචා සහගත ව්‍යාපාර කටයුත්තක නිරත ව සිටි බව යි. එම ව්‍යාපාරයෙන් ලැබුණු ලාභය බෙදා ගැනීමේ දී ස්මිත්ට ලැබීමට නියමිත ව තිබුණු මුදල හෝම්ස් සහ බ්‍රැඩී ලබා දී නොතිබුණු බව විමර්ශනවල දී හෙළිදරවු වුණා. ස්මිත්ගේ බිරිය ද එය තහවුරු කරමින් පවසා සිටියේ මිය ගිය සිය සැමියා බ්‍රැඩී සහ හෝම්ස් යන පුද්ගලයන් දෙදෙනාගෙන් ලැබීමට නියමිත ව තිබුණු විශාල මුදලක් ගැන නිතර ම පැවසූ බව යි. සිය සැමියා නිතර ම ඔවුන් දෙදෙනා හමු වීමට ගිය බව ද ඇය වැඩිදුරටත් පවසා සිටියා.

මරණය සිදුවුණු ආකාරය පිළිබඳ කල්පිතයක් 

විමර්ශන කටයුතුවල දිගින් දිගට ම නිරත වුණු පොලිසියට තවත් වැදගත් හෝඩුවාවක් හමුවුණා. ඒ ස්මිත් අතුරුදන්වීමට පෙර දින හැන්දෑවේ ඔහු, බ්‍රැඩී සහ හෝම්ස් සමඟින් සිඩ්නි නගරයට නුදුරින් පිහිටි හෝටලයක මත්පැන් පානය කරමින් සිටි බව යි. එලෙස විටින් විට ලැබුණු හෝඩුවා සියල්ල පිළිබඳ ව විශ්ලේෂණය කළ පොලිසිය මෙම සිද්ධිය සිදුවුණු ආකාරය පිළිබඳ ව වටහාගැනීමට උත්සාහයක නිරත වුණා. අවසානයේ දී ඔවුන් ස්මිත්ගේ මරණය සිදුවුණු ආකාරය පිළිබඳ ව කල්පිතයක් ගොඩ නැගුවා. එය පහතින් දක්වා තිබෙනවා.

ස්මිත්, බ්‍රැඩී සහ හෝම්ස් එකතු වී සිදු කළ වංචාකාරී ව්‍යාපාරයෙන් හොඳින් ලාභ ලැබුණා. එම ලාභයෙන් සුළු කොටසක් ස්මිත්ට ලැබුණු නිසා ඔහු දැඩි ලෙස කෝපයට පත්වුණා. එනිසා ඔහු ව්‍යාපාරයේ රහස් හෙළි කරන බව පවසා බ්‍රැඩීට සහ හෝම්ස්ට අනතුරු ඇඟවීමට පසුබට වුණේ නැහැ. ස්මිත්ගේ අනතුරු ඇඟවීම් එන්න එන්න ම වැඩි වුණු නිසා ඔහු හමුවීමට බ්‍රැඩී සහ හෝම්ස් තීරණය කළා. ඒ යම් කිසි මුදලක් දී ඔහුව නිහඬ කිරීමේ අරමුණෙන්.  එම හමුව අප්‍රේල් 7 වැනිදා සවස් යාමයේ හෝටලයක දී සිදුවුණා. නමුත් එක්දින ඔවුන් තිදෙනාට එකඟතාවකට එන්නට නොහැකි වුණා. 

සාකච්ඡාව තරමක් උණුසුම් මුහුණුවරක

එනිසා පසු දිනයේ බ්‍රැඩීට අයත් ව තිබුණු වෙරළ අසල නිවසේ දී ඔවුන් තිදෙනා යළිත් වරක් හමු වී සාකච්ඡා කළා. එම සාකච්ඡාව තරමක් උණුසුම් මුහුණුවරක් ගත්තා. එහි දී සිදුවුණු බහින්බස්වීමක් දුරදිග ගොස් ගැටුමක් ඇතිවුණා. ඒ මොහොතේ දී සිදුවුණු පහරදීමක් හේතුවෙන් ස්මිත් මරණයට පත්වුණා. ඔහුගේ මරණය නිසා කලබලයට පත්ව සිටි මිතුරන් දෙදෙනා මළ සිරුර සඟවන ආකාරය පිළිබඳ ව කල්පනා කළා. එහි දී බ්‍රැඩීට හොඳ අදහසක් පහළ වුණා. ඒ අනුව රාත්‍රී කාලය එළඹෙන තුරු බලා ගෙන සිටි මිතුරන් දෙදෙනා මළ සිරුරේ කොටස්වලට කපන්නට පටන් ගත්තා. 

ඝාතනය සිදුවුණා යැයි සැක කළ නිවස- getty images

 

ඉන් පසුව නිවසේ තිබුණු ට්‍රන්ක පෙට්ටියක් ගෙන සිරුරු කැබලි එයට පුරවන්නට පටන්ගත්තා. නමුත්  සිරුරු කැබලි සියල්ල ම එයට පිරවීමට හැකියාවක් ලැබුණේ නැහැ. එහි දී ඉතුරු වුණු එක් අතක් අමාරුවෙන් ට්‍රන්ක පෙට්ටියට එබීමට හෝම්ස් සහ බ්‍රැඩී කටයුතු කළා. ඉන් පසුව මධ්‍යම රාත්‍රියේ හොර රහසේ ම මුහුදු වෙරළ වෙත ගිය මිතුරන් දෙදෙනා බෝට්ටුවක ආධාරයෙන් ට්‍රන්ක පෙට්ටිය මුහුද මැදට විසි කළා. ඒ අයුරින් විසි කළ ට්‍රන්ක පෙට්ටියට එබූ  අතෙන් කොටසක් එළියට පැමිණ තිබුණා. එය දුටු මෝරකු අත එළියට ඇද ගිල දැමුවා. පසුව ඇලන් හොබ්සන් ඇතුළු පිරිසට හසුව තිබුණේ ඒ මෝරා යි. 

ඒ අයුරින් ගොඩනැගූ කල්පිතය ඔස්සේ පරීක්ෂණ කටයුතු කරගෙන ගිය පොලිසිය සැකකරුවන්ට එරෙහි ව තව තවත් සාක්ෂ්‍ය එකතු කරන්නට උත්සාහ කළා. ඒ ඔවුන් නීතිය ඉදිරියට ගෙන ඒම සඳහා යි.

බලාපොරොත්තු නොවුණු මරණයක් 

සිද්ධිය පිළිබඳ ව දිගින් දිගට ම විමර්ශනය කළ පොලිසිය අවසානයේ දී සැකකරුවන්ට එරෙහිව නඩු පැවරුවා. එම කාල වකවානුව වන විට ජිම් ස්මිත්ගේ ඝාතනය පිළිබඳ ව සිඩ්නි නගරය පුරා ම ප්‍රසිද්ධියට පත්ව තිබුණා. එනිසා ඔහුගේ ඝාතකයන් හෙළිදරවු කරගන්නා තෙක් බොහෝ දෙනකු නොඉවසිල්ලෙන් පසු වුණා. ඒ අනුව ස්මිත්ගේ ඝාතන නඩුව පිළිබඳ ව බොහෝ දෙනකු අවධානය ද යොමු කළා. එවැනි වටපිටාවක ආරම්භ වුණු නඩු විභාගයේ මූලික නඩු ඇසීමෙන් පසුව නඩුව මාස කිහිපයකට කල් ගියා.

නඩුව කල් යාමෙන් පසු කිසිවකු බලාපොරොත්තු නොවුණු ආකාරයේ දෙයක් සිදුවුණා. ඒ නඩුවේ වැදගත් සාක්කිකරුවකු වුණු රෙජිනෝල්ඩ් හෝම්ස් නාඳුනන පුද්ගලයකු විසින් වෙඩි තබා ඝාතනය කිරීම යි. එම ඝාතනය ස්මිත්ගේ නඩුව නැවත ආරම්භවීමට නියමිත ව තිබුණු දිනයට පෙර දිනයේ සිදුවීම විශේෂ සිදුවීමක් වුණා. එහි දී ඝාතනය බ්‍රැඩීගේ අනුදැනුම මත සිදුවුණු බවට සැක කළත්  එය ඔප්පු කිරීමට හැකියාවක් තිබුණේ නැහැ.

හෝම්ස්ගේ මරණය පිළිබඳව පළ වුණු පුවත්පත් වාර්තාවක්  – cold case jury

 

නඩුව නොවිසඳුණු අභිරහසක්

රෙජිනෝල්ඩ් හෝම්ස් නොමැති වුණත් ස්මිත්ගේ නඩුව දිගට ම පවත්වාගෙන ගියා. නමුත් හෝම්ස්ගේ සාක්කි  නොමැති වීම බ්‍රැඩීට විශාල වාසියක් වුණා. ඒ අනුව නඩුව ඇල්මැරුණු ස්වභාවයකින් ඉදිරියට ගලා ගෙන ගියා. පසුව බ්‍රැඩීගේ නීතිඥවරයා වුණු ක්ලයිව් ඊට්න් අපූරු තර්කයක් ඉදිරිපත් කළා. එහි දී ඔහු පවසා සිටියේ මළ සිරුරක් නොමැති ව මෙම නඩුව ඉදිරියට ගෙනයාමෙන් පලක් නොමැති බව යි. ස්මිත්ගේ අත පමණක් හමු වුණු නිසා ඔහු මිය ගිය බව පිළිගැනීමට අපහසු බව ඊට්න් තර්ක කළා.

සමහර විට ඔහු ආබාධිතයකු ලෙසින් ඈත පළාතකට ගොස් ජීවත් වනවා වන්නට පුළුවන් බව ඊට්න්ගේ තර්කය වුණා. විත්තියේ නීතිඥවරයාගේ එම තර්කය පිළිබඳ ව ජූරි සභාවේ අවධානය යොමු වුණා. තවත් පුද්ගලයන් කිහිප දෙනකුගෙන් සාක්කි විමසීමට ඔවුන් තීරණය කළා. ඔවුන් ලබා දුන් සාක්කිවලට අනුව නඩුව තවත් ඉදිරියට ගෙන යාම නිශ්පල ක්‍රියාවක් බව ජූරියේ ඒකමතික තීරණය වුණා. එනිසා බ්‍රැඩීගේ නඩුව බිඳ වැටුණා. ඒ අනුව මෝර අතේ නඩුව නොවිසඳුණු අභිරහසක් ලෙසින් ඉතිහාසයට එකතු වුණා. 

කවරයේ ඡායාරූපය- මෝර කටින් ආ අත ගැන ඇඳි සිතුවමක් - vice.com 

මූලාශ්‍ර-

news.com.au

dictionaryofsydney.org

localhistories.org    

Related Articles