Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

21 වැනි සියවසේ දී ලොව අඩපණ කළ මහා ආර්ථික අවපාතය

ලෝක ඉතිහාසය දෙස ආපසු හැරී බැලීමේ දී කලින් කලට මතුවුණු විවිධ අර්බුද රැසක් අපගේ මතකයට නැඟෙනවා. වසංගත, යුද්ධ, ස්වභාවික විපත්, ආර්ථික අවපාත වැනි එම අර්බුද හමුවේ ලෝකයේ බොහෝ රටවල්වල ජනතාව පීඩාවට පත් වුණා. එවැනි අර්බුද  කිහිපයක්  21 වන සියවස තුළ ද  දැකගන්නට ලැබුණා.

2002-2004 සාර්ස් වසංගතය, 2009 සූකර උණ වසංගතය, 2019 කොරෝනා වසංගතය, 2007-2009 ලෝක ආර්ථික අවපාතය, 2004 සුනාමිය, 2010 හයිටි භූමිකම්පාව, 2022 රුසියා-යුක්‍රේන යුද්ධය ඒ සඳහා උදාහරණ ලෙසින් දක්වන්නට පුළුවන්.

2004 සුනාමිය නිසා සිදු වුණු විනාශය – msf.com

 

ඉහත අර්බුදවලින් ලෝකයේ රටවල් රැසකට දරුණු බලපෑමක් එල්ල කළේ කොරෝනා වසංගතය යි. එම වසංගතය හමුවේ ලෝකයේ මිලියන ගණනක් ජනතාව මරණයට පත්වුණා පමණක් නොව රටවල් රැසක ආර්ථිකය ද කඩා වැටුණා. කොරෝනා වසංගතය ලෝකයේ රටවල් රැසක ආර්ථිකයට දරුණු ලෙස පහර දෙද්දී අපගේ මතකයට නැඟෙන්නේ 2007-2009 කාලයේ දී ලෝකයේ රටවල් රැසක් අඩපණ කළ මහා ආර්ථික අවපාතය යි.

මේ ඔබට කියන්න යන්නේ එම ආර්ථික අවපාතය හමුවේ ලෝකයේ රටවල් රැසක් පීඩාවට පත්වුණු ආකාරය යි. 

අර්බුදය ආරම්භ වුණු ආකාරය 

මෙම ආර්ථික අර්බුදය 2007 අගෝස්තු මාසයේ දී අමෙරිකාවෙන් ආරම්භ වුණා. එරට ප්‍රමුඛ නොවන උකස් ණය වෙළෙඳපොළ ආශ්‍රිත ව සිදුවුණු ගනුදෙනු මෙම අර්බුදය නිර්මාණය වීමට ප්‍රධාන හේතුව වුණා. එහි දී එම වෙළෙඳපොළ පිළිබඳ ව ආයෝජකයන්ගේ විශ්වාසය බිඳී යාම හේතුවෙන් සුරැකුම් සහ සුරැකුම්ගත බැඳුම්කර සමාගම්  කෙටි කාලයක් තුළ අලෙවි තමන් සතු ව පැවති සුරැකුම් සහ සුරැකුම්ගත බැඳුම්කර කඩිනමින් අලෙවි කළා. එම එම සුරැකුම් සහ සුරැකුම්පත් බැඳුම්කරවලට තිබුණු ඉල්ලුම විශාල ලෙස පහත වැටීම ඒ තීරණයට හේතු වුණා. 

 මූල්‍ය අර්බුදය අතරතුර- bbc.com

එම සිදුවීමෙන් පසු ව ලොව පුරා බැංකු සහ මූල්‍ය වෙළෙඳපොළ පිළිබඳ ව පැවති විශ්වාසය ද ක්‍රමයෙන් බිඳ වැටෙන්නට පටන් ගත්තා. එනිසා අමෙරිකාවෙන් ආරම්භ වුණු මේ මූල්‍ය අර්බුදය පසු ව ලෝකයේ වෙනත් රටවල් කරා ද ව්‍යාප්ත වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ලෝකයේ රටවල් රැසක බැංකු සහ මූල්‍ය ආයතන කඩා වැටෙන්නට පටන් ගත්තා. 

අර්බුදය අමෙරිකාව තුළ පැතිර යාමට හේතු 

2005/06 යුගය වන විට සෑම අමෙරිකානු පවුලකට ම නිවසක් ලබා දීමේ අරමුණ ඇති ව එරට රජය නිවාස උකස් ණය යෝජනා ක්‍රමයක් ප්‍රවර්ධනය කළා. එහි ප්‍රතිඵලයක් වශයෙන් එරට උකස් ණය අශ්‍රිත ණය සහ මූල්‍ය වෙළෙඳපොළ දියුණුවට පත්වුණා. එම ක්‍රමවේදයේ දී යම් පුද්ගලයකුගේ හෝ පවුලේ ණය ඉතිහාසය පිළිබඳව තැකීමක් නොකර මුල්‍ය ආයතන ඔවුන්ට ණය ලබා දුන්නා. මිනිසුන් විශාල ලෙස ණය ලබා ගැනීම හේතුවෙන් විශාල ණය වෙළෙඳපොළක් බිහි වුණා. දියුණු වුණු උකස් ණය වෙළෙඳපොළ ඒ අයුරින් එක් වර ම කඩා වැටීම මෙම අර්බුදය අමෙරිකාව පුරා දරුණු ලෙස පැතිර යාමට එක් හේතුවක් වුණා. 

බැංකුවලින් ණය ලබාගත් අමෙරිකානුවෝ – CNBC.com

 

නිවාස උකස් ණය දිගුකාලීන ණය බැවින් කෙටිකාලීන තැන්පතු මුදල් යොදා ගෙන දිගුකාලීන ණය ලබා දුන් නිසා ද්‍රවශීලතා ප්‍රශ්න ඇති වුණා. එයට විසඳුමක් ලෙස බැංකු විශාල ලෙස උකස් ණය සුරැකුම්කරණ වෙළඳපොළේ විකිණීම සිදු කළා. එහි ප්‍රතිඵලයක් ලෙස සුරැකුම්ගත බැඳුම්කර වෙළඳපොළ දියුණු වුණා. මේ සුරැකුම්ගත බැඳුම්කරවල ප්‍රමුඛ නොවන උකස් ණය සහ වෙනත් ණය වර්ග රාශ්‍රියක් අන්තර්ගත වුණා.

සුරැකුම්ගත බැඳුම්කර වෙළෙඳපොළ තුළ බැංකු, අරමුදල් සමාගම්, ආයෝජන බැංකු සහ විවිධ පුද්ගලයන් විශාල වශයෙන් මුදල් ආයෝජනය කළා. සුරැකුම්ගත බැඳුම්කර වෙළෙඳපොළ කෙරෙහි ආයෝජක විශ්වාසය බිඳී යාම මෙම මූල්‍ය අර්බුදය පැතිරයාමට තවත් හේතුවක් වුණා. 

අමෙරිකානු බැංකුවක් – bizjournals.com

 

පාඩු නොවී වත්කම් වත්කම් ඉක්මනින් මුදල් බවට හරවා ගැනීමේ හැකියාව ද්‍රවශීලතාව ලෙස හඳුන්වනවා. සිය තැන්පතු මුදල් තමන්ට අවශ්‍ය ඕනෑම අවස්ථාවක බැංකුවෙන් ආපසු ලබාගත හැකි යන මහජන විශ්වාසය ආරක්ෂා කිරීම සඳහා සෑම විටක ම වාණිජ බැංකුවලට සිය ද්‍රවශීලීත්වය ආරක්ෂා කරගැනීමට සිදුවෙනවා. මේ අර්බුදය ඇති වුණු අවස්ථාවේ බැංකුවල ද්‍රවශීලතා ප්‍රශ්න ඇති බවට රාවයක් පැතිර ගියා.

එහි ප්‍රතිඵලයක් ලෙස බොහෝ තැන්පතු හිමියන් වාණිජ බැංකුවලින් සිය තැන්පතු ආපසු ගැනීමට පෙලැඹුණා. ඒ සමඟ ම අමෙරිකානු බැංකු පද්ධතිය කඩා වැටෙන්නට පටන් ගත්තා. එය අමෙරිකාව තුළ  මූල්‍ය අර්බුදය තවත් ව්‍යාප්ත වන්නට හේතු වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් රටේ මහා ආර්ථික අවපාතයක් ඇති වුණා. 

මූල්‍ය අර්බුදය වෙනත් රටවලට පැතිර යාමට හේතු 

අමෙරිකාවෙන් ආරම්භ වුණු මූල්‍ය අර්බුදය වැඩි කලක් යන්නට පෙර ලෝකයේ වෙනත් මහද්වීප කරා ද පැතිර ගියා. ඒ අයුරින් මූල්‍ය අර්බුදය වෙනත් රටවල්වලට පැතිරයාමට ප්‍රධාන හේතු 3ක් බලපෑවා. එයින් මුල් හේතුව වුණේ ලෝකයේ බොහෝ රටවල් අමෙරිකානු සුරැකුම්කරණ වෙළෙඳපොළෙහි සුරැකුම්ගත බැඳුම්කරවල මුදල් ආයෝජන කර තිබීම යි. එවිට අමෙරිකානු සුරැකුම්කරණ වෙළෙඳපොළ කඩාවැටීම නිසා ඔවුන්ට දැඩි අලාභ විඳීමට සිදු වුණා. එහි දී එම අර්බුදයෙන් වැඩියෙන් ම බැට කෑවේ යුරෝපා සහ ආසියා යන මහද්වීප දෙකය අයත් ප්‍රධාන රටවල් කිහිපය යි.

දෙවනි හේතුව වුණේ එම රටවල්වල මුදල් ආයෝජනය කර තිබුණු විදෙස් ආයෝජකයන් අමෙරිකාව ආශ්‍රිත ව සිදු කර තිබුණු ආයෝජනවලින් සිදු වුණු අලාභ පියවීමට වෙනත් රටවල්වල කර තිබුණු ආයෝජන ආපසු ගැනීමට පෙලැඹීම යි. එහි ප්‍රතිඵලයක් ලෙස ලෝකයේ ඇතැම් රටවල් දැඩි විදේශ විනිමය අර්බුදයකට ගොදුරු වුණා. සංවර්ධිත රටවල් ක්‍රමයෙන් මූල්‍ය අර්බුදයට ගොදුරු වෙද්දී එම රටවල්වල භාණ්ඩ සහ සේවා ඉල්ලුම අඩු වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස සංවර්ධනය වන රටවල්වල අපනයන අඩු වුණා. එනිසා සංවර්ධනය වන රටවල්වලට විදේශ විනිමය ලැබීම් අඩු වුණා පමණක් නොව දේශීය ආර්ථික කටයුතු ද අඩපණ වුණා. 

මූල්‍ය අර්බුදය හේතුවෙන් බොරතෙල් මිල ඉහළ යාම 

2007 අගෝස්තු මාසයේ දී අමෙරිකාවෙන් ආරම්භ වුණු මූල්‍ය අර්බුදය 2008 ජූලි වන විට මුළු ලෝකය පුරා ම පැතිර තිබුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන්  2008 ජූලි වන විට ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 147.27 දක්වා ඉහළ ගියා. එය එදා මෙදාතුර ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක් අලෙවි වුණු ඉහළ ම මිල යි. ඒ අයුරින් බොරතෙල් බැරලයක මිල ඉහළ යාම හේතුවෙන් ලෝකයේ සෑම රටක ම ඉන්ධන මිල ශීඝ්‍රයෙන් ඉහළ ගියා. එහි දී ශ්‍රී ලංකාවේ ද පෙට්‍රල් ඔක්ටේන් 95, රුපියල් 40කින්, පෙට්‍රල් ඔක්ටේන් 92, රුපියල් 30කින්, ලංකා සුපර් ඩීසල් රුපියල් 40කින්, ලංකා ඔටෝ ඩීසල් රුපියල් 30 කින් ලෙස ඉන්ධන මිල ඉහළ ගියා. 

මේ ඊට සාපේක්ෂ ව මෙරට ඉන්ධන ලීටරයක මිල ගණන් ඉහළ ගිය ආකාරය යි.

1). පෙට්‍රල් ඔක්ටේන් 95- රුපියල් 170.00

2). පෙට්‍රල් ඔක්ටේන් 92- රුපියල් 157.00

3). ලංකා ඔටෝ ඩීසල්- රුපියල් 110.00

4). ලංකා සුපර් ඩීසල්- රුපියල් 125.30

බොරතෙල් මිල ඉහළ ගිය ආකාරය – econbrowser.com

උද්ධමනය ඉහළ යාම 

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළ යාම හේතුවෙන් බොහෝ රටවල් දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නා. උද්ධමනය ඉහළ යාම හේතුවෙන් ජනතාව පීඩාවට පත්වුණා. 2008 ජූලි වන විට අමෙරිකාවේ වාර්ෂික උද්ධමන අනුපාතය 5.6% දක්වා ඉහළ ගියා. එය 1990/91 ගල්ෆ් යුද්ධය පැවති කාල සීමාවෙන් පසුව අමෙරිකාවෙන් වාර්තා වුණු ඉහළ ම වාර්ෂික උද්ධමන අනුපාතය යි.

එම කාල සීමාව තුළ බොහෝ රටවල්වල ආහාර උද්ධමනය ද වාර්තාගත ලෙස ඉහළ ගියා. එහි දී ලොව වැඩි පිරිසක් සුලබ ව ආහාරයට ගන්නා සහල් 217%කින්, තිරිඟු 136%කින්, බඩ ඉරිඟු 125%කින්, සෝයා බෝංචි 107%කින් ආදී ලෙස මිල ඉහළ ගිය බව එක්සත් ජාතීන්ගේ ආහාර වැඩසටහනේ දත්තවල සටහන් වෙනවා. 

1990/91 ගල්ෆ් යුද්ධය – theatlantic.com

 

2008 වසරේ දී ශ්‍රී ලංකාවේ උද්ධමනය ද ශීඝ්‍රයෙන් ඉහළ ගියා. මහ බැංකු වාර්තාවලට අනුව එම වසර ඇතුළත මෙරට වාර්ෂික උද්ධමන අනුපාතය 22.56%ක් තරම් ඉහළ අගයක් ගත්තා. එය 1980 වසරෙන් පසු ව ශ්‍රී ලංකාවෙන් වාර්තා වුණු ඉහළ ම වාර්ෂික උද්ධමන අනුපාතය වීම විශේෂත්වයක් වුණා. 1980 දී මෙරට වාර්ෂික උද්ධමන අනුපාතය 26.15%ක් ලෙසින් සටහන් වුණා. එය නිදහසින් පසු ව අප රට තුළ වාර්ෂික උද්ධමන අනුපාතය ඉහළ ම අගයක් ගත් අවස්ථාව යි. එයින් පැහැදිලි වන්නේ 2007-2009 ආර්ථික අවපාතය හේතුවෙන් මෙරට ආර්ථිකය දරුණු කඩා වැටීමකට ලක් ව ඇති බව යි. 

බංකොළොත් වුණු ප්‍රසිද්ධ බැංකු සහ සමාගම් 

මෙම ආර්ථික අවපාතයේ බලපෑම හේතුවෙන් අමෙරිකාවේ සහ යුරෝපයේ සමාගම් පමණක් නොව ප්‍රසිද්ධ බැංකු පවා බංකොලොත් වුණා. බංකොලොත් වුණු සමාගම් අතර Lehman Brothers, General Motors, Washington Mutual, CIT Group, Chrysler, Thornburg Mortgage, Lyondell Chemical, Capmark Financial Group, Ambac Financial Group, Guaranty Financial Group, Tribune Company, Charter Communications යන ඒවා ප්‍රධාන යි.

බංකොලොත් වූ ලේමන් බ්‍රදර්ස් සමාගම – leftvoice.org

 

ඊට අමතර ව First Merchant Bank, Roskilde Bank, Silver State Bank, Colonial Bank, Landsbanki, Parex Bank, London Scottish Bank, Anglo Irish Bank, Alliance Bank, Dresdner Bank, Bank Medici වැනි ප්‍රසිද්ධ බැංකු ද බංකොලොත් වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස බොහෝ පිරිසකට රැකියා අහිමි වුණා. එනිසා අමෙරිකාවේ පමණක් නොව යුරෝපයේ ද විරැකියා ප්‍රතිශතය ශීඝ්‍රයෙන් ඉහළ ගියා.

කොටස් වෙළෙඳපොළවල මිල පහළ යාම 

වාණිජ බැංකුවල ද්‍රවශීල ප්‍රශ්න හේතුවෙන් සමාගම්, ව්‍යාපාරික සහ පාරිභෝජන වැනි සියලු ණය ලබාදීම් බැංකු මඟින් අඩු කළ නිසා ණය පරිමාව පහළ ගියා. සුරැකුම්කරණ වෙළෙඳපොළේ ආයෝජකයන් පාඩු ලැබූ නිසා ඔවුන් අනිකුත් වෙළෙඳපොළවල තිබුණු තම ආයෝජන විකිණීම සිදු කළා. එබැවින් වාණිජ පත්‍ර සහ කොටස් වෙළෙඳපොළවල ආයෝජන පහළ ගියා. එහි ප්‍රතිඵලයක් වශයෙන් 2009 ඔක්තෝබර් මාසය වන විට මුළු ලෝකයේ ම කොටස් වෙළෙඳපොළ ගනුදෙනු කඩා වැටුණා. මේ 2009 ඔක්තෝබර් වන විට ලෝකයේ ඇතැම් කොටස් වෙළෙඳපොළවල මිල පහළ යාමේ ප්‍රතිශතය සටහන් වුණු ආකාරය යි.

1). ටෝකියෝ (ජපානය)- 24%

2). රියෝ ද ජැනයිරෝ (බ්‍රසීලය)- 23%

3). පැරිස් (ප්‍රංශය)- 22%

4). ෆ්රෑන්ක්ෆර්ට් (ජර්මනිය)- 22%

5). ලන්ඩන් (එංගලන්තය)- 21%

6). නිව්යෝක් (අමෙරිකාව)- 21%

7). මුම්බායි (ඉන්දියාව)- 21%

කොටස් වෙළෙඳපොළ කඩා වැටීම- federalreservehistory.org

අර්බුදය විසඳීම සඳහා ගත් ක්‍රියාමාර්ග

එදා ලෝකයේ බොහෝ රටවල් මුහුණදුන් ආර්ථික අවපාතයෙන් ගැලවීම සඳහා එම රටවල්වල රජයන් සහ මහ බැංකු එකතු වී සාකච්ඡා සිදු කළා. එම අර්බුදය වෙළෙඳපොළ ආර්ථික ක්‍රමය හරහා නිර්මාණය වුණු නිසා එය විසඳීම සඳහා වෙළෙඳපොළ කෙරෙහි මහජන විශ්වාසය ඇති කිරීම අවශ්‍ය වුණා. ඒ සඳහා බොහෝ රටවල රජය මැදිහත් වුණා. එහි දී අර්බුදය විසඳීම සඳහා රටවල් අනුගමනය කළේ පහත දක්වා තිබෙන ක්‍රියාමාර්ග යි.

1). බැංකු සහ මූල්‍ය වෙළෙඳපොළවල අරමුදල් හිඟය පියවීම සඳහා මහ බැංකු තම ණය පොලී අනුපාත අඩු කොට සීමාවල් ලිහිල් කොට වෙළෙඳපොළට විශාල වශයෙන් අරමුදල් ලබා දුන්නා. 

2). බොහෝ රටවල රජයන්ගේ මැදිහත්වීමෙන් ආර්ථිකය දිරිමත් කිරීමේ අරමුදල් බැංකු සහ ව්‍යාපාරික ආයතනවලට ලබා දුන්නා 

3). මූල්‍ය අර්බුදය පැවති කාලය තුළ රජයන් බැංකු සහ මූල්‍ය ආයතනවල තැන්පතු, ණය ගැනීම්, සහ දුන් ණය සඳහා රාජ්‍ය ඇපය ලබා දීම හරහා බැංකු සහ මූල්‍ය ආයතන පිළිබඳ ව ගනුදෙනුකරුවන් තුළ විශ්වාසය වැඩි වුණා.

4). බැංකු සහ මූල්‍ය ආයතනවල කොටස් මිල පහළ යාම වැලැක්වීම සඳහා ණයට කොටස් ගෙන අලෙවි කිරීම අත්හිටුවීම. 

5). අර්බුදයට පත් බැංකු වෙනත් බැංකු සමඟ ඒකාබද්ධ කිරීම. 

ඉහත ක්‍රියාමාර්ග අනුගමනය කිරීම මඟින් බොහෝ රටවල්වලට ආර්ථික අවපාතයෙන් තරමක් දුරට මිදීමට හැකි වුණා. එම රටවල්වල ආර්ථිකය පෙර තිබුණු තත්ත්වයට පත්වීමට තවත් වසර කිහිපයක් ගත වුණා. එසේ 2007-2009 කාලය තුළ පැවති ආර්ථික අවපාතය රටවල් රැසක් අඩපණ කිරීමට සමත් වුණා. එනිසා එය 21 වන සියවසේ දී ලෝක ආර්ථිකයට විශාලතම බලපෑම සිදු කළ අර්බුදය බව ආර්ථික විශේෂඥයන්ගේ මතය යි. 

කවරයේ ඡායාරූපය- අර්බුදය අතරතුර රැකියා සොයමින් ගිය අමෙරිකානුවෝ - npr.org

මූලාශ්‍ර:

washingtonpost.com

forbes.com

theguardian.com

federalreservehistory.org

cbsl.gov.lk

cfr.org

Related Articles