Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

රටේ ම නෙට් කැපූ, බංගලාදේශ මහා මැතිවරණය

ඊයේ (දෙසැම්බර් 30) පැවති බංගලාදේශ පාර්ලිමේන්තු මැතිවරණය ජයග්‍රහණය කිරීමට ෂෙයික් හසීනා ඇතුළු එරට පාලක පක්ෂය සමත්වෙලා තිබෙනවා. ෂෙයික් හසීනා නායකත්වය සපයන අවාමි ලීගය, එරට පාර්ලිමේන්තුවේ ආසන 298න් 287ක් ලබාගෙන ඇති අතර, ප්‍රධාන විපක්ෂය වන බංගලාදේශ ජාතික පෙරමුණට රැක ගැනීමට හැකි වී තිබෙන්නේ ආසන හතක් පමණයි.

මැතිවරණය තුළ දී දකින්නට ලැබුණු රාජ්‍ය මර්දනය හා දූෂණ පිළිබඳ ව ප්‍රධාන විපක්ෂයේ නායකයා ලෙස දැනට ක්‍රියාකරන කමල් හුසේන් අවධාරණය කරන නමුත්, නිදහස් හා සාමකාමී මැතිවරණයක් පැවති බව නව අගමැති ලෙස නැවත පත්වෙන ෂෙයික් හසීනා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.

මේ පිළිබඳ ව අදහස් දක්වන බංගලාදේශ මැතිවරණ කොමිෂන් සභාව රටපුරා සිදු වී ඇතැ යි පැවසෙන මැතිවරණ දූෂණ ක්‍රියා සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බව ප්‍රකාශ කර තිබෙනවා. කෙසේ නමුත්, රජයේ පාලනය භාරකාර ආන්ඩුවකට පවරා නැවත මැතිවරණයක් පැවැත්විය යුතු බව යි විපක්ෂයේ අදහස වන්නේ.

මෙම ජයග්‍රහණයත් සමග තෙවන වරට නැවතත් එරට අගමැති ධූරයට පත්වෙන ඇය, බංගලාදේශ ආර්ථිකය වර්ධනය කිරීමෙහි ලා ප්‍රශංසනීය කාර්යභාරයක් ඉටුකර තිබෙනවා. මානව හිමිකම් උල්ලංඝනය කිරීම, මාධ්‍ය නිදහස සීමා කිරීම, හා විරුද්ධ පාක්ෂිකයන් මර්දනය කරමින් ඒකාධිපති ස්වරූපයේ පාලනයක් රැගෙන යාම වැනි චෝදනා රාශියක් ද, මේ වන විට ඇයට එල්ල වී තිබෙනවා.

වැඩි ම කාලයක් අගමැති ධූරය දරන, ෂෙයික් හසීනා

ඡන්දය ප්‍රකාශ කරන ෂෙයික් හසීනා (The Indian Express)

බංගලාදේශ දේශපාලන ඉතිහාසය දෙස බැලීමේ දී එරට වැඩි ම වතාවක් අගමැති ධූරය දැරීමට සුදුසුකම් ලැබූ ප්‍රථමයා ලෙස ෂෙයික් හසීනා අගමැතිවරිය හඳුන්වාදිය හැකි යි. ඇය, එරට අගමැතිවරයෙක් ලෙස කටයුතු කළ මුජිබර් රහුමාන්ගේ දියණිය යි. 1986 වසරේ සිට එරට අවාමි ලීගයේ පක්ෂ නායිකාව ලෙස ෂෙයික් හසීනා කටයුතු කරන අතර, ඇය ප්‍රථම වතාවට එරට අගමැතිවරිය ලෙස 1996 වසරේ සිට 2001 වසර දක්වා කටයුතු කරනවා.

පසුව නැවතත් විපක්ෂ නායිකාව ලෙස වසර කිහිපයක් ගත කොට 2009 වසරේ සිට මේ වන තුරු එරට අගමැතිවරිය ලෙස කටයුතු කරනවා.

ෆෝබ්ස් සඟරාවට අනුව 2018 වසරේ ලෝකයේ බලවත් කාන්තාවන් අතර 26 වන ස්ථානයේ රැඳී සිටින්නේත් ෂෙයික් හසීනා යි.

කාන්තාවන් දෙදෙනෙක් අතර දෝලනය වන බංගලාදේශයේ පාලනය

සිරගත ව සිටීම කලීඩා ෂියා (The Daily Star)

1991 වසරේ සිට මේ දක්වා බංගලාදේශයේ අගමැතිධූරයේ කටයුතු කර තිබෙන්නේ කාන්තාවන් දෙදෙනෙක් වීම විශේෂත්වයට කාරණයක් ලෙස සඳහන් කළ හැකි යි. ප්‍රධාන පක්ෂ දෙකේ නායිකාවන් ලෙස ඔවුන් බොහෝ මැතිවරණ ප්‍රමාණයකට මුහුණ දී තිබෙනවා.

එම කාන්තාවන් යුගලය වන්නේ වත්මන් අගමැතිනි ෂෙයික් හසීනා හා හිටපු අගමැතිනියක හා විපක්ෂ නායිකාවක වන කලීඩා ෂියා යි. 2018 වසරේ පෙබරවාරි මාසයේ පැරණි දූෂණ චෝදනා කිහිපයකට වැරදිකාරිය කරමින් කලීඩා ෂියා ව වසර පහකට සිරගත කර තිබෙනවා. ඒ හේතුවෙන් මෙවර මැතිවරණයේ බංගලාදේශ ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කරන්නේ කලිඩා ෂියාගේ සමීපතමයෙක් වන කමල් හුසේනු යි.

වසර ගණනාවක් තිස්සේ මෙම කාන්තාවන් දෙදෙනා අතර පවතින දේශපාලන පොරය “රාජකීය මෙහෙසියන්ගේ සටන” ලෙස හඳුන්වනවා.

මෙවර මැතිවරණය ප්‍රජාතන්ත්‍රවාදී ද?

මැතිවරණයේ සන්නද්ධ හමුදා (Mail & Guardian)

ඩකා නගරය ඇතුළු රටපුරා ලක්ෂ හයකට අධික ආරක්ෂක බලකායක් මෙම මැතිවරණය වෙනුවෙන් දැඩි ආරක්ෂාවක් සැපයූ අතර, මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් මේ වන විට 18 දෙනෙකු පමණ ඝාතනයට ලක් වී ඇති බව වාර්තා වෙනවා.

මැතිවරණයට පෙර සිට ම පාලක පක්ෂය භීෂණය වැපිරීම ආරම්භ කළ බවත්, ෂෙයික් හසීනාගේ ජයග්‍රහණය පිළිනොගන්නා බවත් ප්‍රධාන විපක්ෂය මේ වන විට ප්‍රකාශ කර තිබෙනවා. මැතිවරණ නිරීක්ෂණය සඳහා සහභාගී වූ විදෙස් රටවල නියෝජිත ආයතනයන් ද මැතිවරණය සර්ව සාධාරණ නොවූ බව වාර්තා කර තිබෙනවා.

පියා හා දියණිය බිත්ති සිතුවමක (Time Magazine)

මැතිවරණයට පෙර ජාතික පෙරමුණේ ක්‍රියාකාරීන් රැසක් විවිධ චෝදනා ඔස්සේ අත්අඩංගුවට ගෙන ඇති බවට සඳහන් වෙන අතර, මැතිවරණයට දින තුනකට පෙර සිට රටේ අන්තර්ජාල පහසුකම් කපා හැරීමට ද පාලක පක්ෂය කටයුතු කරනවා.

බංගලාදේශයේ හෙට දවස

ඡන්ද පොළක් (OrissaPOST)

දකුණු ආසියාවේ රටවල් අතරින් ප්‍රධාන ඉස්ලාමික රටක් ලෙස බංගලාදේශය නම් කළ හැකි අතර, මියන්මාරයේ රෝහින්ජා අර්බුදය හේතුවෙන් පළා එන මුස්ලිම් සරණාගතයන්ට වර්තමානය වන විට රැකවරණය සලසන්නේ ද බංගලාදේශය යි.

අන්තවාදය හා ත්‍රස්තවාදය උදෙසා විපක්ෂය විසින් උඩගෙඩි දෙන බවට චෝදනා කරන හසීනා, තමන්ගේ ප්‍රධානතම අරමුණ වන්නේ බංගලාදේශයේ ආර්ථික ශක්තිය ඉහළ නැංවීම බව ප්‍රකාශ කර තිබෙනවා. වර්තමානය වන විට පෙර වසරවලට සාපේක්ෂ ව ඉහළ ගොස් ඇති දළ දේශීය නිෂ්පාදිතය තවත් වර්ධනය කිරීම සිදුකරන බවට ඇය විසින් පොරොන්දු දී තිබෙනවා.

නමුත් රටේ වර්ධනය වන තරුණ ජනගහනය හසීනාගේ පාලනය බොහෝ දුරට ප්‍රතික්ෂේප කරන බවත්, ඇය මේ සැරසෙන්න ඒකාධිපති පාලනයකට බවත් විශ්ලේෂකයන් ප්‍රකාශ කර තිබෙනවා. ඊට එක් උදාහරණයක් ලෙස විශ්ලේෂකයන් විසින් මෑතක දී ඇති වූ “ඩකා හි තරුණ නැගිටීම” ගෙන හැර දක්වනවා. නමුත් ෂෙයික් හසීනා සුපුරුදු ලෙස එම චෝදනා ප්‍රතික්ෂේප කරනවා.

කවරයේ පින්තූරය: බංගලාදේශ ක්ෂණික ක්‍රියාකාරී බලකාය මැතිවරණයේ (The Herald-Mail)

මූලාශ්‍රයයන්:

theguardian.com

ndtv.com

indianexpress.com

Related Articles