Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ගුවනින් සමුගැන්වූ බෝයිං 737 මැක්ස් 8 මරුවා

පසුගිය දිනෙක ඉතියෝපියානු ගුවන් සේවයට අයත් බෝයින් 737 මැක්ස් ගුවන් යානයක් කඩා වැටීම හේතුවෙන් එහි ගමන් කළ සියලු දෙනා මරණයට පත් වෙනවා. මාස 5ක් තුළ බෝයිං 737 මැක්ස් 8 නමැති නව මාදිලියට අයත් ගුවන් යානා වර්ගය අනතුරට ලක්වූ දෙවන අවස්ථාව මෙය යි.

මේ හේතුවෙන් බොහෝ රටවල ගුවන් සේවා විසින් මෙම වර්ගයේ ගුවන් යානා භාවිතය නවතා දැමීමට තීරණය කරනවා. ගුවන් යානා සමාගම් විසින් එම වර්ගය භාවිතයෙන් ඉවත් කිරීමට ද, බෝයිං සමාගම ඔවුන්ගේ  737 මැක්ස් 8 ගුවන් යානා සියල්ල අත්හිටුවීමට ද මේ වන විට තීරණය කර තිබෙනවා.

මෑතක දී ගුවන් ගමන් සඳහා එක් වූ බෝයිං ගුවන් යානා නව මොඩලයක් වන මෙය, වාණිජ්‍යමය ගුවන් යානයක් ලෙස පියාසර කිරීම ආරම්භ කරන්නේ 2017 වසරේ සිට යි.

කඩා වැටුණු පළමු බෝයිං 737 මැක්ස් ගුවන් යානය

ලයන් එයාර් ගුවන් යානයේ සුන්බුන් ගොඩ ගැනීම (UPI.com)

2018 වසරේ ඔක්තෝම්බර් 29 වන දා ඉන්දුනීසියාවේ ලයන් එයාර් ගුවන් සේවයට අයත් බෝයිං 737 මැක්ස් ගුවන් යානයක් අනතුරට ලක්වෙනවා. එය, පියාසර අංක JT610 යටතේ ඉන්දුනීසියාවේ ජකර්තා සිට බැන්කා බෙලිටුන්ග් දූපත බලා පියාසර කිරීම ආරම්භ කරනවා. පියාසර කිරීම ආරම්භ කර මිනිත්තු 13කට පසුව කාර්මික දෝෂයක් හේතුවෙන් යානය අනතුරට පත් වී කඩා වැටෙනවා.

ගුවන් යානය ජකර්තා නුවර අසල මුහුදට කඩා වැටුණු අතර, එහි ගමන් කළ සියලු දෙනා මිය යනවා. කාර්යයමණ්ඩලය ඇතුළු 189 දෙනෙක් මියගිය පිරිසට අයත්.

මාස පහක් ඇතුළත සිදු වූ දෙවන කඩා වැටීම

දෙවන ගුවන් අනතුර (Evening Standard)

බෝයිං 737 මැක්ස් 8 පළමු අනතුර සිදු වී මාස පහකින් අනතුරව මාරාන්තික දෙවන අනතුර ද සිදුවෙනවා. 2019 වසරේ මාර්තු 10 වන දා ගුවන් ගමන් අංක ET302 දරන බෝයිං 737 මැක්ස් 8 යානය ඉතියෝපියාවේ අඩිස් අබාබා ගුවන් තොටුපොළෙන් කෙන්යාවේ නයිරෝබි නුවර බලා පියාසර කිරීම ආරම්භ කරනවා. පිටත් වී මිනිත්තු 6කට පසු එනම් ඉතියෝපියානු වේලාවෙන් උදෑසන 8.44ට ගුවන් යානය අනතුරට පත්වෙනවා.

ගුවන් යානය අඩිස් අබාබා නගරයට කිලෝමීටර් 60ක් පමණ දුරින් පිහිටි බිෂෝෆ්ටු ප්‍රදේශයට කඩා වැටී වැටෙනවා. අනතුර හේතුවෙන් යානයේ ගමන් කළ සියලු දෙනා මරණයට පත්වෙනවා. 157 දෙනෙකු මියගිය පිරිසට අයත්.

අනතුරට පත් වූ ගුවන් යානය පදවන ලද්දේ අත්දැකීම් බහුල ජ්‍යෙෂ්ට ගුවන් නියමුවෙකු වන අතර, යම් කිසි දෝෂයක් නිසා ගුවන් යානය නැවත හරවා ගුවන් තොටුපොළට රැගෙන එන බව ඔහු ගුවන් ගත වී මොහොතකින් ගුවන් තොටුපොල හා සම්බන්ධ වෙමින් ප්‍රකාශ කර තිබෙනවා. කෙසේ නමුත් අනතුරට හේතුව ලෙස සඳහන් වන්නේ ගුවන් යානය ඉහළට ගමන් කළ වේගය ස්ථාවර නොවීම යි.

මෙලෙස අනතුරට පත්වන්නේ ඉතියෝපියානු ගුවන් සමාගම විසින් බෝයිං සමාගමෙන් මිල දී ගත් බෝයිං 737 මැක්ස් 8 ගුවන් යානා 6න් එකක්.

ලොව වටා ගුවන් සාමාගම් බෝයිං 737 මැක්ස් 8 පියාසැරියෙන් ඉවත් කිරීම

කැනඩාවේ බෝයිං 737 මැක්ස් 8 ගුවන් යානයක් (Yahoo Finance)

බෝයිං 737 මැක්ස් 8 ගුවන් යානය තාවකාලිකව ධාවනයෙන් ඉවත්කර ඒවා පරික්ෂා කිරීම සඳහා මුලින්ම කටයුතු කරන්නේ මහජන චීනය යි. ගුවන් අනතුර සිදුවීමත් සමගම ඔවුන්  එම නිවේදනය නිකුත් කරනවා. එයාර් චයිනා, චයිනා ඊස්ටර්න් හා, චයිනා සදර්න් ඇතුළු චීන ගුවන් සමාගම්වල ගුවන් යානා 90කට අධික සංඛ්‍යාවක් මේ ආකාරයෙන් ධාවනයෙන් ඉවත් කරනවා.

ඉන්පසුව කේමන් සහ එයාර් කැනඩා යන ගුවන් සේවා ද තම බෝයිං 737 මැක්ස් 8 ගුවන් යානා විධිමත් විමර්ශනයක් සිදුවෙන තුරු ධාවනයෙන් ඉවත් කිරීමට තීරණය කරනවා. දකුණු කොරියාවේ බෝයිං 737 මැක්ස් 8 ගුවන් යාන හිමි ගුවන් සාමාගම් ද එම ගුවන් යානා මෙහෙයුම් කටයුතුවලින් ඉවත් කිරීමට කටයුතු කරනවා. ඉන්දුනීසියාවේ හා ඉන්දියාවේ මෙම වර්ගයේ ගුවන් යානා හිමි ගුවන් සමාගම් ද සිය මෙහෙයුම්වලින් ඒවා ඉවත් කරනවා.

ඉතා දරුණු ගුවන් අනතුරු දෙකක් සිදුවුව ද, එක්සත් ජනපද ගුවන් සේවා පාලන අධිකාරිය එරට ක්‍රියාත්මක වන ගුවන් සේවා සමාගම්වල බෝයිං 737 මැක්ස් 8 ගුවන් යානා ඉවත් කිරීමට උපදෙස් දෙනු ලබන්නේ බොහෝ රටවල් එම ගුවන් යානා ඉවත් කිරීමෙන් පසු වීම විශේෂ කරුණක් ලෙස සඳහන් කළ හැකි යි.

බෝයිං සමාගම විසින් 737 මැක්ස් 8 යානා සියල්ල අත්හිටුවීමට තීරණය කිරීම

බෝයිං සමාගම (The Business Journals)

සිදු වූ අනතුරු දෙක පිළිබඳව තම සමාගම අතිශය කණගාටු වන බවත්, මරණයට පත්වූවන් වෙනුවෙන් තම සංවේගය පුදකර සිටින බවත් පවසා සිටින බෝයිං සමාගම මෙතෙක් නිෂ්පාදනය කර ඇති 737 මැක්ස් 8 යානා 371කම විධිමත් පර්යේෂණයක් සිදුකරන තුරු තාවකාලිකව අත්හිටුවන බව නිවේදනය කරනවා. තව ද නිෂ්පාදනය කිරීමට නියමිත 737 මැක්ස් 8 යානා සියල්ල නිෂ්පාදනය කිරීම අවලංගු කරන බවත් දන්වා සිටිනවා.

ශ්‍රී ලංකන් ගුවන් සේවය මෙම වර්ගයේ ගුවන් යානා භාවිතා කරන්නේ නැති නමුත්, ලංකාවට පැමිණෙන ප්‍රධාන ගුවන් සමාගම් කිහිපයක්ම මෙම වර්ගය භාවිතා කරනවා. නමුත් ලෝකය පුරා මෙම ගුවන් යානය භාවිතයෙන් ඉවත් කිරීම නිසා ශ්‍රී ලංකා ගුවන් කලාපයේ කිසිදු ප්‍රශ්නයක් ඇති නොවන බව රජය විසින් ප්‍රකාශ කර තිබෙනවා.

අනාවරණය කරගත් තොරතුරු අනුව මෙම ගුවන් යානා අනතුරු දෙකේම යම් යම් සමානතා දැකිය හැකි බව විශ්ලේෂකයන් පෙන්වා දෙනවා.

කවරයේ පින්තූරය - South China Morning Post

මූලාශ්‍රයයන් -

bbc.com

www.vox.com

dw.com

Related Articles