Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඇමෙරිකාව මදුරෝ ගෙදර යවයි ද ? – වෙනෙසුවේලාවේ නවතම තත්ත්වය

දීර්ඝ කාලයක් තිස්සේ ක්‍රියාත්මක වෙන වෙනෙසුවේලා දේශපාලන අර්බුදය පසුගිය ජනවාරි 23 වන දා නවතම මුහුණුවරක් ගන්නවා. ඒ, එරට මැතිවරණයෙන් තේරී පත් වූ ජනාධිපතිවරයා වන නිකලොස් මදුරෝ තම ධුරයේ සිටිය දීම එරට පාර්ලිමේන්තුව වන ජාතික සභාවේ සභාපති හුවාන් ගුවායිඩෝ එරට වැඩ බලන ජනාධිපතිවරයා ලෙස තමන් විසින්ම හඳුන්වා ගැනීම යි.

ගුවායිඩෝගේ මෙම ප්‍රකාශයත් සමග කෝපයට පත්වෙන එරට ජනාධිපති මදුරෝ තවමත් එරට ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන්නේ තමන් බව ප්‍රකාශ කරනවා. නමුත් ඇමෙරිකා එක්සත් ජනපදය හා යුරෝපයේ රටවල් සමූහයක්, ගුවායිඩෝව නව ජනාධිපතිවරයා ලෙස පිළිගන්නා බව ප්‍රකාශ කිරීමෙන් තත්ත්වය තවත් උග්‍ර අතට හැරෙනවා.

මේ වන විට දේශපාලන අර්බුදය පටන්ගෙන විශාල කාලයක් ගත වී ඇතත් එයට නිසි විසදුම් තවමත් ලැබී නෑ. ලැබෙන නවතම වාර්තා අනුව අස්ථාවර වී පවතින වෙනෙසුවේලාව සඳහා මානුෂීය ආධාර රැගත් ඇමෙරිකානු ගුවන් යානා කොලොම්බියා-වෙනෙසුවෙලා දේශ සීමාවට ළඟා වී තිබෙනවා. ඒ ගුවායිඩෝගේ ඉල්ලීමක් මත යි. නමුත් ඒවාට තම රටට ඇතුළු වීමට අවසර නොදෙන බව මදුරෝ පවසනවා. මෙය, නවතම ආකාරයකින් වෙනෙසුවේලාවට අත ගැසීමට ඇමෙරිකාව දරන උත්සාහයක් ලෙසයි ඔහු හඳුන්වා දෙන්නේ.

මදුරෝ පාලනයට පක්ෂව හා විපක්ෂව

2014 වසරේ සිට මදුරෝ පාලනයට එරෙහිව එරට විරෝධතා පැවැත්වෙනවා. (The Atlantic)

මදුරෝ එරට ජනාධිපතිවරයා බවට පත්වන්නේ 2013 වසරේ දී යි. ඒ එරට සිටි ජනාධිපතිවරයා වූ හියුගෝ චාවේස්ගේ මරණයෙන් පසුව යි. 2018 වසරේ පැවති ජනාධිපතිවරණයෙන් පසුව ඔහු දෙවන වරටත් බලයට පත්වෙනවා. නමුත් මෙම මැතිවරණය සඳහා විපක්ෂ කණ්ඩායම් සහභාගී වෙන්නේ නෑ. ඇතැම් කණ්ඩායම්වලට තරග කිරීමේ අවස්ථාව මදුරෝ ලබා දෙන්නේ ද නෑ.

මදුරෝගේ පාලන සමයේ එරට ජනතාව එම පාලනයට විරුද්ධව බොහෝ විරෝධතාවන් මෙහෙයවනවා. එම විරෝධතාවල ප්‍රතිඵලයක් ලෙස මදුරෝ පාලනයෙන් බැටකමින් සිටි ජනතාව වෙනුවෙන් ජනාධිපති ධූරය ලබා ගත් බව ගුවායිඩෝ පවසනවා. නමුත් ගුවායිඩෝගේ මෙම ප්‍රකාශයට විරුද්ධත්වය ප්‍රකාශ කරන මදුරෝ මෙය තම පාලනය පෙරළා දැමීමට ඇමෙරිකාව ගත් උත්සාහයක් ලෙස සඳහන් කරනවා.

මදුරෝ (France 24)

වෙනෙසුවේලා ජනාධිපතිවරයා ලෙස තමන් ගුවායිඩෝව පිළිගන්නා බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරනවා. එම ප්‍රකාශයට පිළිතුරු දක්වමින් මදුරෝ ප්‍රකාශ කරන්නේ පැය 72ක් ඇතුළත ඇමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් තම රටින් ඉවත්ව යා යුතු බව යි.

මේ වන විට උතුරු ඇමෙරිකාවේ, දකුණු ඇමෙරිකාවේ, හා යුරෝපයේ රටවල් බහුතරයක් ගුවායිඩෝව එරට ජනාධිපතිවරයා ලෙස පිළිගන්නා අතර රුසියාව, චීනය, තුර්කිය,කියුබාව, මෙක්සිකෝව, හා බොලීවියාව, වෙනෙසුවේලා ජනාධිපති ලෙස තවමත් පිළිගන්නේ මදුරෝව යි. තව ද වෙනෙසුවේලා ආරක්ෂක අංශ ද මදුරෝ පාර්ශවය නියෝජනය කරනවා.

ඇමෙරිකා එක්සත් ජනපදයෙන් සම්බාධක

හුවාන් ගුවායිඩෝ (MPR News)

මදුරෝ ජනාධිපති ධූරයෙන් ඉවත් නොවන්නේ නම් වෙනෙසුවේලාවට එරෙහිව දැඩි සම්බාධක පනවන බව ඇමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කරනවා. මීට පෙරත් ඇමෙරිකා එක්සත් ජනපදය විසින් මදුරෝ පාලනයට එරෙහිව සම්බාධක පනවා තිබෙනවා. නමුත් මදුරෝ තම ධූරයෙන් තවමත් ඉවත් වී නෑ. ඒ හේතුවෙන් ඇමෙරිකාව සහ යුරෝපයේ රටවල් එරට රාජ්‍ය තෙල් සමාගමෙන් තෙල් ආනයනය කිරීම අඩු කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ හේතුවෙන් එරට බොරතෙල් අපනයනය දිනකට බැරල් මිලියන 1.15ක් දක්වා පහත වැටී ඇති අතරම, පිරිපහදු කරන තෙල් අපනයනය බැරල් මිලියන 1.4ක් දක්වා පහත වැටී ඇති බවට වාර්තා වෙනවා.

වෙනෙසුවේලාවේ විශාලම තෙල් ගැනුම්කරු වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදය යි. පැනවූ සම්බාධක හේතුවෙන් වෙනෙසුවේලාවේ අවධානය ඉන්දියාව වෙත යොමු වී ඇති අතර ඉන්දියාවට කරන තෙල් අපනයනය දෙගුණ කිරීමට වෙනෙසුවේලා රජය තීරණය කර තිබෙනවා. ඇමෙරිකාව හැරුනුකොට එරට දෙවන විශාලතම තෙල් ගැනුම්කරු වන්නේ ඉන්දියාව යි.

ඇමෙරිකානු ගුවන් යානා කොලොම්බියා දේශ සීමාවට

ඇමෙරිකානු ආධාර ගුවන් මඟින් දේශ සීමාව අසලට (Washington Post)

මීට දින කිහිපයකට ප්‍රථම දේශපාලන අස්ථාවරත්වය, රටේ ආර්ථික කඩා වැටීම හේතුවෙන් එදිනෙදා ජන ජීවිතය අවුල් වී ගිය වෙනෙසුවේලා ජනතාව වෙනුවෙන් මානුෂික ආධාර ලබා දීමට ඇමෙරිකාව කටයුතු කරනවා.

ආධාර රැගත් ගුවන් යානා කොලොම්බියා – වෙනෙසුවේලා දේශ සීමාව වෙතට පිටත් කර හැරීමට ඇමෙරිකානු රජය කටයුතු කරනවා. එය එරට ජනාධිපති ලෙස ඔවුන් පිළිගන්නා හුවාන් ගුවායිඩෝගේ ඉල්ලීමක් මත යි. එම ඉල්ලීමට බොහෝ යුරෝපියානු රටවල් ප්‍රමාණයක් සහාය දක්වන අතර ඔවුන් ප්‍රදානය කළ ආධාර ප්‍රවාහනය කිරීම ඇමෙරිකා එක්සත් ජනපදය විසින් භාරගෙන තිබෙනවා.

දේශ සීමාව අසළ විරෝධතාකරුවන් හා ආරක්ෂක අංශ අතර ගැටුම් (CBC.ca)

තම රටට ආධාර අනවශ්‍ය බවත්, ආධාර මුවාවෙන් ඇමෙරිකානු ආරක්ෂක අංශ තම රට ආක්‍රමණයකට සැරසෙන බවත් මදුරෝ ප්‍රකාශ කරනවා. ඒ සමගම ඔහු විසින් තම රටට අසල්වැසි රටවල් ඔස්සේ ඇතුල් විය හැකි සියලු මාර්ග වසා දැමීමට තීරණය කරනවා. ඒ හේතුවෙන් මානුෂික ආධාර රැගත් ට්‍රක් රථ රැසක් කොලොම්බියා දේශ සීමාව හා බ්‍රසීල දේශ සීමාව අසල රැදී සිටින බවයි වාර්තා වෙන්නේ.

විපක්ෂය හා රජය අතර ගැටුම්

හුවාන් ගුවායිඩෝ, කොලොම්බියා ජනාධිපති හා ඇමෙරිකානු උප ජනාධිපති – පිළිවෙලින් වමේ සිට (Vox)

විපක්ෂ අධාරකරුවන් විසින් කොලොම්බියා හා බ්‍රසීල දේශ සීමා අසල මේ වන විට උද්ඝෝෂණ ක්‍රියාමාර්ගවල නිරතව සිටිනවා. ඒ, ආධාර රැගත් ට්‍රක් රථවලට වෙනෙසුවේලාවට අතුලුවීමට අවසර දෙන ලෙස රජයට බලකරමින්.

රජයේ හමුදා විසින් උද්ඝෝෂණකරුවන් වෙත කදුළු ගෑස් ප්‍රහාර හා රබර් උණ්ඩ යොදා ගනිමින් වෙඩි තැබීම් සිදු කර තිබෙනවා. දේශ සිමාවේ සිදු වූ විරෝධතාවලට රජයේ හමුදා විසින් කළ පහරදීම් හේතුවෙන් මේ වන විට සිවිල් වැසියන් හතර දෙනෙක් මරණයට පත් වී ඇති අතර, තවත් සිය ගණනක් තුවාල ලබා තිබෙනවා. විරෝධතාවලට එරෙහිව හමුදාව විසින් ජීව උණ්ඩ යොදාගනිමින් වෙඩි තබන බවත් විපක්ෂය සදහන් කර තිබෙනවා.

අත්‍යවශ්‍ය ආහාර හා බෙහෙත් ද්‍රව්‍ය රැගත් මානුෂික ආධාර තම ජනතාවට මේ මොහොතේ ඉතා වැදගත් බව පවසන හුවාන් ගුවායිඩෝ ඒවාට රටට ඇතුළු වීමට ඉඩදෙන තුරු ජනතාව සමග වීදිවල රැඳී සිටින බව ප්‍රකාශ කරනවා.

ඇමෙරිකානු උප ජනාධිපති හා හුවාන් ගුවායිඩෝ අතර සාකච්ජාවක් පෙබරවාරි 25 දින කොලොම්බියාවේ පැවති අතර මදුරෝ පාලනය පෙරළා දැමීමට අවශ්‍ය සැලසුම් පිළිබඳව දෙපාර්ශවය කතාබහ කළ බව ද සදහන් වෙනවා.

කවරයේ පින්තූරය: Voodoo Video Centre & Social Networking

මූලාශ්‍රයයන්:

bbc.com

time.com

theguardian.com

dw.com

Related Articles