Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මරණ දඬුවම නොලැබූ 93 දරුණු ම දාම ඝාතකයා

අහිංසක මිනිසුන් 93 දෙනකු ඝාතනය කළ දාම මිනීමරුවකු ගැන අමෙරිකාවෙන් වාර්තා වුණේ 2019 දි යි. වර්ෂ 1970 සහ 2005 අතර දශක තුනහමාරක් තුළ දී සැමුවෙල් ලිට්ල් නම් පුද්ගලයා සිදු කළ ඒ ඝාතන ගැන ඒ වනතෙක් කිසිවෙක් දැන සිට නැහැ.  අමෙරිකා ඉතිහාසයේ  වැඩි ම මිනීමැරුම් සංඛ්‍යාවක් කළ තනි පුද්ගලයා ලෙසට ඔහු වාර්තා පොතට එක් ව තිබෙනවා.  පුදුමය නම් ලොව හොඳ ම බුද්ධි අංශය තිබෙන බව පැවසෙන අමෙරිකා එක්සත් ජනපද ආණ්ඩුවවත් ඒ පිළිබඳ ව නොදැන සිටීම යි. ඔහු ම ඒ ගැන පාපොච්චාරණය කරන තෙක් එතරම් ඝාතන සංඛ්‍යාවක් එක් පුද්ගලයකු කළ බව එෆ් බී අයි සංවිධානය පවා දැන සිට නැහැ.  

ජෝන් වේන් ගේසි අතින් ඝාතනයට ලක්වූ පුද්ගලයන්- Wikipedia.org

සීරියල් කිලර්ස්

සීරියල් කිලර්ස් හෙවත් දාම මිනීමරුවන් ලෙස හඳුන්වන්නේ එකම රටාවකට, දම්වැලක පුරුක් මෙන් ඝාතන වැලක් සිදුකරන පුද්ගලයන්. පිරිමි මෙන් ම ගැහැනු දාම මිනීමරුවන් ද හමු ව තිබෙනවා. ඒ අතරින් වැඩි පිරිසක් මරණීය දණ්ඩනය ලැබුවා. විකෘති මානසිකත්වයකින් යුතු දාම මිනීමරුවන් විවිධ ක්‍රම භාවිත කරමින් ඉතා අමානුෂික ලෙස අහිංසක මිනිස් ජීවිත බිලිගන්නා බව අනාවරණය වී තිබෙනවා. ඝාතනයක් කළ පසු ව එය තමන්ගේ වැඩක් යනුවෙන් පොදු ජනතාව අතර ප්‍රසිද්ධියට පත්කර  ජනතාව භීතියට පත් කිරීමෙන් ද ඔවුන් අල්ලා ගැනීමට පොලීසිය කරන උත්සාහය දෙස බලා සිටීමෙන් ද ඔවුන් තෘප්තියක් ලබනවා.

දාම ඝාතක ජෙෆ්රි ඩාහ්මර් -wikipedia.org

සැමුවෙල් ලිට්ල් අනෙක් දාම මිනීමරුවන්ට වඩා වෙනස් ගතිලක්ෂණ තිබූ කෙනෙක්. ඔහු   ඝාතන සිදුකර ඒවා අමතක කර වෙනත් ඝාතනයක් සැලසුම් කරන  ප්‍රසිද්ධියට අකැමති පුද්ගලයකු බවයි සැලකෙන්නේ. ඔහුගේ ඝාතන සහ අපරාධ ලැයිස්තුව පිටු 100ක් තරම් දිග යි. ජෙෆ්රි ඩාහ්මර් (පිරිමි පුද්ගලයන් සහ ළමයින් 17), ජෝන් වේන් ගේසි ( පිරිමින් 33 දෙනෙක්), ටෙඩ් බන්ඩි ( කාන්තාවන් 20ක්) වැනි අමරිකන් දාම ඝාතකයන් සිටින්නේ ඔහුට බොහෝ පසුපසින්.

කවුද මේ ලිට්ල්?

1940 ජුනි 7දා ජෝර්ජියා ප්‍රාන්තයේ රෙනෝල්ඩ්ස් නගරයේ තමයි සැමුවෙල් ලිට්ල් උපත ලබන්නේ.   

ඔහුගේ මව බාල කාලයේදී ම ගණිකාවක් බවට පත් කාන්තාවක් බවත්, ඒ නිසා ඔහු ගැන නොසලකා හැර තිබුණු බවත් සැමුවෙල් පවසා තිබෙනවා. බලධාරින් විශ්වාස කරන්නේ සැමුවෙල් උපත ලබන්නට ඇත්තේ ඔහුගේ මව අත්අඩංගුවට පත් ව බන්ධනාගාරගත ව සිටි අවස්ථාවක බවයි. බන්ධනාගාරයේ දී උපන් ඔහු හැදී වැඩී තිබෙන්නේ ඔහියෝවල මිත්තණිය සමඟ වන අතර අධ්‍යාපනය සම්පූර්ණ කිරීමට ඉඩක් ලැබී නැහැ. ඔහුගේ පියා කවුදැයි මව පවා නොදැන සිටින්නට ඇති බවයි පැවසෙන්නේ.  

විවිධ වයස්වලදී ලිට්ල්ගේ පෙනුම – fbi.gov

1950 දශකයේ අධ්‍යාපනය කඩාකප්පල් කරගෙන ඔහියෝවල නිවසට පැමිණෙන සැමුවෙල් රැකියාවක් කරනු වෙනුවට රස්තියාදුකාර ජීවිතයකටයි පෙලඹෙන්නේ. ඔහු නිසි සමඟට යොමු කිරීමට ඥාතියකු හෝ වැඩිහිටියකු නොසිටීම එයට හේතුවන්නට ඇති. සොරකම් කරමින්, ස්ත්‍රී දූෂණවල යෙදෙමින් මන්ද්‍රව්‍ය හා මත්පැන් පානය කරමින් තමයි තරුණ සැමුවෙල් ජීවිතය ගෙවා තිබෙන්නේ.

තවත් අපරාධකාරුවන් මේ සඳහා ඔහු සමඟ එකතු ව සිටි බව පෙනෙනවා. විටින් විට මිනී මරමින් ගත කළ ඔහු පොලිස් අත්අඩංගුවට පත් වුණේ මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ වරදකට යි. වර්ෂ 2012 දී කෙන්ටකි ප්‍රාන්තයේ දී සැමුවෙල් අත්අඩංගුවට ගෙන කැලිෆෝනියා ප්‍රාන්ත පොලිසිය වෙත භාර දී තිබෙනවා. 

 ලිට්ල් මිනීමැරුම් සිදු කළ ජනපද – bbc.com

 

ඔහු කළ පාපොච්චාරණ අනුව මේ පුද්ගලයා සිදු කළ මුළු ඝාතන සංඛ්‍යාව 93ක් බව හෙළි ව තිබෙනවා. ඒ වන විට අපරාධකරුවා  වන සැමුවෙල්, කාන්තාවන් තිදෙනකු ඝාතනය කිරීමේ වරදට 2012 සිට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් විඳිමින් සිටියා. 1987 -89 අවුරුදුවලදි එම ඝාතන සිදු කර තිබුණේ ලොස්ඇන්ජලිස් නගරයේදි යි. එම කාන්තාවන්ට පහරදී වධ හිංසා පමුණුවා මරා දමා තිබුණා.

ඩී එන් ඒ පරීක්ෂණ

බන්ධනාගරයේ දී කාන්තාවන් තිදෙනාගේ නොවිසඳුණු අපරාධය සෙවීමේ පරීක්ෂකයන් මෙම සිරකරුවාගේ ඩී එන් ඒ ලබාගෙන ඔවුන්නේ සිරුරුවලින් හමුවූ දත්ත සමඟ සසඳා බලා තිබෙනවා. එම දත්ත සැසඳීම නිසා සැමුවෙල්ට එරෙහි ව නඩු පවරා තිබෙනවා. 1987 සිට 1989 දක්වා කාලය ඇතුළත ලෝස්ඇන්ජලීස් ප්‍රදේශයේ සිදු වූ නොවිසඳූණු කාන්තා ඝාතන තුනකට සැමුවෙල් සම්බන්ධ යැයි ජාන පරීක්ෂාවෙන් හෙළි වී තිබෙනවා.

 සැමුවෙල් ලිට්ල්ගේ පොලිස් පොතේ ඇති සේයාරූ- fbi.gov

සන්නද්ධ කොල්ලකෑම්වල සිට ස්ත්‍රී දුෂණ දක්වා බරපතල අපරාධ බොහොමයකට සැමුවෙල් සම්බන්ධ බවට පොලිස් වාර්තාවලින් පසුව හෙළි වුණා. ඒ වර්ෂ 2014 දි යි. මෙම ඝාතනවලට තමන් නිවැරදිකරු යැයි ඔහු උසාවියේ දී එකදිගට පැවසුවත් ජාන සාක්ෂිවලට අනුව නඩු විභාගයෙන් පසු ඔහුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් තුනක් ලබා දීමට අධිකරණය ක්‍රියා කළා. සමාව ලබා ගැනීමට ඔහුට අවස්ථාවක් නොමැති බව ද එම තීරණයේ විශේෂයෙන් සඳහන් කර තිබුණා.

ලිට්ල් උසාවියේ දී – aetv.com

 

ලිට්ල් රට පුරා ජනපද 19ක පමණ ඇවිදිමින් තමයි මේ ඝාතන සිදුකර තිබෙන්නේ. එම ඝාතන බොහොමයක් පරීක්ෂණ නොපවත්වා වැළලී ගොස් තිබෙන්නේ හදිසි අනතුරු, මත්ද්‍රව්‍ය අධික ව භාවිතය, ස්වභාවික හේතු ආදිය දක්වමින්. කෙසේ වුවද මිනීමැරුම් 40කට ආසන්න සංඛ්‍යාවකට මොහු සෘජුව ම සම්බන්ධ බව ගවේෂණවලින් තහවුරු වී ඇති අතර තවත් බොහෝ ඝාතන සම්බන්ධ තහවුරුකිරීම් සිදු කෙරෙමින් පවතින බව 2019 දී වාර්තා වුණා. ඒ ඝාතන ගැන මහජනතාවට කරුණු ඉදිරිපත් කරන ලෙසත් එෆ් බී අයි ඒ දිනවල නිවේදනය කර තිබුණා.

6 ඝාතකයා විසින් අඳින ලද මරා දැමූ කාන්තාවන් – bbc.com

ඝාතන ඉලක්ක

සැමුවෙල්ගේ ඉලක්කය වී තිබුණේ පහසුවෙන් අනතුරට භාජනය විය හැකි අවදානම් ජීවිත ඇති නීතිවිරෝධී කටයුතුවල යෙදෙන කාන්තාවන්.  මොහු සිදු කළ මනුෂ්‍ය ඝාතන ඉතා සියුම් සාක්ෂියක් හෝ ඉතිරි නොවන පරිදි හා ඝාතනයක් යයි හඳුනා ගැනීමට නොහැකි වන පරිදි සිදු කර ඇති බව පොලිසිය පවසනවා. මරණයට ඉලක්ක වූ වැඩිදෙනකු කළු ජාතිකයන් සහ ලිංගික සේවයේ යෙදෙන්නන්. තවත් පිරිසක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්. මේ නිසා සමාජය හෝ මරණයට පත්වූවන්ගේ ඥාතින් පවා එම ඝාතන ගැන වැඩි උනන්දුවක් දක්වා නැහැ.

බොක්සිං ක්‍රීඩකයකු වන සැමුවෙල් පුද්ගලයකුගේ ගෙල මිරිකා මරා දැමීමට පෙර ඔවුන්ට පහර දී අඩපණ කර තිබෙනවා. මේ නිසා, මියගිය සෑම පුද්ගලයකු ම ඝාතනය කළ බවට “නිශ්චිත ලකුණු” සොයා ගැනීම අපහසු වී තිබුණු බවයි පොලීසිය සඳහන් කරන්නේ. සමහර මරණ ගැන පොලිස් පොත්වල සටහන් ව තිබුණේ අනතුරකින් හෝ මත්ද්‍රව්‍ය වැඩි ප්‍රමාණයක් ලබා ගැනීමෙන් සිදු වූ ඒවා ලෙස යි. මෙම හේතූ නිසා ඇතැම් මරණ සම්බන්ධයෙන් අමෙරිකානු පොලිසිය කිසි දිනෙක පරීක්ෂණවත් පවත්වා නැහැ.

සැමුවෙල් ලිට්ල් මරණයට පත් කළ කාන්තාවන් සමරන කළු ජාතික කතක් –  heavy.com

 

ඇතැම් මෘත ශරීර සොයා ගැනීමටත් නොහැකි වී තිබෙන බව එෆ්බීඅයි (FBI) නියෝජිතයන් පවසා සිටිනවා. “සැමුවෙල්ගේ ඝාතන ගැන කළ පාපොච්චාරණ සියල්ල විශ්වාස කළ හැකි යැයි,” බුද්ධි විශ්ලේෂකයන් විශ්වාස කරන බව එෆ්බීඅයි ආයතනය  ප්‍රකාශයක් නිකුත් කර පවසා සිටියා.

“ඝාතනය කළ අය ගැන සොයන්න කිසිවෙක් නැහැ යැයි හිතපු නිසා, අවුරුදු ගණනාවක් තිස්සේ සැමුවෙල් ලිට්ල් හිතලා තියෙන්නේ ඔහු කවදාවත් නීතියට කොටු වෙන එකක් නැහැ කියලා,” එෆ්බීඅයි හි අපරාධ විශ්ලේෂකයකු වන ක්‍රිස්ටි පලසෝලෝ සිය ප්‍රකාශයේ සඳහන් කර තිබිණි. ඔහු පාපොච්චාරණය කළ තවත් ඝාතන 43ක් සනාථ කර ගැනීම සඳහා අමෙරිකාවේ නීතිය බලාත්මක කරන ආයතන ඔහු මිය යන අවස්ථාවේත් කටයුතු කරමින් සිටියා.

 ඝාතකයා උසාවියට ගෙන යන අවස්ථාවක් – aetv.com

කෙන්ටකි, ෆ්ලොරීඩා, ලුයිසියානා, නවාඩා සහ ආර්කන්සෝ ප්‍රාන්තවල දී ඝාතනයට ලක් වූවන් හඳුනා ගැනීමට මහජන සහය පතමින් නඩු පහක අතිරේක විස්තර හෙළි කිරීමට නිලධාරීන් කටයුතු කර තිබුණා. තමන් ඝාතනය කළ පුද්ගලයන් සිර මැදිරියේ සිට සිතුවමට නැගීමට සැමුවෙල් ක්‍රියා කර තිබූ අතර, ඝාතනයට ලක් වූවන් හඳුනා ගැනීම පහසු වීම සඳහා එෆ්බීඅයි නියෝජිතයන් මෙම චිත්‍ර ජනමාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කර තිබුණා. සැමුවෙල් මෙම ඝාතන පිළිබඳ විස්තර කරන වීඩියෝ ප්‍රකාශ ද මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියේ පළ කිරීමට ඔවුන් කටයුතු කර තිබුණේ හෝඩුවාවක් සොයා ගැනීම පහසු වීමටයි.

ඝාතන ගැන පාපොච්චාරණ

1970 දශකයේ මුල් අවුරුදුවල ‘මරියෑන්’ නොඑසේනම් ‘මේරි ඈන්’ ලෙස හැඳින්වූ තරුණ, කළු ජාතික, සංක්‍රාන්ති ලිංගික කාන්තාවකගේ ඝාතනය විසඳා ගැනීමට එෆ්බීඅයි පරීක්ෂකයන් මහජන සහාය පැතුවා. ඒ එක් සිදුවීමක් පමණයි. එසේ ඝාතන කිහිපයක් ගැන විස්තර එෆ් බී අයි වෙබ් අඩවියේ ද පළ කර තිබෙනවා.  තමන් 19 හැවිරිදි මේරි ඈන් මුණ ගැසුණු බවත්, උක් වගාබිමක් අසල මාර්ගයක දී එම   කාන්තාව ඝාතනය කිරීමෙන් පසු ඇයගේ ශරීරය ‘එවර්ග්ලෙඩ්ස්’ නම් ප්‍රදේශයට ඇදගෙන ගිය ආකාරයත් ඔහු විස්තර කරනවා.

“පොළොව මඩ වෙලා තිබුණේ. මම ඇගේ සිරුර අත ඇරියාම මුහුණ බිමට පහත් වෙලා ඇදගෙන වැටුණා,” සැමුවෙල් පවසා තිබුණා.

 අඳින ලද චිත්‍ර අනුව සොයාගත් ඝාතනය කළ කාන්තාවන් – Twitter.com

ලාස්වේගාස්හි හෝටල් කාමරයක 1993 දී කාන්තාවකගේ ගෙල මිරිකා සිදු කළ ඝාතනයක් ගැන ද ඔහු එක් අවස්ථාවක හෙළි කර තිබෙනවා. එම ඝාතනයට පෙර කාන්තාවගේ පුතා හමු වී අතට අත දී ආචාර කළ බව ද සැමුවෙල් පවසා තිබෙනවා. මෙම කාන්තාව ඝාතනය කළ මිනීමරුවා ඇයගේ සිරුර සිය වාහනයේ දමාගෙන ගොස් නගරයෙන් පිටත පිහිටි බෑවුමකට තල්ලු කර තිබෙනවා.

ඝාතන රාශියක් ගැන විස්තරාත්මක ව සැමුවෙල් පැවසුවත් නිශ්චිත දින වකවානු කිව නොහැකි වූ නිසා පරීක්ෂණවලට බාධා එල්ල වුණු බවයි නිලධාරින් සඳහන් කර ඇත්තේ.

ලිට්ල් ගැන නිෂ්පාදිත රූපවාහිනී චිත්‍රපටයට සැකසූ පෝස්ටරයක් – imdb.com

මරණය

ලිට්ල්   දුර්වල සෞඛ්‍ය තත්ත්වයෙන් ටෙක්සාස් බන්ධනාගාරය තුළ සිර ජීවිතය ගෙවමින් සිටියා.  දියවැඩියාව, හෘදයාබාධ සහ තවත් රෝග රාශියකින් ඔහු පෙළෙමින් සිටියා. මේ දරුණූ ඝාතකයා මිය යන්නේ 2020 දෙසැම්බර් 30  දා ඔහු බන්ධනාගාරගත ව සිටියදි හට ගත් අසනීපයක් නිසයි. සැමුවෙල් ඒ වන විට 80 හැවිරිදි වියේ පසුවුණා.  ලොස් ඇන්ජලීස් ප්‍රාදේශීය රෝහලක දී යි ඔහුගේ මරණය සිදුවන්නේ.  ලිට්ල් මිය යන විටත් ඔහුගේ ඝාතන සම්බන්ධ පරීක්ෂණ නිම ව තිබුණේ නැහැ.

සැමුවෙල් ලිට්ල් මරණයට පත් කළ කාන්තාවන් සමරන ඥාතීන් – Getty images

ඔහුගේ ඝාතන ගැන නිපදවුණු රූපවාහිනී වාර්තා වැඩසටහන් පෙළක් 2021 අප්‍රෙල්වල සිට අමෙරිකානු රූපවාහිනී නාලිකාවල විකාශය වීම ඇරඹුණා. එය ඉතා ජනප්‍රිය වූ වැඩසටහනක් බවට පත් වුණා.

ලොව භයනකම ඝාතකයා මිය ගියේ ඒ ඝාතන සියල්ලට ම දඬුවම් ලැබීමෙන් තොරව ශරීරයේ හටගත් ආබාධයක් නිසා වීමත් එක්තරා දෛවෝපගත අවස්ථාවක් වුණා. මේ නිසා ඔහු මරණීය දණ්ඩනය ක්‍රියාත්මක නොවූ දාම ඝාතකයකු ලෙස නීති ඉතිහාසයට එක්ව තිබෙනවා.

කවරයේ පින්තුරය - උසාවියට රැගෙන ආ සැමුවෙල් ලිට්ල්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වූ මොහොතේ ඔහුගේ ප්‍රතිචාරය - Getty images

මූලාශ්‍ර:

bbc.com

thedailybeast.com

fbi.gov 

biography.com

Related Articles