Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

හැරී සහ මේගන්ගේ රාජකීය විවාහය​

එක්සත් රාජධානියේ සය වැනියට කිරුළ හිමි හැරී කුමරු සහ ඇමරිකානු නිළියක සහ සමාජ ක්‍රියාකාරිණියක වන මේගන් මාර්කල්ගේ විවාහය, මැයි 19 වන සෙනසුරාදා දහවල් බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නගරයට බටහිරින් පිහිටි, දෙවන එලිසබත් රැජිණගේ සති අන්ත නිවහන වන වින්ඩ්සර් බලකොටුවේ දී පැවැත්වේ.

බ්‍රිතාන්‍ය වෙලාවෙන් දහවල් 12ට වින්ඩ්සර් බලකොටුවේ සාන්ත ජෝර්ජ් දේවස්ථානයේ දී විවාහ මංගල්‍යය ඇරඹෙන අතර දහවල් 1ට නව යුවල වින්ඩ්සර් හි වීථි සැරීම අරඹනු ඇත​.

වින්ඩ්සර් බලකොටුව (Wikimedia Commons)

එයින් පසුව වින්ඩ්සර් බලකොටුවේ සාන්ත ජෝර්ජ් ශාලාවේ පැවැත්වෙන දිවා භෝජනය සඳහා නව යුවල සහ ආරාධිත අමුත්තන් සහභාගී වනු ඇත​. මෙහි සත්කාරකත්වය දෙවන එලිසබෙත් රැජිණ විසින් දරනු ලබයි. හැරී කුමරුගේ පියා වන චාර්ල්ස් කුමරු විසින් සත්කාරකත්වය දරන රාත්‍රී භෝජන සංග්‍රහයක් පවුලේ ඥාතීන් සහ සමීපතමයින් සඳහා එදින රාත්‍රියේ දී පැවැත්වෙනු ඇත​.

විශේෂිත වූ විවාහයක්

හැරී කුමරු යනු චාර්ල්ස් කුමරුගේ සහ ඩයනා කුමරියගේ දෙවන පුත්‍රයා ය​. 1997 දී ඔහුගේ මව මිය යන අවස්ථාව වන විට හැරී කුමරුගේ වයස අවුරුදු 13ක් විය​. පසු කලෙක හමුදා සේවයට බැඳුන හෙතෙම ඇෆ්ඝනිස්ථානයේ ද සේවය කළේ ය​. ඇමරිකානු නිළියක වන මේගන් මාර්කල් සහ හැරී කුමරු අතර ප්‍රේම සම්බන්ධයට වසර දෙකක් ගතව ඇත​. ඔවුනගේ විවාහය සඳහා රැජිණගේ අනුමැතිය ලැබුණ අතර 2017 වසරේ නොවැම්බරයේ දී එම විවාහය පිළිබඳ නිල වශයෙන් නිවේදනය කෙරිණ​.

මේගන් මාර්කල් බ්‍රිතාන්‍ය රජ පවුලට එක් වීම විශේෂිත අවස්ථාවකි. ඇය කලින් විවාහ වී දික්කසාද වූ කාන්තාවකි. කතෝලික පසුබිමක උපන් ඇයගේ මව අප්‍රිකානු-ඇමරිකානු කාන්තාවකි. 1981 අගෝස්තු 4 වන දා උපන් ඇය හැරී කුමරුට වඩා වසර තුනකින් වැඩිමහල් ය​. මාර්කල් විවාහයට පෙර එංගලන්ත සභාවට ඇතුලත් වූවා ය​. ඇයගේ පරම්පරාව හේතුවෙන් ඇතැම් ජාතිවාදී වාග් ප්‍රහාරයන්ට ද ලක් වීමට ඇයට සිදුවිය​.

ආරාධිතයන්

විවාහයට මාස දෙකකට පෙර ආරාධිතයන් සඳහා වන ආරාධනාපත් යැවීම ඇරඹිණ​. සමස්ථ ආරාධිතයන් සංඛ්‍යාව 600ක් වන අතර එක් එක් ආරාධිතයා වෙනුවෙන් ආරාධනාපත් වෙනමම නිර්මාණය කරන ලද්දේ ය​.

ආරාධනා ලද අය අතර යුරෝපයේ රාජකීයයන් සිටීම අපේක්ෂා කරන අතර, මාර්කල්ගේ මව ද විවාහයට සහභාගී වනු ඇති නමුත්, ඇගේ පියා සෞඛ්‍යමය හේතූන් මත සහභාගී නොවන බවට නිවේදනය කරන ලදී. දේශපාලන නායකයන් සඳහා ආරාධනා යවනු නොලැබූ බව වාර්තා වන නමුත් ඇතැම් ප්‍රසිද්ධ පුද්ගලයන්ට ආරාධනා කරනු ලැබ තිබේ. පැරණි “ස්පයිස් ගර්ල්ස්” සංගීත කණ්ඩායමේ සාමාජිකාවන් සහ ශ්‍රීමත් එල්ටන් ජෝන් මේ අතර වන බව වාර්තා වේ.

ශාන්ත ජෝර්ජ් දේවස්ථානය පිටත (AFP/Getty Images)

මේ අතර පුවත් වාර්තා සඳහන් කළේ හැරී කුමරු සිය මිත්‍රයකු වන හිටපු ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා සහ ඔහුගේ බිරිඳ මිෂෙල් යන දෙපලට ආරාධනා කිරීමට උනන්දු වූ නමුත්, ඔහුට එසේ නොකරන ලෙස උපදෙස් ලැබුණ බව යි. ඒ, වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ මතභේදයක් ඇති වේ ය යන සැකය මත බව සඳහන් ය​.

මේ අතර විශේෂ ආරාධිතයන්ට අමතරව සාමාන්‍ය ජනතාව අතුරින් ද 2640 දෙනෙකුට වින්ඩ්සර් මාළිගයේ මිදුලට පැමිණීම සඳහා ආරාධනා ලැබී තිබේ. ඔවුනට හැරී සහ මේගන් විවාහය සඳහා දේවස්ථානයට ඇතුල්වීම සහ විවාහයෙන් පසු දෙදෙනා පිටව යාම දැකගත හැකි වනු ඇත​. මෙම පිරිස අතර සමාජ ක්‍රියාකාරීන්, පුණ්‍ය කටයුතුවල නියුක්ත පුද්ගලයින්, සහ තරුණයින් ආදිය වෙති.

විවාහ මංගල්‍යය

හැරී සහ මේගන් යුවලගේ විවාහ උත්සවය බ්‍රිතාන්‍ය වේලාවෙන් මැයි 19 වන දා මධ්‍යාහ්නයට ඇරඹෙයි. එය පවත්වනු ලබන ශාන්ත ජෝර්ජ් දේවස්ථානය නිමවා ඇත්තේ 1475 දී ය​. සාමාන්‍යයෙන් රජ පවුලේ විවාහ රාශියක් ලන්ඩන් හි වෙස්ට්මින්ස්ටර් ඇබේ හි පවත්වන නමුත් වඩා අඩු පිරිසකගේ සහභාගීත්වය බලාපොරොත්තු වන අවස්ථාවල දී ශාන්ත ජෝර්ජ් දේවස්ථානය ද විවාහයන් සඳහා යොදාගෙන තිබේ. 2008 දී හැරී කුමරුගේ ඥාති සොයුරු පීටර් ෆිලිප් සහ ඕටම්න් කෙලී විවාහ වූයේ එහි ය​.

ශාන්ත ජෝර්ජ් දේවස්ථානය ඇතුලත (AFP/Getty)

වින්ඩ්සර් හි ප්‍රධාන පූජක ඩේවිඩ් කොනර් විසින් හැරී සහ මේගන් යුවලගේ මංගල්‍යෝත්සවයේ දේව මෙහෙය පවත්වනු ලබන අතර කැන්ටබරියේ ආර්ච්බිෂොප් ජස්ටින් වෙල්බි විසින් නව යුවලගේ පොරොන්දු හුවමාරුව සිදු කරනු ලබනු ඇති.

දේවස්ථානයේ පැවැත්වෙන විවාහයෙන් පසු දහවල් 1ට නව යුවල ඇස්කොට් ලැන්ඩෝ වර්ගයේ විවෘත අශ්ව කරත්තයකින් වින්ඩ්සර් නගරයේ වීථි සරනු ඇත​. කාසල් හිල් වෙතින් පැමිණ හයි ස්ට්‍රීට්, ශීට් ස්ට්‍රීට්, කිංග්ස් රෝඩ් (රජ මාවත​), ඇල්බර්ට් රෝඩ් (ඇල්බර්ට් මාවත​) ආදී වීථි ඔස්සේ එන අශ්ව කරත්තය ඉන් පසු සැතපුම් දෙකහමාරක ලෝංග් වෝක් මාවත ඔස්සේ වින්ඩ්සර් බලකොටුවට පිවිසෙනු ඇත​.

වින්ඩ්සර් හි ලෝංග් වෝක් (Graemev2)

භෝජන සංග්‍රහ

වීථි සැරීමෙන් පසු නව යුවල ශාන්ත ජෝර්ජ් ශාලාවේ දී අමුත්තන් සමඟ දිවා භෝජනය සඳහා සහභාගී වනු ඇති. වින්ඩ්සර් බලකොටුවේ පැවැත්වෙන නිල භෝජන සංග්‍රහ සඳහා භාවිතා වන මෙම ශාලාවට 1992 දී ගින්නකින් හානි වූයේ ය​.

ශාන්ත ජෝර්ජ් ශාලාව (AFP/Getty)

මෙම භෝජන සංග්‍රහයෙන් පසු එදින රාත්‍රියේ චාර්ල්ස් කුමරු විසින් සත්කාරකත්වය දරන රාත්‍රී භෝජන සංග්‍රහය වින්ඩ්සර් හි ෆ්‍රොග්මෝර් හවුස් හි පවත්වනු ලැබේ. මීට අමුත්තන් 200ක් පමණක් සහභාගී වනු ඇත​.

වියදම්

රාජකීය විවාහයේ වියදම් පිළිබඳ නිවැරදි තක්සේරුවක් නොමැත​. විවාහ සැලසුම් කරන බ්‍රයිඩ්බුක් ආයතනයේ තක්සේරුවට අනුව සමස්ථ වියදම බ්‍රිතාන්‍ය ස්ටර්ලිං පවුම් මිලියන 32ක් තරම් (ඇමරිකානු ඩොලර් මිලියන 43ක්) වනු ඇත​. ඉන් ඩොලර් මිලියන තුනක් පමණ විවාහය සඳහා වන වියදම් ය​. ඉතිරිය ආරක්ෂක වියදම් වේ. මෙවර බ්‍රිතාන්‍ය පොලිසිය විශාල වශයෙන් ආරක්ෂාව පිළිබඳ අවධානයෙන් සිටිනු ඇති බව බලාපොරොත්තු වන අතර එම නිසා වියදම් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ලෝංග් වෝක් සූදානම් කරමින් (The Guardian)

විවාහය සහ භෝජන සංග්‍රහ ආදියට රජ පවුල වියදම් දරයි. නමුත් ආරක්ෂාව සඳහා වන වියදම් රජයට​, එනම් ජනතාවට​, බරක් ලෙස එකතු වනු ඇත​.

මේ අතර රාජකීය විවාහයේ වියදම්වල ඵලදායීතාව පිළිබඳ ද බලාපොරොත්තු වන පරිදිම විවාදයක් පැන නැගී තිබේ. ඇතැම් විශේෂඥයන්ට අනුව එම වියදම සඳහා ලාභදායී ප්‍රතිලාභයක් ලැබේ. උපදේශණ සමාගමක් වන බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් සමාගමට අනුව සංචාරක ව්‍යාපාරය, බ්‍රිතාන්‍යයට ලැබෙන ප්‍රසිද්ධිය​, වෙළෙඳ කටයුතු දියුණු වීම​, නව විලාසිතා සඳහා වන නැඹුරුව ආදිය හේතුවෙන් පවුම් බිලියන 1.05 ක වාසියක් බ්‍රිතාන්‍ය ආර්ථිකයට බලාපොරොත්තු විය හැකි ය​.

වින්ඩ්සර් නගරය රාජකීය විවාහය සඳහා සූදානමින් (The Guardian)

නමුත් මෙම අදහස සමඟ එකඟ නොවන ඇතැම් විචාරකයන් ප්‍රකාශ කරන්නේ සංචාරක ව්‍යාපාරයේ හෝ වෙළෙඳ ක්ෂේත්‍රයේ සිදු වන වාසිය එතරම් විශාල නොවන බව යි. විශේෂයෙන්ම රාජකීය විවාහය හේතුවෙන් විදෙස් සංචාරකයන් බ්‍රිතාන්‍යයට පැමිණීම විශේෂ වැඩිවීමක් පෙන්නුම් නොකරන බව යුරෝපීය සංචාරක සංගමය (ETOA) සහ ගුවන් ගමන් පිළිබඳ සමීක්ෂණ කරන ෆෝර්වර්ඩ් කීස් (ForwardKeys) ආයතනය කියයි.

එහෙයින් බ්‍රිතාන්‍ය ජනතාවට රාජකීය විවාහයේ වැඩි බර දැරීමට සිදු වන සෙයක් පෙනී යයි.

Cover Image: හැරී සහ මේගන් (Business Recorder)

Related Articles