Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ආම් ආද්මි පක්ෂයේ දිල්ලි හැට්-ට්‍රික් දිනුම​

දිල්ලියේ මැතිවරණයෙන් පාලක ආම් ආද්මි පක්ෂය තුන්වන වරටත් එහි බලය පිට පිටම ලබා ගත්තා. මෙය ඇතැම් විදෙස් මාධ්‍ය විසින් හඳුන්වා දෙනු ලැබුණේ ආම් ආද්මි පක්ෂයේ “හැට්-ට්‍රික්” එක හෙවත් “ත්‍රිත්වය” ලෙස යි. මෙම යෙදුම නිවැරදිම නොවෙතත්, අරවින්ද් කෙජ්රිවාල් පිටපිටම තුන්වන වරටත් දිල්ලියේ මහ ඇමති ධුරයට පත් වූ හෙයින් එම යෙදුමෙහි එතරම් වරදක් ද නැහැ.

දිල්ලියේ මැතිවරණයේ දී වූයේ තුන්කොන් සටනක්. ආම් ආද්මි පක්ෂයට ප්‍රබලම අභියෝගය එල්ල වූයේ ඉන්දීය මධ්‍යම රජය පාලනය කරන භාරතීය ජනතා පක්ෂය වෙතින්. මේ අතර කොන්ග්‍රස් පක්ෂයෙන් ද තරමක අභියෝගයක් එල්ල වේයැ යි අපේක්ෂා කෙරුණා.

එහෙත් මැතිවරණ ප්‍රතිඵල නිකුත් වීමත් සමග පෙනී ගියේ ආම් ආද්මි පක්ෂය පහසුවෙන්ම දිල්ලිය නැවත ජයගත් බව යි. මේ අතර කොන්ග්‍රස් පක්ෂය අතුගෑවී ගියේයැ යි කිව හැකියි. එම පක්ෂයේ අපේක්ෂකයන් 70 දෙනාගෙන් 63 දෙනෙකුගේම ඇප මුදල් පවා රාජසන්තක වුණා. 2013 තෙක් දිල්ලිය පාලනය කළ කොන්ග්‍රස් පක්ෂය වැටී ඇති තත්ත්වය ඉතා කණගාටුදායක බව කිව හැකියි.

ආම් ආද්මි දිල්ලි බලකොටුව

දිල්ලියේ 2013 දී පැවති මැතිවරණයට ආම් ආද්මි පක්ෂය ඉදිරිපත් වීම නැවුම් අත්දැකීමක් වුණා. එම පක්ෂය බිහි වූයේ කොන්ග්‍රස් පක්ෂ පාලන සමයේ දී මතු වූ දූෂණ විරෝධී ජනතා ව්‍යාපාරයක් තුළින්. එමෙන්ම, එම පක්ෂය ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශවල තරුණ කොටස් අතර ප්‍රබල බලපෑමක් ඇති කළා.

2013 දිල්ලි මැතිවරණයේ දී වැඩිම ආසන සංඛ්‍යාවක් දිනාගත්තේ භාරතීය ජනතා පක්ෂය යි. එහෙත් එයට තනිව රජයක් පිහිටුවීමට නොහැකි වුණා. මේ අනුව රජයක් පිහිටුවීම සඳහා ආසන 28ක් දිනාගත් ආම් ආද්මි පක්ෂයට අවස්ථාව ලැබුණා. ඊට කොන්ග්‍රස් පක්ෂය පිටතින් සිට සහාය දුන්නා. අර්වින්ද් කෙජ්රිවාල් දිල්ලි මහ ඇමති ලෙස පත් වුණා.

ජය සමරන ආම් ආද්මි පාක්ෂිකයන් (PTI)

කෙසේ වෙතත්, මෙම සුළුතර රජය වැඩි දිනක් පැවතුණේ නැහැ. දින 49කට පසු කෙජ්රිවාල් මහ ඇමති ධුරයෙන් ඉල්ලා අස් වුණා. නව මැතිවරණයක් 2015 දී පැවැත්වුණා.

2015 දිල්ලි මැතිවරණය පවත්වන ලද්දේ 2014 ඉන්දියානු මහමැතිවරණයෙන් බී.ජේ.පී ය ජයගත් පසුබිමක යි. අගමැති නරේන්ද්‍ර මෝදි ද දිල්ලි ජයග්‍රහණය වෙනුවෙන් දැඩි උත්සාහයක යෙදුණා. නමුත්, එම මැතිවරණය අවසන් වූයේ ආම් ආද්මි පක්ෂයට විශිෂ්ට ජයක් ලබාදෙමින්. එම පක්ෂය ආසන 67ක් දිනාගනිද්දී, බී.ජේ.පී ය ලබාගත්තේ ආසන තුනක් පමණයි.

මෙවර තත්ත්වය

නමුත්, මෙවර දිල්ලි මැතිවරණයට බී.ජේ.පී ය මුහුණ දුන්නේ යළිත් වරක් ජාතික මට්ටමේ මැතිවරණ ජයග්‍රහණයකින් ස්වල්ප කාලයකට පසුව යි. එම මැතිවරණයේ දී ද ඔවුන් දරුණු ලෙස හින්දුත්ව සංකල්පය සිය ඡන්ද ව්‍යාපාරය සඳහා යොදාගත්තා. එමෙන්ම කාශ්මීර ප්‍රශ්නයේ දී හින්දූන් සතුටු වන ආකාරයේ පියවර රජය විසින් ගෙන තිබුණා. අයෝධ්‍යා නඩුව ද ඔවුන් සතුටු වන ආකාරයෙන් අවසන්ව තිබුණා. එමෙන්ම දිල්ලි මැතිවරණයේ දී ද ආගම්වාදී අදහස් බී.ජේ.පී ය වෙතින් මතු වනු දක්නට ලැබුණා.

පසුගිය සමයේ පුරවැසිභාවය පිළිබඳ පනත හේතුවෙන් ඇති වූ විරෝධයත් සමග බී.ජේ.පී. විරෝධී කණ්ඩායම් ද තමන්ට හොඳ ප්‍රතිඵලයක් ලැබේයැ යි විශ්වාස කළා. එහි දී සැකයක් වූයේ ආම් ආද්මි පක්ෂය හා කොන්ග්‍රස් පක්ෂය අතර ඡන්ද කැඩී යාම බී.ජේ.පී යට වාසියක් වේ ය යන්න යි.

ආම් ආද්මි පක්ෂය මෙම මැතිවරණයට ඉදිරිපත් වූයේ පසුගිය වසර තුනක ඉටුකළ පොරොන්දු රැසක් සහිතව යි. දිල්ලියේ අඩු ආදායම්ලාභීන්ට එක්තරා ඒකක ගණනක් දක්වා විදුලිය හා ජලය නොමිලේ ලැබෙනවා. ඒ වගේම, ප්‍රාන්ත බස් රථවල කාන්තාවන්ට නොමිලේ ගමන් පහසුකම් ලැබෙනවා. වීදි ආලෝකකරණය පුළුල් කිරීමෙන් සහ වෙනත් ක්‍රමවලින් නගරයේ ආරක්ෂාව ඉහළ නැංවීමට උත්සාහ ගෙන තිබෙනවා.

මෝදි, දිල්ලියේ මැතිවරණ රැළියක් අමතමින් (Reuters)

බීජේපීයට තිබුණේ ජාතික මට්ටමේ පොරොන්දු සහ වර්ගවාදී ප්‍රචාරයන් යන කරුණු දෙක යි. ජාතික මට්ටමේ දේශපාලනය හා බිම් මට්ටමේ අවශ්‍යතා අතර වෙනස ඔවුන් හඳුනා ගත් බවක් පෙනුණේ නැහැ. එය ඔවුන්ට අවාසියක් වුණා. දිල්ලි ජනයා මේ දෙකෙහි වෙනස අවබෝධ කරගැනීමට තරම් බුද්ධිමත් වුණා.

කොන්ග්‍රස් පක්ෂයේ නම් තත්ත්වය ඉතාම කණගාටුදායක වුණා. ඔවුනට වසර ගණනකට පෙර කළ දේ පිළිබඳ කියනු මිසක, අලුත් දෙයක් දිල්ලි වැසියන්ට ඉදිරිපත් කරන්නට හැකි වූයේ නැහැ. දිල්ලි මට්ටමෙන් හෝ ජාතික මට්ටමෙන් හෝ නිවැරදි නායකත්වයක් එම පක්ෂයට නැහැ. එමෙන්ම පක්ෂයේ නායකත්වය දිල්ලි මැතිවරණ සටන අතැර දැමූ බවක් පෙනෙන්නට තිබුණා. අවසන් සතියේ පමණ කොන්ග්‍රස් නායකයින් කිහිප දෙනකු ජනතාව අමතා රැස්වීම්වල කතා පැවැත්වුව ද, ඉන් පෙර සති කිහිපයේ දී මැතිවරණ ව්‍යාපාරය දියාරු ගතියක් පෙන්නුම් කළා. ඒ ඒ අපේක්ෂකයන් තම තම ශක්ති ප්‍රමාණයෙන් සිදුකළ ප්‍රචාරයන් හැර යමක් පක්ෂයෙන් එකල වූයේ නැහැ.

කොන්ග්‍රස් පක්ෂය තරග කළේ රාෂ්ත්‍රීය ජනතා දාල් පක්ෂය හා සන්ධානගතව යි. ආසන 70න් 66කට කොන්ග්‍රස් අපේක්ෂකයන් තරග කළා. එම අපේක්ෂකයින් 66 දෙනාගෙන් 63 දෙනෙකුම සිය ඇප මුදල් අහිමි කරගත්තා. 

ජාතික මට්ටම

දිල්ලි මැතිවරණය ජාතික ජන මතය පෙන්නුම් කරන්නක් නොවේ. ඒ තබා, ජාතික මැතිවරණයක දී දිල්ලි ජනමතය පවා ඉන් පිළිබිඹු වන්නේ නැහැ. අද හෙට ජාතික මැතිවරණයක් පැවැත්වුණ ද දිල්ලිය බොහෝ විට බීජේපී ය විසින් ජයගනු ඇතැ යි අපේක්ෂා කළ හැකියි. අද ආම් ආද්මි පක්ෂය තෝරා ගත් ඇතැමුන් ද එදිනට බීජේපී ය තෝරාගනු ඇති.

එහෙයින්, මෙම මැතිවරණය දැකිය යුතු වන්නේ දිල්ලි ජනයාගේ දේශපාලන බුද්ධිය පිළිබඳ එක් නිදර්ශනයක් ලෙස යි. එමෙන්ම, කොන්ග්‍රස් පක්ෂයේ කණගාටුදායක තත්ත්වය පිළිබඳ ද මෙය පැහැදිලිව පෙන්නුම් කරනවා.

කවරයේ ඡායාරූපය: ආම් ආද්මි නායකයින් ජයග්‍රහණය සමරමින් (Getty Images)

Related Articles