කාන්තාරයෙන් වැසි වනයට: අප්‍රිකාවේ හරිත මහා ප්‍රාකාරය

ක්‍රිස්තු පූර්ව 7 වැනි සියවස තරම් ඈත කාලයේ දී ගොඩ නැඟූ බළකොටු කිහිපයක් එක් කර ඒකාබද්ධ ආරක්ෂක පද්ධතියක් නිර්මාණය කිරීම සඳහා ක්‍රිස්තු පූර්ව 220 දී පමණ චිං ෂී හ්වං නම් අධිරාජ්‍යයාගේ මෙහෙය වීම මත ඉදි කිරීම ඇරඹූ චීන මහා ප්‍රාකාරයේ වැඩ කටයුතුවලින් සැලකිය යුතු ප්‍රමාණයක් අවසන් වුණේ මින්ග් රාජ සමයේ (1368–1644) දී යි. සහස්‍රකයකට ආසන්න කාලයක් මුළුල්ලේ අඛණ්ඩ ව ගොඩ නැන ලද චීන මහා ප්‍රාකාරය, උතුරු දෙසින් පැමිණෙන ආක්‍රමණයන් මැඬ පැවැත්වීම අරමුණු කර ගනිමින් නිර්මාණය කරන ලද්දක්.

නමින් යම්තාක් දුරකට සමානතාවක් දැක් වුවත් උතුරින් සහරා කාන්තාරයට සහ දකුණු දෙසින් සුඩානයේ සැවානා තණබිම්වලට මායිම් වන අප්‍රිකා මහද්වීපයේ සහෙල් ප්‍රදේශය ආවරණය කරමින් දශකයකට අධික කාලයක් පුරාවට දලු ලා වැඩෙන “අප්‍රිකාවේ හරිත මහා ප්‍රාකරය” සිය මූලික අරමුණ කරගෙන ඇත්තේ දේශගුණික අර්බුදයට සහ කාන්තාරකරණයට එරෙහි ව සටන් කිරීම යි. අප්‍රිකා සංගමය, ගෙවී ගිය සියවස තුළ 10% කින් ව්‍යාප්ත වූ සහරා කාන්තාරය තවදුරටත් ව්‍යාප්ත වීම මන්දගාමී කිරීම සඳහා 2007 දී අප්‍රිකා මහද්වීපය හරහා කිලෝමීටර් 8,000 ක දිගින් යුතු ස්වභාවික ප්‍රාකාරයක් ගොඩ නැංවීම ඉලක්ක කර ගනිමින් “Great Green Wall for the Sahara and the Sahel Initiative (GGWSSI)” නම් වැඩසටහන අරඹා තිබෙනවා.

අප්‍රිකාවේ හරිත මහා ප්‍රාකාරය ගැන වන දැන්වීමක්. –  Twitter – Great Green Wall Initiative Official

මේ වන විට අප්‍රිකා මහද්වීපය සිසාරා රාජ්‍ය 20 කට අධික ප්‍රමාණයක් “හරිත මහා ප්‍රාකාරය” වැඩසටහන සඳහා දායකත්වය ලබා දී ඇති අතර ඒ සඳහා වැය කර ඇති මුදල අමෙරිකා ඩොලර් බිලියන 8 ඉක්මවා ඇති බව යි වාර්තා වන්නේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇස්තමේන්තු කර ඇත්තේ සමස්ත වැඩසටහන ස‍්ඳහා අමෙරිකා ඩොලර් බිලියන 33 ක් වියදම් වනු ඇති බව යි. “හරිත මහා ප්‍රාකාරය” වැඩසටහන සඳහා එක් ව සිටින අප්‍රිකානු රාජ්‍ය 20 හැරුණු විට අප්‍රිකා සංගමය, යුරෝපා සංගමය, එක්සත් ජාතීන්ගේ සංගමය (විශේෂයෙන් ම කාන්තාරකරණයට එරෙහි ව සටන් වැදීම සඳහා වන එක්සත් ජාතීන්ගේ සම්මුතිය) සහ ලෝක බැංකුව වැනි ජාත්‍යන්තර සංවිධාන ද ඒ සඳහා මූල්‍යාධාර සැපයීම සිදු කරනවා.

මේ අප්‍රිකාවේ හරිත මහා ප්‍රාකාරය ගැන වන වීඩියෝවක්:

කාන්තාරකරණයට එරෙහි ව සටන් වැදීම හැරුණු විට “හරිත මහා ප්‍රාකාරය” වැඩසටහනේ අනෙක් අරමුණු වන්නේ වන වගාව තුළින් අප්‍රිකානු මහද්වීපය සතු සාරවත් ඉඩම් ප්‍රමාණය ඉහළ නැංවීම, මිලියන ගණනාවක් වන අප්‍රිකානුවන්ගේ දුගී බව තුරන් කිරීම සහ ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම යි. 2030 වන විට, වර්තමානයේ දී මුඩු බිම් ලෙස පවතින ඉඩම් හෙක්ටයාර මිලියන 100 ක් නැවත යථා තත්ත්වයට පත් කිරීම, කාබන් ටොන් මිලියන 250 ක් මිහිතලයෙන් තුරන් කිරීම සහ ග්‍රාමීය ප්‍රදේශය ආශ්‍රිත ව රැකියා මිලියන 10 ක් නිර්මාණය කිරීම “හරිත මහා ප්‍රාකාරය” වැඩසටහන මගින් අපේක්ෂා කෙරෙනවා.

“හරිත මහා ප්‍රාකාරය” වැඩසටහන සඳහා ක්‍රියාකාරී ව මැදිහත් වන භූගෝලීය කලාප ලෙස තෝරාගෙන තිබෙන්නේ බුර්කිනා ෆාසෝ, චැඩ්, ජිබූටි, එරිත්‍රියාව, ඉතියෝපියාව, මොරිටේනියාව, මාලි, නයිජර්, නයිජීරියාව, සෙනගල් සහ සුඩානය යන රාජ්‍ය 11 යි. ඒ රාජ්‍ය අතරින් කිහිපයක් 2020 වන විට සම්පූර්ණ කළ යුතු යැයි ඔවුන් වෙත ලබා දී ඇති ඉලක්ක අභිබවා ගොස් ඇති බව වාර්තා වෙනවා. ලන්ඩන් නුවර මෙන් පස් ගුණයක් විශාල භූමි ප්‍රමාණයක් ඉතියෝපියාව වගා කර ඇති අතර නයිජර් ගස් මිලියන 146 ක්, එරිත්‍රියාව ගස් මිලියන 129 ක්, සෙනගල් ගස් මිලියන 18 ක්, බුර්කිනා ෆාසෝ ගස් මිලියන 16 ක් සහ නයිජීරියාව ගස් මිලියන 8 ක් සිටුවා තිබෙනවා. සමස්තයක් ලෙස ගත් කල හෙක්ටයාර මිලියන 18 ක් පමණ මුඩු බිම් මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇති අතර “හරිත මහා ප්‍රාකාරය” වැඩසටහනට අයත් රටවල් සහ සහෙල් ප්‍රදේශය තුළ පමණක් නිර්මාණය කර ඇති රැකියා ප්‍රමාණය 350,000 ක්.

 “හරිත මහා ප්‍රාකාරය”  දක්වන සිතියම – United Nations – FAO

2030 වන විට ළඟා කර ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය නම් කර ඇති තිරසාර සංවර්ධන ඉලක්ක 17 අතරින් 15 ක් සඳහා “හරිත මහා ප්‍රාකාරය” වැඩසටහන දායකත්වය ලබා දෙන අතර දැනට 15% ක් පමණක් සම්පූර්ණ ව ඇති වැඩසටහන සමස්ත වශයෙන් අවසන් වූ දිනෙක එය ඕස්ට්‍රේලියාවේ මහා බාධක පරය මෙන් තුන් ගුණයක විශාලත්වයකින් යුක්ත වනු ඇති. එය පෘථිවිය මත පවතින විශාලතම ජීවමාන ව්‍යුහය වනු ඇතැයි ද විශ්වාස කෙරෙනවා.

කාන්තාරයක් වැසි වනයක් බවට පෙරළීම පහසු කටයුත්තක් නොවෙයි. ඒ නිසාවෙන් “හරිත මහා ප්‍රාකාරය” වැඩසටහන සාර්ථක ව ඉදිරියට පවත්වාගෙන යාමේ දී මුහුණ දීමට සිදු වන අභියෝග ගණනය කළ නොහැකි තරම්. 1970 දශකයේ සිට සහෙල් ප්‍රදේශය මුහුණ දෙන දැඩි නියඟ තත්ත්වය, වර්ෂාව හිඟ වීම හේතුවෙන් අලුතෙන් සිටු වන ලද පැළ විනාශ වීම, අඛණ්ඩ පරිසර හායනය සහ අප්‍රිකා මහද්වීපයෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් නිසරු බිම් වීම ඒ අතරින් කිහිපයක් පමණ යි.

ගොවීන්, මහජනතාව සහ පරිසරවේදීන් සහරා කාන්තාරය වැසි වනාන්තරයක් බවට පත් කිරීමට උර දෙනවා.
Twitter –  Great Green Wall Initiative

ඒ අභියෝග හමුවේ පවා “හරිත මහා ප්‍රාකාරය” වැඩසටහන සෙමින් ඉදිරි ගමනක නිතර ව සිටිනවා. සාම්ප්‍රදායික වගා ක්‍රම භාවිත කරමින් ගොවීන්, මහජනතාව සහ පරිසරවේදීන් බොහෝ දෙනකු සහරා කාන්තාරය වැසි වනාන්තරයක් බවට පත් කිරීමේ කාර්යයට උර දෙනවා. ස්මිත්සෝනියන් සඟරාව වාර්තා කර තිබුණේ ගෙවුණු දෙවසරක කාල සීමාව තුළ බුර්කිනෝ ෆාසෝ සහ නයිජර් හි සැලකිය යුතු මට්ටමේ රූපාන්තරණයක් සිදු වී තිබෙන බව යි.

මේ අප්‍රිකාවේ හරිත මහා ප්‍රාකාරය ගැන වන තවත් වීඩියෝවක්:

සංකීර්ණ ගැටලුවක් සඳහා සරල පිළිතුරක් වන “හරිත මහා ප්‍රාකාරය” වැඩසටහන සඳහා ලොව පුරා දානපතීන්ගේ අවධානය යොමු වී ඇති අතර එය සාර්ථික ව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය අරමුදල්වලින් ආසන්න වශයෙන් අඩක් මේ වන විට එක්රැස් ව තිබෙන්නේ “හරිත මහා ප්‍රාකාරය” යථාර්තයක් බවට පත් කර ගැනීමට පැවති දැවැන්ත මූල්‍ය බාධකයට නැවතීමේ තිත තබමින්.

ඒ අනුව ලෝක පුදුමයක් සිටුවීම සඳහා අනවරත උත්සාහයකට නිරත වන අප්‍රිකානුවන්ගේ වැසි වනාන්තර සිහිනය ක්‍රමයෙන් මල්ඵල ගැන්වෙන අයුරු එළැඹෙන දශකය දී ලෝ වැසියන්ට දැක බලා ගැනීමට හැකි වනු ඇති බව නොරහසක්.

කවරයේ පින්තූරය: කාන්තාරකරණයට එරෙහි අප්‍රිකාවේ හරිත මහා ප්‍රාකරය - Great Green Wall Initiative Official Website 

මූලාශ්‍ර:

Great Green Wall Initiative

United Nations - FAO

Twitter

Related Articles