Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ස්නෝඩන්ගෙන් පසු?

Roar කණ්ඩායමේ ගසාලා අන්වර් අදාළ පිරිස් සමග සම්මුඛ සාකච්ඡාවල යෙදෙමින් සිදු කළ ගවේෂණාත්මක වාර්තාකරණයක් මත ලියැවුණු මෙම ලිපිය අපේ සිංහල පාඨකයන් වෙනුවෙන් පරිවර්තනය කරන්න හිතුණේ එහි වැදගත්කම නිසාමයි.

මේ මාතෘකාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ මාධ්‍යයක පළ වුණු ප්‍රථම වාර්තාව මේ ලිපිය නිසාත්, එඩ්වඩ් ස්නෝඩන් පවා මේ ලිපිය තමන්ගේ ට්විටර් ගිණුම හරහා බෙදා ගත් නිසාත් එයට සැබවින්ම සුවිසල් අන්තර්ජාතික අවධානයක් යොමු වුණා. තරමක් දීර්ඝ, සවිස්තරාත්මක ලිපියක් වුණත් ඔබට මින් සුවිශේෂී දැනුමක් ලබා ගත හැකි බව තමයි අපි නම් හිතන්නේ.

ඇමරිකාවේ රාජ්‍ය රහස් ලෝකයට හෙළි කළ නිසා කවුරුත් හොයපු එඩ්වඩ් ස්නෝඩන්ට තමන්ගේ නිවෙස්වල රැකවරණය ලබා දීලා ප්‍රසිද්ධියට පත් වුණු හොංකොංවල වෙසෙන සරණාගතයින් හතර දෙනා (ශ්‍රී ලාංකිකයන් තුන් දෙනෙක් සහ එක් පිලිපීන ජාතිකයෙක්) දැන් ආයෙත් ඔවුන් පැනලා ආපු රටවල්වලටම පිටුවහල් කරන තත්වයක් මතු වෙලා.

ඔලිවර් ස්ටෝන්ගේ “ස්නෝඩන්” (Snowden) චිත්‍රපටය කැනඩාවේ ටොරොන්ටෝ නුවර පැවැත්වුණු අන්තර්ජාතික සිනමා උළෙලේදී ප්‍රදර්ශනය ආරම්භ කළේ 2016 සැප්තැම්බර් මාසයේදීයි. ඒ තුළින් ලෝකයේ මෙතෙක් සිදුකළ විශාලතම රහස් හෙළිදරව්වක් පිටුපස සිටි පුද්ගලයා ගැන මානුෂීය පැත්තකින් විවරණය වුණා, නමුත් ඔහුට හොංකොංවලදී රැකවරණය දුන්නු පිරිස ගැන ලෝකයේ අවධානය යොමු වෙන්න ගත්තේ ඇතැම් විට ඔලිවර් ස්ටෝන්වත් බලාපොරොත්තු නොවුණ විදිහටයි.

ස්නෝඩන්ට රැකවරණය සලසපු පිරිස ධනවතුන්ගෙන් පිරුණු හොංකොං නුවර තිබුණු දුප්පත්ම කෙළවරක ජීවත් වුණු සරණාගතයන් පිරිසක් බව දැන් කාටවත්ම රහසක් නෙවෙයි. හොංකොංවල මුල්ලක තියෙන ජනාකීර්ණ, දුප්පත්කමින් ඉහවහා ගිය පේළි නිවාස ප්‍රදේශයක ස්නෝඩන් වගේ කෙනෙක් සැඟවිලා ඉන්න බව කිසි කෙනෙක් හිතන එකක් නැති බවට ස්නෝඩන්ගේ නීතීඥවරයා වන රොබර්ට් ටිබ්බෝ (Robert Tibbo) ට කිසිම සැකයක් තිබුණේ නැහැ.

ඇත්තටම චිත්‍රපටයක් හරහා ඒ ගැන හෙළිදරව් වෙන තුරු ස්නෝඩනුත්, රැකවරණය දුන්නු පිරිසත්, නීතීඥ ටිබ්බෝත් හැර වෙනත් කිසිම කෙනෙකුට මේ ජරාජීර්ණ වුණු, අඩු ආදායම්ලාභීන්ගේ නිවාස සංකීර්ණය ඇතුලේ මේ තරම් විශාල රහසක් සැඟවිලා තිබුණු බවට හාංකවිසියක්වත් තිබුණේ නැති තරම්.

ප්‍රකට හොලිවුඩ් නළු ජෝසප් ගෝඩන්-ලෙවිට් (Joseph Gordon-Levitt) ඔලිවර් ස්ටෝන්ගේ “ස්නෝඩන්” චිත්‍රපටයේ එඩ්වඩ් ස්නෝඩන්ගේ චරිතය නිරූපණය කළා. රූපය : rt.com

නමුත් චිත්‍රපටය ප්‍රදර්ශනය වීමෙන් පස්සේ මේ පිරිස – ශ්‍රී ලාංකික යුවලක් (සුපුන් කෙල්ලපාත සහ නදීකා නෝනිස්) සහ ඔවුන්ගේ දරුවන් දෙදෙනා, තවත් ශ්‍රී ලාංකිකයෙක් (අජිත් පුෂ්පකුමාර) සහ පිලිපීන කාන්තාවක් (වැනේසා රොඩෙල්) – ගැන ලෝකය පුරාම මාධ්‍යවල ලොකු උනන්දුවක් සහ කුහුලක් ඇති වෙන්න පටන් ගත්තා. දේශීය මාධ්‍ය මේ ගැන ලොකු අවධානයක් යොමු නොකළත් අන්තර්ජාතික මාධ්‍ය පුරාවට විවිධාකාර වීඩියෝ, ඡායාරූප සහ ලිපි එක්ක මේ නිර්භීත සරණාගතයන් පිරිස ගැන පුවත් පළ වෙන්න ගත්තා. දේශීය මාධ්‍ය බොහෝ විට කළේ අන්තර්ජාතික මාධ්‍යවල තිබුණු කරුණු උපුටාගෙන පළ කිරීම විතරයි.

මේ පිරිස තමන්ට තිබෙන අවදානම ගැනවත් නොතකා ස්නෝඩන්ට ආරක්ෂාව ලබා දුන්නත් දැන් ඔවුන්ට ආයෙත් ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිදු වෙලා. ඔවුන්ගේ නීතිමය නියෝජිතවරුන්ට අනුව මේ පිරිස ප්‍රසිද්ධියට පත් වීමත් එක්ක හොංකොං රජය ඔවුන්ව පිටුවහල් කිරීමේ කටයුතු කඩිනම් කරලා තියෙනවා. ස්නෝඩන් පවා කියලා තියෙන්නේ මේක “නිසි ක්‍රමවේදයෙන් බැහැර, හදිසි පිටුවහල් කිරීමේ නඩු විභාගයක්” කියලයි.

HK Migration says the refugees who aided me must face irregular, immediate deportation hearings this week. Details: https://t.co/3WalvUEb3X

— Edward Snowden (@Snowden) March 22, 2017

හොංකොං ආගමන විගමන අංශය කියනවා මට උපකාර කරපු සරණාගත පිරිස මේ සතියේ නිසි ක්‍රමවේදයෙන් බැහැර, හදිසි පිටුවහල් කිරීමේ නඩු විභාගයකට මුහුණ දිය යුතු බව. විස්තර : https://t.co/3WalvUEb3X

__ එඩ්වඩ් ස්නෝඩන් (@Snowden) 2017 මාර්තු 22

මාර්තු 22 වැනිදා කැනඩාවේ මොන්ට්‍රියල්හි පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී For the Refugees (සරණාගතයින් වෙනුවෙන්) සංගමයේ සභාපති මාක් ඇන්ඩ්‍රේ සේගුයින් (Marc-André Séguin) මහතා කියා සිටියේ තමන්ගේ සේවාදායකයින් හොංකොංවලට ආවේ “වෙන් වෙන් වශයෙන් සහ අවුරුදු කිහිපයක පරතරයක් ඇතිව” වුණත් හොංකොං බලධාරීන් ඔවුන්ගේ පිටුවහල් කිරීමේ නඩු විභාගයට අදාළ ලිපි ගොනු සේරම “මාර්තු 9 වැනිදා පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවෙන් පැය කිහිපයක් ගත වෙන්නත් පෙර” එවලා තියෙන බවයි. (මේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී තමයි මොවුන් කැනඩාවේ රැකවරණය ලබා ගන්න අයැදුම් කරලා තිබෙන බව ප්‍රසිද්ධ කෙරුණේ)

මීට අමතරව තමන්ගේ සේවාදායකයන් “හොංකොං ආගමන විගමන නිලධාරීන්ගේ සුවිශේෂ ඉලක්කයක් බවට පත් වෙලා තියෙන බව වගේම ඔවුන් විවෘතවම මේ පිරිස පිටමං කර ඔවුන්ව අත්අඩංගුවට පත් වෙන්න, වදහිංසාවලට ලක් වෙන්න හෝ ඝාතනය කෙරෙන්න ඉඩ තියෙන ඔවුන්ගේ මව්රටවල්වලට යවන්නට බලපෑම් කරන බවත්” සේගුයින් වැඩිදුරටත් කියා සිටියා.

මේ පිරිස වගේම ස්නෝඩන්ව නියෝජනය කරන නීතීඥ රොබර්ට් ටිබ්බෝ හොංකොං රජය බොහෝ දුරට තමන්ගේ සේවාදායකයන්ගේ ප්‍රශ්නය නොසලකා හැරලා තිබෙන බවත්, කඩිනම් පිටුවහල් කිරීමේ නඩු විභාගය “ඉතාම හදිසියේ පනවපු” සහ “ඉතාම කෙටි හා අසම්පූර්ණ එකක්” බවත්, තමන් යුරෝපයේ සිටින වෙලාවක සේවාදායකයන් නියෝජනය කිරීමේ හැකියාවක් නොමැති අවස්ථාවක් බලා ගොනු කරපු එකක් බවත් ප්‍රකාශ කරනවා.

“මේ පවුල් තුනේම අභියාචනයන් දැනටමත් අවිනිශ්චිත තත්වයකයි තියෙන්නේ. ඔවුන්ගේ මේ අභියාචනයන් මීළඟ සති කිහිපයේදී ප්‍රතික්ෂේප වීමේ සැබෑ තර්ජනයක් තිබෙනවා.” කියලා ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.

බොහොම තද නීති රීති

මේ සරණාගත පවුල් කිහිපය පැත්තෙන් ගත්තොත් ඇත්තටම ඔලිවර් ස්ටෝන්ගේ චිත්‍රපටය ඔවුන් ඒ වන විටත් මුහුණ දී සිටි සංකීර්ණ ජීවන ගැටළු තවත් උත්සන්න කර ඇති බව දකින්න පුළුවන්.

දේශපාලනික වධහිංසා සහ සිරගත කිරීමේ අවදානම ඇතුළු විවිධ හේතු නිසා තමන්ගේ මව්රටවලින් පලා ආපු ඔවුන්ගේ ජීවිත මාධ්‍යවල අවධානය ලැබීමත් එක්ක අවුලෙන් අවුලට පත් වෙලා තියෙන්නේ.

තෙවන පාර්ශවයක් ඔලිවර් ස්ටෝන් වෙත මේ ගැන තොරතුරු ලබා දුන් බව Roar එක්ක අදහස් දක්වපු රොබර්ට් ටිබ්බෝ මහතා ප්‍රකාශ කළා. “මේ චිත්‍රපටය ප්‍රදර්ශනය වෙන්න ගත්තාම මාධ්‍ය වගේම විවිධ රටවල රජයන් පවා මං ගැනත්, මගේ සේවාදායකයන් ගැනත් ලොකු අවධානයක් යොමු කරන්න පටන් ගනීවි කියන එක අපි කලින්ම තේරුම් ගත්තා.” ඔහු අපට කීවා.

අනිවාර්යයෙන්ම මේ වැඩේ සිද්ධ වෙන බවත්, ඒ තුළින් ඔහුගේ සේවාදායකයන් සියලු දෙනාම ගැන අවධානය යොමු වෙන බවත් කලින්ම තේරුම් ගත්තු නිසා මේ සරණාගතයන් පිරිස ගැන සැබෑ තත්වය ලෝකයට පෙන්වා දෙන්නත් – තමන්ට පවා හරිහැටි ඉන්නට තැනක් නැතිව වුණත් එඩ්වඩ් ස්නෝඩන්ට ඔහුම කියපු විදිහට “ගෙදර දොර වගේම නිවැසියන්ගේ හදවතත්” විවර කරපු පිරිසක් විදිහට – ඔවුන් කලින්ම තමන් ගැන ප්‍රසිද්ධියට පත් කරන්න තීරණයක් අරගෙන තියෙනවා.

“ඉහළ මට්ටමේ විනිවිදභාවයක් තියෙනවා කියන එක තහවුරු කරගන්න අපිට අවශ්‍ය වුණා. විනිවිදභාවයේ අඩුපාඩුවක් යම් තැනක ඇති වුණා නම් ඒක පාව්චිචි කරලා යම් කෙනෙක් මගේ සේවාදායකයන්ට හානියක් කරන්න පුළුවන්.” බව ටිබ්බෝ විස්තර කළා.

නීතීඥ රොබර්ට් ටිබ්බෝ. රූපය : La Presse

කොහොම වුණත් තමන්ගේ කතාව ප්‍රසිද්ධියට පත් කිරීමත් එක්ක මේ සරණාගත පිරිසට කිහිප වරක්ම තැනින් තැනට මාරු වෙන්න සිදු වීම වගේම – ආරක්ෂාව සඳහා වගේම දිවා රෑ නොබලා ඔවුන්ගෙන් ප්‍රකාශ ලබා ගන්න එන මාධ්‍යවලිනුත් බේරෙන්න අවශ්‍ය නිසා – තවත් විවිධාකාර ගැටළුවලට මුහුණ දෙන්න සිදු වුණා. කොහොම වුණත් ටිබ්බෝ කියන විදිහට තමන්ගේ සේවාදායකයන් ආරක්ෂිතව තබා ගැනීමේ ක්‍රියාවලිය කිසිසේත් පහසු කටයුත්තක් වෙලා නැහැ.

උදාහරණයක් විදිහට ස්නෝඩන්ව ටික කාලයක් නිවසේ තබාගෙන සිටි පිලිපීන ජාතික වැනේසා රොඩෙල් තමන්ගේ ගැටලුව ගැන කියන්න ජාත්‍යන්තර සමාජ සේවා (International Social Services – ISS) ආයතනයට ගියාම ඔවුන් දිගින් දිගටම ඇයගෙන් ස්නෝඩන් ගැන ප්‍රශ්න කරන්න පටන් අරන්. ඇය ඒවාට උත්තර දීම ප්‍රතික්ෂේප කළාම ඔවුන් මෙතෙක් සිදු කළ ඇයගේ විදුලි බිල්පත ගෙවීමත් නතර කරන බව ඇයට දැනුම් දීලා තිබෙනවා.

හොංකොංවල වෙසෙන සරණාගත පිරිස්වලට රැකියා කිරීම නීතියෙන් තහනම් නිසාත්, එය කඩ කිරීම මාස 22ක කාලයකට සිරගත වෙන්න සිදු වෙන වරදක් නිසාත්, ඔවුන්ට දිවි ගෙවා ගන්න ලැබෙන මූල්‍ය ආධාර ප්‍රමාණය ඉතාම සුළුපටු නිසාත් මේ වගේ තර්ජනයකින් ඇති වෙන බලපෑම අති විශාලයි. එය දැනටමත් ඉතාම අසරණව සිටින ඔවුන්ගේ ජීවන තත්වය තවත් පහතට ඇද දැමීමක්.

වැනේසා මෙයින් සතියකට පසුව ආයෙත් ජාත්‍යන්තර සමාජ සේවා (ISS) ආයතනය වෙත ගිහින් තමන්ගේ අවුරුදු පහක් වයස දියණියගේ (ඇයට කිසිම රටක පුරවැසිභාවය නැහැ) සහ තමන්ගේ ජීවිත ආරක්ෂාව සඳහා වහාම පදිංචි ස්ථානය මාරු කරන්න අවශ්‍ය බව දන්වා සිටියා. තමන් පදිංචිව ඉන්න නිවෙසට යාබද නිවසේ චීනයට අයත් ප්‍රදේශයේ (හොංකොං චීනයට අයත් වුණත් එය සුවිශේෂ පරිපාලන ප්‍රදේශයක්) සිට පැමිණි ගණිකාවන් පස් දෙනෙකු රැඳී සිටීම නිසා මාධ්‍යවලින් සිදු වෙන කරදරයට අමතරව ඔවුන්ගේ සේවා ලබා ගැනීමට එන පිරිස්වල බලපෑම්වලටත් ලක් වෙන්න සිදු වී ඇති බවත් ඇය විස්තරාත්මකව තේරුම් කර තිබෙනවා. කොහොම නමුත් ISS ආයතනය කියලා තියෙන්නේ ඇය එතැනින් වෙනත් තැනකට මාරු වුණොත් ඇගේ තැන්පතු මුදල අහෝසි කරනවා වගේම අලුත් නිවෙස සඳහා තැන්පතුවක් ලබා දෙන්නෙත් නැහැ කියලයි. ඊට අමතරව ඇයට ලබා දුන්නු සියලුම දීමනා අත්හිටුවනවා කියලත් ඔවුන් කියා තිබෙනවා. 2016 නොවැම්බර් සිට මේ දක්වාම වැනේසා සහ ඇයගේ දියණිය ජීවත් වෙලා තියෙන්නේ සම්පූර්ණයෙන්ම ආධාර වැඩසටහන්වලින් එකතු කරලා දෙන මුදල්වලින් – හොංකොං රජය ඇයට කිසිම විදිහකින් සහනාධාරයක් ලබා දීලා නැහැ කියලා ටිබ්බෝ කියනවා.

සුපුන් සහ නදීකා කියන ශ්‍රී ලාංකික යුවල සහ ඔවුන්ගේ දරුවන් දෙදෙනා (එක් දරුවක්ගේ වයස අවුරුදු පහක් සහ අනෙක් දරුවාගේ වයස අවුරුද්දක් පමණයි, ඔවුන් දෙදෙනාටම කිසිම රටක පුරවැසිභාවය නැහැ) ගෙවන ජීවිතය වැනේසාට දෙවැනි නැහැ. ස්නෝඩන්ට ආරක්ෂාව සලසන්න ඔවුන් දුන්නු දායකත්වය ගැන හෙළිදරව් වුණු ගමන් මේ යුවලගෙනුත් ISS ආයතනය දිගින් දිගටම ස්නෝඩන් ගැන ප්‍රශ්න කරලා තියෙනවා. ඒ වගේම ඒ ගැන විස්තර කීම ප්‍රතික්ෂේප කළාම ඔවුන් රජයෙන් ලබා දෙන සහනාධාර වැඩි කර ගන්න කළ ඉල්ලීම පවා ඉවත දාලා තියෙනවා. ඔවුන් පදිංචි ස්ථානය වෙනස් කරගන්න ඉල්ලුවාම ඒකටත් සතුටුදායක ප්‍රතිචාරයක් ලැබිලා නැහැ.

2016 නොවැම්බර් මාසයේ ඉඳලා සුපුන් නදීකා යුවලගේ අවුරුදු පහක් වයසැති දියණියට පාසල් යන්නවත් අවස්ථාව ලැබිලා නැහැ. ප්‍රදේශයේ තිබෙන ඇය එතෙක් ඉගෙන ගත් චීන පාසැල ඇයට පාසල් ඒමට දෙන්නේ නැතිව දිගින් දිගටම ඔවුන්ගෙන් මුදල් ඉල්ලා සිටිනවාලු. ටිබ්බෝ කියන විදිහට හොංකොංවල අධ්‍යාපන කාර්යාංශය (Hong Kong Education Bureau) මේ දරුවාගේ පාසල් ගාස්තු ගෙවන්න එකඟ වෙලා හිටියත් මේ වන තුරු එය ගෙවන්න කටයුතු කරලා නැහැ.

එඩ්වඩ් ස්නෝඩන්ට රැකවරණය සැලසූ සරණාගත පිරිස. රූපය : BBC

තමන්ගේ සේවාදායකයන්ව ඉලක්ක කරගෙන ඔවුන්ට එරෙහිව ක්‍රියා කරන්න හොංකොං රජය උත්සාහ කරන බව ටිබ්බෝට විශ්වාසයි – ඔවුන් දැනට දිවි ගෙවමින් ඉන්නා තත්වය දීර්ඝ කාලීන මානව අයිතිවාසිකම් උල්ලංඝනයක් විදිහට අන්තර්ජාතික සිවිල් හා දේශපාලනික අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තිය (International Covenant for Civil & Political Rights – ICCPR) යටතේ නිර්ණය කරන්න පුළුවන් වගේම හදිසියේ සිදු කෙරෙන නඩු ඇසීම පැහැදිළිවම ඔවුන් පිටුවහල් කරන්නම බලාගෙන සිදු කෙරෙන ක්‍රියාවක් බවත්, එය රාජ්‍ය ආරක්ෂාව වගේම නිදහසත් අහිමි කරන්නක් බවත් ඔහු කියා සිටිනවා.

අල් ජසීරා පුවත්සේවයේ පළ වූ වාර්තාවක දැක්වෙන්නේ මෙවැන්නක්. “කෙල්ලපාත සහ රොඩෙල් යන අයගේ චෝදනාවන්ට හෝ ඔවුන් එකිනෙකාගේ ගැටළුවලට පිළිතුරු ලබා දීම ජාත්‍යන්තර සමාජ සේවා (ISS) ආයතනයේ යුතුකමක්. ISS ට සම්බන්ධ මාධ්‍ය සම්බන්ධතා කළමනාකාරවරියක් වන කොනී හුයි (Connie Hui) තමන් වෙත පැමිණෙන සරණාගත පිරිස්වලට අදාළව අල් ජසීරා වෙත පවසා ඇත්තේ ‘මානුෂවාදී ආධාර ලබා දීම වර්තමාන සුදුසුකම් පිළිබඳ නිර්ණායක අනුව සිදු කෙරෙන බව’යි.”

දෙගුණයක ගැටළුවක්

දිළිඳු කමේ පතුලටම ගිහින්, භයානක වටපිටාවක වාසය කිරීමට අමතරව වාසය කරන ප්‍රදේශයේ රජයේත් ඉලක්කයක් වෙලා තියෙන, හොංකොංහි පුරවැසිභාවය පතන ශ්‍රී ලාංකික සරණාගත පිරිස වඩාත් බියකින් ජීවත් වෙන්නේ ශ්‍රී ලංකාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් (CID එක) 2016 නොවැම්බර් – දෙසැම්බර් කාලයේ මේ ප්‍රදේශයේ සැරිසරමින් එහි සිටින ශ්‍රී ලාංකික සරණාගත පිරිස් ගැන පරීක්ෂණ පවත්වන බවට තොරතුරු ලැබෙන නිසයි. ඔවුන්ගේ අවධානය යොමු වුණු පිරිස අතරට ස්නෝඩන්ට රැකවරණය සලසපු පිරිසත් අයත්.

“CID එක හොංකොංවල පරීක්ෂණ කරන බවට තොරතුරු ලැබුණු වහාම අපි මේ පවුල් තුන අලුත්, ආරක්ෂිත තැන්වල පදිංචි කරවන්න කටයුතු කළා.” ටිබ්බෝ කියා සිටියා. තමන්ගේ සේවාදායකයන්ට “හොංකොං සහ ශ්‍රී ලංකාව කියන රජයන් දෙකෙන්ම දඬුවම් ලබා දේවි කියලා සාධනීය බියක් තිබෙන” බවත්, “හොංකොං රජයෙන් කිසිදු රාජ්‍ය රැකවරණයක් ඔවුන්ට නොලැබෙන බවත්” ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.

සුපුන් කෙල්ලපාත, නදීකා නෝනිස් යුවල සහ ඔවුන්ගේ දරුවන් දෙදෙනා. රූපය : South China Morning Post

මීට අමතරව 2016 අවුරුද්දේ ඔක්තෝබර් මාසයේදී මේ පිරිසගේ ශ්‍රී ලංකාවේ ජීවත් වෙන ඥාති පිරිස්වලට ශ්‍රී ලංකා රජයේ, CID එකේ සහ හමුදාවේ “ප්‍රශ්නකිරීම්වලට, තර්ජනයන්ට සහ හිරිහැරවලට” ලක් වෙන්න සිදු වුණු බවට වාර්තා පවතිනවා.

“ශ්‍රී ලංකාවේ ජීවත් වන මොවුන්ගේ පවුල් පවා මේ දේවල් නිසා පීඩාවට පත් වෙලා.” ටිබ්බෝ මහතා පෙන්වා දෙනවා. “හොංකොංවල ඉන්න සරණාගත පිරිස් ගැන, ඔවුන් ඉන්නා ප්‍රදේශ ගැන වගේම ඔවුන්ගේත්, ඔවුන්ගේ මිතුරන්ගේත් ඇමතුම් තොරතුරු අහලා හරි, ඒවා හෙළි කරන්න කියලා තර්ජනය කරලා හරි තිබෙනවා.”

කොහොම වුණත් ශ්‍රී ලංකා පොලීසිය මේ චෝදනාව ප්‍රතික්ෂේප කරනවා. Roar වෙත අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා කියා සිටියේ මෙවැන්නක්. “අපි ඒ චෝදනා සියල්ල සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. අපි දිගින් දිගටම මතු කළ කරුණක් තමයි ඔවුන්ගේ නීතීඥවරයා [ටිබ්බෝ] ශ්‍රී ලංකා පොලීසියට එරෙහිව පදනම් විරහිත චෝදනා පතුරුවලා හොංකොං රජයෙන් අයුතු සහයෝගයක් ලබා ගන්න උත්සාහ කරනවා කියන එක. හොංකොංවල CID එකේ පරීක්ෂණ කටයුතු කෙරෙනවා කියන එකත් අපි ප්‍රතික්ෂේප කරන අතරම හොංකොංවල පැවති ඉන්ටර්පෝල් (අන්තර්ජාතික පොලීසිය) සමුළුවකට සහභාගී වුණේ තනි සහකාර පොලිස් අධිකාරී (ASP) වරයෙකු පමණක් බවත් පෙන්වා දෙන්න කැමතියි. නිල රාජකාරියේ යෙදෙමින් හොංකොංහිදී ශ්‍රී ලංකා පොලීසිය නියෝජනය කළ එකම නිලධාරියා ඔහු පමණයි. ඔවුන් සරණාගතයන්, අපි මොකටද ඔවුන්ට හිරිහැර කරන්නේ?”

ශ්‍රී ලංකා පොලීසිය සරණාගත පිරිසේ ඥාතීන්ගෙන් ප්‍රශ්න කළා කියන කතාවත් ජයකොඩි මහතා ප්‍රතික්ෂේප කරනවා. “මේක සම්පූර්ණයෙන්ම අර්ථවිරහිත චෝදනාවක්, අපි මෙය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. ඔවුන්ගෙන් කිසිදු ප්‍රශ්න කිරීමක්වත්, ඔවුන්ට කිසිම හිරිහැරයක් හෝ තර්ජනය කිරීමක්වත් සිදු කරලා නැහැ.” ඔහු අප සමග කියා සිටියා.

වධහිංසාවලින් පලා යාම

ශ්‍රී ලංකාවට ආපහු පදිංචියට එන එක නම් හොංකොං වෙත ගිහින් ඉන්න ශ්‍රී ලාංකීය සරණාගතයන් බොහෝ දෙනෙකුට කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. ටිබ්බෝ කියන විදිහට හොංකොංවල තමන්ගේ මව්රටේ දඬුවමට ලක් වීමෙන් මිදීමට පැන ආ සැලකිය යුතු ශ්‍රී ලාංකික සරණාගත පිරිසක් – ඇත්තටම 250කටත් වඩා – ජීවත් වෙනවා.

හොංකොං රජයේ සංඛ්‍යාලේඛනවලට අනුව 2016 දෙසැම්බර් 31 වන දා වන විට ලැබී තිබෙන Non-refoulement (තර්ජනයක් ඇති විය හැකි රටකට යැවීමෙන් වැළකීමේ) අභියාචනා 9,981 අතරින් ශ්‍රී ලාංකිකයන් 281 දෙනෙකුගේ අභියාචනා විභාග වෙමින් පවතිනවා. 2009 ඉඳලා 2016 දෙසැම්බර් දක්වා ලැබුණු වදහිංසා සහ Non-refoulement අභියාචනා 11,138ක් අතරින් සත්‍ය බවට පිළිගෙන තිබෙන්නේ 72ක් පමණක් වුණත් එයින් 14ක්ම ශ්‍රී ලාංකිකයන්. එක් රටකින් සත්‍ය බවට පිළි ගැනුණු වැඩිම අභියාචනා ප්‍රමාණයත් මේකයි.

මෙයින් සමහරක් දෙනෙක් හමුදාව හැර ගිය පුද්ගලයන්, ඔවුන් ශ්‍රී ලංකා හමුදාව තුළ පවතින (ක්‍රමික, ආවේණික ලක්ෂණයක් බවට ටිබ්බෝ මහතා ප්‍රකාශ කරන) වධහිංසාවන් අත්දැකපු, අත්විඳපු පිරිසක්. “මගේ සේවාදායකයන් 1980 සිට 2003 දක්වාම පිටතට හෙළිදරව් නොවී සිදු වුණු බොහෝ දේවල් ගැන දන්නා පිරිසක්.” ටිබ්බෝ කියනවා. හමුදාවන් තුළ විවිධ අතවරයන්ට ලක් වූ කාන්තා සෙබළියන් සිටින බවත් ඔහු ප්‍රකාශ කළා.

අජිත් පුෂ්පකුමාර. රූපය : sbs.com

තවත් ශ්‍රී ලාංකික පිරිසක් සරණාගතයන් විදිහට පලා ගිහින් තියෙන්නේ විශේෂයෙන්ම රාජපක්ෂ ආණ්ඩු සමයේ පැවතුණු දේශපාලනික පළිගැනීම්වලින් බේරෙන්නයි. “ඔවුන් සියලු දෙනාම රජය මගින් ඉලක්ක කෙරුණා, ඔවුන්ගේ ජීවිතවලට තර්ජන ඇති වුණා, ඒ වගේම කෲර, අමානුෂික, අවමන්කාරී විදිහට ඔවුන්ට සලකලා දඬුවම් හා වධහිංසා කළා.” ටිබ්බෝ කියනවා. මේ වගේ සරණාගතයන් වැඩි දෙනෙක් මේ තත්වයට පත් වුණේ ඔවුන්ගේ දේශපාලනික මතවාද සහ ක්‍රියාකාරකම් හේතුවෙන්ලු.

ඒ වගේම ස්ත්‍රී / පුරුෂභාවය පදනම් කරගෙන දඬුවම්වලට ලක් වුණු අවස්ථා කිහිපයකුත් තිබෙනවා, ස්ත්‍රී සහ පුරුෂ දෙපාර්ශවයම මෙයට අයත්. ටිබ්බෝ මහතා කියන විදිහට ඔහුගේ සමහර සේවාදායකයන් ලිංගික වදහිංසාවලට, ලිංගික අතවරයන්ට වගේම අන්තයටම ගිය අවස්ථාවන්වලදී දූෂණයට පවා ලක් වෙලා තිබෙනවා. සමහර අවස්ථාවලදී ලිංගික වධහිංසා සහ අතවරයන් සිදු වෙලා තියෙනවා වගේම සමහර අවස්ථාවල එය දේශපාලනික ආයුධයක් විදිහටත් පාවිච්චි වෙලා තියෙන බව ටිබ්බෝගේ මතයයි. “මගේ සේවාදායකයන් වැඩි දෙනා කොන් කිරීමකට ලක් වෙයි කියන බයට රෝහලකට යන්න මැලි වෙලා, ඔවුන් පොලීසියට යන්නත් හොඳටම බියෙන් ඉඳලා තිබෙන්නේ”. ටිබ්බෝ මහතාගේ සමහර පිරිමි සේවාදායකයන් පවා දූෂණයට ලක් වෙලා තිබුණත් ඒ ගැන වාර්තා කළොත් එය ශ්‍රී ලංකාව තුළ නීතියෙන් තහනම් වන සමලිංගික හැසිරීමක යෙදීමක් විදිහට සලකලා ඔවුන්ටම දඬුවම් පමුණුවාවී කියන බයට නීතිය හමුවට ගිහින් නැහැ.

කොහොම නමුත් හොංකොං ගැන ආයෙමත් අවධානය යොමු කළොත් ඒ වෙත එන බොහෝ සරණාගතයන් හොංකොං කියන්නේ නොසැළකිය හැකි තරම් ඉතා සුළු සරණාගත පිරිසක් විතරක් – සමහර වාර්තාවලට අනුව 0.7%ක් පමණක් – භාර ගන්නා ප්‍රදේශයක් කියන දේ එහි පැමිණෙන තුරුම වටහා ගන්නේ නැහැ. ටිබ්බෝ මහතාට අනුව අනවසර සංක්‍රමණිකයන් රැගෙන එන ඒජන්තකරුවන් මොවුන්ව දැඩි ලෙස මුලා කරනවා. “කිසිම කෙනෙක් දන්නේ නැහැ ප්‍රයෝගිකව මෙහි සංක්‍රමණිකයන්ට කිසිම සහනයක් නැති බව, ඔවුන්ට රැකියා කරන්න තහනම් වගේම ඔවුන්ට ලබා දෙන්නේ අඩු සැලකිල්ලක්. ඔවුන් බොහෝ දෙනා තමන්ට ඇත්තටම ආරක්ෂාව සහ රැකවරණය ලැබේවි කියලා හිතාගෙන එන පිරිස්. ඔවුන් දන්නේ නැහැ ඔවුන්ට සලකන්නේ අපරාධකරුවන්ට වගේ කියන එක. හොංකොංවල තියෙන නීති සහ සිරිත් එක්ක සරණාගතයන්ට අත්වන්නේ අන්ත අසරණ, අති දුෂ්කර ජීවිතයක්.” ඔහු පැහැදිළි කළා.

සරණාගතයන්ට සරණක්

සරණාගතයන්ගේ ජීවිත ගෙවෙන හැටි – හොංකොංවල විතරක් නෙවෙයි, ලෝකය පුරාමත් – දිහා බලලා ඒ පුරාවටම දකින්න ලැබෙන බරපතල ජීවන අරගලයේ සහ විනාශයේ අඳුරු සෙවණැලි තුළ වැඩි බලාපොරොත්තුවක් දකින්න පුළුවන් මැජික් කණ්නාඩි කිසිවක් නැහැ. සරණාගතයන් ගැන සිදු කෙරෙන බොහෝ මාධ්‍ය ආවරණයන් තුළින් ඉස්මතු කෙරෙන්නේ ඔවුන්ගේ දුප්පත්කමත්, අසරණකමත් ගැන විතරයි. නමුත් වැඩි අවධානයකට ලක් වෙන්නේ නැති දෙයක් තමයි මානසික අවපාතය සහ බරපතල කම්පනයකින් පසුව ඇති වන“පශ්චාත් ක්ෂතික ආතති ආබාධය” (Post-Traumatic Stress Disorder – PTSD) කියන රෝගය. සමහර බටහිර රටවල් සරණාගතයන් වෙත උපදේශන සේවා ලබා දුන්නත් ඒක ලෝකය පුරාම සිදු වෙන දෙයක් නම් නෙවෙයි.

හොංකොංවල දිවි ගෙවන සරණාගතයන් ඇත්තටම මේ ලෝකයට අයත් නැති පිරිසක් වගෙයි පෙනෙන්නේ; ඔවුන්ගේ ජීවිත අඳුරු අහුමුළුවලට සහ මුඩුක්කු නගරවලට සීමා වෙලා. වැඩි දෙනෙක්ට ආහාරයට ගන්න දෙයක් නැහැ, ජීවත් වෙන්නේ අපිරිසිදු නිවාසවල, අඳින්නේ පළඳින්නේ පැරණි හා වැරහැලි වූ දේවල්; ඔවුන්ට රැකියා කරන්න අවසර නැහැ, ගමන් බිමන් යාම සඳහා ඉතාම සීමිත මුදලක් පමණයි ලැබෙන්නේ, ඒ වගේම ඔවුන්ගේ කූපන්වලින් ආහාර ලබා ගන්න හැකියාව තියෙන්නේ වෙළඳසැල් එකකින් හෝ දෙකකින් පමණයි.

ටිබ්බෝ කියන විදිහට ඔවුන්ගෙන් වැඩි දෙනා කාලයක් තිස්සේ මානසික අවපාතයට ලක් වෙලා තමන්ගේ සියලු බලාපොරොත්තු අතහැර දමනවා. තමන්ගේ දරුවන්ට අත්‍යාවශ්‍ය කිරිපිටි සහ ළදරු නැපි වගේ දේවල් පවා මිලට ගන්න බැරි බව වැටහෙනකොට මොවුන්ගේ මනෝවිද්‍යාත්මක පරිපූර්ණත්වය බිඳ වැටෙනවා. සමහරු තමන්ට ලැබෙන ආහාර කූපන් විකුණලා නිවාස කුලිය සහ විදුලි බිල ගෙවන්න මුදල් සොයා ගන්න පෙළඹෙනවා.

“මොවුන් සොරකමේ යෙදෙනවා වෙනුවට සොච්චමක් හරි ලැබෙන රැකියාවක් කරන එක තෝරා ගන්න පිරිසක්. ඔවුන් හිතන්නේ නීතියට පටහැනි වුණත් රැකියාවක් කරන එක වංක වැඩක් නෙවෙයි කියලයි. ඔවුන් කාටවත් වරදක් කරපු පිරිසක් නෙවෙයි, ඔවුන් කාටවත් හිරිහැරයක් කරපු අය නෙවෙයි. සමහරු හිතාමතාම වැරදි වැඩ කරන්න හරි, භයානක හැසිරීම්වලට හරි පෙළඹෙන්නේ වෙන කරන්න කිසිම දෙයක් නැතිවයි. ඔවුන් දන්නවා එයින් ඔවුන්ට සිර ගත වෙන්න අවස්ථාවක් ලැබෙන්න පුළුවන් බව” ටිබ්බෝ මහතා වැඩිදුරටත් විස්තර කළා.

එඩ්වඩ් ස්නෝඩන්ට රැකවරණය ලබා දුන් සරණාගත පිරිස සහ ඔවුන්ගේ දරුවන්. රූපය : fortherefugees.com

විවිධ දේවල් නිසා අඩු සැළකිල්ලට ලක් වෙන්න සිදු වෙන එක හරිම සුලභයි. වැනේසාගේ දියණියත්, සුපුන් – නදීකා යුවලගේ දරුවනුත් අත්විඳ ඇති ආකාරයට හමේ පාට නිසා බොහෝ විට අඩන්තේට්ටම්වලට ලක් වෙන්න සිදු වෙනවා. එය ඔවුන්ගේ පාසල් ජීවිතයට පවා බලපෑම් කරනවා. ටිබ්බෝ පෙන්වා දෙන විදිහට එක පන්තියේ ළමුන් වගේම ගුරුවරුන් පවා හමේ වර්ණය පදනම් කරගෙන ඔවුන්ට සළකන්නේ අඩු තත්වයේ පිරිසක් විදිහටයි. පන්තියේ අනිත් ළමයි ඔවුන් එක්ක සෙල්ලම් කරන්නවත් කැමති නැහැ.

“හැම වෙලාවකම වගේ සරණාගත පිරිසට පිහිටක් වෙන්න ඉන්නේ ඔවුන්ගේ නීතීඥවරුන්, සොලිසිටර්වරුන් සහ ඔවුන්ගේම සරණාගත සමාජය විතරයි.” ටිබ්බෝ කියනවා. පොදු රෝහල් බොහෝ දුරට ප්‍රතිකාර කිරීමට මුල් තැනක් දීලා තියෙන නිසා ඔවුන් උපදේශන සේවා ඒ තරම් ක්‍රියාත්මක කරන්නේ නැහැ. මනෝවිද්‍යාත්මක පර්යේෂණ කරන අවස්ථාවලදී වුණත් ඒවා ගොඩක් වෙලාවට ඉක්මණින් අවසන් කෙරෙන බවත්, උපදේශන හා සහයෝගය ලබා දීම වෙනුවට වෛද්‍යවරයා කරන එකම දෙය අදාළ තැනැත්තා සරණාගතබව තහවුරු කිරීමේ සම්මුඛ පරීක්ෂණවලට මුහුණ දෙන්න සුදුසු බවට නිර්දේශ කිරීම විතරයි කියලාත් ඔහු ප්‍රකාශ කළා.

අවිනිශ්චිත බව

එඩ්වඩ් ස්නෝඩන්. රූපය : wired.com

මේ වන විට ස්නෝඩන්ට රැකවරණය ලබා දුන්නු පවුල් සිටින්නේ ඔවුන් අයැදුම් කරපු කැනේඩියානු සරණාගත පුරවැසිබව අපේක්ෂාවෙන්. ඔවුන්ගේ ඉරණම තීරණය වෙන්නේ එහි ප්‍රතිඵලය අනුවයි. හොංකොං රජය මගින් මාර්තු මාසයේදී පැවැත්වූ සම්මුඛ පරීක්ෂණයේ ප්‍රතිඵලය ගැන අවසන් තීරණය තවම ප්‍රකාශයට පත් කරලා නැහැ, බොහෝ විට මේ පවුල් ඔවුන්ගේ මව්රටවල් වෙත පිටුවහල් කෙරෙන්න ලොකු ඉඩකඩක් තියෙනවා.

සුපුන්, නදීකා සහ අජිත් කියන තුන් දෙනාගේ පැත්තෙන් බැලුවාම ඒ තීරණයේ ප්‍රතිඵලය තමයි ඔවුන් වෙන කරන්න කිසිම දෙයක් නැතිව පලා ගිය රටට ආපසු එන්න සිද්ධ වෙන එක – ඔවුන් මෙරටට පිළිගනීවිද නැත්ද කියන එකවත් තවම විශ්වාස නැහැ. පසුගිය පෙබරවාරි මාසයේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කැන්බරා වෙත ගිය නිල විදේශ ගමනකදී “ආපසු එන්න, සියලු දෙනාට සමාව ලැබේ” කියා කියමින් සියලුම සරණාගතයන්ට (ඔස්ට්‍රේලියාවට පලා ගිය) ආපහු ශ්‍රී ලංකාවට එන්න ආරාධනා කළා. කොහොම වුණත් ප්‍රසිද්ධ මානව හිමිකම් නීතීඥයෙක් වන ලක්ෂාන් ඩයස් මහතා නම් විශ්වාස කරන්නේ ශ්‍රී ලංකාව තුළ “ආපසු එන සරණාගතයන්ට සුදුසු පරිසරයක් නැහැ” කියලයි. ඒ වගේම ප්‍රතිසන්ධාන (Reconciliation) සහ සංක්‍රාන්තික (Transitional) යුක්තිය ඉටු කිරීමේ ක්‍රමවේදයන් ඇති කරන තුරු එහි වෙනසක් වෙන එකක් නැහැ කියාත් ඔහු කියා සිටිනවා.

ඒ වගේම යළි මෙරටට පැමිණෙන සරණාගතයන් හිරිහැර කිරීම්වලට ලක් නොවන බවට හරි, ඔවුන් නීතිය මගින් රඳවා තබා ගන්නේ නැති බවට හරි කිසිම සහතිකයක් නැති බවත් ඔහු පෙන්වා දෙනවා. “ඒක සම්පූර්ණයෙන්ම තීරණය වන්නේ ඔබට අදාළ කාරණා මතයි. උදාහරණයක් විදිහට ඔබ LTTE සම්බන්ධතා එක්ක ශ්‍රී ලංකාවට ආවොත් අනිවාර්යයෙන්ම රාජ්‍ය බුද්ධි සේවයේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) සහ ත්‍රස්තවාදී කටයුතු පර්යේෂණ අංශයේ ප්‍රශ්න කිරීම්වලට මුහුණ දෙන්න වෙනවා, ඔවුන්ට කැමති නම් ඔබව රඳවා තබා ගන්නත් පුළුවන්. මේ කාරණාව ගැන හිතලා බැලුවොත් මොවුන් ස්නෝඩන්ට රැකවරණය සලසපු අය, ඒ නිසා විදේශ රටවල බලපෑම නිසාම වුණත් හිරිහැරවලට ලක් වෙන්න ලොකු ඉඩකඩක් තිබෙනවා. රජයෙන් මේ පිරිසට ලැබෙන රැකවරණය මොන වගේ වේවිද කියන එක ගැන අපි හරියටම දන්නේ නැහැ.” ඩයස් මහතා Roar වෙත කියා සිටියා.

හොංකොං රජයෙන් වැඩි සහයෝගයක් නැතිව ඉන්න මේ පිරිස ජීවිතය ගැට ගසා ගන්නේ විවිධාකාරයේ ආධාර වැඩසටහන්වලින් එකතු කරලා දෙන ආධාරවලින්. කැමති පිරිසට ඔවුන් වෙනුවෙන් ආධාර කරන්න පුළුවන් වෙබ් අඩවියක් සකස් කරලා තියෙනවා වගේම ස්නෝඩන් චිත්‍රපටයේ ස්නෝඩන්ගේ චරිතය නිරූපණය කළ ජෝසප් ගෝඩන්-ලෙවිට් “ස්නෝඩන්ගේ මුර දේවතාවන්ගේ වර්තමාන තත්ත්වය” ගැන හැඟීම්බරව අදහස් දක්වන වීඩියෝවකුත් නිකුත් කර තිබෙනවා.

මෙහි ඉංග්‍රීසි මුල් ලිපිය පළ කෙරෙන අවස්ථාව වන විට ශ්‍රී ලංකා රජය මේ දේවල් ගැන නිල ප්‍රකාශයක් ලබා දී තිබුණේ නැහැ.

කවරයේ පින්තූරය : VoA news

පරිවර්තනය: ඉන්ද්‍රජිත් ගමගේ

Related Articles