Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අල් ජසීරා ක්‍රිකට් පාවාදීම් වීඩියෝවේ ශ්‍රී ලාංකීය භූමිකාව

පසුගිය දිනෙක් අල් ජසීරා සේවය විසින් ඉන්දියාව කේන්ද්‍ර කොටගෙන සිදුවූ මහා ක්‍රිකට් ජාවාරමක් පිළිබඳව තොරතුරු ලොවට ඉදිරිපත් කළා. මින් ක්‍රිකට් ලොවම කැළඹුණු අතර ශ්‍රී ලාංකිකයින් වශයෙන් අප රටේ ද ක්‍රිකට් ලෝලීන්ගේ දෙබැම එසැවුණේ, මෙතෙක් කල් තරග පාවාදීමේ චෝදනාවකට ඍජුව ලක් වී නොසිටි ශ්‍රී ලංකාවටද මෙමඟින් රතු එළි දැල්වීම නිසා යි.

පැයකට ආසන්න කාලයක් පුරාවට දිවෙන මේ වීඩියෝවේ ශ්‍රී ලාංකිකයින් කිහිප දෙනෙකුගේ නම් හා තොරතුරු මෙන්ම, ගාල්ල ක්‍රීඩාංගණය හා එහි පැවති තරග කිහිපයක සිදු වූ අක්‍රමිකතා පිළිබඳවද සටහන් වීම නිසා ලාංකිකයින් බොහෝ දෙනා කලබලයට පත් වුණා. විශේෂයෙන් මෙහි නම් සඳහන් වූ ක්‍රීඩකයින් විසින් ‘රට පාවා දී ‘ ඇතැයි යන්න සේම, ශ්‍රී ලංකාවට විශාල කළු පැල්ලමක් එක් වූ බවත් නිතරම කියැවෙන්නට වුණා. මේ අතර නිල නොවන වශයෙන් පැතිරී ගිය පුවත්වල ද මෙහි සත්‍ය තත්ත්වය විකෘති වී තිබුණා. මේ තරග පාවාදීම් වලට ශ්‍රී ලාංකිකයින් ඈඳී ඇත්තේ කෙසේ ද යන්න විමසා බලන්නට අපි තීරණය කළේ මේ නිසාවෙනුයි.

අල් ජසීරා සේවය -aljazeera.com

සිද්ධිය සැකෙවින්

පසුගියදා අල් ජසීරා සේවය විසින් මිනිත්තු 54ක ධාවන කාලයකින් යුතු ඉතා ආන්දෝලනාත්මක වැඩසටහනක් විකාශනය කරනු ලැබුවා. සරලවම ඉන් කියැවුණේ අන්තර්ජාතික ක්‍රිකට් ලෝකය වසාගෙන පවතින අඳුරු සෙවනැල්ලක් වන්, මුදලට තරග පාවාදීමේ ක්‍රියා පටිපාටිය ගැන යි. ඉතා ගැඹුරට අක් මුල් විහිදුණු මෙය ඉතා සංවිධානාත්මකව සිදුවන අතර, ඉන්දියානු උප මහාද්වීපය හා මැදපෙරදිග තුළ තරග පාවාදීම විවිධාකාර ස්වරූප වලින් සිදුවන ආකාරය සාකච්ඡාවට බඳුන්වුණා.

මේ මහා ව්‍යාපාරයේ කොටස්කරුවන් දෙදෙනෙකු වන අනිල් මුනාවර් හා රොබින් මොරිස් නැමති ඉන්දීය ජාතිකයින් දෙදෙනෙකු උපක්‍රමශීලීව මිතුරු කොටගෙන, ඔවුන් ඔස්සේ මේ ජාවාරම ලොවට ගෙනහැර පෑමට අල් ජසීරා මාධ්‍යවේදීන් සමත්ව තිබුණා. මෙමඟින් මෙතෙක් ලොවට රහසක්ව පැවති, ටෙස්ට් තරග කිහිපයක් මුදලට පාවා දුන් තොරතුරු රැසක් ඔවුන් තුළින් ඉවතට ගලාගෙන එනවා. අවාසනාවට මෙයට ශ්‍රී ලාංකිකයින් සිවුදෙනෙකු ද ඈඳෙන අතර, ඉන් දෙදෙනෙකුම ශ්‍රී ලංකාව තුළ හොඳින් දක්ෂතා පෙන්වූ ‘තරු’ වීම මෙතෙක් කල් කිසිදු පාවා දීමේ චෝදනාවකට ලක් වී නොසිටි ශ්‍රී ලංකා ක්‍රිකට් වලට වැදුණු මරු පහරක් වුණා. එක් වරම ඉවතට ආ එම තොරතුරු වලින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අති විශාල අපකීර්තියක් එල්ල වුණු බැව් පෙණුනත්, සිතූ තරම් යකා කළු නොවන සෙයක් වර්තමානය වන විට දිස් වෙනවා.

ගාල්ල ක්‍රීඩාංගණය හා තණතිලි සැකසීම

ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනය -cricbuzz.com

අල් ජසීරාවේ මුදලට තරග පාවා දීමේ වීඩියෝව හා ශ්‍රී ලංකාව මුලින්ම සම්බන්ධ වන්නේ, ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවති ටෙස්ට් තරග දෙකක් මුදලට පාවාදීම සිදුවීයැ යි කියන සිද්ධිය සමග යි. මෙහි දී බුකීකරුවන් ගාල්ලේ තණතිල්ල සකසන්නා යැයි කියාගන්නා තරංග ඉන්දික නැමැත්තෙක් හා පළමු පෙළ ක්‍රීඩකයෙක්ව හුන් තරිඳු මෙන්ඩිස්ව හමු වන අතර, එහි දී ඉන්දික පවසන්නේ 2016 වසරේ ගාල්ලේ දී ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර පැවති ටෙස්ට් තරගය දින 3ක් තුළ නිමවන පරිදි දඟ පන්දුයවන්නන්ට වාසිදායක ලෙස තණතිල්ල නිමැවූ බව, හා 2017 වසරේ ගාල්ලේදීම පැවති ඉන්දු- ශ්‍රී ලංකා ටෙස්ට් තරගය පිතිකරුවන්ට වාසිදායක වන ලෙස තණතිල්ල සැකසූ බව යි. එමෙන්ම තමන්ට අවශ්‍ය ඕනෑම ආකාරයකට තණතිලි සැකසීම සිදුකළ හැකි බවත්, අවශ්‍ය විටෙක කඩතොළු කිරීම් ද සිදුකළ හැකි බවත් ඔහු පවසනවා. මීට අමතරව ඔවුන් 2018 නොවැම්බරයේ ගාල්ලේ දී පැවැත්වෙන එංගලන්ත – ශ්‍රී ලංකා ටෙස්ට් තරගයේ තණතිල්ල දඟපන්දු යවන්නන්ට උචිත පරිදි සකසන්නට ද සාකච්ඡා කරනවා.

ජීවන්ත කුලතුංග හා දිල්හාර ලොකුහෙට්ටිගේ සිද්ධිය

බුකීකරුවන් විසින් තරග මුදලට පාවාදීම සඳහාම වූ තරගාවලියක් එක්සත් අරාබි එමීර රාජ්‍යයේ පැවත්වීමට තීරණය කරන අතර, මෙහි දී එක් කණ්ඩායමකට විදෙස් ක්‍රීඩකයින් 4ක් හෝ 5ක් ඇතුළත් කිරීමට ඔවුන් සැළසුම් කරනවා. මෙම විදෙස් ක්‍රීඩකයින් ඇතුළත් කරන්නේ ඔවුන් ලවා කලින් සැළසුම් සකස්කරගත් පරිදි විවිධ ක්‍රියාකාරකම් සිදුකරවීම සඳහා යි. එවිට ඔවුන් ඒ අනුව ඔට්ටු අල්ලන අතර ඒවායින් මුදල් ඉපැයීම සිදු වෙනවා.

දිල්හාර ලොකුහෙට්ටිගේ (වමේ)හා ජීවන්ත කුලතුංග- dailymirror.lk

මෙම තරගාවලිය සඳහා විදෙස් ක්‍රීඩකයින් තෝරාගැනීමේ දී සිය ක්‍රිකට් ජීවිතයේ අවසාන භාගයේ පසුවෙන ක්‍රීඩකයින් හා ඉතා ලාබාල ක්‍රීඩකයින් තෝරාගැනීමට ඔවුන් උනන්දු වෙනවා. ශ්‍රී ලාංකික හිටපු ක්‍රීඩකයින් දෙපලක් වන ජීවන්ත කුලතුංග හා දිල්හාර ලොකුහෙට්ටිගේ මේ තරග පාවාදීමේ කතාවට සම්බන්ධ වන්නේ එලෙසයි. ඔවුන් බුකීකරුවන් හමුවී තමන් තව දුරටත් ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා නොකරන නිසා හා වෘත්තීය මට්ටමින් තවමත් විස්සයි විස්සේ තරග ක්‍රීඩා කරන නිසා පෙර කී තරගාවලියට සහභාගී වීමට කැමැත්ත පළකරනවා.

වීඩියෝවේ පසු විපරම

බැලූ බැල්මට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හෝ ක්‍රීඩකයින් ඉතා අපකීර්තිමත් ලෙස තරග පාවාදීමේ කටයුත්තකට සහභාගී වී ඇති බවක් පෙණුනත්, වඩා විමසිලිමත්ව බැලීමේ දී මේ චෝදනාවල වෙනත් පැතිකඩක් පෙනෙනවා. අල් ජසීරාව විසින් ගාල්ලේ තණතිලි සකසන්නා ලෙස හඳුන්වනු ලැබූ තරංග ඉන්දිකට තණනිල්ලක් සකස් කිරීමේ බලතල කිසිවක් නැතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගිය දා වගකීම් සහගතව ප්‍රකාශ කළා. අනෙක් අතට කවදත් දඟ පන්දු යවන්නන් හමුවේ දුර්වල ඕස්ට්‍රේලියාව හා එංගලන්තය වැනි කණ්ඩායම් ශ්‍රී ලංකාවේ සංචාරය කරන විට ගාල්ලේ වැඩි දඟකැවීමක් ඇති තණතීරු ලබාදීම අරුමයක් නොවේ. එමෙන්ම ඉන්දියාව වැනි ප්‍රබල දඟ පන්දු යවන්නන් සිටින රටක් සමග ක්‍රීඩා කිරීමේ දී පිතිකරුවන්ට වඩා වාසි සහගත තණතිලි සෑදීම ද ශ්‍රී ලංකාව තුළ අතීතයේ සිටම සිදුවූවා. මීට අමතරව පාවාදුන්නා යැයි සඳහන් වූ තරග දෙකෙහිදීම එක් වරම තණතිල්ලේ ස්වභාවය වෙනස් වූ අවස්ථා සටහන් වී තිබුණේ නැහැ. මේ නිසා මේ ‘තණතිලි සකසන්නා’ යැයි කියාගත් තැනැත්තා කටමැත දෙඩවූවා වීමට ද විශාල සම්භාවිතාවක් තිබෙනවා.

ජීවන්ත කුලතුංග හා දිල්හාර ලොකුහෙට්ටිගේ මේ වන වීට නිළ වශයෙන් අන්තර්ජාතීක ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගෙන අවසන්. ඔවුන් සහභාගී වීමට කැමැත්ත පල කළේ ශ්‍රී ලංකාවට කිසිදු සම්බන්ධයක් නොමැති තරගාවලියකට යි. අනෙක ඒ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ද නොවේ. වෘත්තීමය ක්‍රීඩකයින්ව සිටි අයවලුන් මෙසේ පාවාදීම්වලට සම්මාදම් වීම කිසිදු අයුරකින් සාධාරණීකරණය කළ නොහැකිමුත්, ඔවුන් දෙදෙනාගේ වර්තමාන ක්‍රියාකලාපය කිසි ලෙසකින් ශ්‍රී ලංකා ක්‍රිකට් වල කීර්ති නාමයට බලපෑම් එල්ල කිරීමට සමත් වෙන්නේ නැහැ. මෙහි දී ජීවන්ත කුලතුංගට තවමත් ශ්‍රී ලංකා ක්‍රිකට් සමග සම්බන්ධතා තිබුණත්, ඒ පුහුණුකරුවෙක් වශයෙන් විනා රටක් නියෝජනය කරන ක්‍රීඩකයින් වශයෙන් නොවේ.

අවසානයේ ප්‍රකාශ කළහැක්කේ අල් ජසීරාවෙන් හෙළි කෙරුණු කරුණු පිළිබඳව විධිමත් පරීක්ෂණයක් කිරීම අනිවාර්යය කරුණක් වන නමුදු, ඉන් බොහෝ දෙනා සිතන තරම් හානියක් ශ්‍රී ලාංකීය ක්‍රිකට් ක්‍රීඩාවේ කීර්ති නාමයට සිදුව නොමැති බව යි.

කවරයේ පින්තූරය -icc-cricket.com

වීඩියෝ මූලාශ්‍රයයන්:

Al Jazeera investigations (https://www.youtube.com/watch?v=uYlk4izYVmw)

Related Articles