ඇල්ජීරියානු ජනතාව අසාධ්‍ය ජනාධිපතිවරයකු තෝරා ගනී ද​?

ජනාධිපති අබ්දල් අසීස් බුටෆ්ලිකා පස්වන වරට ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමට ගත් තීරණයට එරෙහිව මතුවූ ජනතා විරෝධය හේතුවෙන් ඇල්ජීරියාව පිළිබඳ සැලකිය යුතු අවධානයක් යොමුව තිබෙනවා. දැනට 82 හැවිරිදි වන බුටෆ්ලිකා 2013 දී රෝගාතුර වීමෙන් පසු ජනතාව අතර පෙනී සිටියේ ඉතාම අඩුවෙන්. වර්තමානයේ ද ඔහු ස්විට්සර්ලන්තයේ රෝහල්ගතව සිටින අතර ඔහුගේ තත්ත්වය අසාධ්‍ය බව කටකතා පැතිර යනවා. ඔහු නැවතත් ජනාධිපති ධුරය වෙනුවෙන් තරග කරන්නට තීරණය කරන්නේ එම පසුබිම තුළ යි. කෙසේ වෙතත් අවම වශයෙන් නාමයෝජනා භාර දීමට පවා ඔහු පුද්ගලිකව පැමිණෙන්නේ නැහැ.

බුටෆ්ලිකා අප්‍රේල් 18 වන දා පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා තරග කරන බව ප්‍රකාශයට පත් කළ දින පටන්ම ඇල්ජීරියාවේ විරෝධතා ව්‍යාපාර පැවැත්වෙනවා. විශේෂයෙන්ම ඇල්ජියර්ස් අගනුවර මෙම විරෝධතා සඳහා සැලකිය යුතු පිරිසක් සහභාගී වනවා. ඒ බොහෝ දෙනා තරුණ තරුණියන්.

බුටෙෆ්ලිකාට එරෙහි උද්ඝෝෂණ (Reuters)

සිවිල් යුද්ධයෙහි උරුමකරුවා

බුටෙෆ්ලිකා ඇල්ජීරියානු නිදහස් සටනට සහභාගී වූ ප්‍රමුඛයකු වූ අතර 1963 සිට 1979 දක්වා එරට විදේශ ඇමති ධුරය ද දැරුවා. නමුත් ඉන් පසුව ඔහු තනතුරුවලින් ඉවත් ව සිටි අතර ඔහුට එරෙහිව දූෂණ චෝදනා ද එල්ල වුණා.

ඇල්ජීරියාවේ පළමු නිදහස් මැතිවරණය ඉස්ලාමීය ගැලවුම්කාර පෙරමුණ විසින් ජය ගන්නා ලකුණු පහළ වූ විට​, 1991 දෙසැම්බරයේ දී යුධ හමුදාව විසින් මැතිවරණය අවලංගු කළා. නිල වශයෙන් සිවිල් පාලනයක් පැවතිය ද​, රටේ සැබෑ පාලනය හමුදාව අතට පත් වුණා.

හමුදාව විසින් කළ ක්‍රියාවට එරෙහිව ඉස්ලාමීය සටන්කාමීන් සටනට අවතීර්ණ වුණා. මෙම සිවිල් යුද්ධය වසර දහයක් පමණ ඇදී ගිය අතර 200,000ක් පමණ එහිදී මිය ගියා.

බුටෙෆ්ලිකා බලයට ආවේ 1999 ජනාධිපතිවරණයෙන් පසුව යි. ඔහු සටන්කාමීන් වෙනුවෙන් පොදු සමාවක් හඳුන්වා දෙමින් ඉස්ලාමීය කැරැල්ල පරාජය කිරීමේ ප්‍රධාන පියවරක් ගත්තා.

2004, 2009 සහ 2014 ජනාධිපතිවරණවල දී බුටෙෆ්ලිකා ජයග්‍රහණය කළා. 2014 දී ඔහු ජයගත්තේ 2013 දී සිදු වූ ආඝාත තත්ත්වය ද තිබිය දී යි. ඔහු වැඩිපුර ජනතාව අතර පෙනී සිටියේ නැහැ. සත්‍ය ලෙසම ඔහු කිසිදු මැතිවරණ ප්‍රචාරක කටයුත්තකට සහභාගී වූයේ නැහැ. නමුත් එහිදී ද සියයට 85ක ඡන්ද ඔහු වෙත ලැබුණා.

එවර ජනාධිපතිවරණයේ දී බොහෝ දෙනාට බුටෙෆ්ලිකාගේ රෝගී තත්ත්වය පිළිබඳ නිවැරදි වැටහීමක් තිබුණේ නැතැයි සිතිය හැකියි. සැලකිය යුතු පිරිසක් ඔහු හොඳ අතට හැරේයැ යි බලාපොරොත්තුවෙන් ඡන්දය පාවිච්චි කරන්නට ඇතැයි සිතන්න පුළුවන්. නමුත් දැන් පවතින තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස්. පසුගිය වසර පහේ දී බුටෙෆ්ලිකා ජනතාව අතර පෙනී සිටියේ ඉතාම අල්ප වශයෙන්. ඒ පෙනී සිටි අවස්ථාවලත් ඔහුව රෝද පුටුවකින් රැගන යා යුතු වූ අතර ඔහුට කතා කිරීම හෝ අත පය චලනය කිරීම හෝ පවා ඉතා අපහසු බව කාහටත් පෙනෙන්න තිබුණා.

තරුණ අසහනය​

බුටෙෆ්ලිකා නැවත ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව පැවසීමත් සමග විශේෂයෙන්ම නාගරික තරුණ ප්‍රජාව අතර විරෝධය හට ගත්තේ එක් අතකින් ඔහුට රාජ්‍ය පාලනය කිරීම්ට තරම් සුදුසු සෞඛ්‍ය තත්ත්වයක් නොමැති බව දන්නා නිසා යි. එමෙන්ම අනෙක් අතින් තරුණ නායකත්වයකට තැන දීමට පාලක පන්තිය තවමත් අසමත් වීම ද මෙම කෝපයට හේතුවක්.

ඇල්ජීරියාවේ ජනගහනයෙන් විශාල පිරිසක් තරුණයින් වනවා. තරුණයින් අතර විරැකියා ප්‍රතිශතය සියයට 30ක් පමණ වනවා. රටේ ආර්ථික තත්ත්වය තිබෙන්නේ ඉතාම නරක තත්ත්වයක යි. එවන් පසුබිමක තරුණයින් විරෝධතාවල නිරත වීම පුදුමයක් ද නොවේ.

ඇල්ජීරියානු උද්ඝෝෂණ (AP)

ඇල්ජීරියාව ඛනිජ තෙල් සහ විශේෂයෙන්ම ස්වාභාවික වායු නිෂ්පාදනය කරන රාජ්‍යයක්. නමුත් මේවායේ මිල අඩු වීමත් එක්ක මීට වසර කිහිපයකට පෙර ඇල්ජීරියානු ආර්ථිකයට තරමක පහරක් වැදුණා. අද වෙද්දිත් ඒ තත්ත්වයෙන් ගොඩ එන්න ඇල්ජීරියාවේ ආර්ථිකයට හැකි වී නැහැ.

මේ අතර රටේ පාලනය ඇත්තෙන්ම පවතින්නේ කවුරුන් අත ද යන්න ගැටළුවක් වනවා. බුටෙෆ්ලිකාගේ බාල සහෝදරයා මෙන්ම රටේ යුධ හමුදාව ද විශාල දේශපාලන බලයක් දරනවා. බුටෙෆ්ලිකා නමට හෝ ජනාධිපති ලෙස සිටීම කෙරෙහි ඔවුන් අකමැත්තක් දක්වන්නේ නැහැ.

2019 ජනාධිපතිවරණය​

මෙම වසරේ අප්‍රේල් 18 වන දා පවත්වනු ලබන ජනාධිපතිවරණයට අපේක්ෂකයන් හය දෙනකු නාමයෝජනා බාර දුන්නා. බුටෙෆ්ලිකාට අමතරව විශ්‍රාමලත් යුධ හමුදා ජෙනරාල් අලී ඝෙදිරිගේ අපේක්ෂකත්වය යම් සාකච්ඡාවක් නිර්මාණය කළා. ඔහු ප්‍රකාශ කර තිබුණේ රටේ නීතියේ ආධිපත්‍යය පිළිබඳ ප්‍රශ්නය සහ පාලක පන්තියේ ඥාති සංග්‍රහය ඔහුගේ තීරණයට හේතු වූ බව යි. මීට අමතරව මින් පෙර ද දෙවරක් ජනාධිපතිවරණ සඳහා ඉදිරිපත් වූ අලී බෙන්ෆ්ලිස් ද මෙවරත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වනවා.

අලී ඝෙදිරි (Twitter)

බුටෙෆ්ලිකා අප්‍රේල් 18 ට පෙර මිය ගියහොත් තත්ත්වය නොසිතන ලෙස වෙනස් විය හැකියි. නමුත් එසේ නොවුණහොත් රටේ පාලක පක්ෂය ඔහුගේ මැතිවරණ ව්‍යාපාරය ගෙන යනු ඇති. දැනට පවතින තත්ත්වය යටතේ රටෙහි හොඳම ප්‍රචාරක ජාලය පවතින්නේ ද පාලක පක්ෂයට බැවින් වෙනත් අපේක්ෂකයකුට ජය ගැනීම පහසු වේ ද යන්න සැකයක්.

මේ අතර රටේ ඇති වී තිබෙන තරුණ විරෝධතා ව්‍යාපාරයට ද නිශ්චිත නායකත්වයක් නැහැ. ඔවුන් කිසිදු අපේක්ෂකයකුට සහය දක්වන්නේ නැහැ. මේ නිසා උද්ඝෝෂණ ව්‍යාපාර තුලින් එක් අපේක්ෂකයකුට විශේෂිත වාසියක් සැලසෙන බවක් ද පෙනෙන්නේ නැහැ. උද්ඝෝසණ ව්‍යාපාර දිගටම ඇදී ගියහොත් එයට තවත් පිරිස එක්වීමේ ඉඩක් තිබෙනවා. එවිට එය කුමන අතට හැරේ ද යන්න අනුමාන කිරීම අසීරු යි.

නමුත් හිටපු ජෙනරාල්වරයකු ජනාධිපතිවරණයට​ ඉදිරිපත් වීම කතාබහක් ගොඩ නැගීමට සමත් වූයේ ඔහු රටේ හමුදා නායකත්වයට ආමන්ත්‍රණය කිරීමට කටයුතු කිරීම හේතුවෙන්. රට අගාධයට යාම නවතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ශක්තිමත් කරන ලෙස ඔහු ඇල්ජීරියානු හමුදාපතිවරයාගෙන් ඉල්ලා සිටියා. මේ වනවිට ද යුධ හමුදාව උද්ඝෝෂණ පාලනයට​ මැදිහත් වීමෙන් වැළකී සිටින බව පෙනී යන අතර පාලනය කිරීම අන්තිම අසීරු තත්ත්වයකට පත් නොවුණහොත් මිස ඔවුන් ඊට මැදිහත් වේ යයි සිතීමට ද අපහසු යි.

Cover Image: බුටෙෆ්ලිකා (Xinhua)

Al Jazeera, Reuters, France 24, DW සහ The Arab Weekly ඇසුරින්

 

Related Articles