Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අරසා: ඇමසන් වනයට ආවේණික පලතුර

ශ්‍රී ලංකාවේ වනාන්තරවල දක්නට ලැබෙන දේශීය පලතුරු වර්ග අතර හිඹුටු, පළු, වීර, මසං, කරඹ වැනි පලතුරු බහුල යි. ඒවා ඈත අතීතයේ සිට ලංකාවේ ජීවත්වුණු ජනයා අතර ප්‍රසිද්ධ යි. වර්තමානය වන විට වෙළඳපොලේ එවැනි දේශීය පලතුරු වර්ග දැකීම දුර්ලභ යි. ශ්‍රී ලාංකිකයන්ගෙන් දේශීය පලතුරු දුරස් ව තිබුණත්, ඇමසන් වනය ආශ්‍රිත ව ජීවත් වන ගෝත්‍රික ජනයා, එවැනි පලතුරු වර්ග තවමත් බහුල ව පරිභෝජනය කරනවා.ඇමසන් ගෝත්‍රිකයින් බොහෝ ප්‍රියකරන එවන් දේශීය පලතුරක් ලෙසින් අරාසා හඳුන්වන්නට පුළුවන්.

අරසා ගසක් – Krushi

 

අරසා ශාකය ගැන කෙටියෙන්

Eugenia Stipitata යන විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන මෙම ශාකය ඇමසන් ද්‍රෝණියට ආවේණික සුවිශේෂී පලතුරු විශේෂයක්. සාමාන්‍යයෙන් මෙම වර්ගයේ ගසක් මීටර් 3-12 අතර උසකට වර්ධනය වනවා. කුඩා කොළ සහිත අතු රැසක් හටගන්නා මෙම ශාකයේ, සුදු පැහැති සුවඳැති මල් පිපෙන ආකාරය දැකගන්නට පුළුවන්. ඉදෙන්නට පෙර කොළ පැහැයක් ගන්නා මෙම පලතුරු, ඉදුණු පසු ව තද කහ පැහැයක් ගන්නවා. තද දුඹුරු පැහැ බීජ ඇති මේ වර්ගයේ ඉස්ම දැඩි ඇඹුල් ගතියකින් යුක්ත යි.

ගෙඩි පිරුණු අරසා ගසක් – ArazaPlant

 

අරසා ශාකය වසර පුරා ම අස්වැන්න ලබාදෙන ශාකයක්. මෙම ශාකයට ගංවතුරට මෙන්ම නියඟයට ද එක සේ ඔරොත්තු දෙන්නට පුළුවන්. මෙම ශාක විශේෂය අපහසුවකින් තොර ව බෝ කරගත හැකි ශාක විශේෂයක් ලෙසින් හඳුනා ගෙන තිබෙනවා. මෙම පලතුරු වර්ගය සිත්ගන්නාසුලු පෙනුමකින් යුක්ත නිසා හොඳ ඉල්ලුමක් පවතිනවා. එනිසා දකුණු අමෙරිකානු කලාපයේ ඇතැම් රටවල් ආශ්‍රිත ව අරසා, වාණිජමය වගාවක් ලෙසින් සිදු කරනවා.

දක්නට ලැබෙන ප්‍රදේශ

අරසා ශාකය ඇමසන් ද්‍රෝණිය ආශ්‍රිත ව පිහිටා තිබෙන රටවල්වල වගාවක් වශයෙන් සිදු කරනවා. ඒ අනුව බ්‍රසීලය, කොළොම්බියාව, ඉක්වදෝරය, වෙනිසියුලාව, පේරු, බොලිවියාව, සූරිනාමය, ප්‍රංශ ගයනාව යන රටවල මෙම ශාකය බහුල ව දැකගන්නට පුළුවන්. අරසා ශාකය ඝර්ම කලාපීය රටවල් ආශ්‍රිත ව හොදින් වර්ධනය වනවා. එනිසා අද වන විට ඝර්ම කලාපීය රටවල් බොහෝමයක අරසා ශාකය වගා කරන ආකාරය දැකගන්නට පුළුවන්. ශ්‍රී ලංකාවේ පැල තවාන්වල ද අරසා පැළ විකිණීමට තිබෙනවා. එය මෙරට දේශගුණයට උචිත නිසා ඔබටත් අවශ්‍ය නම් අරසා පැළයක් ගෙවත්තේ සිටුවා ගත හැකියි.

පැසුණු අරසා ගෙඩියක් – kimberlybeck.net

 

අරසා පලතුර ගැන

අරසා පලතුරට ආකර්ෂණීය පෙනුමක් මෙන් ම අමුතු ම ආකාරයේ සුවඳක් තිබුණත් එය ආහාරයට ගත්විට දිවට දැනෙන්නේ ඇඟ හිරිවැටෙන ආකාරයේ ඇඹුල් රසක්. අරාසා දැඩි ආම්ලික පලතුරක් වීම එයට හේතුව යි. සාමාන්‍යයෙන් මෙම පලතුරේ PH අගය සටහන් වන්නේ 2.4ක් ලෙස යි. එහි තිබෙන ආම්ලිකතාව නිසා සුපශාස්ත්‍ර කටයුතු සඳහා බහුල ව යොදා ගත්තත් ලෙමන් වැනි බෝගවලට තිබෙන ඉල්ලුම අරාසාවලට තවමත් ලැබී නැහැ. එයට හේතු වන්නේ ගෙඩියේ ඇති මෘදු බව නිසා නැව්වලින් ප්‍රවාහනය කිරීමට තිබෙන අපහසුකම යි.
3) හොඳින් ඉදුණු අරසා ගෙඩියක් (Urban Tropicals)

 හොඳින් ඉදුණු අරසා ගෙඩියක්- Urban Tropicals

 

ලැබෙන පෝෂණය

අරසා පෝෂ්‍ය ගුණයෙන් ඉහළ පලතුරක් බවට හඳුනා ගෙන තිබෙනවා.එහි අඩංගු පෝෂ්‍ය පදාර්ථ පහත ආකාරයට දක්වන්නට පුළුවන්.

කාබෝහයිඩ්‍රේට්- (69-72)%
ප්‍රෝටීන්- (8-10.75)%
විටමින්- (9-11)%
තන්තු- (5-6.5)%
කැල්සියම් (0.16-0.21)%

එසේ ම අරසා පලතුරු පල්ප්වල අඩංගු පෝෂ්‍ය පදාර්ථ පහත ආකාරයට දක්වන්නට පුළුවන්.

සීනි- 50% ( ෆ්රුක්ටෝස්- 33.9%, සුක්‍රෝස්- 17.2%, සහ ග්ලූකෝස්- 3.1% )
ආහාර තන්තු- 4%
ඇමයිනෝ අම්ල- 30%
ප්‍රෝටීන- 12%
වියළි ද්‍රව්‍යය- 4%

අරසා පලතුරේ ග්‍රෑම් 100ක අඩංගු විටමින් ප්‍රමාණ ආසන්න වශයෙන් පහත ආකාරයට දක්වන්නට පුළුවන්.

විටමින් සී- 770 mg
විටමින් බී- 10 mg
විටමින් ඒ- 7.75 mg
සින්ක්- 10-12 ppm

ඊට අමතර ව විටමින් ඊ, පොස්පරස්, මැග්නීසියම්, පොටෑසියම් සහ කැල්සියම් යන ඛණිජ ලවණ සැලකිය යුතු ප්‍රමාණයක් අඩංගු වනවා.

කැපූ අරසා ගෙඩියක් – kimberlybeck.net 

 

සෞඛ්‍යමය ප්‍රතිලාභ

අරසා පලතුර විටමින් සීවලින් පොහොසත් වන නිසා එය ඔබගේ ප්‍රතිශක්තිය ඉහළ නංවනවා. එසේම ඔබ විවිධ ආසාදනවලින් ආරක්ෂා කරනවා. මෙම පලතුරෙහි බහුල ව තන්තු අඩංගු වීම නිසා ඔබගේ ආහාර ජීර්ණ පද්ධතියේ බඩවැල් ආශ්‍රිත රෝග ඇතිවීමේ අවදානම අඩු වන බව සොයා ගෙන තිබෙනවා. අරසා පලතුර ප්‍රතිඔක්සිකාරකවලින් පොහොසත් නිසා නිතිපතා ආහාරයට ගැනීමෙන් සිරුර නිරෝගී ව තබා ගත හැකියි. රුධිර පීඩනය පාලනය කිරීමට සහ පිළිකා නැසීමට ඔසුවක් ලෙසින් මෙය භාවිතා කළ හැකි බවට විශ්වාසයක් පැවතුණ ද එය තවමත් පර්යේෂණාත්මක ව ඔප්පු කර නැහැ. ඊට අමතර ව ඇමසන් වනය ආශ්‍රිත ව ජීවත් වන ගෝත්‍රික ජන කොටස් විවිධ දේශීය බෙහෙත් වර්ග සෑදීම සඳහා අරසා ගසේ විවිධ කොටස් භාවිත කරනවා.

 අරසාවලින් සාදන බීම – Araza Recipes

 

අරසා භාවිත කරන ආකාර

අරසා පලතුර අධික ආම්ලික ගතියෙන් යුක්ත යි. එනිසා මෙය පලතුරක් ලෙසින් ආහාරයට ගන්නට අපහසු යි. නමුත් අරසාවල ඇති ආම්ලික බව නිසා එය විවිධ බීම වර්ග සහ මත්පැන් වර්ග සෑදීම සඳහා භාවිත කරනවා. ඒ අනුව අරසාවලින් සාදන ලද විවිධ බීම වර්ග ඇමසන් කලාපයේ රටවල් අතර ජනප්‍රිය වී තිබෙනවා. බ්‍රසීලයේ වඩාත් ජනප්‍රිය පානයක් වන අරසා සුකෝ ඊට හොඳම උදාහරණයක් ලෙසින් දක්වන්නට පුළුවන්.
ජෑම්, මාමලේඩ්, අයිස් ක්‍රීම්, රස කැවිලි, ජෙලි, සිරප් වර්ග සෑදීම සඳහාත් අරසා පලතුර භාවිත කරනවා. සලාද වර්ග රසවත් කිරීම සඳහා ද, අච්චාරු, චට්නි වැනි කල් තබා ගත හැකි ආහාර සෑදීම සඳහා ද මෙම පලතුර බහුල ව භාවිත කරනවා. නිසරුව පැවති ඉඩම්වල සරු ගතිය වැඩි කිරීමේ හැකියාව අරසා ශාකයට ඇති බව හඳුනා ගෙන තිබෙන නිසා මෑත කාලයේ සිට ඇතැම් රටවල් අරසා පැළ ආනයනය කිරීම වැඩි වශයෙන් සිදු කරන බවත් සිහිපත් කළ යුතුයි.

 ක්ෂේත්‍රයේ සිටවූ අරසා පැළයක් – lotuyo.info

වගා කරන ආකාරය

පසුගිය කාල සමයේ දී ඇතැම් ඝර්ම කලාපීය රටවල් ආශ්‍රිත ව අරසා පලතුර වගා කිරීම ආරම්භ වුණා. එහි දී අරසා බෝගයේ ප්‍රචාරණය, අනෙකුත් බොහෝ පලතුරුවල මෙන් බීජ සිටුවීම මඟින් සිදු කරනවා. ඒ සඳහා පරිණත ගෙඩිවලින් හොඳ ම තත්ත්වයේ බීජ ලබා ගත යුතුයි. එසේ නොවුණොත් බීජවලින් සාර්ථක ප්‍රතිඵලයක් ලබා ගැනීම අපහසුයි. එලෙස ලබාගන්නා බීජ තවානක සෙන්ටිමීටර 2ක පරතරයකින් සිටුවීම ඉන් පසු ව සිදු කළ යුතුයි. ඒ අයුරින් සිටවන ලද බීජවලින් එළියට පැමිණෙන කුඩා පැළ සෙන්ටිමීටර 10ක පමණ උසකට වර්ධනය වීමෙන් පසු ව ඒවා පොහොර පුරවන ලද බඳුන්වල සිටු විය යුතු යි. එලෙස සිට වූ පැළ වසරක පමණ කාලයක් ගත වෙද්දී හොඳින් වර්ධනය වන ආකාරය දැකගන්නට පුළුවන්. ඉන් පසුව බඳුනෙන් ඉවත් කරන ශාකය සුදුසු ස්ථානයක සිටුවිය හැකියි. මෙම බෝගය වගා කරන බොහෝ ගොවීන් පවසා සිටින්නේ ඔවුන් අරසා වගාව සඳහා කාබනික පොහොර එක් කරන බවයි. එහි දී ඔවුන් වැඩිදුරටත් පවසා සිටින්නේ දිගින් දිගට ම කාබනික පොහොර භාවිත කිරීම මඟින් පස සරු වී ලැබෙන අස්වැන්න ක්‍රමයෙන් වැඩිවන බවයි.

 අස්වැන්න නෙළීමට සුදුසු තත්ත්වයේ අරසා ගසක් – kimberlybeck.net

 

අස්වනු නෙළීම

සාමාන්‍යයෙන් අරසා පලතුරු අස්වැන්න නෙළීම දින 84ක පමණ කාලයකින් සිදු කරන්නට පුළුවන්. ඒ අනුව එක් වසරකට වාර 4ක් පමණ අස්වැන්න ලබා ගත හැකියි. මෙම දින ගණන ප්‍රදේශයේ දේශගුණික තත්ත්වය මත වෙනස් වන්නට පුළුවන්. අරසා ගෙඩි මෘදු බවින් වැඩි නිසා අස්වැන්න නෙළීමේ දී වඩාත් ප්‍රවේසම් විය යුත්තේ ඉක්මනින් ම ගෙඩිය තැලීමට ලක්වන නිසා යි. නෙළා ගත් අස්වැන්න ප්‍රවාහනය කිරීමේ දීත් වඩාත් ආරක්ෂිත ක්‍රම අනුගමනය කළ යුතුයි. එසේ නොවුණොත් ගෙඩි විශාල ප්‍රමාණයක් ප්‍රයෝජනයට ගත නොහැකි ආකාරයට විනාශ වී යා හැකියි. කෙතරම් ආරක්ෂිත උපක්‍රම අනුගමනය කළත් වසරකට සැලකිය යුතු තරම් අරසා ගෙඩි ප්‍රමාණයක් අපතේ යන බව වගාකරුවන් පවසා සිටින බවත් මෙහි දී කිව යුතුයි.

කවරයේ ඡායාරූපය - අරසා ගෙඩියක ඇතුළත - Dreams Time
 මූලාශ්‍ර:

thefoodhog.com
fruitsinfo.com

Related Articles