Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඇමරිකාවේ රහස් හෙළි කළ ස්නෝඩන්ට ආරක්ෂාව ලබා දුන් ශ්‍රී ලාංකිකයෝ

ශ්‍රී ලාංකිකයන් කවදත් ආගන්තුක සත්කාරයට කැමති, ලෝභ නැති පිරිසක් කියන කාරණාව ලෝකය පුරාම ප්‍රසිද්ධයි. නමුත් ශ්‍රී ලාංකික පිරිසක් එඩ්වඩ් ස්නෝඩන්ට ජීවිතාරක්ෂාව ලබා දුන්නා කියලා කිව්වොත් විශ්වාස කරන්න පුළුවන්ද? ඇමරිකාවේ රාජ්‍ය රහස් ප්‍රසිද්ධ මාධ්‍යවලට ලබා දුන් ඔහුගේ ජීවිතය තිබුණේ ලොකු අනතුරක. බින් ලාඩන්ගේ මරණයෙන් පස්සේ CIA සහ FBI ඇතුළු ඇමරිකානු රහස් සේවා වල ලොකුම ඉලක්කය වුණේ ස්නෝඩන් කිව්වත් වරදක් නැහැ. නමුත් ඔහු හොංකොං වල හැංගිලා ඉන්න දවස් වල පණ බේරා ගන්න උදව් වෙලා තියෙන්නේ ශ්‍රී ලාංකික පවුල් දෙකක්.

පසු කාලීනව එඩ්වඩ් ස්නෝඩන්ට රුසියාවේ තාවකාලික දේශපාලන රැකවරණය හිමි වුණත් මුල් කාලයේ සති දෙකක් පුරාවට තමන්ගේ ආරක්ෂාව ගැන පවා නොසළකා ඔහුව සඟවා තබා ගන්න මේ ශ්‍රී ලාංකිකයන් පිරිස කටයුතු කරලා තියෙනවා. මේ ශ්‍රී ලාංකික පවුල් දෙක හොංකොංවල පුරවැසියන්වත් නෙවෙයි. ඔවුනුත් හොංකොං වල පුරවැසිභාවය අපේක්ෂාවෙන් හිටපු පිරිසක්. (සරණාගතයන් කියලා හැඳින්වුවත් වැරැද්දක් නැහැ) ඒ වගේ තත්වයක ඉඳලා වුණත් ඔවුන් ස්නෝඩන්ට රැකවරණය සලසපු අපූරු කතන්දරය ගැන අද ලිපියෙන් විස්තර කෙරෙනවා. ඔවුන්ට මෑතකදී වෙනත් නීතිමය ගැටළුවකට මුහුණ දෙන්න සිදු වෙලා තියෙන නිසා මේ ලිපිය කාලීන තොරතුරක් විදිහට කාටත් වැදගත් වේවි.

කවුද මේ එඩ්වඩ් ස්නෝඩන්?

එඩ්වඩ් ස්නෝඩන්, ඔහු වඩාත් ජනප්‍රිය වුණේ 2013 අවුරුද්දේ ඇමරිකාවේ රාජ්‍ය රහස් හෙළි කරපු නිසයි. රූපය : The Courage Foundation

එඩ්වඩ් ස්නෝඩන්, ඔහු වඩාත් ජනප්‍රිය වුණේ 2013 අවුරුද්දේ ඇමරිකාවේ රාජ්‍ය රහස් හෙළි කරපු නිසයි. රූපය : The Courage Foundation

එඩ්වඩ් ස්නෝඩන් ගැන මුලින්ම කතා බහක් ඇති වෙන්නේ 2013 අවුරුද්දෙදියි. ඒ වන විට ඇමරිකාවේ මධ්‍යම බුද්ධි ඒජන්සියේ, නැතිනම් CIA එකේ සේවය කරමින් හිටපු ස්නෝඩන් රාජ්‍ය ආරක්ෂක ඒජන්සිය (National Security Agency, නැතිනම් NSA එක) මගින් මෙහෙයවපු රහස් ඔත්තු බැලීමේ මෙහෙයුම් ගැන ප්‍රසිද්ධ මාධ්‍ය වලට තොරතුරු ලබා දීමත් එක්ක ලෝකය පුරාම ජනප්‍රිය වුණා.

NSA එකේ අතිශයින්ම රහස් තොරතුරු විශාල ප්‍රමාණයක් හොරෙන් පිටපත් කරගෙන හොංකොං වලට පලා ගිය ස්නෝඩන් එහිදී ඔහුට හමුවුණු “ද ගාඩියන්” (The Guardian) පුවත්පතේ වාර්තාකරුවන්ට සහ ලෝරා පොයිට්‍රාස් (Laura Poitras) කියන චිත්‍රපට නිෂ්පාදිකාවට ඒ තොරතුරු සියල්ල ලබා දුන්නා. ඉතාම කෙටි කලකදී පුවත්පත් ගණනාවක්ම ඔහු ලබා දුන්නු රහස් තොරතුරු ප්‍රසිද්ධියේ පළ කරන්න පටන් ගත්තා. මේ අතරින් වඩාත්ම කතාබහට ලක් වුණේ NSA එක ඇමරිකානු පුරවැසියන්ගේ පෞද්ගලික කාරණා ගැන ඔත්තු බලන්න කරපු රහස් මෙහෙයුම් ගැනයි. මේ සිදුවීමත් එක්කම ඇමරිකානු රජය ඔහුව රාජද්‍රෝහියෙක් විදිහට නම් කළත් ලෝකය පුරා බොහෝ දෙනෙක් ඔහුව වීරයෙක් විදිහට සළකන්න පටන් ගත්තා.

NSA එකේ, නැතිනම් ඇමරිකාවේ ජාතික ආරක්ෂක ඒජන්සියේ රහස් හෙළිදරව් කිරීම පිටුපස ඉන්නේ ස්නෝඩන් බව තහවුරු වීමත් එක්ක ඇමරිකානු රහස් සේවා ඔහු ගැන දැඩිව සෝදිසි කරන්න පටන් ගත්තා. මේ නිසා එඩ්වඩ් ස්නෝඩන්ට සිදු වුණේ හොංකොංහි මුඩුක්කු ප්‍රදේශ වල හැංගිලා ඉන්නයි. හෝටල් ඇතුළු හැම නවාතැනක්ම දැඩි සෝදිසියකට ලක් වුණු නිසා ඔහුට වෙන විකල්පයක් තිබුණේ නැහැ. මේ ප්‍රදේශයේ සුලභව ඉන්න සරණාගතයන් අතරේ ඔහුට සති කිහිපයක් හැංගිලා ඉන්න සිදු වුණා.

පසුව රුසියානු රජයේ දේශපාලනික රැකවරණය හිමිවීමත් එක්ක ස්නෝඩන්ට තානාපති කාර්යාලවල වාසය කරන්න හැකියාව ලැබුණා. ඔහු තමන්ගේ කටයුතු ගැන වැඩිදුර තොරතුරු හෙළි කරන්න පටන් ගත්තේ ඉන් පසුවයි. ස්නෝඩන් මුලින්ම තොරතුරු ලබා දුන්නු පොයිට්‍රාස් කියන නිෂ්පාදිකාව පසුව ඒ කරුණු ආශ්‍රයෙන් 2015දී වාර්තා චිත්‍රපටියක් නිර්මාණය කළා. “සිටිසන්ෆෝ” (Citzenfour) ලෙස නම් කෙරුණු මේ වාර්තා චිත්‍රපටිය ඔස්කාර් සම්මානයක් පවා ලබා ගන්නට සමත් වුණා. 2016 අවුරුද්දේ නිර්මාණය වුණු Snowden කියන චිත්‍රපටියේ ඇතුළත් වෙන්නෙත් ඔහු රහස් හෙළි කරපු ආකාරය ගැනයි. ඔලිවර් ස්ටෝන් (Oliver Stone) අධ්‍යක්ෂණය කළ මේ චිත්‍රපටියේ ස්නෝඩන්ගේ චරිතය නිරූපණය කළේ ජෝසප් ගෝඩන් ලෙවිට් විසින්. (Joseph Gordon-Levitt)

හොංකොං වල ආරක්ෂාව පැතීම

ස්නෝඩන්ට රැකවරණය සැලසූ ශ්‍රී ලාංකිකයන්. රූපය : Jayne Russell

ස්නෝඩන්ට රැකවරණය සැලසූ ශ්‍රී ලාංකිකයන්. රූපය : Jayne Russell

හොංකොංවල රැකියාවක් කරමින් රැඳිලා හිටපු අජිත් පුෂ්පකුමාරට 2013 අවුරුද්දේ ජූනි 10 වැනිදා හවස් වරුවේ ඔහුගේ නීතිඥයාගෙන් ඇමතුමක් ලැබුණා. ඉස්සර ශ්‍රී ලංකා හමුදාවේ සෙබලෙක් විදිහට කටයුතු කරලා තිබුණු අජිත්ට හොංකොංහි පුරවැසිභාවය ලබා ගන්න අවශ්‍ය නීතිමය උපදෙස් ලබා දීලා තියෙන්නේ මේ නීතිඥවරයා විසින්. ඔහු අජිත්ට කතා කරලා කියලා තියෙන්නේ “ප්‍රසිද්ධ” පුද්ගලයෙක්ට “රැකවරණය” අවශ්‍ය වෙලා තියෙනවා කියලයි. නමක් දන්නේ නැති මේ පුද්ගලයාට අජිත් රැඳිලා ඉන්න නිවසේ හැංගිලා ඉන්න ඉඩ දෙන්න පුළුවන්ද කියලා මේ නීතීඥයා අහලා තියෙනවා. අජිත් මුලින් හිතලා තියෙන්නේ මේ නම නොදන්නා පුද්ගලයා ඇමරිකන් හමුදාවෙන් පැනලා ආපු කෙනෙක් වෙන්න ඇති කියලයි. පසුකාලීනව අජිත්ගෙන් මේ ගැන කරුණු අහපු නැෂනල් පෝස්ට් එකට ඔහු දීලා තියෙන්නේ මේ වගේ පිළිතුරක්. “ඔව්, මම ඔහුට බොහොම කැමැත්තෙන් රැකවරණය ලබා දුන්නා. ඔහුත් මම වගේම සරණාගතයෙක්නේ.”

ඉතින් මේ විදිහට තමයි අවුරුදු 29ක් වුණු එඩ්වඩ් ස්නෝඩන්ට හොංකොංවල සති දෙකක් පුරාවට හැංගිලා ඉන්න හැකියාව ලැබුණේ. ඔසාමා බින් ලාඩන්ගෙන් පස්සේ ලෝකය පුරා විශාලම සෝදිසි මෙහෙයුමකට ලක් වුණේ ඔහුවයි. හොංකොංවල කෞලූන් (Kowloon) ප්‍රදේශයේ තිබුණු මීරා (Mira) කියන තරු පහේ හෝටලයේ රැඳිලා හිටපු ස්නෝඩන්ට ඉන් පස්සේ ජීවිතය රැක ගන්න අජිත්ගේ පුංචි ඇනෙක්ස් එකේ හැංගිලා ඉන්න සිදු වුණා.

නමුත් එකම තැනක වැඩි කාලයක් ඉන්න එක ආරක්ෂිත නැති නිසා ඉන් පස්සේ ස්නෝඩන් හොංකොංවලම හිටපු තවත් පිලිපීන ජාතිකයෙක්ගේ නිවසට මාරු වුණා. ඉන් පස්සේ ආයෙත් ඔහු රැකවරණය ලබලා තියෙන්නේ තවත් ශ්‍රී ලාංකික පවුලකින්. සුපුන් කැල්ලපත නම් වුණු මේ ශ්‍රී ලාංකිකයා පසුව CNN ප්‍රවෘත්ති සේවයත් එක්ක සිදු කළ සම්මුඛ සාකච්ඡාවකදී මෙහෙම කියලා තියෙනවා. “අපි ඉතිහාසයේ කොටසක් බවට පත් වුණේ අපි හොඳ වැඩක් කරපු නිසයි.”

පසුව පළ වුණු වාර්තා වලට අනුව ස්නෝඩන් රුසියාවේ දේශපාලන රැකවරණය ලබලා පිටත් වෙලා යනකොට තමන්ට ආරක්ෂාව ලබා දීලා ලබා ගත්තු අවදානම වෙනුවෙන් තුටු පඬුරු විදිහට ඩොලර් සිය ගණනක නෝට්ටු සුපුන්ගේ කොට්ටේ යට තියලා ගිහින් තියෙනවා.

ස්නෝඩන්ව හොංකොංවල පුරවැසිභාවය අපේක්ෂාවෙන් රැඳිලා හිටපු පිරිසක් අතර හංගලා තියන්න කටයුතු කරලා තියෙන්නේ කැනේඩියානු ජාතික නීතිඥවරයෙක් වන රොබට් ටිබ්බෝ (Robert Tibbo) විසින්. ඔහු අජිත් සහ සුපුන් ඇතුළුව හොංකොං පුරවැසිභාවය අපේක්ෂාවෙන් හිටපු බොහෝ දෙනෙක් වෙනුවෙන් මුදල් නොගෙනම නීතිමය උපදෙස් ලබා දෙන්න කාරුණික වෙලා තියෙනවා. ඔහු ගැන තිබුණු විශ්වාසය නිසා තමයි මේ පවුල් දෙක ස්නෝඩන්ට රැකවරණය දෙන්න එකඟ වෙලා තියෙන්නේ.

මේ ශ්‍රී ලාංකිකයන් ගැන වර්තමාන තොරතුරු

කොහොම වුණත් සවුත් චයිනා මෝනින් පෝස්ට් (South China Morning Post) එකේ පළ කෙරුණු වාර්තාවකට අනුව මේ ශ්‍රී ලාංකික පිරිසට මෑතකදී නීතිමය ගැටලුවකට මුහුණ දෙන්න වෙලා තියෙනවා. ඔවුන්ගේ නීතිඥයා කලට වෙලාවට අදාළ ලිපි ලේඛන සපයා නැති නිසා ඔවුන්ට දැන් අනවසරයෙන් රැඳී සිටීම වෙනුවෙන් නඩු පවරන්න හොංකොංහි බලධාරීන් කටයුතු කරලා තියෙනවා. මේ නිසා ඔවුන්ව හොංකොං වලින් පිටුවහල් කෙරෙන තත්වයක් ඇති වෙලා.

මේ ගැන පළ වුණු ප්‍රවෘත්ති වාර්තාවකට අනුව මේ පිරිසේ නීතිඥයා වන ටිබ්බෝ (ඔහු තමයි ස්නෝඩන් සඟවන්න කටයුතු කළෙත්) තමන්ට එකවර 30 දෙනෙකුගේ ලිපි ලේඛන අලුතෙන්ම සකසන්න බැරි වුණු බව කියලා තියෙනවා. අවුරුදු දෙකකට වැඩි කාලයක් තිස්සේ කිසිම අවධානයක් ලැබිලා නොතිබුණු මොවුන් ගැන හොංකොං බලධාරීන් එක පාරටම උනන්දු වෙලා හැම කෙනාගෙම ලිපි ලේඛන සම්පූර්ණ කරලා එවන්න කියලා දැනුම් දීලලු. නමුත් තමන් භාර ගත්තු වෙනත් වැඩ රාජකාරි ගොඩක් තියෙන නිසා ඒ ලිපි සේරම ලබා දුන් කාලය ඇතුලේ අවසන් කරගන්න තමන්ට බැරි වුණු බව ටිබ්බෝ දැනුම් දීලා තියෙනවා.

“මට තේරෙනවා හොංකොං බලධාරීන් මාව ඉලක්ක කරගෙනම මේක කරලා තියෙන බව. මම සම්පූර්ණ නොකරපු නඩු 30ක් තියෙන බව ඔවුන් දැනගෙන හිටියා. දැන් ඒ සේරම එකවර සම්පූර්ණ කරන්න කියලා මට දැනුම් දීලා.” ටිබ්බෝ ප්‍රකාශ කරනවා. “මට වැටහෙන විදිහට මේක මගේ සේවාදායකයන් ගැන හොයන්නේවත් නැතිව ඔවුන්ගේ පුරවැසිභාවය සඳහා වන ඉල්ලීම් අහක දාන්න හොංකොං බලධාරීන් හදපු උපායක්. මේක කිසිසේත්ම සාධාරණ නැහැ!”

ටිබ්බෝට අනුව මෑතකදී පිටුවහල් වීමේ අවදානමක් නැති එකම පුද්ගලයා ස්නෝඩන්ට මුලින්ම රැකවරණය සලසපු අජිත් පුෂ්පකුමාර විතරයි. ඔහුගේ පුරවැසි ඉල්ලුම් පත්‍රය සකස් කරලා යවන්න පුළුවන් වුණු නිසා කෙටි කාලයකට හරි හොංකොං වල ඉන්න ඉඩ ලැබේවි කියලා ටිබ්බෝ අපේක්ෂා කරනවා.

එඩ්වඩ් ස්නෝඩන් මුල අමතක කරලා නැහැ

පසුගිය දෙසැම්බර් 25 වැනිදා මේ පිරිස මුහුණ දීලා ඉන්න ප්‍රශ්නය ගැන ස්නෝඩන් පවා ප්‍රතිචාරයක් දක්වලා තිබුණා. ඔහු තමන්ගේ ට්විටර් ගිණුම හරහා මේ ගැන දැනුවත් කරලා තිබුණේ මේ විදිහටයි.

ඔබේ තුළ වෙසෙන ක්‍රියාකාරී පුද්ගලයා වෙනුවෙන් අවසන් මොහොතේ හරි තෑග්ගක් දෙන්න කැමතිද? මාව පොළොව යට සඟවා තබාගෙන රැකවරණය ලබා දුන් අයට කැනඩාවේ පදිංචි වෙන්නට උපකාරයක් වෙන්න. https://t.co/8uBbJse6ap

එඩ්වඩ් ස්නෝඩන් (@Snowden) දෙසැම්බර් 24, 2016

මීට අමතරව ස්නෝඩන්ට රැකවරණය සලසපු අයට කැනඩාවේ පුරවැසිබව ලබා ගන්න උපකාරයක් විදිහට මුදල් එකතු කිරීමේ වැඩසටහනකුත් මේ මාසය මුලදී ආරම්භ වුණා. මේ පිරිසේ ශ්‍රී ලාංකික පවුල් දෙකක්ම ඉන්නවා. ඔවුන්ට තමන් බලාපොරොත්තු වුණු විදිහට හොංකොං වලම හරි, නැතිනම් කැනඩාවේ හරි ජීවත් වෙන්න අවස්ථාව හිමි වේවිද කියන එක ගැන කියන්න තවමත් කල් වැඩියි.

අපිත් බලමු ඉදිරියට මොකද වෙන්නේ කියලා.

පරිවර්තනය: ඉන්ද්‍රජිත් ගමගේ

Related Articles