Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ෂැම්පු බෝතල්වල රහසේ ඌරු ශුක්‍රාණු ප්‍රවාහනය කරයි!

ඕස්ට්‍රේලියාව යමක් ආනයනය කිරීමේ දී එහි ආරක්ෂාව හා තත්ත්වය පිළිබඳව සුපරික්ෂාකාරී වෙන රටක්. විශේෂයෙන් සිය සත්ත්ව ගොවිපොළවල සතුන් ගෙන් පැටවුන් ලබාගැනීම සඳහා ශුක්‍රාණු වැනි දේ ආනයනය කිරීමේ දී ඔවුන් ඉතා ප්‍රවේශම් වන්නේ, ඒත් සමග දරුණු රෝගාබාධ සාදන විශබීජ වැනි දේ සිය රට පැමිණීමේ විශාල අවදානමක් තිබෙන නිසා යි.

ඕස්ට්‍රේලියානු වෙළඳපොළ ඉතා තරඟකාරීයි. මේ නිසා එකිනෙකා අභිබවා යන්නට බොහෝ දෙනෙකු අතර තරඟයක් තිබෙනවා. සත්ත්ව පාලනය සම්බන්ධයෙන් එය වඩාත් ප්‍රබල ලෙස දැකගත හැකියි. මේ නිසා සමහරක් සත්ත්ව ගොවිපොළවල හිමිකරුවන් බලධාරීන්ගෙන් වසන් වී විවිධාකාරයේ පෝෂක වැනි දේ ආනයනය කරනවා. එය නව මානයකට ගෙනයමින් ඩෙන්මාර්ක ඌරන්ගෙන් ලබාගත් ශුක්‍රාණු ෂැම්පු බෝතල් තුළ බහා අනවසරයෙන් ඕස්ට්‍රේලියාවට ගෙන ආ දෙදෙනෙකු පිළිබඳව පසුගිය දා එරටින් වාර්තා වුණා.

ඕස්ට්‍රේලියානු ඌරු ගොවිපළ කර්මාන්තය ඉතා තරඟකාරියි- maltatoday.com.mt

පුවත සැකෙවින්

ඕස්ට්‍රේලියානු සත්ත්ව පාලකයින් දෙදෙනෙකු වන ටෝබන් සොරෙන්සන් හා හෙනින් ලාවු පසුගිය දා බන්ධනාගාරගත කොට ඇත්තේ වසර ගණනාවක් තිස්සේ අනවසරයෙන් ෂැම්පු බෝතල් තුළ බහා ඩෙන්මාර්ක ඌරන්ගේ ශුක්‍ර තරලය ඕස්ට්‍රේලියාවට ප්‍රවාහනය කිරීම නිසා යි. මෙමඟින් එරටෙහි සත්ත්ව කර්මාන්තය හා ජනතාව ඉතා දැඩි ලෙස අනතුරේ හෙළූ බවට ඔවුනට චෝදනා එල්ල වෙනවා. විශේෂයෙන් මෙමඟින් බොහෝ පහසුවෙන් කුර හා මුඛ රෝගය, මහමාරිය හා අප්‍රිකානු සූකර උණ වැනි රෝග ඕස්ට්‍රේලියාවට පැමිණීමේ අවදානමක් පැන නැග තිබුණා.

ඕස්ට්‍රේලියාවේ ඒ.බී.සී මාධ්‍ය ජාලයට අනුව මෙලෙස පොලිස් අත් අඩංගුවට පත් වී තිබෙන්නේ ජී.ඩී පෝක් නම් සත්ත්ව ගොවිපොළෙහි කළමනාකාර අධ්‍යක්ෂක හා නිෂ්පාදන කළමණාකරුවා යි. මොවුන් විසින් 2009 වසරේ සිට 2017 වසර දක්වා වසර 8ක කාලයක් තිස්සේ මෙලෙස ඕස්ට්‍රේලියාවට ඌරු ශුක්‍ර තරලය ගෙන්වාගෙන ඇති අතර, එමඟින් ඌරන් 2000ක් පමණ උත්පාදනය කර තිබෙනවා. මේ සඳහා මේ ශුක්‍ර තරලය ඊරියන් 200කට පමණ ඇතුළත් කර ඇති බවට සැලකෙනවා.

මෙලෙස එල්ල වූ චෝදනාවලට දෙදෙනාම වැරදිකරුවන් වූ අතර සොරෙන්සන් හට වසර තුනක සිර දඬුවමක් හා ලාවු හට වසර දෙකක සිර දඬුවම් ලැබී තිබෙනවා. මීට අමතරව ඩෙන්මාර්කය හා සම්බන්ධතා ඇති සමාගමක් වන ජී. ඩී පෝක් සමාගමෙන් ඇමෙරිකානු ඩොලර් 337,400ක දඩයක් ද ඕස්ට්‍රේලියානු රජය මඟින් අය කරගෙන තිබෙනවා.

ශුක්‍රාණු ආනයයනය කිරීමේ පරමාර්ථය

ඩෙන්මාර්ක ඌරන් සාමාන්‍යයෙන් එක් මුරයකට පැටවුන් 6-7ක් පමණ ප්‍රසූත කරනවා. සොරෙන්සන් හා ලාවු උත්සහ දරා තිබෙන්නේ පින්ජාරා හි පිහිටි සිය ඌරු ගොවිපොළේ ඌරන් අතර ඩෙන්මාර්ක ඌරන්ගේ ජාන පතුරවා වැඩි ‘අස්වැන්නක්’ ලබා ගැනීමට යි. කෙසේ නමුත් ඕස්ට්‍රේලියානු නීතියට අනුව එය ඉතා බරපතල නීති උල්ලංඝනයක් වෙනවා. හදිසියේවත් මේ උත්සාහයේ දී ඕස්ට්‍රේලියාව තුළ ආගන්තුක වෛරසයක් වැනි රෝගකාරකයක් පැතිරී ගියා නම් අනතුරේ වැටෙන්නේ සත්ත්ව කර්මාන්තය පමණක් නොව මිනිස් ජීවිතවලටත් ඉන් විශාල වන්නට හැකියාව තිබූ බව එරට කෘෂිකර්ම ඇමතිනී බ්‍රිජට් මැකෙන්සි පවසනවා.

ටෝබන් සොරෙන්සන්- Finrone Systems

සංකීර්ණ තත්ත්වයක්

සොරෙන්සන්ට එරෙහිව නඩු තීන්දුව ප්‍රකාශ කිරීමත් සමග එයට විරෝධය පෑ සොරෙන්සන්ගේ නීතීඥයා පවසා සිටියේ මේ ‘ජාවාරම’ සොරෙන්සන් ගේ අදහසක් නොවන බව යි. එමෙන්ම ඔහු එහි වැඩි කොටසක් නොදන්නා බවත් ඔහු වැඩි දුරටත් පවසා සිටියා. ඇත්තෙන්ම මේ පසුපස සිටින්නේ ජී.ඩී පෝක්හි මව් සමාගම වන Pork Australia ApS නම සමාගම හා ඔවුන් සමග සම්බන්ධතා පවත්වන ඩෙන්මාර්ක සම්බන්ධතා පවත්වන ඩෙන්මාර්ක සමාගම් හා පුද්ගලයින් බව යි. විශේෂයෙන් Pork Australia ApS සමාගමේ සම හිමිකරුවෙකු වන, ඩෙන්මාර්ක ජාතික හෙන්රික් එන්ඩර්ලේන් මේ ආනයන බහුතරයක් පසුපස සිට තිබෙන බැව් ඔහු පවසනවා. සොරෙන්සන් මීට සම්බන්ධ වී ඇත්තේ 2012 වසරේ දී යි.

Pork Australia ApS සමාගම හා ජී.ඩී පෝක් යන සමාගම් දෙකම ඩෙන්මාර්ක සමාගම් නිසා ඔවුන්ගේ ව්‍යාපාරවලට අත තබන්නට ඕස්ට්‍රේලියානු රජයට ඍජු හැකියාවක් නැහැ. කෙසේ නමුත් මේ වන විට ඕස්ට්‍රේලියානු රජය ඕස්ට්‍රේලියාව තුළ ඔවුන් සිදුකරන ව්‍යාපාරවලට ලබාදෙන ණය වැනි පහසුකම් සියල්ල අත්සිටුවා තිබෙනවා.

සොරෙන්සන් ගේ නීතීඥයා ගෙන ආ තර්කයට පිළිතුරු දෙමින්, මෙම තීන්දුව ලබා දුන් විනිසුරු පවසා සිටියේ මේ ජාවාරමේ මහ මොළකරු ඕස්ට්‍රේලියානු අධිකරණයට ගෙන ආ හැකි තත්ත්වයක සිටියේ නම් අනිවාර්යයෙන්ම ලබා දෙන දඬුවම සොරෙන්සෙන් ට හා ලාවු ට වඩා වැඩි එකක් වන්නට තිබූ බව යි. මොවුන් දෙදෙනා මේ ක්‍රියාකාරම්වල නිරතව තිබෙන්නේ සිය සමාගමේ ඉහළින් පැමිණි බලපෑම්වලට යටත් වී බැව් තමන්ට හොඳින්ම වැටහෙන බැව් තවදුරටත් සඳහන් කළ ඔහු, ඒ කවර තත්ත්වය යටතේ වුවත් මෙලෙස ක්‍රියා කිරීම තුළින් ඕස්ටේලියානු නීතිය හා අන්තර්ජාතික ජෛව සුරක්ෂිතතා නීති පද්ධතිය ඔවුන් දෙදෙනා විසින් ඉතා තදබල ලෙස බිඳ දමා ඇති බව ද පවසා සිටියා. මේ නිසා යම් කිසි දඬුවමක් අනිවාර්යයෙන් පැමිණුවීම සිදු කළ යුතු බැව් ඔහු අවසානයේ කියා සිටියා.

ජාවාරම සොයාගත් ආකාරය

ඕස්ට්‍රේලියානු බලධාරීන් හට මෙම ජාවාරම පිළිබඳව ඉව වැටී තිබෙන්නේ 2017 වසරේ දී යි. ඔවුන් විසින් මේ හා සබැඳි ඊමේල් පණිවුඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා. ඒ අනුව ගොස් ඌරු කෙඳි සාම්පල කිහිපයක් සොයාගන්නට ඔවුන් සමත්ව තිබෙනවා. මේවා මඟින් ඒවායේ ජානමය පසුබිම අවබෝධ කරගත් ඔවුන් අවසානයේ ජාවාරම වටා දැල එළා තිබෙනවා.

අවසානය

අප්‍රිකානු සූකර උණෙන් ලොව පුරා ඌරන් විශාල ප්‍රමාණයක් මියගියා- realitatea.net

ඌරු ශුක්‍ර තරලය වැනි ජෛව ආරක්ෂාවට තර්ජනයක් ඇති දේ ඕස්ට්‍රේලියාවට ආනයනය කිරීම 1995 වසරේ පටන් ඉතා දැඩි ලෙස තහනම් කොට තිබෙනවා. මේ නිසා ලෝකයේ පසුගිය කාලයේ පැතිරී ගිය අප්‍රිකානු සූකර උණ වැනි රෝගවලින් ඕස්ට්‍රේලියාව ආරක්ෂා වුණා. කාගේත් වාසනාවට උක්ත ජාවාරම හේතුවෙන් කිසිදු රෝගකාරකයක් ඕස්ට්‍රේලියාවට ඇතුලත් වූ බවට මෙතෙක් සොයාගෙන නැහැ. එසේ වූවා නම් කෙටි කාලයක් තුළ ඇමෙරිකානු ඩොලර් බිලියන 3.6ක පමණ වටිනාකමක් ඇති ඕස්ට්‍රේලියානු ඌරු කර්මාන්තය සම්පූර්ණයෙන් විනාශ වන්නට තිබුණා. කුර හා මුඛ රෝගය රටට ඇතුළු වූවා නම් එය ඌරන්ට පමණක් නොව ගවයින්, එළුවන්, හා බැටළුවන්ටත් වැලඳෙන නිසා තත්ත්වය ඉතා බරපතල වන්නට තිබුණා. මේ වන විට ඕස්ට්‍රේලියානු රජය මෙහි අක්මුල් පිළිබඳව වැඩිදුර පර්යේෂණ සිදුකරමින් සිටිනවා.

Related Articles