Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මෑතකදී ඉවත් කළ ඩයස්පෝරා සංවිධාන තහනමේ සුලමුල

ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පසුගිය අගෝස්තු 14 වැනිදා පැවසුවේ තහනම් ද්‍රවිඩ සංවිධාන 6ක් හා පුද්ගලයන් 316කට ශ්‍රී ලංකා ආණ්ඩුව පනවා තිබූ තහනම පසුගිය අගෝස්තු 1 වැනි දා සිට ඉවත් කළ බව යි.

මේ සමඟ ම එම තීරණයට සමහර ශ්‍රී ලාංකික දෙමළ දේශපාලනඥයන් ප්‍රසාදය පළ කිරීම ගැන ද අපට අසන්නට ලැබුණා. මේ දෙමළ ඩයස්පෝරාවේ තහනම ඉවත් කිරීම ගැන කළ විමසිල්ලක්.

 දෙමළ ඩයස්පෝරාව ව්‍යාප්තව සිටින රටවල් – wikipedia.org

මොකක්ද මේ දෙමළ ඩයස්පෝරාව

‘ඩයස්පෝරා’ යන වචනය පැමිණ ඇත්තේ ග්‍රීක භාෂාවේ එන ‘ඩයස්පිරයන්’ කියන වචනයෙන්. ඩයස්පෝරා යන්නෙන් අදහස් කරන්නේ කුමක් හෝ හේතුවක් නිසා හෝ තමන්ගේ මවුරටින් පිට වාසය කරන ජන කොටස යි. ශ්‍රී ලංකාවේ සිටි දෙමළ ජාතිකයන් විශාල සංඛ්‍යාවක් 1983 කළු ජූලියෙන් පසු ව බටහිර ලෝකයේ පිළිසරණ පතා මෙරටින් පිට ව යාම දකින්නට ලැබුණා. ඒ ජාතිවාදීන් තම ඥාතීන් මරාදැමූ පසුබිමක යි.

කොටි සංවිධානය වර්ධනය වෙමින් උතුරේ යුද්ධය ඔඩුදුවන විට පිටරට පිළිසරණ පතන හා රැකියාවලට යන දෙමළ ජනතාව පසුව, ශීඝ්‍රයෙන් ඉහළ ගියා. ආර්ථික හා දේශපාලනික හේතු පදනම් කර ගෙන සිංහල හා මුස්ලිම් ජන කොටස් ද බටහිර, යුරෝපා රටවලට හා අමෙරිකානු මහද්වීපය කරා සංක්‍රමණය වන්නට පටන් ගත්තා.

 කැනඩාවේ ජීවත්වන දෙමළ ජනතාවගේ දරුවන් උත්සව අවස්ථාවකදී -wikipedia.org

 

ප්‍රධාන වශයෙන් යුරෝපය, අමෙරිකා එක්සත් ජනපදය, මහා බ්‍රිතාන්‍යය, ඕස්ට්‍රේලියාව, ඉන්දියාව, නවසීලන්තය, කැනඩාව හා මැදපෙරදිග කලාපයේ විශාල වශයෙන් ශ්‍රී ලාංකික ඩයස්පෝරා ජනතාවක් ජීවත් වෙනවා. මේ අතරින් ලක්ෂ පහලොවකට අධික ශ්‍රී ලාංකීය දෙමළ ඩයස්පෝරා ජන කණ්ඩායමක් විදේශවල ජීවත් වෙනවා. ඔවුන් විශාල ධනයක් ද උපයනවා. එම ජන සංඛ්‍යාව වැඩිපුර වසය කරන්නේ යුරෝපය, අමෙරිකාව, කැනඩාව, ඕස්ට්‍රේලියාව, මැලේසියාව, සිංගප්පූරුව, ජර්මනිය හා ඉන්දියාව වැනි රටවල යි.

වාර්තාවන අන්දමට සියලු ම දෙමළ ඩයස්පෝරා සංවිධාන හා පුද්ගලයන් ශ්‍රී ලංකාව තුළ වෙන ම දෙමළ ඊලාම් රාජ්‍යයක් පිහිටුවිය යුතු ය යන මතයේ නැහැ.  ඔවුන්ගෙන් පිරිසක් දෙමළ ජාතික සන්ධානය වැනි ප්‍රජාතාන්ත්‍රික දේශපාලන පක්ෂවල මතය ද දරනවා. තවත් පිරිසක් වෙනම දෙමළ රාජ්‍යයක් සඳහා පෙනී සිටිමින් රහසේ එයට ආධාරත් කරනවා.

 කොටි සංවිධානයට පක්ෂ ඩයස්පෝරා විරෝධතාවක්- nytimes.com

ඩයස්පෝරා තහනමේ අතීතය

ශ්‍රී ලංකා රජය විදෙස්ගත දෙමළ සංවිධාන හා පුද්ගලයන් තහනම් සංවිධාන  හා පුද්ගලයන් ලෙස ප්‍රකාශයට පත් කරන්නේ ඔවුන් ත්‍රස්තවාදයට මූල්‍යමය ආධාර සපයන්නන් ලෙස පවසමින්. මෙම සංවිධාන ඊළම සඳහා අරමුදල් රැස් කිරීම, ව්‍යවස්ථාපිත ක්‍රියාමාර්ග මඟින් ඊළම ලබා ගැනීමට තැත් කිරීම, යුද අපරාධ චෝදනා එල්ල කරමින් ශ්‍රී ලංකා රාජ්‍යයට බලපෑම් කිරීම ආදි හේතු නිසා ඒවා තහනම් කළ බව ආණ්ඩුව එකල පැවසුවා.

1968 දී සම්මත කළ එක්සත් ජාතීන්ගේ අංක 45 දරන පනත යොදා ගනිමින් තමයි 2014 දී මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ඩයස්පෝරා දෙමළ සංවිධාන 16 ක් සහ විදේශගත දෙමළ ජාතිකයන් 424 දෙනකු තහනමට ලක් කළේ.

ඉන් සංවිධාන 8ක් හා පුද්ගලයන් 269 දෙනකුගේ තහනම රනිල් වික්‍රමසිංහ අගමැති ධුරය දැරූ යහපාලන ආණ්ඩුව පැවැති සමයේ 2015 නොවැම්බර් 20 වැනිදා ඉවත් කෙරුණා. එම ආණ්ඩුව යටතේ ම 2016 නොවැම්බර් 9 වැනිදා තවත් පුද්ගලයන් 69කගේ තහනම ඉවත් කළා.

යහපාලන ආණ්ඩුව පැවැති කාලයේ ම 2018 ජුනි 20 දින තහනම් පුද්ගලයන් ගණන 100ක් ලෙසත්, 2019 මැයි 23 වැනි දා එම සංඛ්‍යාව 125ක් ලෙසත් හා 2019 සැප්තැම්බර් 9 වැනි දා පුද්ගලයන් 188ක් ලෙසත් තහනම අඩුවැඩි වුණා. තහනම් සංවිධානවල සංඛ්‍යාවත් 8 සිට 8, 11, 11වශයෙන් වෙනස්වීම්වලට ලක් වුණා. ගෝලීය දෙමළ සංසදය වැනි සංවිධාන විටෙක හොඳ වීමටත් හිටිගමන් තහනම් කිරීමටත් හේතු කවරේද යන්න සාමාන්‍ය ජනතාවට නම් ප්‍රශ්නයක් වෙලා.

 කැනඩාවේ ජීවත්වන දෙමළ ජනතාව – tamilculture.com

ගෝඨාගේ තහනම

ගෝඨාභය රාජපක්ෂ 2019 නොවැම්බර් මස 16 වන දින පැවති ජනාධිපතිවරණයෙන් ශ්‍රී ලංකාවේ 7 වන විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වුණා. ඔහු විශාල වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබා ගනිමින් ජයග්‍රහණය කළ අතර ඔහුට වැඩිපුර ලැබුණේ සිංහල බෞද්ධ ඡන්ද යි. ඔහු ජාතිවාදී මුහුණවරකින් තමයි මැතිවරණ ප්‍රචාරණයත් මෙහෙයවූයේ.

රාජ්‍ය ආරක්ෂාවට තර්ජනයක් බව පවසමින් 2021 දී විශාලත ම දෙමළ ඩයස්පෝරා සංවිධාන සංඛ්‍යාවක් හා පුද්ගලයන් සංඛ්‍යාවක්  තහනම් ලැයිස්තුවට ඇතුළත් කර ගැසට් නිවේදනයක් ඔහු නිකුත් කළා. එම පුද්ගලයන් සංඛ්‍යාව 577ක් වන අතර දෙමළ සංවිධාන 18ක් ද  එයට අයත්. ඒ 2021 පෙබරවාරි 25වැනිදා නිකුත් කළ අංක 2216/37 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය මඟිනු යි.

 ඉතාලියේ වෙසෙන සිංහල සහ දෙමළ ජනතාව එක්ව කළ විරෝධතාවක් – sundayobserver.lk

රනිල්ගේ තහනම රිවස් කිරීම

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා, ගෝඨාගේ එම තහනම ඉවත් කිරීමට පසුගිය දා  කටයුතු කළා. දැන් තහනම් දෙමළ සංවිධාන සංඛ්‍යාව 15ක් දක්වා අඩුවී ඇති අතර තහනම් පුද්ගලයන් සංඛ්‍යාව 316ක්. ඒ පුද්ගලයන් 316 දෙනකුගේ හා සංවිධාන 6ක තහනම ඉවත් කිරීමෙන් පසුව යි. රනිල් ජනපතිගේ මේ තීරණයට ආණ්ඩු පක්ෂයේ වැඩි දෙනකුගේ එකඟතාව තිබේ ද කියා නම් සැක යි. පාර්ලිමේන්තුවේ බහුතර බලය පවතින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මේ ගැන මෙතෙක් පැවැති ස්ථාවරය රටට ම රහසක් නොවෙයි.

දැනට රට මුහුණු දෙන ඩොලර් හිඟය හා ආර්ථික අර්බුදය හමුවේ දෙමළ ඩයස්පෝරාව මෙරට විදේශ විනිමය අයෝජනය කිරීමේ කැමැත්තක් ඇති බව සමහර අවස්ථාවල දී පවසා තිබුණා. ඒ සම්බන්ධයෙන් ඉදිරි සාකච්ඡා සඳහා ඉදිරි පසුබිම නිර්මාණය කිරීමේ අරමුණින් මෙම තහනම ඉවත් කිරීමට කටයුතු කළ බව සමහර දේශපාලන විචාරකයන් පවසනවා.

 තහනම් කළ ඉස්ලාමීය ශිෂ්‍ය සංගමයේ ලාංඡනය- soundcloud.com

තහනම් අලුත් සංවිධාන 3ක්

අගෝස්තු 1 වැනි දා ගැසට් නිවේදනය මඟින් ම තවත් පුද්ගලයන් 55ක් සහ ඉස්ලාමීය සංවිධාන 03ක් තහනම් සංවිධාන ලැයිස්තුවට අලුතින් ඇතුළත් කිරීමට ද ආරක්ෂක අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා. එසේ තහනම් කර ඇත්තේ 2016 නොවැම්බර් 09 වැනිදා දිනයෙන් යුතු 1992/25 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය සංශෝධනය කරන බව සඳහන් කරමින්. මෙම ගැසට් නිවේදනයේ ප්‍රශ්නයක් පවතින බව යි නීති ක්ෂේත්‍රෙයේ ප්‍රවීණයන් පවසා සිටින්නේ.
අගෝස්තු මස පළමුවැනිදා නිකුත්කළ අති විශේෂ ගැසට් නිවේදනයේ 2021 පෙබරවාරි 25 වැනිදා සංවිධාන තහනම් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය සම්බන්ධ ව කිසිදු සඳහනක් නොවීම එයට හේතුව යි.

අගෝස්තු මස පළමුවැනිදා නිකුත්කළ අංක 2291/02 දරන අතිවිශේෂ ගැසට් නිවේදනයේ ඇතුළත් අලුතින් තහනම් කළ සංවිධාන මෙසේය:

⦁ දාරුල් අදර් හෙවත් ජමිඋල් අදර් මොස්ක් හෙවත් ධාරුල් අදර් කුරාන් මද්‍රාසා හෙවත් දාරුල් අදර්.
⦁ ශ්‍රී ලංකා ඉස්ලාමීය ශිෂ්‍ය සංගමය (SLISM) හෙවත් ජමියා
⦁ සේව් ද පර්ල්ස් හෙවත් සේව් ද පර්ල් සමාජය

මෙම සංවිධාන තුන ම තහනම් සංවිධාන ලැයිස්තුවට එකතු කිරීමට හේතුව ත්‍රස්තවාදය හා සම්බන්ධ ක්‍රියාකාරකම් බව යි ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කරන්නේ. බොහෝවිට මෙයට පාස්කු ප්‍රහාරය හා සම්බන්ධ ක්‍රියාකාරකම් බලපාන්නට ඇති බව පේනවා.

 තහනමෙන් මිදුණු ගෝලීය දෙමළ සංසදයේ ප්‍රකාශක සුරේන් සුරන්දිරන් -twitter.com

 

නව ගැසට් පත්‍ර සංශෝධනය යටතේ තහනම් ලැයිස්තුවෙන් ඉවත් කළ සංවිධාන හය මෙසේ යි:

⦁ ඔස්ට්‍රේලියානු දෙමළ කොංග්‍රසය – ATC
⦁ ගෝලීය දෙමළ සංසදය – GTF
⦁ ලෝක ද්‍රවිඩ සම්බන්ධීකරණ කමිටුව – WTCC
⦁ ද්‍රවිඩ ඊලාම් ජනතා සම්මේලනය – TEPA
⦁ කැනේඩියානු දමිළ කොංග්‍රසය – CTC
බ්‍රිතාන්‍ය දමිළ සංසදය – BTF

මෙම සංවිධානවල සහ පුද්ගලයන්ගේ තහනම ඉවත් කිරීම කෙරෙහි බලපෑවේ පසුගිය කාලය තුළ ඒවායේ ක්‍රියාකාරිත්වය ගැන කළ අධ්‍යයන බවත් ආරක්ෂක අමාත්‍යංශ නිවේදනයේ සඳහන් වෙනවා. එහිදී එම අධ්‍යයනවල නිර්දේශ අනුව අගොස්තු 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ තහනම ඉවත් කළ බව සඳහන් කරනවා. ගෝඨාභය රජය මඟින් මෙරට ක්‍රියාකාරීත්වය තහනම් කළ ගෝලීය දෙමළ සංසදයේ ප්‍රකාශක සුරේන් සුරන්දිරන් සම්බන්ධයෙන් පනවා තිබූ තහනම ද ඉවත් කර තිබෙනවා.

තවදුරටත් විමුක්ති කොටි සංවිධානය, දෙමළ පුනරුත්ථාපන සංවිධානය, දේශ සීමා ඉක්ම වූ දෙමළ ඊළාම් රාජ්‍යය ඇතුළු සංවිධාන 15ක් අසාදු ලේඛනයේ රඳවා තිබෙනවා. කෙසේ වුවත් ගෝඨාභය බලයට ගෙනඒමට විශාල සයෝගයක් දැක්වූ දේශපාලන පක්ෂ අසන්නේ මෙරට ජාතික ආරක්ෂාවට හානිකර අන්දමින් කටයුතු කළ ජාත්‍යන්තර දෙමළ සංවිධානවලට පනවා තිබූ තහනම ඉවත් කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය පියවර ගෙන ඇත්තේ කවර හේතු නිසාද යන්න රට හමුවේ පැහැදිලි කළ යුතු බව යි.

 දෙමළ ඩයස්පෝරාව අමරිකාවේ එක්සත් ජාතින්ගේ ගොඩනැගිල්ල අසල විරෝධතාවක- theleader.lk

 

දෙමළ පක්ෂ කැමතියි

තහනම ඉවත් කිරීමට රජය ගත් තීරණය සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය, ඊ.පී.ඩී.පී. පක්‍ෂය ඇතුළු දෙමළ දේශපාලන පක්‍ෂ බහුතරයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත සිය ප්‍රසාදය පළ කළ බව වාර්තා වුණා. දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි එම්. ඒ. සුමන්තිරන් පැවැසුවේ ජනාධිපතිවරයාගේ මෙම තීරණය අගය කරන බව යි.

මෙසේ තහනම ඉවත් කෙරුණු සංවිධාන හා පුද්ගලයන් පසුගිය කාලයේ ත්‍රස්තවාදී ක්‍රියාවලට සම්බන්ධ බවට කිසිවිටෙක සනාථ කොට නොතිබුණු බව පෙන්වා දුන් සුමන්තිරන්, මෙම සංවිධාන තහනම් කළේ කිසිදු සොයා බැලීමකින් තොර ව බව ද පවසනවා.

කවරයේ ඡායාරූපය- දෙමළ ඩයස්පෝරා ජනතාව පිටරටක උද්ඝෝෂණයක- humanright.de

මූලාශ්‍ර:
bbc.com
economynext.com
ft.lk

Related Articles