Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

බංග්ලාදේශය උණුසුම් කරන තරුණ විරෝධතා

තරුණ විරෝධතා සහ නීති රීති උල්ලංඝනය කරමින් ධාවනය කරන බස් රථ හේතුවෙන් සිදු වන අනතුරු ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ දකුණු ආසියාතික රටවලට ඒ හැටි ආගන්තුක කාරණාවක් නොවේ. මේවා නිසා ඒ ඒ රටවල එදිනෙදා ජන ජීවිතයට, ආර්ථිකයට, මෙන්ම ආරක්ෂාවටත් බාධා ඇති වෙනවා. පසුගිය දිනෙක නොසැලකිලිමත් බස් රථ රියැදුරෙක් නිසා බංග්ලාදේශයේ නව යොවුන්වියෙහි පසු වූ තරුණයෙකු හා තරුණියක ජීවිතක්ෂයට පත්වීමත් සමග එහි තරුණ ප්‍රජාව, නොසැලකිලිමත් ප්‍රවාහන සේවයන්ට හා ඒවාට අත්තනෝමතික ලෙස හැසිරීමට ඉඩ ලබා දෙන දූෂිත පොලිස් නිලධාරීන්ට එරෙහිව පාරට බැස්සා. මේ නිසා අද වන විට බංග්ලාදේශයේ අගනුවර වන ධකාහි එදිනෙදා කටයුතු බොහෝ සෙයින් අකර්මන්‍ය වී තිබෙනවා.

Reuters

සිද්ධිය සැකෙවින්

පසුගිය ජූලි 29 වන දා බංග්ලාදේශයේ ගුවන්තොටුපොළ මාර්ගය ආසන්නයේ රැඳී සිටි සිසුන් පිරිසක් වෙතට බස් රථයක් කඩා වැදී තිබෙනවා. දහවල් 12.30ට පමණ මෙම අනතුර සිදු වී තිබෙන්නේ පෞද්ගලික බස් රථ අතර ඇති තරගය හේතුවෙන් එකිනෙක පරයමින් ධාවනය කරමින් තිබූ බස් රථයක් රියැදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැනීම හේතුවෙනු යි. මේ හේතුවෙන් දියා කනාම් මීම් යන සිසුවිය හා අබ්දුල් කරීම් රජීබ් යන සිසුවා එම ස්ථානයේ දී ම මරු දුටුවා. තවත් සිසු සිසුවියන් 7 දෙනෙකුට සැලකිය යුතු මට්ටමේ තුවාල සිදු වුණා.

මියගිය සිසුවා හා සිසුවිය – dhakatribune.com

මේ සිද්ධිය නිසා මියගිය සිසුන් දෙදෙනාගේ මිතුරන් හා ඒ තදාසන්න වැසියන් ප්‍රකෝපකාරී ලෙස හැසිරෙන්නට පටන් ගත් අතර ඔවුන් විසින් මාර්ගයෙහි ගමන් කරමින් තිබූ බස් රථ 50ක් 60ක් පමණ නවත්වා අලාභ හානි සිදු කොට තිබෙනවා. මීට අමතරව තවත් බස් රථ 2ක් ගිනි තබා සම්පූර්ණයෙන් විනාශ කර තිබෙනවා. මේ හේතුවෙන් ධකා නුවර ආරක්ෂාව වහාම ක්‍රියාත්මක වන පරිදි තරකිරීමට සිදු වූ අතර ආරක්ෂක අංශවල නියමයන් පිළිගැනීමට ප්‍රකෝපකාරී ජනතාව සූදානම් නොවීම නිසා තත්ත්වය වඩා උණුසුම් වුණා. මෙම සිද්ධිය ලැව් ගින්නක් සේ සමාජ මාධ්‍ය ඔස්සේ ගලා යාමත් සමග තව තවත් තරුණ පිරිස් කළ කෝලාහලවලට එක් වීම නිසා බංග්ලාදේශය පුරා ප්‍රවාහන බස් රථවලට මෙන්ම පොලිසියට ද එරෙහි විරෝධතා රැල්ලක් ව්‍යාප්ත වුණා.

ප්‍රකෝපකාරී සිසුන් බස් රථයකට පහර දෙමින් -Mehedi Hasan/Dhaka Tribune

තත්ත්වය වඩාත් දරුණු අතට

බංග්ලාදේශයේ තරුණ විරෝධතාවලට අත්තටු ලැබුණේ එරට වර්තමාන රජයෙහි ඇමතිවරයෙකු වන සාජහාන් ඛාන් විසින් කළ ප්‍රකාශයක් සමග යි. ඔහු ඉන්දියාවේ පසුගිය දා සිදු වූ බස් රථ අනතුරක් හුවා දක්වමින් ඉන්දියාවේ 33 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූවත් මෙතරම් ඒ ගැන කතා වන්නේ නැතැ යි පැවසූ අතර මෙය බංග්ලාදේශය තුළ සිදු වූ බස් රථ අනතුර සුළු සිද්ධියක් හැටියට ගෙනහැර පෑමට කළ උත්සාහයක් බව දක්වමින් වැඩි වැඩියෙන් ජනයා වීදි බැස්සා. මොහු බංග්ලාදේශයේ ප්‍රබල ප්‍රවාහන සමාගම් සමග සමීප ඇසුරක් පවත්වන්නෙකු ලෙස ප්‍රකට යි. මේ සමග නැගුණු ජන විරෝධය ආණ්ඩු විරෝධී එකක් බවට පත් වීමේ පෙර ලකුණු පෙනෙමින් තිබෙනවා. බංග්ලාදේශ ආරක්ෂක අංශ ද සමහර අවස්ථාවල දී දැඩි ක්‍රියාමාර්ග ගෙන විරෝධතාකරුවන් මැඩ පැවැත්වීමට ක්‍රියා කරන්නට පටන්ගෙන තිබෙනවා.

උද්ඝෝෂණ මැඩ පවත්වන බංග්ලාදේශ පොලීසිය -AP/9news.com.au

ජනතා විරෝධය පාලක පක්ෂය දෙසට හැරීමත් සමග එරට වර්තමාන අගමැතිනි ෂෙයික් හසීනා මාධ්‍ය වෙත පවසා තිබුණේ මේ අරගල පසුපස විරුද්ධ පක්ෂය සිටින බව යි. මෙයින් බංග්ලාදෙශ තරුණයින් වඩාත් ප්‍රකෝපකාරී වුණා. ප්‍රවාහන සමාගම්, පොලිසියට, මෙන්ම රජයටත් එරෙහිව පාරට බසින තරුණයින් ප්‍රමාණය දිනෙන් දින වැඩි වන ලකුණු පෙන්නුම් කරන්නට වුණා. ආරක්ෂක අංශ සිය අවම බලය යොදා මේවා විසිරුවා හැරීමට ගත් උත්සාහය ව්‍යර්ථ වූ තැන මේවාට මූලික වන අය සමග සාකච්ඡා කිරීමට උත්සාහ කළත් එය ව්‍යර්ථ වී ඇත්තේ මේවා යම් සංවිධානාත්මක කණ්ඩායමකට වඩා බංග්ලාදේශ ප්‍රවාහන සේවය හා ආරක්ෂක අංශ කෙරෙහි කලකිරීමට පත්ව වෙන් වෙන් වශයෙන් ස්වෙච්ඡාවෙන් ඉදිරිපත්වූ තරුණයින් රැසක් නිසා ඇති වී ඇති බැව් පෙන්නුම් කෙරෙන නිසා යි.

වර්තමාන තත්ත්වය

අනතුර සිදුවී සතියක් ගත වන විටත් ධකා නුවර වීදි ‘යුක්තිය’ ඉල්ලා උද්ඝෝෂණය කරන නව යොවුන් ජනයාගෙන් පිරී පවතිනවා. මේ නිසා ධකා නුවර එදිනෙදා කටයුතු රැසක් අඩපණව තිබෙනවා. සමාජ මාධ්‍යයන් ඔස්සේ සිදුවන උසිගැන්වීම් නිසා පසුගියදා බංග්ලාදේශයේ ජංගම දුරකථන සේවා පවා පැය 24කට අත්සිටුවන්නට රජය විසින් තීරණය කර තිබුණා. මෙහි දී ඇතැම් පාසල් සිසුන් සිය පාසල් නිල ඇඳුම පිටින්ම විරෝධතාවලට සහභාගී වී සිටිනු දැකිය හැකි යි. විරෝධතාකරුවගේ තවත් ප්‍රධානතම ඉල්ලීමක් වනුයේ රටේ ප්‍රවාහන පද්ධතිය අරබයා වූ නීති යහපත් ලෙස සංශෝධනය කිරීම යි. එමඟින් ජනතාවගේ ආරක්ෂාව තර කරන ලෙස ඔවුන් ඉල්ලා සිටිනවා.

සාජහාන් ඛාන්ගේ පඹයෙකු පුළුස්සන විරෝධතාකරුවන් – AP

විශේෂයෙන්ම බලපත්‍ර නොමැති රියැදුරන් ප්‍රවාහන සේවා බස් රථ ධාවනය කරන තැනට බංග්ලාදේශය පත් වී තිබීම වහාම වෙනස් කළ යුතුයැ යි ඔවුන් පවසනවා. ධකා නුවර පාසල් වසා ඇති අතර තානාපති කාර්යාලවල ද වැඩ කටයුතු මේ නිසා අඩපණ වී තිබීම හේතුවෙන් ජාත්‍යන්තර අවධානය ද මේ වන විට බංග්ලාදේශයට යොමුව තිබෙනවා. අරගල හේතුවෙන් සිදු වූ දේපල හානි ද සුළු පටු නැති අතර සැලකිය යුතු ප්‍රමාණයක් තුවාල ලබා තිබෙනවා.

මේ අතර බංග්ලාදේශයේ ඇමරිකානු තානාපති ගමන් කළ නිල රථයට ද ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. එමඟින් ඔහුට හානියක් සිදු වී නැහැ. කෙස් නමුත් පසුගිය ඉරිදා ප්‍රකාශයක් නිකුත් කළ බංග්ලාදේශයේ ඇමෙරිකානු තානාපති කාර්යාලය මෙම උද්ඝෝෂණ මැඩලීමට බංග්ලාදේශ ආරක්ෂක අංශ ගන්නා මර්දනකාරී පිළිවෙත් අනුමත නොකරන බව ප්‍රකාශ කළා.

පසුවදන

විරෝධතාවලට සහභාගී වූ කුඩා දරුවෙක් – AP

බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා පසුගිය දා මියගිය සිසුන් දෙදෙනා වෙනුවෙන් සිය ශෝකය ප්‍රකාශ කළ අතර  සාජහාන් ඛාන් ඇමතිවරයා සිය ප්‍රකාශය සම්බන්ධයෙන් ජාතියෙන් සමාව භජනය කළා. කෙසේ නමුත් විරෝධතාකරුවන් එයින් සෑහීමකට පත්ව නැහැ. පසුගිය වසරේ බංග්ලාදේශයේ මාර්ග අනතුරු හේතුවෙන් මියගිය පදිකයින් ගණන 4200කට අධික වන අතර එය 2016 වසරට වඩා 25%ක වැඩි වීමක්. මෙයට හේතුව ප්‍රවාහන සමාගම් දූෂිත වීමත්, එකිනෙක පරයා සිය ආදායම් වැඩි කර ගැනීමට උත්සාහ කිරීමත් වැනි කරුණු යි. බොහෝ දෙනා පවසන පරිදි වසර ගණනාවක් පුරා පැසවමින් තිබූ තුවාලයක් මේ සිද්ධිය ඔස්සේ මෙලෙස පිට දමා තිබෙනවා. ස්ථිර විසඳුමක් ලැබෙන තුරු උද්ඝෝෂණ නැවැත්වීමට සූදානම් නැතැ යි විරෝධතාකරුවන් පවසනවා. ශ්‍රී ලංකාව ඇතුළු අනෙකුත් දකුණු ආසියා රටවලත් තත්ත්වය මීට සමාන අතර මේ සිද්ධියෙන් ඔවුන් ද පාඩම් ඉගෙනගත යුතුයැ යි විචාරකයින් පවසනවා.

ආරක්ෂක අංශ ප්‍රහාරවලින් තුවාල ලැබූ තරුණියක් – AP/9news.com.au

කවරයේ පින්තූරය -AP

Related Articles