Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

රේඩියම්වල භයානක බව තහවුරු කළ ජීවමාන නිදසුන: එබන් බයර්

නොබෙල් ත්‍යාගලාභී විද්‍යාඥ යුවළක් වූ මාරි කියුරි සහ පියරි කියුරි සොයා ගත් විකිරණශීලි මූලද්‍රව්‍යයක් වන රේඩියම් ශරීරගත වූ විට බරපතල රෝග තත්ත්වයන් ඇති වන බව අද වන විට තහවුරු වී තිබේ. ඒ බව අනාවරණය ව නොතිබූ සමයක එක්සත් ජනපදයේ ජීවත් වූ ධනවත් ව්‍යාපාරිකයෙක් වූ එබන් බයර්ස් රේඩියම් අඩංගු ඖෂධයක් අධි මාත්‍රාවලින් පරිභෝජනය කිරීම හේතුවෙන් අතිශය බරපතල රෝග තත්ත්වයන්ට ගොදුරු ව අවසන දුක්සහගත මරණයකට පත්වූයේ ය.

රේඩියම් පමණක් නොව වෙනත් ඕනෑම විකිරණශීලි ද්‍රව්‍යයක් ශරීරගත වීම පිළිකා ඇතුළු සුව කළ නොහැකි රෝග තත්ත්වයන්ට හේතු වේ. එබන් හා බැඳුණු කතාන්දරය එවැනි මූලද්‍රව්‍යයන්හි ඇති අනතුරුදායක බව ඉතා හොඳින් පිළිබිඹු කරන බව විද්‍යාඥයන් සහ වෛද්‍යවරුන් ඇතුළු බොහෝ පාර්ශවයන්ගේ මතය වේ.

එබන් ගොල්ෆ් ක්‍රීඩා කරමින් -www.rarenewspapers.com

එබන්ගේ ළමා විය

එක්සත් ජනපදයේ දී 1880 අප්‍රේල් මස උපන් එබන් ගේ මව්පියන් ධනවත් පුද්ගලයෝ වූහ. පාසලේ අනිකුත් සිසුන් ආර්ථික දුෂ්කරතාවලින් පෙළුණත් කුඩා කල සිට අධ්‍යාපන කටයුතු සහ ක්‍රීඩා වැනි වෙනත් අමතර ක්‍රියාකාරකම් ඉතා හොඳින් කර ගෙන යාමට එබන්ට හැකි විය. මූලික අධ්‍යාපන කටයුතු අවසන් කළ ඔහු යේල් විශ්වවිද්‍යාලයට ඇතුළු වී උපාධියක් ද ලබා ගත්තේ ය.

දක්ෂ ක්‍රීඩකයෙක් වූ එබන් ගොල්ෆ් ක්‍රීඩාවට බොහෝ සෙයින් ප්‍රිය කළේ ය. පුහුණුවීම් සහ වෙනත් පහසුකම් සඳහා වැය කිරීමට අවශ්‍ය තරම් මුදල් තිබූ බැවින් බොහෝ ගොල්ෆ් තරගාවලි ජය ගැනීමට ද ඔහුට හැකි විය. උසස් අධ්‍යාපන කටයුතු අවසන් කිරීමෙන් අනතුරුව එබන්, ඔහුගේ පියාට අයත් ලෝහ නිෂ්පාදන සමාගමක සභාපතිවරයා ලෙස කටයුතු කළේ ය.

එබන් තරුණ වියේ දී ඔහු පිළිබඳ පළ වූ දැන්වීමක් – www.wikipedia.org

රේඩියම් අඩංගු ඖෂධයක්

උපාධිය සම්පූර්ණ කිරීමට පෙර විශ්වවිද්‍යාලය හැර ගිය ජේ.ඒ. බේලි නම් පුද්ගලයෙක් 1900 දශකයේ මුල්භාගයේ දී රේඩියම් අඩංගු විකිරණශීලී ඖෂධයක් වන “Radithor” නිෂ්පාදනය කළේ ය. බොහෝ රෝග තත්ත්වයන් සඳහා ප්‍රතිකාරයක් ලෙස එය භාවිත කළ හැකි බවට ප්‍රචාරය කිරීමත් සමඟ ඉතා කෙටි කාලයක් තුළ එය බොහෝ දෙනකු අතර ජනප්‍රිය විය. එවකට එම ඖෂධයෙන් මාත්‍රාවක් රෝගීන්ට නිර්දේශ කරන සෑම වෛද්‍යවරයකුට ම එහි වටිනාකමින් 17%ක කොමිස් මුදලක් ලැබුණු බව කියැවේ.

1927 තෙක් එබන්ගේ ජීවිතය බොහෝ සැප සම්පත් මැද ගලා ගිය නමුත්, ඒ වසරේ දී සිදු වූ හදිසි අනතුරක් ඔහුගේ ජීවිතයේ බොහෝ වෙනස්කම් ඇති කළේ ය. ගොල්ෆ් තරගයක් අතරතුර ඔහුගේ එක් අතක් ආබාධයට ලක් විය. ඉතා වේදනාවෙන් පසු වූ ඔහු වෛද්‍යවරයෙක් හමු විය. එම වෛද්‍යවරයා ඔහුට එවකට ආශ්චර්යමත් ඖෂධයක් ලෙස ප්‍රචලිත ව පැවැති “Radithor” නිර්දේශ කළේය.

“Radithor” පිළිබඳ පැරැණි දැන්වීමක් – www.vintageeveryday.com

වෛද්‍ය උපදෙස් නොසලකා හැරි එබන්

එම ඖෂධයෙන් කුඩා හැන්දක ප්‍රමාණයක් දිනපතා පානය කරන ලෙස අදාළ වෛද්‍යවරයා එබන්ට නිර්දේශ කළේ ය. එය භාවිත කිරීම ආරම්භ කර කෙටි කලක දී ඔහුට විශාල සුවයක් දැනුණු බැවින් එබන් වෛද්‍ය නිර්දේශයකින් තොර ව තමන් ලබා ගත් “Radithor” ප්‍රමාණය ඉහළ දැමූ බව කියැවේ. සමහර අවස්ථාවල ඔහු ඉන් බෝතලයක් ම එකවර පානය කර ඇත.

මේ කාලය වන විට රේඩියම් ශරීරගත වීම නිසා ඇති විය හැකි රෝග තත්ත්වයන් පිළිබඳ තොරතුරු අනාවරණය වී නොතිබිණි. වර්තමානයේ මෙන් රේඩියම් භාවිතය පිළිබඳ ව සකස් කළ මාර්ගෝපදේශ හෝ වෙනත් නීති ප්‍රතිපාදන ද හඳුන්වා දී නොතිබූ බැවින් එබන් වෛද්‍යවරයා නිර්දේශ කළ ප්‍රමාණයට වඩා විශාල “Radithor” ප්‍රමාණයක් දෛනිකව පරිභෝජනය කළේ ය. ඔහු “Radithor” බෝතල් 1,400ක් පමණ පානය කර තිබූ බව පසුකාලීන ව අනාවරණය විය.

ජේ.ඒ. බේලි -www.nae.edu

මිතුරන්ටත් නිර්දේශ කරයි

“Radithor” පානය කිරීම නිසා සිය ශරීරයේ ඉතා ධනාත්මක වෙනසක් සිදු වූ බවට වන වැරදි විශ්වාසයක එල්බ සිටි එබන් සිය මිතුරන්ට සහ පෙම්වතියන්ට පවා එම ඖෂධය පානය කරන ලෙස නිර්දේශ කළේ ය. ඔහුගේ නිර්දේශය මත “Radithor” පානය කළ තවත් බොහෝ දෙනෙක් සමකාලීන ව විවිධ රෝග තත්ත්වයන්ට ගොදුරු වූහ.

වැඩි කල් නොගොස් එබන්ගේ ශරීරයේ ඉතා අසාමාන්‍ය සහ වේදනාකාරී තත්ත්වයන් ඇති වීමත් සමඟ රේඩියම් සහ එය මිශ්‍ර කර සකස් කළ “Radithor” ඖෂධයේ හානිකර බව බොහෝ දෙනකුට අවබෝධ විය. මේ වන විට එබන් ගේ දත් එකින් එක හැලෙන්නට වූ අතර, ශරීරය පුරා දිවෙන වේදනාවකින් ඔහු පීඩා වින්දේ ය.

රේඩියම් අඩංගු ඖෂධ පිළිබඳව පළ වූ වෙළෙඳ දැන්වීම් – www.medium.com

බරපතල රෝග තත්ත්වයක්

වේදනාව තවදුරටත් දරාගත නොහැකි වූ බැවින් ඔහු වෛද්‍යවරයෙක් හමු වී ශරීරයේ බර වේගයෙන් අඩු වීම සහ හිසරදය වැනි තත්ත්වයන් පිළිබඳ ව දැනුම් දුන්නේ ය. තමන් තවදුරටත් තරුණ වියේ පසු වන අයෙක් බව නොදැනෙන බවත් ඔහු වෛද්‍යවරයාට පැවැසුවේ ය. මේ සමඟ “Radithor” හෝ රේඩියම් අඩංගු වෙනත් ද්‍රව්‍යයක් ශරීරගත වීම නිසා ඇති විය හැකි තත්ත්වයන් පිළිබඳ ව අදාළ වෛද්‍යවරයාගේ අවධානය යොමු විය.

එම ඖෂධය පරිභෝජනය කළ තවත් කිහිප දෙනෙක් එබන් මෙන් විවිධ රෝග තත්ත්වයන්ගෙන් පීඩා විඳිමින් සිටියහ. ඔවුන්ගෙන් බහුතරයක් එම ඖෂධය නිර්දේශ කළ ප්‍රමාණයට වඩා කිහිප ගුණයකින් වැඩි ප්‍රමාණයක් ලබා ගෙන තිබූ බව කියැවේ. ඔවුන් අතරින් එබන්ගේ සෞඛ්‍ය තත්ත්වය දිනෙන් දින පිරිහෙමින් පැවැති අතර, ඔහු පිළිබඳව බොහෝ දෙනකුගේ අවධානය යොමු විය.

රේඩියම් හේතුවෙන් එබන්ගේ ශරීරයේ ඇති වූ වඩාත් භයානක ප්‍රතිවිපාකය වූයේ ඔහුගේ යටි තල්ල සහ උඩු තල්ලේ වැඩි කොටසක් හැලී යාමයි – www.medium.com

එබන්ගේ මරණය

රේඩියම් හේතුවෙන් එබන්ගේ ශරීරයේ ඇති වූ අහිතකර ප්‍රතිවිපාක ගණනාවක් අතරින් වඩාත් භයානක ප්‍රතිවිපාකය වූයේ ඔහුගේ යටි තල්ල සහ උඩු තල්ලේ වැඩි කොටසක් හැලී යාම යි. ඔහුගේ ශරීරයේ අනිකුත් අස්ථි ද දිරාපත් වෙමින් පැවතිණි. ඔහු ජීවමාන ව සිටියදී ඔහුගේ හිස්කබලේ සහ මොළයේ සිදුරු නිර්මාණය විය. ඔහුගේ ශරීරයේ පටක සැලකිය යුතු ප්‍රමාණයක් ශල්‍ය කර්ම මගින් ඉවත් කිරීමට වෛද්‍යවරුන්ට සිදු විය.

අවසානයේ වසරකට වැඩි කාලයක් ඔත්පළ ව සිටි ඔහු 1932 මාර්තු 31 වැනි දින මිය ගියේ ය. ඒ වන විට ඔහු 51 හැවිරිදි වියේ පසු විය. ඔහුගේ මරණ පරීක්ෂණයෙන් අනාවරණය වූයේ විකිරණශීලි ද්‍රව්‍ය නිසා ඔහුගේ ශරීරයේ පිළිකා තත්ත්වයන් කිහිපයක් ඇති වූ තිබූ බව යි. ඒ හේතුවෙන් ඔහුගේ අස්ථි ඉක්මනින් කැඩී යන තරම් දුර්වල වී තිබූ බව ද අනාවරණය විය. ඔහුගේ මරණය රේඩියම් හි අහිතකර ප්‍රතිවිපාක පිළිබඳව බලධාරීන්ගේ අවධානය යොමු විය.

එබන් ගේ මරණය පිළිබඳ පුවත්පත් වාර්තාවක් – www.amusingplanet.com

ගොඩ ගත් මළසිරුර

ඔහුගේ මරණයෙන් පසු බේලි ගේ සමාගම සහ රේඩියම් ආශ්‍රිත නිෂ්පාදන තහනම් කිරීමටත්, ඒවායේ ඇති හානිදායක බව පිළිබඳව ජනතාව දැනුම්වත් කිරීමටත් අදාළ බලධාරීහු පියවර ගත්හ. කෙසේ වෙතත් ඒ වන විට බේලිගේ නිෂ්පාදනවලට විශාල ඉල්ලුමක් පැවති බැවින් ඔහු වෙනත් සමාගමක් ආරම්භ කර නිවසේ දී රේඩියම් අඩංගු ඖෂධ නිෂ්පාදනය කිරීම සඳහා භාවිත කළ හැකි උපකරණ අලෙවි කළේ ය.

එබන් ඇතුළු පවුලේ සාමාජිකයන්ගේ සොහොන් කොත – www.wikipedia.org

1965 දී, එබන් මිය ගොස් වසර 35 කට පසු, Pittsburgh විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් මිනිස් මෘතදේහ මත රේඩියම්වල බලපෑම අධ්‍යයනය කිරීම සඳහා ඔහුගේ සිරුර ගොඩ ගත්හ. අධ්‍යයනය අතරතුර, ඔවුන් නිගමනය කළේ දීර්ඝ කාලයක් ගත වුවත් එබන්ගේ දේහය ඒ වන විටත් ඉතා විකිරණශීලී ව පැවති බව යි. ඔහුගේ දේහය විශේෂයෙන් සකස් කළ මිනී පෙට්ටියක තැන්ත්පත් කර තිබීම වාසනාවක් බව ඔවුහු ප්‍රකාශ කළහ.

කවරයේ ඡායාරූපය - එබන් හා බැඳුනු කතාන්දරය එවැනි මූලද්‍රව්‍යයන්හි ඇති අනතුරුදායක බව ඉතා හොඳින් පිළිබිඹු කරන බව විද්‍යාඥයන් සහ වෛද්‍යවරු ඇතුළු බොහෝ පාර්ශවයන්ගේ මතය වේ - www.historyofyesterday.com

මූලාශ්‍ර :
www.historydefined.com
www.historyofyesterday.com
www.allthatisinteresting.com
www.marcianos.com

Related Articles