බංග්ලාදේශයට පාර කැපූ භෝලා සුළි කුණාටුව

ලෝකයට බලපාන ස්වභාවික විපත් අතරින් වැඩිම හානියක් සිදුකරන ස්වභාවික විපත් අතරට සුළි කුණාටු  ද අයත්. ශ්‍රී ලාංකිකයන් වන අපට සුළි කුණාටු සම්බන්ධයෙන් වැඩි අත්දැකීමක් නැතත්, ඉන්දියාව, චීනය, ජපානය, බංග්ලාදේශය (අතීතයේ දී නැගෙනහිර පාකිස්තානය) වැනි රටවල ජීවත්වන ජනතාව ඒවාට නිතර ම මුහුණ දෙනවා.

1970 වසරේ නොවැම්බර් මාසයේ දී  නැගෙනහිර පාකිස්තානයේ සහ ඉන්දියාවේ වැසියන්ටත් එවැනි බිහිසුණු අත්දැකීමකට මුහුණදීමට සිදු වුණා. එදාමෙදාතුර වාර්තා වුණු සුළි කුණාටු අතුරින් වැඩිම මිනිසුන් ප්‍රමාණයක් මරණයට පත්වුණු සුළි කුණාටුව ලෙසින් සැලකෙන භෝලා  සුළි කුණාටුව නිසා ලක්ෂ 5කට වැඩි ජීවිත හානි ප්‍රමාණයක් සිදු වුණා. 

සුළි කුණාටුවක් ඇතිවන්නේ කෙසේද?

නිවර්තන කලාපයේ උණුසුම් සාගර ජලයට ඉහළින් සුළි කුණාටු ඇති වනවා. ජලය මත උණුසුම් තෙතමනය සහිත වාතය ඉහළ යන විට එය සිසිල් වාතය මගින් ප්‍රතිස්ථාපනය වීම සිදුවනවා. එවිට සිසිල් වාතය උණුසුම් වී  ඉහළ යාමට පටන් ගන්නවා. එම  චක්‍රය මඟින්  විශාල කුණාටු වලාකුළු නිර්මාණය වනවා. සංවිධානාත්මක පද්ධතියක් නිර්මාණය කරමින් පෘථිවිය භ්‍රමණය වීමත් සමඟ මෙම කුණාටු වලාකුළුත් භ්‍රමණය වන්නට පටන් ගන්නවා.

සුළි කුණාටුවක් ඇතිවුණු අවස්ථාවක්
සුළි කුණාටුවක් ඇතිවුණු අවස්ථාවක් – Quartz

ප්‍රමාණවත් තරම්  උණුසුම් ජලය තිබෙන විට, චක්‍රය දිගටම පවතින අතර පසුව කුණාටු වලාකුළු සහ සුළං වේගය වර්ධනය වීම මඟින් සුළි කුණාටුවක් ඇති වනවා. සාමාන්‍යයෙන් සුළි කුණාටු බොහෝ විට ආරම්භ වන්නේ නිවර්තන තරංගයක් ලෙස යි. සුළි කුණාටුවල තීව්‍රතාව අනුව ඒවා ප්‍රධාන කාණ්ඩ 5කට වෙන්කර තිබෙනවා. 

1 වන කාණ්ඩය- පැයට කිලෝමීටර් 118-153 අතර සුළං 

2 වන කාණ්ඩය- පැයට කිලෝමීටර් 154-177 අතර සුළං

3 වන කාණ්ඩය- පැයට කිලෝමීටර් 178-209 අතර සුළං 

4 වන කාණ්ඩය- පැයට කිලෝමීටර් 210-250 අතර සුළං 

5 වන කාණ්ඩය- පැයට කිලෝමීටර් 250ට වැඩි සුළං 

භෝලා සුළි කුණාටුව වර්ධනය වුණු ආකාරය 

1970 නොවැම්බර් මාසයේ මුල් සතියේ දී බටහිර පැසිෆික් සාගරය ආශ්‍රිත ව නිවර්තන සුළි කුණාටු තත්ත්වයක් ඇතිවුණා. ‘නෝරා’ නමින් හැඳින්වුණු එම සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් 1970 නොවැම්බර් 8 වැනිදා වන විට මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිතව අවපාත තත්ත්වයක් නිර්මාණය වුණා. එලෙස නිර්මාණය වුණු අවපාත තත්ත්වය ක්‍රමයෙන් උතුරු දෙසට ගමන් කරන්නට පටන් ගත්තා. නොවැම්බර් 10 වැනිදා වන විට එය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙමින් පවතින බව ඉන්දීය කාලගුණ දෙපාර්තමේන්තුව නිවේදනය කළා. එම සුළි කුණාටුව නොවැම්බර් 11 වැනිදා වන විට දරුණු සුළි කුණාටුවක් බවට පත්වී ඊසාන දිශාවට හැරී ගොඩබිම දෙසට ගමන් කරමින් තිබුණා. ඒ වන විට සුළි කුණාටුවේ වේගය පැයට කිලෝමීටර් 145 දක්වා ඉහළ ගොස් තිබුණා.

භෝලා සුළි කුණාටුවේ ගමන් මාර්ගය
භෝලා සුළි කුණාටුවේ ගමන් මාර්ගය – Wikimedia

සුළි කුණාටුව ගොඩබිමට ඇතුළු වෙයි 

1970 නොවැම්බර් 12 වැනිදා රාත්‍රිය වන විට සුළි කුණාටුව 4 වන කාණ්ඩයේ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී තිබුණා. සුළඟේ වේගය පැයට කිලෝමීටර් 225ක් තරම් ඉහළ අගයක් ගෙන තිබුණා. කුණාටුවේ බලපෑම හේතුවෙන් මුහුදු රළ ද විටින් විට මීටර් 6ක් පමණ උසකට ඉහළ නගින බව නිරීක්ෂණය කරන්නට ලැබුණා. නොවැම්බර් 13 වැනිදා පාන්දර භෝලා සුළි කුණාටුව 4 වන කාණ්ඩයේ සුළි කුණාටුවක් ලෙසින් නැගෙනහිර පාකිස්ථානයට (වර්තමානයේ බංග්ලාදේශය) ඇතුළු වුණා. භෝලා සුළි කුණාටුව පිළිබඳ එරට වෙරළබඩ ප්‍රදේශවල ජීවත් වුණු ජනතාව දැනුම්වත්ව සිටියේ නැහැ. එකල සන්නිවේදන පහසුකම් දියුණු මට්ටමකට පත්ව නොතිබුණු නිසා ජනතාවට අනතුරු ඇඟවීමක් සිදුකිරීමටවත් අවස්ථාවක් ලැබුණේ නැහැ. එහි ප්‍රතිඵලයක් වශයෙන් සුළි කුණාටුවෙන් නැගෙනහිර පාකිස්නතායේ දකුණු දිග ප්‍රදේශවලට විශාල විනාශයක් සිදුවුණා.

සිදුවුණු විනාශයේ තරම 

පැයට කිලෝමීටර් 225ක පමණ වේගයෙන් පැමිණි සුළං සමඟින් ඇති වුණු ධාරානිපාත වර්ෂාව නිසා බොහෝ ප්‍රදේශවල අවිධිමත්ව ඉදිකර තිබුණු නිවාස සම්පූර්ණයෙන්ම විනාශ වුණා. ගස් ඉදිරී වැටීම නිසා බොහෝ ගොඩනැගිලිවලට බරපතළ හානි සිදු වුණා. මීටර් 6ක් උසකට මුහුදු රළ පැමිණීම නිසා වෙරළබඩ ප්‍රදේශවල පිහිටා තිබුණු ධීවර ගම් රැසක් සම්පූර්ණයෙන්ම විනාශ වුණා. මිනිසුන් ඇති කළ ගවයන්, එළුවන් සහ ඌරන් වැනි සතුන් ලක්ෂ ගණනින් විනාශයට පත්වුණා. එදා විපතට පත්ව පිරිස්වලට ආධාර ලබාදීමට හැකියාවක් නොතිබුණු නිසා බලාපොරොත්තු වුණාටත් වැඩියෙන් ජීවිත හානි සහ දේපල හානි සිදු වුණා. 

සුළි කුණාටුව නිසා සිදුව තිබුණු විනාශය
සුළි කුණාටුව නිසා එවක නැගෙනහිර පාකිස්නතායට සිදුව තිබුණු විනාශය – gettyimages

 මහා විනාශයක් සිදුකළ භෝලා සුළි කුණාටුවේ බලපෑම දැනුණේ නැගෙනහිර පාකිස්නතායට පමණක් ම නොවෙයි. එහි බලපෑම ඉන්දියාවේ සමහර ප්‍රදේශවලටත් තදින්ම දැනුණා. එනිසා බටහිර බෙංගාලයට සහ දකුණු ඇසෑමයට ධාරානිපාත වැසි ඇද හැලුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් එම ප්‍රදේශවල නිවාස මෙන්ම වගා බිම් ද විනාශයට පත්වුණා. ඇතැම් ප්‍රදේශවලින් ජීවිත හානි ද වාර්තා වුණා. කල්කටාවේ සිට ක්වේටය බලා යාත්‍රා කරමින් තිබුණු මහාජග්මිත්‍රා නම් නෞකාව කුණාටුව හේතුවෙන් මුහුදේ ගිලී විනාශයට පත්වුණා. එහි සිටි 50 දෙනකු ද මරණයට පත්වුණා. ටොන් 5500ක් තරම් බරකින් යුත් භාණ්ඩ අඩංගුව තිබුණු එම නෞකාව මුහුදුබත් වීම නිසා දැරිය නොහැකි තරම් පාඩුවක් සිදු වුණා.

ලක්ෂ 5ක පිරිසක් සුව නින්දේම මරු තුරුළට 

භෝලා සුළි කුණාටුව පාන්දර යාමයේ ගොඩබිමට පැමිණෙන විට බොහෝ දෙනකු සුව නින්දේ පසුවුණා. එනිසා වැඩි පිරිසකට ආරක්ෂිත ස්ථාන කරා ළඟාවීමට හැකියාවක් ලැබුණේ නැහැ.  ඉන්දීය රජය මෙම සුළි කුණාටුව පිළිබඳ නිසියාකාර අනතුරු ඇඟවීමක් කර තිබුණේ නැහැ. එනිසා වැඩි පිරිසක් කුණාටුවෙන් ආරක්ෂා වීම සඳහා සූදානමින් නොසිටීම නිසා තත්ත්වය වඩාත් බරපතළ වුණා. ගොඩනැගිලි කඩාවැටීම, සහ ගස් කඩාවැටීම නිසා විපතට පත් වුණු ජනතාව බේරාගැනීම සඳහා ආධාරක කණ්ඩායම්වලට එම ස්ථානවලට ළඟාවෙන්නට අවස්ථාවක් නොලැබුණු නිසා ජීවිත හානි ප්‍රමාණය විශාල වශයෙන් ඉහළ ගියා. ඒ අනුව භෝලා සුළි කුණාටුව නිසා ලක්ෂ 5කට ආසන්න පිරිසක් මියයන්නට ඇතැයි අනුමාන කරනවා. එය වැඩිම ජීවිත හානි ප්‍රමාණයක් අහිමි වුණු සුළි කුණාටුව බවට ද පත්වුණා. 

සුළි කුණාටුව නිසා අනාථ වී සිටි මිනිසුන්
සුළි කුණාටුව නිසා අනාථ වී සිටි මිනිස්සු – gettyimages

බලධාරීන්ගේ නොසැලකිල්ල නිසා සිදුවුණු විනාශයක් 

එදා ඉන්දීය කාලගුණ බලධාරීන්ට සුළි කුණාටුව පිළිබඳ පෙර සිටම දැනගන්නට ලැබුණා. අද මෙන්ම එදාත් ඉන්දියාව සහ පාකිස්නතාය අතර සමීප සබඳතාවක් තිබුණේ නැහැ. එනිසා කුණාටුව පිළිබඳ තොරතුරු දෙපාර්ශවය අතර හුවමාරු කරගැනීමක් සිදුනොවුණු බව ද එකල වාර්තා වුණා. කුණාටුව ගොඩබිම වෙත පැමිණීමට හෝරා කිහිපයකට පෙර පාකිස්තාන කාලගුණ බලධාරීන්ට ඒ පිළිබඳ තොරතුරු දැනගැනීමට හැකියාව ලැබුණා. ඒ මොහොතේ දී එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කුණාටු අනතුරු ඇඟවීමේ පද්ධතිය නිසි පරිදි ක්‍රියාත්මක කර තිබුණේ නැහැ. එකල සන්නිවේදන ක්‍රම දියුණු මට්ටමක නොතිබුණු නිසා ජනතාවට කුණාටුව පිළිබඳ ඉක්මනින්ම දැන්වීමට ක්‍රමයක් නොතිබීම විශාල අඩුපාඩුවක් වුණා. එම අවස්ථාවේ දී කුණාටු අනතුරු ඇඟවීමේ පද්ධතිය නිසියාකාරව ක්‍රියාත්මක කළා නම් ජීවිත විශාල ප්‍රමාණයක් බේරාගැනීමට හැකියාවක් තිබුණා. බලධාරීන්ගේ නොසැලකිල්ල නිසා නිරපරාද මිනිසුන් රැසක් එදා මරු තුරුලට ගියා. 

සුළි කුණාටුව නිසා සිදුවුණු බල පෙරැළිය 

භෝලා සුළි කුණාටුව ඇතිවුණු අවස්ථාවේ දී එවකට බලයේ සිටි පාකිස්තාන රජය වගකීම් විරහිතව ක්‍රියාකළ බවට ජනතාවගෙන් චෝදනා එල්ල වුණා. රජයේ බලධාරීන්ගේ නොසැලකිල්ල නිසා වැඩි ජීවිත හානි ප්‍රමාණයක් සිදු වුණු බවට මතයක් සමාජය තුළ පැතිර ගියා. එහි වාසිය ලැබුණේ එවකට විපක්ෂය ලෙසින් කටයුතු කළ අවාමි ලීගයට යි. එනිසා 1970 දෙසැම්බර් 7 වැනිදා පැවති පාකිස්තාන මහා මැතිවරණයේ දී අවාමි ලීගය බහුතර බලයක් ලබාගත්තා.

ෂෙයික් මුජිබර් රහ්මාන්
නිදහස් බංග්ලාදේශයේ පළමු ජනාධිපති ෂෙයික් මුජිබර් රහ්මාන් – United News of Bangladesh

එම මැතිවරණයේ දී ෂෙයික් මුජිබර් රහ්මාන් අවාමි ලීගයේ නායකයා වශයෙන් කටයුතු කළා. එදා නැගෙනහිර පාකිස්තානය නියෝජනය කළ මුජිබර් රහ්මාන් ඇතුළු නායකයන් කුණාටුව අවස්ථාවේ දී පාකිස්තාන මධ්‍යම රජයේ ක්‍රියා කලාපය දැඩි ලෙස විවේචනය කළා. එහි ප්‍රතිඵලයක් වශයෙන් පාකිස්තාන මධ්‍යම රජය සහ නැගෙනහිර පාකිස්තාන නායකයන් අතර ගැටුම් ඇතිවුණා. ඉන් පසු ඇතිවුණු බංගලාදේශ විමුක්ති සටනින් අනතුරුව 1971දී බංග්ලාදේශය වෙන ම රාජ්‍යයක් බවට පත්වුණා. එදා අවාමි ලීගයේ නායකයා වශයෙන් කටයුතු ෂෙයික් මුජිබර් රහ්මන් නිදහස් බංග්ලාදේශයේ පළමු ජනාධිපතිවරයා බවට පත්වුණා. 

කවරයේ ඡායාරූපය- භෝලා සුළි කුණාටුව නිසා සිදුව තිබුණු හානිය - getbengal.com 

මූලාශ්‍ර-

www.hurricanescience.org

www.dhakatribune.com

Related Articles