Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

රක්ෂණ මුදල් ගන්නට මිනී මැරූ ලිවර්පූල් හි ‘කළු වැන්දඹුවෝ’

ලෝක ඉතිහාසය දෙස ආපසු හැරී බැලීමේ දී අපරාධවලට සම්බන්ධ වීම නිසා  ප්‍රසිද්ධියට පත්වුණු කාන්තාවන් රැසක් අපට හමුවනවා. එයින් සමහර කාන්තාවන් තනිව ම අපරාධ ක්‍රියාවල නිරත වෙද්දී තවත් කාන්තාවන්  විවිධ කල්ලිවලට සම්බන්ධ වී අපරාධ සිදු කළා. මෙම ලිපියෙන් ඔබට ඉදිරිපත් කරන්නට යන්නේ තරමක් වෙනස් ආකාරයේ අපරාධකාරියන් දෙදෙනකු පිළිබඳව යි.

එකම පවුලේ සහෝදරියන් දෙදෙනකු වුණු මෙම අපරාධකාරියන් දෙපළ මුදල් සොයා ගැනීම සඳහා මිනිස් ඝාතන කිහිපයක් සිදු කළා. මුල් යුගයේ දී කැතරින් සහ මාග්‍රට් යන නම්වලින් හැඳින්වුණු එම සොහොයුරියන් දෙපළට පසු කලෙක ‘ලිවර්පූල් හි කළු වැන්දඹුවන්’ යනුවෙන්  අන්වර්ථ නාමයක් පවා පටබැඳුණා. මෙතැන් සිට ඔබට කියන්නට යන්නේ ලිවර්පූල් හි කළු වැන්දඹුවන් පිළිබඳ ත්‍රාසජනක කතා පුවත යි. 

කැතරින් සහ මාග්‍රට්- Liverpool Echo

කැතරින්ගේ සහ මාග්‍රට්ගේ ජීවිතවල මුල් අවධිය 

මෙම සහෝදරියන් දෙදෙනා ගෙන් වැඩිමහල් සොහොයුරිය වුණු කැතරින් 1829 දී උපත ලබද්දී ඇයගේ බාල සහෝදරිය වුණු මාග්‍රට් 1843 වසරේ දී උපත ලැබුවා. අයර්ලන්තයේ දුෂ්කර ගමක ජීවත් වුණු කැතරින් සහ මාග්‍රට් කුඩා කල සිට අපමණ දුක් ගැහැට වින්දා. ඒ ඔවුන්ගේ පියාට ස්ථීර රැකියාවක් නොතිබුණු නිසා යි.

පවුලේ තිබුණු අග හිඟකම් හේතුවෙන් මෙම දැරියන් දෙදෙනාට හොඳ අධ්‍යාපනයක් ලබා ගැනීමට අවස්ථාවක් හිමි වුණේ නැහැ. එලෙස කාලය ගෙවී යද්දී වැඩිමහල් සොහොයුරිය වුණු කැතරින් ඇය ජීවත් වුණු ගමේ ම සිටි ෆ්ලැනගන් නම් පුද්ගලයාට විවාහ කර දුන්නා. එම විවාහය සිදුවන විට කැතරින්ගේ වයස අවුරුදු 25 ඉක්මවා තිබුණා. විවාහයෙන් වසර 3කට පමණ පසුව කැතරින්ට පුතකු ලැබුණා. එලෙස ඉපදුණු පිරිමි දරුවාට ජෝන් යන නම තැබුවා.

ආර්ථික අපහසුකම්

කැතරින් විවාහ කරගත් ෆ්ලැනගන් ධනවත් පුද්ගලයකු නොවුණු නිසා ඔවුන්ගේ ආර්ථික අපහසුකම් පෙර පරිදි ම පැවතුණා. නමුත් ලැබුණු ධනය අරපිරිමැස්මෙන් පරිහරණය කළ කැතරින් අනාගතය වෙනුවෙන් යම් කිසි මුදලක් ඉතිරි කර ගත්තා. එලෙස කාලය ගෙවී යද්දී කැතරින්ගේ මාපියන් අභාවයට පත්වුණා. එනිසා බාල සොයුරිය වුණු මාග්‍රට් රැක බලා ගැනීමේ වගකීමත් කැතරින්ට පැවරුණා.

එම වගකීම භාරගත් කැතරින් සිය නැගණිය තම නිවසේ නවතා ගත්තා. ඉන් පසුව ගෙවුණු දශකයක පමණ කාලය තුළ ඔවුන්ගේ ජීවිතවල කැපී පෙනෙන වෙනසක් සිදුවුණේ නැහැ. ඒ අතර 1870 දශකයේ අග භාගයේ දී කැතරින්ගේ සැමියා හදිසි අනතුරකින් මරණයට පත්වුණා. ඒ සමඟින් මෙම සොහොයුරියන් දෙදෙනාගේ ජීවිතයේ අඳුරු පරිච්ඡේදයක ආරම්භය සනිටුහන් වුණා.

ලිවර්පූල්වලට පැමිණීම 

සිය සැමියාගේ වියෝව හේතුවෙන් කැතරින් දැඩි ලෙස කම්පනයට පත්වුණා. ඒ වන විට ඇයගේ පුත් ජෝන් 20 හැවිරිදි වියේ පසු වුණත් ඔහුට ස්ථීර රැකියාවක් තිබුණේ නැහැ. එනිසා සිය පුත්‍රයා සහ නැගණිය පෝෂණය කිරීමේ වගකීම කැතරින්ට පැවරුණා. නමුත් සිය ගමේ දිගට ම වාසය කිරීමට කැතරින්ට සිත් දුන්නේ නැහැ. ඒ සිය සැමියා පිළිබඳව නිතර ම සිහියට නැගුණු නිසා යි.

එනිසා ඇය ගමේ ඉතිරි ව තිබුණු ඉඩම සහ නිවස විකුණා දමා සිය පුත්‍රයා සහ නැගණිය ද කැටුව එංගලන්තයේ ලිවර්පූල් නගරයට යාමට තීරණය කළා. ඒ වන විට ඉතිරි කර ගත් මුදලක් ද ඇය සන්තකයේ තිබුණා. එසේම ඉඩම සහ නිවස විකිණීමෙන් ද ඇයට සැලකිය යුතු තරම් මුදලක් හමු වුණා. එනිසා ලිවර්පූල් නගරයට ගොස් සුළු ව්‍යාපාරයක් ඇරඹීම කැතරින්ගේ එක ම සිහිනය බවට පත්වුණා. එමඟින් ඔවුන්ගේ ජීවිත ගැට ගසා ගැනීමට හැකිවනු ඇති බව ඇයගේ අනුමානය වුණා.

ලිවර්පූල් නගරයේ පැරණි ඡායාරූපයක් – corinthian history

 

කුඩා නවාතැන්පොළක් අරඹයි

1879 වසරේ මුල් භාගයේ දී පමණ ලිවර්පූල් නගරයට ගිය කැතරින් කාමර කිහිපයකින් යුත් පැරණි නිවසක් මිල දී ගත්තා. එම නිවස මිල දී ගැනීම සඳහා ඇයට සැලකිය යුතු තරම් මුදලක් වැය වුණා. ඉන් පසු ඇය එම නිවසේ අලුත්වැඩියා කටයුතු සිදු කළා. එම කටයුතුවල දී ඇයගේ පුත්‍රයා සහ නැගණිය ද සහාය වුණා. එලෙස නිවස සකස් කිරීමෙන් පසුව එහි තිබුණු කාමර 2ක් කුලියට දීමට කැතරින් තීරණය කළා.

වැඩි කල් යන්නට පෙර එම කාමරවල පදිංචි වීම සඳහා පුද්ගලයන් දෙදෙනකු පැමිණියා. ඒ අයුරින් පැමිණි එක් අයකු තෝමස් හිගින්ස් යන නමින් හැඳින්වුණා. ඒ වන විට හිගින්ස්ගේ බිරිය මිය ගොස් සිටි නිසා ඔහු සිය 6 හැවිරිදි දියණිය වුණු මේරි සමඟ කාමරයේ ජීවත් වුණා. හිගින්ස් නවාතැන්පොළට පැමිණ සතියක් පමණ ගත වෙද්දී පැට්‍රික් ජෙනින්ග්ස් නම් පුද්ගලයෙක් ඔහුගේ 14 හැවිරිදි දියණිය සමඟින් පැමිණ නවාතැන්පොළේ කාමරයක් කුලියට ගත්තා. ඒ වන විට ජෙනින්ග්ස්ගේ බිරිය වෙනත් විවාහයක් සිදුකරගෙන තිබුණු නිසා දියණිය ජීවත් වුණේ ඔහු සමඟ යි. 

ආර්ථික අපහසුතා නැවතත් මතු වෙයි 

නවාතැන්පොළ ආරම්භ කළ යුගයේ දී කැතරින් සහ ඇගේ නැගණිය මාග්‍රට් කිසිදු ආර්ථික අපහසුතාවකින් තොරව ජීවත් වුණා. නමුත් ජීවන වියදම වැඩිවීමත් සමඟින් ඔවුන්ගේ ජීවිත ගැටගසා ගැනීමට නවාතැන්පොළෙන් ලැබුණු ආදායම ප්‍රමාණවත් වුණේ නැහැ. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔවුන් දෙදෙනාට සිය ජීවිත රක්ෂණයේ මාසික වාරිකය ගෙවීමට පවා අපහසු තත්ත්වයක් උදා වුණා. එනිසා මෙම කාන්තාවන් දෙදෙනා මුදල් සොයා ගත හැකි විවිධ මාර්ග සොයන්නට වුණා.

ඒ අතරතුර මාග්‍රට් කුඩා රැකියාවක් සොයා ගැනීමට කල්පනා කළත් ඇයට රැකියාවක් ලබාදීමට කිසිවකුත් ඉදිරිපත් වුණේ නැහැ. කැතරින්ගේ පුත්‍රයා වුණු ජෝන් ඒ වන විට 22 හැවිරිදි වියේ පසු වුණත් ඔහු නිකරුණේ කකා බිබී කාලය ගත කළා. ඔහුට රැකියාවක් කිරීමට කිසිදු උනන්දුවක් තිබුණේ නැහැ. එනිසා කැතරින් සිය පුත්‍රයා පිළිබඳ ව දැඩි කලකිරීමකින් පසු වුණා.

කැතරින් සහ මාග්‍රට් – unknownmisandry.blogspot.com

 

මුදල් සොයා ගැනීමට පොටක් පෑදෙයි 

1880 වසරේ මැද භාගයේ එක්තරා දිනයක කැතරින්ගේ නවාතැන්පොළ ආසන්නයේ ජීවත් වුණු පවුලක කුඩා දරුවෙක් හදිසි අනතුරක් නිසා මරණයට පත්වුණා. මිය ගිය දරුවාගේ මව කැතරින්ගේ මිතුරියක් වුණා. ඔවුන් එකිනෙකා මුලින් ම හඳුනා ගත්තේ ජීවිත රක්ෂණය සඳහා මාසික ව මුදල් තැන්පත් කිරීමට ගිය අවස්ථාවේ දී යි. එදා ගොඩනැඟුණු මිතුදම අඛණ්ඩ ව පැවති නිසා කැතරින් සහ ඇගේ නැගණිය මාග්‍රට් දරුවාගේ ආදාහනයේ වැඩ කටයුතුවලට සහභාගි වුණා. මිය ගිය දරුවාගේ පවුලේ උදවියත් දිළින්දන් වුණා. නමුත් මිය ගිය දරුවාගේ ආදාහන කටයුතු ඉතාමත් උසස් අන්දමින් සිදුවුණා. 

ඒ පිළිබඳව කැතරින් සහ ඇගේ නැගණිය මවිතයට පත් වුණා. එනිසා ඔවුන් දෙදෙනා මිය ගිය දරුවාගේ මවගෙන් මුදල් සොයා ගත් ආකාරය පිළිබඳව විමසා සිටියා. එවිට ඇය පවසා සිටියේ ඇය ජීවිත රක්ෂණයක් දමා තිබුණු සමාගමෙන් මුදල් ලැබුණු බව යි. එහි දී දරුවාගේ මව වැඩිදුරටත් පවසා සිටියේ එම සමාගමේ ජීවිත රක්ෂණයක් හිමි ඕනෑම කෙනකුට තම පවුලේ කෙනෙකු හෝ හිතවතෙකු මියගිය විට වසැලකිය යුතු තරම් වන්දි මුදලක් ලබාගත හැකි බවයි. 

පළමු බිල්ල 

අසල්වැසි කාන්තාව ඇයගේ දරුවාගේ මරණය හේතුවෙන් විශාල මුදලක් ලබාගත් ආකාරය කැතරින්ට නිතර නිතර සිහිපත් වුණා. එම කාලය වන විට කැතරින්ගේ පුත්‍රයා මත්පැන්වලට ඇබ්බැහි වී සිටියා. මත්පැන් පානය කිරීම සඳහා මුදල් ඉල්ලා ඔහු මව සමඟ නිතර නිතර දබර කරන්නට පටන් ගත්තා. එලෙස කාලය ගෙවී යද්දී කැතරින්ගේ සිතට දුෂ්ට අදහසක් මතු වුණා.

ඒ ඇයගේ පුත්‍රයා හොර රහසේ ම මරා දමා සිය ජීවිත රක්ෂණ තැන්පතුව තිබෙන සමාගමෙන් මුදල් ලබා ගැනීම යි. ඇය එම අදහස සිය නැගණියට ද ඉදිරිපත් කළා. නූගත් තරුණියක් වුණු මාග්‍රට් ඒ වන විට කෙසේ හෝ මුදල් සොයා ගැනීමට මාන බලමින් සිටි නිසා සිය වැඩිමහල් සහෝදරිය ඉදිරිපත් කළ දුෂ්ට යෝජනාවට එක පයින් කැමති වුණා. ඔවුන් දෙදෙනා එම කුරිරු සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා 1880 දෙසැම්බරයේ එක්තරා මූසල රාත්‍රියක් තෝරා ගත්තා. 

එදින කැතරින්ගේ පුත් ජෝන් පදමට මත්පැන් පානය කර නිවසට පැමිණියා. ඉන් අනතුරු ව ඔහු සිය මවගෙන් රාත්‍රී ආහාරය ඉල්ලා සිටියා. එවිට කැතරින් ආසනික් වස  මුසු කළ කෑම පිඟානක් සිය පුත්‍රයාට ගෙනැවිත් දුන්නා. එදා අවසිහියෙන් සිය රාත්‍රී ආහාරය ගත් ජෝන්ට පසුදිනයේ දරුණු උදරාබාධයක් වැලඳුණා.

දින කිහිපයක් උදරාබාධයෙන් පීඩා විඳි ජෝන් මරණයට පත්වුණා. ඔහුගේ හදිසි  මරණය පිළිබඳ ව ඔවුන්ගේ නවාතැන්පොළේ සිටි උදවියට හා අසල්වැසියන්ට කිසිදු සැකයක් සැකයක් ඇති වුණේ නැහැ. ඒ අයුරින් සිය පුත්‍රයා මිය ගිය පුවත රක්ෂණ සමාගම වෙත දැන්වූ කැතරින් අදාළ වන්දි මුදල ලබා ගත්තා. එය ඔවුන් බලාපොරොත්තු වුණාටත් වඩා වැඩි මුදලක් වුණා. එලෙස ලැබුණු වන්දි මුදල කැතරින් සහ මාග්‍රට් මුහුණ දුන් ආර්ථික ප්‍රශ්නවලට විසඳුමක් ලබාදුන්නා.

මාග්‍රට් විවාහ වෙයි 

කැතරින්ගේ සහ මාග්‍රට්ගේ ජීවිත නැවතත් යහපත් තත්ත්වයට පත්වෙද්දී මාග්‍රට් සහ තෝමස් හිගින්ස් අතර සමීප මිතුදමක් ඇති වුණා. කැතරින්ගේ නවාතැන්පොළේ නැවතී සිටි තෝමස් දියණියක් හිමි විවාහක අයකු වුණත් ඔහුගේ ඇසුරට මාග්‍රට් ප්‍රිය කළා. ඒ ඔහු අපූරු ගති පැවතුම්වලින් යුත් විනෝදකාමී පුද්ගලයකු වුණු නිසා යි. එලෙස දෙදෙනා අතර ඇතිවුණු සමීප මිතුදම වැඩි කලක් යන්නට පෙර ආදරයකට පෙරළුණා. ඉන් පසුව තෝමස් සිය ආදරවන්තිය වුණු මාග්‍රට් විවාහ කර ගැනීමට තීරණය කළා. ඒ සඳහා කැතරින්ගෙන් කිසිදු බාධාවක් එල්ල වුණේ නැහැ. එනිසා 1882 ඔක්තෝබරයේ සිට මාග්‍රට්, තෝමස් සහ ඔහුගේ දියණිය සමඟින් එකට ජීවත් වුණා. 

මාස කිහිපයක් ඇතුළත මරණ 2ක් 

මාග්‍රට් සහ තෝමස් විවාහ වී මාසයක් පමණ ගතවෙද්දී කැතරින් සතුව තිබුණු මුදල් ක්‍රමයෙන් අවසන් වන්නට පටන් ගත්තා. එනිසා යළිත් ආර්ථික අපහසුකම් දැනෙන්නට පටන් ගත් නිසා කැතරින් සහ මාග්‍රට් මුදල් සෙවීම සඳහා ක්‍රමයක් කල්පනා කළා. නමුත් එහි දී ඔවුන්ට මුදල් සොයාගැනීම සඳහා කිසිදු මාර්ගයක් හමුවුණේ නැහැ.

එම අවස්ථාවේ දී සහෝදරියන් දෙදෙනාට මතක් වුණේ රක්ෂණ වන්දි මුදල යි. ඊට පෙර කැතරින්ගේ පුත් මරා දැමූ ආකාරයට තෝමස්ගේ 8 හැවිරිදි දියණිය මේරි මරා දැමීමට සහෝදරියන් දෙදෙනා සැලසුම් කළා. තෝමස් දිවා කාලයේ සිය රැකියාවට ගිය නිසා දැරියට වස දීමට දහවල් කාලය තෝරා ගත්තා. 

ඒ අනුව 1882 නොවැම්බරයේ එක්තරා දිනයක මේරිගේ ආහාරයට ආසනික් මුසු කිරීමට සහෝදරියන් දෙදෙනා කටයුතු කළා. එම ආහාර අනුභව කළ මේරි දරුණු උදරාබාධයක් වැලඳී මරණයට පත්වුණා. එවර මිය ගිය දැරිය වෙනුවෙන් වන්දි මුදල ලබාගැනීම සඳහා මාග්‍රට් හිගින්ස් ඉදිරිපත් වුණා.

එවර පෙරටත් වඩා වැඩි වන්දි මුදලක් ලැබුණු නිසා කැතරින් සහ මාග්‍රට් දැඩි ලෙස උද්දාමයට පත් ව සිටියා. එනිසා ඔවුන්ට හැකි ඉක්මනින් තවත් මුදල් සොයා ගැනීමට අවශ්‍ය වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් නවාතැන්පොළේ නැවති සිටි පැට්‍රික් ජෙනින්ග්ස්ගේ දියණිය ද හොර රහසේ ම මරා දැමීමට මෙම සහෝදරියන් දෙදෙනා තීරණය කළා. 1883 ජනවාරි මාසයේ දී සිදු කළ එම ඝාතනයෙන් පසු ව වන්දි මුදල් ලබා ගැනීමට කැතරින් ඉදිරිපත් වුණා.

අසල්වැසියන්ගේ සැකය නිසා නවාතැන වෙනස් කරයි 

වසර දෙකක පමණ කාලයක් ඇතුළත කැතරින්ගේ නවාතැන්පොළේ ජීවත්ව සිටි දරුවන් තිදෙනකු මිය යාම පිළිබඳ ව අසල්වැසියන්ගේ සිතෙහි යම් සැකයක් මතු වුණා. එනිසා කැතරින්ගේ නවාතැන්පොළ පිළිබඳ විවිධ කට කතා ප්‍රදේශය පුරා පැතිර ගියා. තත්ත්වය එන්න එන්න ම නරක අතට හැරෙද්දී කැතරින් සිය නවාතැන වෙනත් ස්ථානයකට රැගෙන යාමට තීරණය කළා.

ඒ අනුව කැතරින්, මාග්‍රට්, තෝමස් සහ පැට්‍රික් අලුතින් මිල දී ගත් නවාතැන්පොළේ පදිංචියට ගියා. එම කාල සමය වන විට කැතරින් සහ මාග්‍රට් අත යහමින් මුදල් ගැවසුණා. එනිසා සහෝදරියන් දෙදෙනා සැප පහසු ජීවිතයක් ගත කළා. නමුත් මාස කිහිපයක් ගතවෙද්දී ඔවුන් දෙදෙනා සන්තකයේ තිබුණු මුදල් අවසන් වන්නට පටන් ගත්තා. එනිසා තවත් දඩයමක් කිරීමට සහෝදරියන් දෙදෙනා මාන බැලුවා.

තෝමස් හිගින්ස්ගේ දේහය රැගෙන ගිය අයුරු – oldpolicecellsmuseum.org

තෝමස් හිගින්ස්ගේ මරණයත් සමඟ ම වැටුණු තොණ්ඩුව 

කැතරින් සහ මාග්‍රට් යන දුෂ්ට සොහොයුරියන්ගේ ඊළඟ ගොදුරට හසු වුණේ මාග්‍රට්ගේ සැමියා වුණු තෝමස් හිගින්ස් නම් පුද්ගලයා යි. මත්පැන්වලට ගිජු පුද්ගලයකු වුණු තෝමස් සෑම රාත්‍රියක ම වාගේ පදමට මත්පැන් පානය කළා. තෝමස්ගේ එම දුර්වලතාවෙන් ප්‍රයෝජන ගත් මෙම සහෝදරියන් දෙදෙනා විස්කි වීදුරුවකට ආසනික් මුසු කොට ඔහුට බොන්නට දුන්නා. ඉන් පසුව අසනීපයෙන් පෙළුණු තෝමස් ටික දිනකින් මරණයට පත්වුණා. ඉන් පසුව ඔහුගේ බිරිය මාග්‍රට් රක්ෂණ වන්දි මුදල එකතු කර ගත්තා. 

1883 සැප්තැම්බරයේ සිදුවුණු තෝමස්ගේ හදිසි මරණය පිළිබඳ ව සැක කළ එක්තරා පුද්ගලයකු සිටියා. ඒ කැතරින්ගේ නවාතැන්පොළේ එක් කාමරය නැවතී සිටි පැට්‍රික් ජෙනින්ග්ස් නම් පුද්ගලයා යි. ඔහු එම නවාතැන්පොළ වටා ඊට පෙර සිදුවුණු අභිරහස් මරණ පිළිබඳ ව හෙළිදරවු කළ නිසා තෝමස්ගේ මරණය පිළිබඳව යළිත් වරක් පරීක්ෂණයක් පැවැත්වීමට පොලිසිය තීරණය කළා.

කැතරින්ගේ සහ මාග්‍රට්ගේ එල්ලා මැරීම පිළිබඳ ව පුවතක සඳහන් ව තිබුණු අයුරු – oldpolicecellsmuseum.org

එහි දී නැවත ගොඩ ගත් තෝමස්ගේ මාතෘ දේහය කපා පරීක්ෂා කර බැලුවා. එම පරීක්ෂණවලින් අනාවරණය වුණේ තෝමස් ආසනික් ශරීරගත වීම හේතුවෙන් මරණයට පත්ව ඇති බව යි. ඒ අයුරින් තෝමස්ගේ මරණයට හේතුව හෙළිදරවු වීමත් සමඟ ම 1883 ඔක්තෝබර් 16 වැනිදා කැතරින් සහ මාග්‍රට් සොහොයුරියන් පොලිස් අත්අඩංගුවට ගැනුණා.

 

අවසානය 

අත්අඩංගුවට ගැනුණු සහෝදරියන්ගෙන් පොලිසිය දිගින් දිගට ම ප්‍රශ්න කිරීම් සිදු කළා. එම ප්‍රශ්න කිරීම් හමුවේ සංවේදී වුණු සහෝදරියන් පවසා සිටියේ ඔවුන් මෙම ඝාතන පිළිබඳ ව කිසිම දෙයක් නොදන්නා බව යි. පසුව ඔවුන් දෙදෙනාට එරෙහිව නඩු පැවරීමර පොලිසිය තීරණය කළා. එම නඩු විභාගය අතරතුර කැතරින් සහ මාග්‍රට් එකතු වී ඝාතන 4ක් සිදු කළ බව ඔප්පු වුණා. එනිසා එම දුෂ්ට සහෝදරියන් දෙදෙනා එල්ලා මැරීමට අධිකරණය තීරණය කළා. එලෙස දඬුවම් ලැබූ කැතරින් සහ මාග්‍රට් 1884 මාර්තු 3 වැනිදා කර්ක්ඩේල් බන්ධනාගාරයේ දී එල්ලා මරා දැමුණා.

කවරයේ ඡායාරූපය- ඝාතන සිදුකිරිම සඳහා භාවිත කළ ආසනික් - Liverpool Echo

මූලාශ්‍ර:

crimemuseum.org

liverpoolecho.co.uk

liverpoolcitypolice.co.uk

oldpolicecellsmuseum.org

Related Articles