Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කොරෝනාවටත් වඩා බ්‍රසීලයට වින කරන ජනපති – බොල්සොනාරෝ

බ්‍රසීල ජනාධිපති ජෙයිර් බොල්සොනාරෝ පුවත් මවන පුද්ගලයෙක්. මේ වන විට ජනාධිපතිවරයා ලෝක මාධ්‍යය තුළ නැවතත් අවධානයට ලක් වී තිබෙන ආකාරය දකින්න පුළුවන්. ඒ, කොරෝනාවෛරසය බ්‍රසීලය පුරා පැතිර යාම සම්බන්ධයෙන් ඔහු අනුගමනය කරන අසම්මත ක්‍රියා පිළිවෙත හේතුවෙනු යි. මීට මාස කිහිපයකට ප්‍රථම ඔහු, ඇමසන් වනාන්තරයේ බ්‍රසීලයට අයත් කොටසින් විශාල ප්‍රමාණයක් ගිනි ගැනීමේ දී අනුගමනය කළ හිතුවක්කාර ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ලෝක අවධානයට ලක් වුණා.

ඇමසන් වනාන්තරයේ වනාන්තර සංහාරය හා මහා පරිමාණ ලෙස ගින්න පැතිර යාම සඳහා රාජ්‍ය අනුග්‍රහය ලැබුණු බවත්, ඒ සඳහා එරට ජනාධිපති බොල්සොනාරෝ වගකිව යුතු බවත් යුරෝපයේ බොහෝ රටවල රාජ්‍ය නායකයන් චෝදනා කරනවා. ලොව පුරා විවිධ ජනමාධ්‍යන්ගෙන් ද ඒ සම්බන්ධව ඔහුට බරපතළ චෝදනා එල්ල වෙනවා. නමුත්, ඒ සියලු චෝදනා ඔහු විසින් තරයේ ප්‍රතික්ෂේප කෙරෙනවා. 

කොරෝනාවෛරසය සම්බන්ධයෙන් ද ඔහුගේ කතාබහ, ප්‍රතිචාර හා ක්‍රියාමාර්ගයන් මේ වන විට ලෝකය පුරා විවේචනයට බදුන් වී තිබෙනවා. 

බ්‍රසීලයේ කොරෝනාවෛරස තත්ත්වය 

බ්‍රසීලයේ සුසානභූමියක් (bbc)

මේ වන විට නව කොරෝනාවෛරසය ලෝකය පුරාම වේගයෙන් පැතිර යන අතර අද වන විට (මැයි 26) ලොවපුරා ආසාදිත ප්‍රමාණය 5,495,061ක් ලෙසත් මේ වන විට වාර්තා වී ඇති මරණ ප්‍රමාණය 346,232ක් ලෙසත් සටහන් වෙනවා. අද වන විට වැඩිම ආසාදිතයන් ප්‍රමාණයක් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වෙනවා. එය 1,696,874ක්. ඉන් පසුව වැඩිම ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා වෙන රටවල් ලෙස පිළිවෙලින් බ්‍රසීලය, රුසියාව, එක්සත් රාජධානිය, සහ ස්පාඤ්ඤය යන රටවල් නම් කළ හැකි යි. මීට සති කිහිපයකට ප්‍රථම අඩු ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා වූ බ්‍රසීලය, මේ වන විට ජර්මනිය, ප්‍රංශය, ඉතාලිය, රුසියාව, හා එක්සත් රාජධානිය යන රටවල් වේගයෙන් පසු කර ආසාදිතයන් ප්‍රමාණය අතින් දෙවන ස්ථානයට පත් වී තිබෙනවා. බ්‍රසීලය මේ තත්ත්වයට පත්වීමට එරට නායකයා වන ජෙයිර් බොල්සොනාරෝගේ අදූරදර්ශී ක්‍රියාපිළිවෙත වගකිව යුතු බව බොහෝ දෙනාගේ මතය යි. එරට කොරෝනා පාලනය කිරීමට නොහැකිව ඇත්තේ බොල්සනාරෝගේ අත්තෝනෝමතික ක්‍රියාකලාපය නිසා වන අතර මේ වන විට බ්‍රසීලයට ඇති ලොකුම බාධාව බවට ද ඔහු පත්ව ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා.

ලොක්ඩවුන් විරෝධතාවයට  ජනතාව සමග එකතු වීම 

ජනතාව සමඟ නගර වසා දැමීමට එරෙහි විරෝධතාවයේ (cnn)

බ්‍රසීලයේ ප්‍රථම වරට කොවිඩ් 19 ආසාදිතයෙක් වාර්තා වන්නේ පසුගිය පෙබරවාරි 25 වන දා යි. ඉන් පසුව ක්‍රමක්‍රමයෙන් බ්‍රසීලයේ රෝගීන් ප්‍රමාණය වර්ධනය වීමක් දකින්න ලැබුණු අතර සෞඛ්‍ය සේවාවන්ගේ දැනුම්දීම හේතුවෙන් බ්‍රසීල ප්‍රාන්ත කිහිපයක ආණ්ඩුකාරවරුන් ජනතාවගේ සංචරණයන් සීමා කිරීම සඳහා නීති රීති පැනවීම සිදු කරනවා. 

මෙම සීමාවන්ට විරුද්ධව බොල්සොනාරෝ පාක්ෂිකයන් අප්‍රේල් මාසයේ 19 වන දා විරෝධතාවක් සංවිධානය කරනවා. ජනාධිපතිවරයා ද එම විරෝධතාවයට සහභාගී වන අතර එහිදී ජනතාව අමතන ඔහු මුහුණු ආවරණයක් පැළදීමක් හෝ සිදු කරන්නේ නෑ. ජනතාව අමතමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ සුළු උණ රෝග තත්ත්වයකට රටක් වසා දැමිය නොහැකි බව යි. “මේක සාමාන්‍ය උණක් විතර යි, කීපදෙනෙක් මියයාවී. දවසකට කොච්චර වාහන අනතුරු නිසා මිය යනව දැ”යි අසන ඔහු, ආණ්ඩුකාරවරුන් කිහිප දෙනෙකු හා නගරාධිපතිවරුන් කිහිපදෙනෙකු එක්ව ප්‍රධාන නගර වසමින් අපරාධයක් සිදු කරන බවත්, ඔවුන් බ්‍රසීලය විනාස කරන බවත් ප්‍රකාශ කරනවා

සියල්ලටම වඩා රටේ ආර්ථිකයේ යහ පැවැත්ම වැදගත් වන බව ද අවධාරණය කරන ඔහු රියෝ ද ජෙනයිරෝ සහ සාඕ පාවුලෝ යන නගරයන්හී නගරාධිපතිවරුන්ට ඔවුන් විසින් පනවා තිබෙන ලොක්ඩවුන් නීතිය වහා හකුලා ගන්නා ලෙස දැනුම් දීමට කටයුතු කරනවා. ඔහුගේ එම කතාව පිළිබඳව බ්‍රසීල සෞඛ්‍ය අංශ එරට මාධ්‍ය හා ප්‍රාන්ත ආණ්ඩුකාරවරුන් සිය අප්‍රසාදය පල කරනවා.

පළමු සෞඛ්‍ය ඇමතිවරයා ඉවත් කිරීම 

ඉවත්කළ සෞඛ්‍ය ඇමතිවරයා (cloudfront)

තත්ත්වය තවත් නරක අතට හැරෙන්නේ, එරට තුළ වෛරසය පාලනය කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටි සෞඛ්‍ය ඇමතිවරයා වන ලුයිස් හෙන්රික් මැන්ඩේටාව ජනාධිපතිවරයාගේ උදහසට ලක්වීම සමග යි. සෞඛ්‍ය ඇමතිවරයාගේ වැඩ පිළිවෙල නිතරම ප්‍රසිද්ධියේ උපහාසයට ලක් කරන බ්‍රසීල ජනාධිපතිවරයා අවසානයේ දී සෞඛ්‍ය ඇමතිවරයා ඉවත් කිරීමට කටයුතු කරනවා. ඒ පසුගිය අප්‍රේල් මාසයේ දී යි. හිස් වූ සෞඛ්‍ය ඇමති ධුරය සඳහා බෝල්සනාරෝ විසින් තමන්ට හිතවත් වෛද්‍යවරයෙකු වන නෙල්සන් ටීක්ව පත්කරනු ලබනවා.

මාසයක් ඇතුළත දෙවන සෞඛ්‍ය ඇමතිවරයාත් ඉල්ලා අස්වීම 

ජනාධිපති හා නව සෞඛ්‍ය ඇමතිවරයා (aljazeera)

ලුයිස් හෙන්රික් මැන්ඩෙටා ඉවත් කිරීමෙන් පසුව පත්කෙරෙන නව සෞඛ්‍ය ඇමතිවරයා මාසයක්වත් සිය ධුරයේ කටයුතු කරන්නේ නැහැ. ඔහු සිය ඉල්ලා අස්වීම මැයි මාසයේ 15 වන දා ඉදිරිපත් කරනවා. වසංගතය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ගනු ලබන ක්‍රියාමාර්ග ජනතාවාදී නොවන බවට අදහසක් දැරූ නව සෞඛ්‍ය ඇමතිවරයා සහ බොල්සොනාරෝ අතර ගැටුම් කිහිපයක් හටගෙන ඇති බව සඳහන්. 

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කොවිඩ්-19 සඳහා ඖෂධයක් බවට නිසි පරිදි තහවුරු කර නොමැති ක්ලෝරෝක්වීන්, ජනාධිපතිවරයා විසින් රෝගය සඳහා නිර්දේශ කිරීම මෙන්ම රූපලාවන්‍ය ආයතන හා ශරීර සුවතා මධ්‍යස්ථාන නැවත ආරම්භ කිරීමට අවසර ලබා දීම වැනි කරුණු නව ඇමතිවරයා ඉල්ලා අස්වීමට බලපෑ හේතු අතරින් කිහිපයක්.

ජනාධිපති නිල නිවසේ බාබකියු සාදයක් 

මුඛ ආවරණ පිළිබඳව සැලකිල්ලක් නොදක්වන බොල්සොනාරෝ (theconversation)

ජනාධිපතිවරයාව නැවතත් බ්‍රසීල මාධ්‍යයන්ගේ දැඩි විවේචනයට ලක් වන්නේ එරට මරණ සීමාව 10 000කට ආසන්නව පැවති මොහොතක ජනාධිපති නිල නිවසේ බාබකියු සාදයක් පැවැත්වෙන බවට කළ නිවේදනය සමග යි. මෙහිදී මාධ්‍යවේදියෙක්, නායකයෙකු ලෙස ඔබට ජනතාව පිළිබඳව සංවේදීභාවයක් නොමැති දැයි ප්‍රශ්න කළ විට, තමන් මේ ව්‍යසනය පිළිබඳව දුක් වන නමුත් තමන්ට කළ හැකි දෙයක් නොමැති බව ජනපති ප්‍රකාශ කර තිබෙනවා. කෙසේ නමුත් අද වන විට බ්‍රසීලයේ ආසාදිතයන් ප්‍රමාණය 374,898ක් හා මරණ ප්‍රමාණය 23,473ක් ලෙස සඳහන් වෙනවා.

කවරයේ පින්තූරය - euronews 

මූලාශ්‍රයයන් - 

Worldometers.info

Bbc.com

Related Articles