බොරිස් ජොන්සන් සහ බ්‍රෙක්සිට් ආරවුල​

බ්‍රිතන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් විය යුතු බව ජනමත විචාරණයක දී තීරණය වූයේ 2016 ජූනි මාසයේ දී යි. නමුත් එම ක්‍රියාවලිය තවම සම්පූර්ණ වී නැහැ. ඒ පිළිබඳ මතුවූ විවිධ අවුල් හමුවේ තවමත් බ්‍රෙක්සිට් ක්‍රියාවලිය කවදා, කෙසේ වේදැ යි ප්‍රශ්නයක් පවතිනවා.

කොන්සර්වේටිව් පක්ෂයේ නායකත්වයට බොරිස් ජොන්සන් පත් වූයේ ජූලි මාසයේ යි. ජූලි 24 වන දා ඔහු අගමැති ලෙස ද දිවුරුම් දුන්නා. ඔහුට අවශ්‍ය වන්නේ කිසිදු පූර්ව එකඟතාවයකින් තොරව වුව ද ඔක්තෝබර් 31 වන දා බ්‍රෙක්සිට් සිදු කිරීම යි. නමුත් ඊට එරෙහිව ප්‍රබල හඬක් මතුවී තිබෙනවා. එහි ප්‍රතිඵලය ලෙස ජොන්සන් ගේ රජය පාර්ලිමේන්තුවේ දී කිහිප විටක් පරාජය වූ අතර රජයට හිමිව තිබූ තුනී බහුතරය ද අහිමි වුණා.

තෙරේසා මේ අගමැති සමය​

2016 ජූනි 23 වන දා පැවති බ්‍රෙක්සිට් ජනමත විචාරණයේ දී එරට යුරෝපා සංගමයෙන් ඉවත් විය යුතු බව තීරණය වූ පසු හිටපු අගමැති ඩේවිඩ් කැමරන් අගමැති ධුරයෙන් මෙන්ම කොන්සර්වේටිව් පක්ෂ නායකත්වයෙන් ද ඉල්ලා අස්වුණා. ඒ අනුව කොන්සර්වේටිව් පක්ෂ නායකත්වයට සහ අගමැති ධුරයට පත්වූයේ තෙරේසා මේ යි.

යුරෝපා සංගමයේ ලිස්බන් ප්‍රඥප්තියේ 50 වන වගන්තිය අනුව යම් රටක් යුරෝපා සංගම් සාමාජිකත්වයෙන් ඉවත් වන්නේ නම්, ඉන් වසර දෙකකට පෙර එම වගන්තිය ක්‍රියාත්මක කළ යුතු යි. 2017 මාර්තු 29 වන දා, තෙරේසා මේ 50 වන වගන්තිය ක්‍රියාවට නගන්නේයැ යි ප්‍රකාශ කළා. ඒ අනුව බ්‍රෙක්සිට් සිදුවිය යුතු වූයේ 2019 මාර්තු 29 වන දා යි.

තෙරේසා මේ (AFP)

2017 ජූනි මාසයේ දී බ්‍රිතාන්‍යයේ හදිසි මහමැතිවරණයක් පවත්වනු ලැබුවා. තෙරේසා මේ එම මැතිවරණය පැවැත්වීමෙන් බලාපොරොත්තු වූයේ තමන්ට සුරක්ෂිත බහුතරයක් ලබා ගැනීම යි. එහෙත් එහිදී කොන්සර්වේටිව් පක්ෂය බලාපොරොත්තු වූවාට වඩා අඩු ජයග්‍රහණයක් ලැබූ අතර උතුරු අයර්ලන්ත පක්ෂයක් වන ඩිමොක්‍රටික් යූනියනිස්ට් පක්ෂය සමග සන්ධානයක් පිහිටුවා ගැනීමට ද ඔවුනට සිදු වුණා.

මේ අතර තෙරේසා මේ රජයෙහි අවධානය යොමු වූයේ යුරෝපා සංගමය සමග බ්‍රෙක්සිට් පිළිබඳ එකඟතා ගිවිසුමක් අත්සන් කිරීම පිළිබඳව යි. නව තත්ත්වය යටතේ තීරුබදු, වීසා කටයුතු, වෙළෙඳ ගිවිසුම් ආදිය පිළිබඳව කටයුතු කළ යුතු ආකාරය මෙවන් එකඟතා ගිවිසුමකට ඇතුළත් විය යුතු වුණා. එමෙන්ම උතුරු අයර්ලන්තය සහ අයර්ලන්තය අතර දේශසීමාව පිළිබඳව වූ ගැටළුව ද විසඳාගත යුතු වුණා.

මේ කරුණු පිළිබඳ එකඟතා ගිවිසුමක් සඳහා තෙරේසා මේ සහ යුරෝපා සංගමය එකඟ වුණා. නමුත් එම එකඟතා ගිවිසුම බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විට කිහිප විටක්ම පරාජය වුණා.

කියවන්න​: බ්‍රෙක්සිට්: ඊළඟට මොකද වෙන්නෙ?

මේ අනුව එකඟතා ගිවිසුමකින් තොරව බ්‍රෙක්සිට් සිදු කිරීමට වන තත්ත්වයක් ඇති වුණා. එහෙත් පාර්ලිමේන්තුව විසින් එය ද සිදු නොකළ යුතුයැ යි යෝජනාවක් සම්මත කරගත්තා. මේ අනුව යුරෝපා සංගමය සමග සාකච්ඡා කර බ්‍රෙක්සිට් කල් දමාගැනීමට තෙරේසා මේට සිදු වුණා. අවසානයේ එය ඔක්තෝබර් 31 දක්වාම කල් දමනු ලැබුණා.

බ්‍රෙක්සිට් විරෝධී උද්ඝෝෂණයක්. 2019 සැප්. 4, බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව අසළ (Reuters)

බ්‍රෙක්සිට් විවාදය මෙසේ ඇදී යද්දී තෙරේසා මේ ද ගතහැකි පියවරක් නොමැති තත්ත්වයට පත් වෙමින් සිටියා. මේ අතරතුර දී බ්‍රෙක්සිට් ප්‍රමාදයට එරෙහිව නයිජල් ෆරාජ් විසින් පිහිටවූ බ්‍රෙක්සිට් පක්ෂය ජනප්‍රියත්වයෙන් ඉහළ යමින් තිබුණා. පළාත් පාලන මැතිවරණවල දී සහ 2019 මැයි යුරෝපා පාර්ලිමේන්තු මැතිවරණයේ දී කොන්සර්වේටිව් පක්ෂය ලද දුර්වල ප්‍රතිඵල ද සමග තෙරේසා මේට ඉල්ලා අස්වීමට බලපෑම් ඉහළ ගියා.

2019 ජූනි 7 වන දා තෙරේසා මේ නිවේදනය කළේ තමා පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වන බව යි. ජූලි 23 වනදා නායකත්ව තරගයෙන් බොරිස් ජොන්සන් ජයගත් බව ප්‍රකාශ කෙරුණ අතර ඊළඟ දිනයේ දී ඔහු අගමැති ලෙස දිවුරුම් දුන්නා.

No Deal Brexit

බොරිස් ජොන්සන් 2016 දී බ්‍රෙක්සිට් ජනමත විචාරණයේ දී බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් විය යුතු බවට වන පාර්ශවයේ ප්‍රබලයෙකු වුණා. කැමරන් කොන්සර්වේටිව් පක්ෂ නායකත්වයෙන් ඉවත් වූ විට ජොන්සන් එම ස්ථානය ගනීයැ යි බලාපොරොත්තු වුණත්, ඔහු එය කළේ නැහැ. ඔහු ඊට තරග නොකිරීම බොහෝ දෙනා පුදුමයට පත් කළා.

ජොන්සන් දිගටම කියා සිටියේ එකඟතාවයක් නොමැතිව හෝ බ්‍රෙක්සිට් නියමිත දිනට සිදුකළ යුතු බව යි. අග්‍රාමත්‍ය ධුරයට පත් වූ පසු ද ඔහු ඒ බව පුන පුනා කියා සිටියා. ජොන්සන් අගමැති ධුරයට පත්වීමත් සමග බ්‍රෙක්සිට් පක්ෂයට තිබූ සහය අඩු වී කොන්සර්වේටිව් පක්ෂය දෙසට එම සහයෝගය නැඹුරු වනු දකින්නට තිබුණා.

නමුත් එකඟතාවයක් නොමැති බ්‍රෙක්සිට් හෙවත් No Deal Brexit පිළිබඳ කොන්සර්වේටිව් පක්ෂ මන්ත්‍රීන් සමහරෙක් ද සැක පළ කරනවා. එවන් තත්ත්වයක දී තීරුබදු, ගමනාගමනය වැනි කරුණු පිළිබඳව ඇතිවන ව්‍යාකූලතා හමුවේ රට අවුල් වේයැ යි ඔවුන් සැක කරනවා. විපක්ෂය ද සිටින්නේ එම මතයේ යි. භාණ්ඩ​, ඖෂධ ආදිය පවා හිඟ විය හැකියැ යි ඇතැමුන් සැක පළ කරනවා.

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව උණුසුම් විවාදයක් මැද (Reuters)

ගිම්හාන විවේකයෙන් පසු පාර්ලිමේන්තුව රැස්වී දින කිහිපයක් තුළ එය කල් තැබීමට ජොන්සන් රැජිණගේ අනුමැතිය ගැනීමත් සමග බ්‍රෙක්සිට් ආරවුල දුරදිග ගියා. කම්කරු පක්ෂයේ මන්ත්‍රී හිලරි බෙන් විසින් ඉදිරිපත් කළ No Deal Brexit වැළැක්වීමේ පනතක් සැප්තැම්බර් 3 වන දා පාර්ලිමේන්තුව රැස් වූ විට විවාදයට ගැණුනා. එදිනම කොන්සර්වේටිව් මන්ත්‍රී වෛද්‍ය ෆිලිප් ලී, ලිබරල් ඩිමොක්‍රටික්වරුන් හා එක් වීමෙන් රජයට පාර්ලිමේන්තු බහුතරය ද අහිමි වුණා.

මේ අනුව ජොන්සන් කළේ හදිසි මැතිවරණයක් කැඳවීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම යි. බ්‍රිතාන්‍ය නීතිය අනුව එය සම්මත වීමට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීන් අතුරින් තුනෙන් දෙකක අනුමැතිය හිමිවිය යුතු යි. මන්ත්‍රීන් 298 ක් පමණක් ඊට අනුමැතිය දුන් අතර 56 දෙනෙකු ඊට එරෙහි වුණා. ප්‍රධාන විපක්ෂ දේශපාලන පක්ෂ ඊට ඡන්දය දීමෙන් වැළකී සිටියා.

මේ අනුව ඔක්තෝබර් 31 වන දා බ්‍රෙක්සිට් සිදුවීමේ ඉඩකඩ ඉතා සීමිත බව පෙනී යනවා. එහෙයින් බ්‍රෙක්සිට් පිළිබඳ තවමත් ඇත්තේ පැහැදිලි අවිනිශ්චිතතාවක් බව කිව හැකියි.

Cover Image: බොරිස් ජොන්සන් විපක්ෂය සමග විවාද කරමින් (AP)

Related Articles